2015-07-17

ලෝකයේ වෙනත් විශ්‍රාමික ජනාධිපතිවරු හා මහින්ද

ලොව බොහෝ රටවල අගමැතිවරු බොහෝ විට පරාජය වූ පසුත් දේශපාලනයෙන් සමු නො ගෙන බල අරගලයේ යෙදෙති. 1981 සිට 2003 දක්වා මැලේසියාවේ අගමැති ධුරය හෙබවූ මහතීර් මොහොමඩ් අදටත් එරට සක්‍රිය දේශපාලකයෙකි. ශ්‍රී ලංකාවේ ද අගමැති ධුරය 1960-65 සහ 1970-77 සමයේදී හෙබවූ සිරිමා බණ්ඩාරනායක නැවතත් 1994 සිට 2000 දක්වා ද අගමැති ධුරය හෙබවූවා ය.

ඩඩ්ලි සේනානායක මහතා ද සිව් වරක් ලංකාවේ අගමැති පදවිය දැරුවේ ය. රනිල් වික්‍රමසිංහ මහතා මෙවර තරග කරන්නේ සිව්වන වරට අගමැති ධුරයට පත් වන්නට ය.

විධායක ජනාධිපති ධුරයක් දැරීම යනු රාජ්‍ය පාලනයේ අති විශාල විධායක බලතල ප්‍රමාණයක් මෙහෙයවීමයි. විධායක ජනාධිපති ක්‍රමය බලපැවැත්වෙන සෑම ප්‍රබුද්ධ ප්‍රජාතන්ත්‍රවාදී රටක ම පාහේ එම තනතුර දැරිය හැකි වාර ගණන සීමා කර තිබෙන්නේ එක් පුද්ගලයකුට එසේ බලතල දැරිය හැකි වකවානුව සීමා කිරීම සඳහා ය. වෙනත් අයටත් ඒ අවස්ථාව ලබා දීම සඳහා ය. එසේම, පුද්ගලයකුට රටක ඉතිහාසයට කළ හැකි බලපෑම පාලනය කිරීම සඳහා ය. 

ඇමරිකාවේ පළමු ජනාධිපති වූ ජෝර්ජ් වොෂින්ටන් අට වසරක් ධුරය දැරුවේ ය. ඇමරිකා එක්සත් ජනපදයේ පීතෘවරයකු ලෙස සැලකෙන ඔහු 1797දී විශ්‍රාම ගැනීමෙන් පසු ඔහුට එරට මහාද්වීපික හමුදාවේ අණ දෙන නිලධාරි තනතුර පැවරිණි. එහෙත්, යුද්ධයක් සිදු නො වූ නිසා ඔහු එම තනතුරේ කාර්යයක නිරත වූයේ නැත. දැවැන්ත විස්කි ස්කාගාරයක් ආරම්භ කළ ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත් වූයේ ය.

ඇමරිකා නිදහස් ප්‍රකාශනය ලියූ, එරට තුන්වන ජනාධිපතිවරයා වූ තෝමස් ජෙෆර්සන් සිය විශ්‍රාම දිවිය ගත කළේ වර්ජිනියා විශ්වවිද්‍යාලය පිහිටුවීම පිණිසයි. එයට භූමිය තේරීම, ගොඩනැගිලි සැලසුම් කිරිම, ඉදිකිරීම, පුස්තකාලයට පොත් තේරීම, විශ්වවිද්‍යාල විෂයමාලා සැකසීම ආදී සෑම කටයුත්තක් ම කෙරුණේ ඔහුගේ අධීක්ෂණයෙනි.

1974දී ඉල්ලා අස් වූ ජනාධිපති රිචඩ් නික්සන් සිය විශ්‍රාම දිවිය ගත කළේ ලොව පුරා රාජ්‍ය නායකයන් හමු වෙමින්, සාකච්ඡා කරමින් හා දේශන පවත්වමින් ය. ඔහු පොත් 10ක් ලිව්වේ ය.

1977 සිට 1981 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය හෙබවූ ජිමී කාටර්ට 2002දී නොබෙල් තෑග්ග හිමි වුයේ ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු ලොව දිළිඳුභාවය නැති කිරීම සඳහා කරන ලද සේවාවන් වෙනුවෙනි.

බිල් ක්ලින්ටන් ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ප්‍රසිද්ධ දේශකයකු ලෙස ලොව පුරා දේශන පවත්වමින් අතිවිශාල ධනස්කන්ධයක් ද උපයා ගත්තේ ය.

පුද්ගලයකුට විධායක ජනාධිපති ධුරය දැරිය හැක්කේ දෙවරක් පමණක් ය යන නීතියට ඇත්තේ කෙටි ඉතිහාසයකි. එක්සත් ජනපදයේ පළමු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් විසින් තබන ලද ආදර්ශය අනුව ජනාධිපතිවරයා දෙවරක් ධුරය දරා විශ්‍රාම යාමේ සම්ප්‍රදායක් එක්සත් ජනපදයේ ඇති විය. එම සම්ප්‍රදාය බින්දේ ‍ෆ්‍රෑන්ක්ලින් ඩි රූස්වෙල්ට් ජනාධිපතිවරයා ය. ඔහු පිට පිට සිව් වතාවක් ම ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු එක්සත් ජනපද කොංග්‍රසය 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයකුට ධුරය දැරිය හැකි කාල සීමාව දෙවරකට සීමා කරන ලදී.

විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් රට වන එක්සත් ජනපදයේ විශ්‍රාමික ජනාධිපතිවරුන් සක්‍රිය දේශපාලනයෙන් ඉවත් වීමේ සම්ප්‍රදායක් තිබේ. එය වෙනත් බොහෝ රටවල ද විධායක ජනාධිපතිවරුන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයකි. එහෙත්, ලතින් ඇමරිකාවේ ඇතැම් රටවල ජනාධිපතිවරු නම් නැවත තේරී පත් වීම සඳහා උත්සාහ කරන අවස්ථා සුලබ ය. එසේම, ඇතැම් ලතින් ඇමරිකානු රටවල් ජනාධිපතිවරුන්ට තේරී පත්විය හැකි වාර ගණන පිළිබඳ සීමාවන් ඉවත් කර තිබේ. 

එහෙත්, වෙනිසියුලා, ඉක්වදෝර් වැනි රටවල ජනාධිපතිවරයකුට ධුරය දැරිය හැකි වාර ගණන දෙකකට සීමා කර තිබේ. දැන් බොලීවියාව ද වාර ගණන සීමා කිරීමට කටයුතු කරමින් සිටියි. එහෙත්, බොලීවියා ජනාධිපති එවෝ මොරාලේස් පසුගිය ඔක්තෝබරයේ තේරී පත් වුණේ තුන්වන වරට ය.

මේ අතර කොලොම්බියාව ජනාධිපතිවරයකුට ධුරය දැරිය හැකි වාර ගණන එක් සිව් වසර කාලයකට සීමා කිරීමට උත්සාහ කරමින් සිටියි. එරට හිටපු ජනාධිපති අල්වාරෝ උරිබෙ දෙවරක් ජනාධිපති ධුරය හෙබවීමෙන් අනතුරුව දැන් නැවතත් විපක්ෂයෙන් සෙනෙට් මණ්ඩලයට පත් වී සිටියි.

බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන ලූලා හා කාර්ඩොසෝ ද තවමත් එරට දේශපාලනයේ සක්‍රිය, බලවත් චරිත වෙති.

චිලී, පේරු වැනි රටවල හිටපු ජනාධිපතිවරු වාරයක් දෙකක් මගහැර නැවත තරග කරනු දක්නට ලැබේ. 

මෙක්සිකෝව ජනාධිපතිවරුන් නැවත තේරී පත් වීම මුළුමනින් ම තහනම් කර තිබේ. එහෙත්, හිටපු ජනාධිපති ෆෙලිපෙ කල්දෙරොන්ගේ බිරිඳ මීළඟ ජනාධිපතිවරණයට තරග කරන්නට අපේක්ෂා කරයි. මේ බිරියගේ අනුග්‍රාහක දෙවියා සැමියා ය. 

කෙසේ වෙතත්, ලතින් ඇමරිකාවේ ද හිටපු ජනාධිපතිවරුන් නැවත දේශපාලනිකව සක්‍රිය වීම පිළිබඳ විරෝධයක් තිබේ. 

ලොව විධායක ජනාධිපතිවරුන් අතරින් අල්පේච්ඡතාව අතින් කැපී පෙනුණු ජනාධිපතිවරයා වූයේ උරුගුවේ ජනාධිපති ජොසේ මුජිකා ය.  1985 දී උරුගුවේ රාජ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදය උදා වීමෙන් පසු කලින් ගරිල්ලා භටයකු වූ ජොසේ මුජිකා 2010දී උරුගුවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. ඔහු ජනාධිපති ධුරය දරද්දී පවා මධ්‍යම පාංතික ඉතාමත් සාමාන්‍ය ජීවිතයක් ගත කළ මුජිකා ගමන් බිමන් ගියේ පැරණි ෆොක්ස්වැගන් මෝටර් රථයකයි. ජනාධිපති තනතුරෙ හි සිටි කාලයේ ඔහු සිය වැටුපෙන් සියයට අනූවක් ම දුප්පතුන්ට බෙදා දුන්නේ ය. ඔහුගේ ආරක්ෂාවට සිටියේ මුරභටයන් දෙදෙනෙක් පමණි. විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු සිය බිරිඳ සමග ඇයට අයත් ගොවිපළේ සුපුරුදු ලෙස ජීවිතය ගත කරයි.

විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වන යුරෝපා රටක් වන ප්‍රංශයේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හතේ සිට පහ දක්වා අඩු කිරීමට වසර 2000දී එරට පියවර ගත්තේ ය. 2008 සිට ජනාධිපතිවරයකුට තේරී පත් විය හැකි වාර ගණන දෙකකට සීමා කර තිබේ. එහෙත් ප්‍රංශයේ මේ දක්වා ම පූර්ණ වශයෙන් ධුර කාල දෙක ම සිටි ජනාධිපතිවරුන් සිටින්නේ දෙදෙනෙක් පමණි. ඒ ප්‍රංශුවා මිතරෝන් හා ජාක්ස් චිරාක් ය. එක් වරක් පමණක් ජනාධිපති ධුරය හෙබවූ දක්ෂිණාංශික හිටපු ජනාධිපති සාකොසි දැන් නැවතත් දේශපාලනිකව සක්‍රිය ය. මහින්ද රාජපක්ෂ මෙන් ජාතිවාදය කරපින්නාගෙන ඔහු දැන් 2017 ජනාධිපතිවරණයට සැරසෙමින් සිටියි. 

ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන බොහෝ දියුණු ප්‍රජාතන්ත්‍රවාදයන්හි පත් විය හැකි වාර ගණන දෙකකට සීමා කර තිබේ. තායිලන්තයේ විධායක අගමැතිවරයාට ධුරය දැරිය හැකි වාර ගණන ද දෙකකට සීමා කර තිබේ. 

විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට ගැලපේ ද නො ගැලපේ ද යන කරුණ විවාදයට පාත්‍ර වී තිබේ. එසේම, එය මෙරටට හඳුන්වා දුන් ආකාරය ද විවාදාපන්න ය. ඒ කෙසේ වෙතත්, මෙරට ජනාධිපති ධුරය දැරූ ජේ.ආර්. ජයවර්ධන, ඩී.බී. විජේතුංග හා චන්ද්‍රිකා බණ්ඩාරනායක යන ජනාධිපතිවරු විශ්‍රාම ගැනීමෙන් පසු සක්‍රිය දේශපාලනයෙන් ඉවත් වී රටට ලබා දුන් ආදර්ශයක් හා ගොඩනගන ලද සම්ප්‍රදායක් තිබේ. 

ඒ සම්ප්‍රදාය ඇමරිකා එක්සත් ජනපදයේ හා ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරුන් විසින් අනුගමනය කරනු ලබන සම්භාව්‍ය සම්ප්‍රදායයි. එය ලතින් ඇමරිකාවේ ඇතැම් රටවල ජනාධිපතිවරුන් විසින් අනුගමනය කරනු ලබන වධකාර සම්ප්‍රදාය නො වේ. විශ්‍රාමික දේශපාලනඥයන්ගේ භූමිකාව පිළිබඳ යහපත් ආදර්ශ ලබා ගන්නට ඕනෑ තරම් අවස්ථාව තිබේ.

ජේ. ආර්. ජයවර්ධන හා චන්ද්‍රිකා බණ්ඩාරනායක යන ජනාධිපතිවරුන්ට ද තුන්වන වාරයක් තේරී පත්වීමේ උවමනාව තිබුණු බව ඇතැමෙක් කියති. එහෙත්, එ් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ගන්නට හැකි වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පමණි. එහෙත්, ඔහු තුන්වන වරට තරග කළ අවස්ථාවේදී පරාජයට පත් වූයේ ය. බලයේ සිටි ජනාධිපතිවරුන් ජනාධිපතිවරණ පරාජය වීම ලෝක දේශපාලනයේ සුලබ තත්වයක් නො වේ. එහෙත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මුළු රාජ්‍ය බලය ම යොදවා කරන ලද ඡන්ද ව්‍යාපාරයකින් පසුව පවා පරාජයට පත් වීම සුවිශේෂ ය. 

දැන් ඔහු නැවත බලයට පත්වීමට උත්සාහ කරයි. ඒ වෙනුවෙන් අගමැති ධුරය ලබාගැනීම සඳහා ඔහු මෙවර මහමැතිවරණය තරග කරයි. ජනවාරි 08දා මැතිවරණ පරාජයෙන් පසු තනතුර හැරදා මැදමුලනට පළා ගිය ඔහුට දේශපාලනයේ එල්ලී සිටින්නට බල කරන ලද සංදර්භයක් තිබිණි. ඒ වනාහි ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් කිසි දිනෙක බලය අහිමි නො වනු ඇතැයි සිතමින් කරන ලද ක්‍රියා පිළිබඳ අලුත් ආණ්ඩුව විමර්ශන ආරම්භ කිරීමයි. 

විධායක ජනාධිපති ධුරය හොබවන සමයේ කුමන අන්දමින් බලය අපහරණය කළත්, ජේ.ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා බණ්ඩාරනායක යන ජනාධිපතිවරුන්ට විශ්‍රාමික ජනාධිපතිවරයකු ලෙස ගෞරවය රැක ගනිමින් ජීවත් වීමේ හැකියාව ලැබිණි. මහින්ද රාජපක්ෂට එවැන්නක් ලබා ගැනීම දුෂ්කර ය. ඒ ඔහුගේ අතීත භාවිතාව ගැන ඔහු ම හොඳින් දන්නා නිසා ය. ඒ නිසා ඇඳෙන් පැදුරට ද, පැදුරෙන් බිමට ද වැටුණත් ඔහු නම් විශ්‍රාම නො ගනු ඇත. ඔහු විශ්‍රාමයක් උපයාගෙන නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.