ඩයස්පෝරාව සමග සාකච්ඡාවලට එරෙහි වීම මුවාවෙන් යළි ජාතිවාදය පිට නැගීම

සුරේන් සුරේන්ද්‍රන්
ගැටුම් කළමනාකරණය හා සාමය ගොඩනැගීම සම්බන්ධව කටයුතු කරන දකුණු අප්‍රිකානු රාජ්‍ය නොවන සංවිධානයක අනුග්‍රාහකත්වයෙන් ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් හා විදේශ ඇමති මංගල සමරවීර අතර පැවති සාකච්ඡා පිළිබඳ රටේ අවධානය යොමු වී තිබේ. 

අද ඩේලි නිව්ස් පුවත්පතේ මුල් පුවතේ අරමුණ වී තිබෙන්නේ මේ සාකච්ඡා හේතුවෙන් දෙමළ ඩයස්පෝරාව බෙදී ඇති බව පෙන්වීමයි. එවැනි ප්‍රකාශනයක් මේ සාකච්ඡා ඉදිරියට ගෙන යන්නට කෙසේ ඉවහල් වේ ද යන්න සැක සහිත ය. තමන් සාකච්ඡා කරන්නේ ප්‍රතිවාදියා දුර්වල කරන්නට ය කියා කී විට සිදු වන්නේ තමන් සමග සාකච්ඡාවට පැමිණි පාර්ශ්වයට එරෙහිව අවි අමෝරා ගන්නට විරුද්ධවාදීන්ට අවස්ථාව ලැබීමයි. ගෝලීය දෙමළ සංසදය හා දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව මේ වන විටත් දෙමළ ජාතිවාදීහු අවදි වී සිටිති.

විදෙස්ගත ලාංකික ප්‍රජාව හෙවත් ඩයස්පෝරාව යනු සිංහල, දෙමළ, මුස්ලිම් ආදී විවිධ ජාතීන් ඇතුළත් වන බහුවිධ ප්‍රපංචයකි. එහි දෙමළ ජනතාව අඩංගු් වන බව ඇත්ත ය. ඩයස්පෝරාවෙන් සැලකිය යුතු පංගුවක් දෙමළ ජනයා බව ද ඇත්ත ය. එසේ වුණේ ලංකාවේ තිබුණු තත්වය හේතුවෙන් ලෝකයේ අනුකම්පාව දෙමළ ජනයාට ලැබී ඔවුන්ට සංවර්ධිත රටවල රැකවරණ ලැබුණු නිසා ය. ඒ අවස්ථාව සිංහලයන්ට ලැබුණේ නැත. අපේක්ෂා භංගත්වයට පත් සිංහලයන්ට විදෙස් රටවලට යන්නට සිදු වී තිබෙන්නේ බෝට්ටුවලිනි. 

එහෙත්, සියලු දෙමළ ජනයා කොටි නො වෙති. මේ වන විට කොටි සංවිධානයේ හා වෙනත් දෙමළ ජාතිවාදී සංවිධානවල ජාතිවාදී ප්‍රවණතා සෑහෙන දුරට පසුබැස තිබේ. කොටි සංවිධානය හා සම්බන්ධ එක් පාර්ශ්වයක් විසින් පිහිටුවන ලද රුද්‍රකුමාරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ඊලාම් පාරජාතික ආණ්ඩු ව්‍යූහයට ඉදිරියට යන්නට අවස්ථාවක් ලැබුණේ නැත. එහි ඊනියා මන්ත්‍රීන්ට කිසිදු සමාජ පිළිගැනීමක් නැත.

දෙමළ ඩයස්පෝරාව සමග ඍජුව අන්තර්ක්‍රියා කිරීමෙන් ජාතිවාදී ප්‍රවණතා වෙනුවට සාමූහිකත්වය ප්‍රවර්ධනය කරන්නට පුළුවන. මේ සිදු වී තිබෙන්නේ බලය බෙදා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් නො වන බව ද, සිදු වෙමින් තිබෙන්නේ සුහදතාව වර්ධනය කර ගැනීම බව ද අප වටහා ගත යුතු ය.

මේ වන විට දෙමළ ජාතිවාදී සන්නද්ධ අරගලයකට ලංකාවේ භූමියේ ඉඩක් නැති තරම් ය. යම් හුදකලා ත්‍රස්තවාදයකට අවකාශයක් ඇතත්, පැතිරුණු සන්නද්ධ අරගලයක් ගැන නම් හිතන්නටවත් බැරි ය. ලංකාවේ දෙමළ ජනයාට තම ජාතිය ගැන හැඟීම් තිබෙන මුත් ඔවුන්ට යළි යුද්ධයක පැටලීමේ කිසිදු උවමනාවක් නැති බව පැහැදිලි ය. 

දෙමළ සමාජයට මූලික වන්නේ යුද්ධයෙන් විනාශ වූ තම ජන ජීවිත යළි ගොඩනගා ගැනීම සහ ආර්ථික හා සමාජ සංවර්ධනය මිස ජාතිවාදය නො වේ. එහෙත්, සිංහල ජාතිවාදය පවතින තාක් කල් දෙමළ සමාජය තුළ ද ජාතිවාදයට වෙළඳපොළක් සොයා ගත හැකි ය. සිංහල සමාජයේ මෙන් ම දෙමළ සමාජයේ ද ජාතිවාදය ඔස්සේ බලය ගොඩනගා ගැනීමට උත්සාහ කරන කපටි අවස්ථාවාදීහු සිටිති. 

සිංහල සමාජයට ද ජාතිවාදයෙන් කිසිදු යහපතක් අත් කර ගත නො හැකි බවට හොඳ ම උදාහරණය යුද්ධයෙන් පසු වසර පහමාරක් තිස්සේ මහින්ද රාජපක්ෂ පාලනයේ පැවති අසාර්ථකත්වයයි. යුද්ධයෙන් පසු ජාතිවාදය විසින් සිදු කළේ ඉන් පෙර ගොඩගසන ලද ජාතිවාදී වසුරු ගොඩ නැවත වතාවක් ජාතිවාදයෙන් ම අයිසිං කිරීම පමණි. 

ඩයස්පෝරාව සමග අන්තර්ක්‍රියාකාරිත්වයක් ගොඩනගා ගැනීම යනු අපෙන් දුරස්ථ වී සිටි අපේම සහෝදර ජනතාවක් සමග යළි සම්බන්ධ වීම මිස වෙනත් අපභ්‍රංශයක් නො වේ. එහි කිසිදු වරදක් නැත. එම අන්තර් ක්‍රියාකාරිත්වය ඔස්සේ අපට සිංහල හා දෙමළ ජාතිවාදී ප්‍රවණතා පරාජය කළ හැකි ය.  අප උත්සාහ කළ යුත්තේ ඒ වෙනුවෙනි. එසේම ජාතිවාදී ප්‍රවණතා පරාජය කිරීමට වෙනත් මාර්ගයක් නැති බව ද අවධාරණය කළ යුතු ය. 

දෙමළ, සිංහල සමාජයන් යළි එක්සත් කිරීමේ උත්සාහයන් නො ගෙන ඒ සමාජයන් දෙක අතර තිබෙන දුරස්ථභාවය නඩත්තු කිරීමෙන් ලංකාවට කිසිදු යහපත් ප්‍රතිඵලයක් අත් වන්නේ නැත. 

ඩයස්පෝරාව සමග කටයුතු කිරීම සංහිඳියාව සඳහා අවශ්‍ය පියවරකි. එසේම, එය සංවර්ධනයට ද ඉවහල් කර ගත හැකි ය. විවිධ හේතු මත ලංකාවෙන් බැහැර වූ ජනයාට සිය ධනයෙන්, දැනුමින්, කුසලතාවලින් රටේ සංවර්ධනයට දායක වන්නට අවස්ථාවක් ලබා දිය හැකි ය. ඒ සඳහා සතුටින් ඉදිරිපත් වීමට කැමති මිනිසුන්ට පිළිගැනීමක් ලබා දිය යුතු ය. 

දැන් මේ ප්‍රගතිශීලී පියවර දඩ මීමා කරගෙන යළි සිය පටු ජාතිවාදී අවස්ථාවාදී ව්‍යාපෘතිය යළි ඉදිරියට ගැනීමට ජාතික හෙළ උරුමය හා මහින්ද රාජපක්ෂ පසුපස යන ජාතිවාදී බලවේග පොරකන්නට පටන් ගෙන තිබේ. 

මේ කුමන තුප්පහිකමක් ද? මොවුන් මේ ජාතිවාදයෙන් මිදෙන්නේ කවදා ද? ඔවුන් රටට කරන විනාශය ජනතාව තේරුම් ගන්නේ කවදා ද? 

ජනතාව නො මග යවමින් පටු ජනප්‍රියත්වය වෙනුවෙන් කරන මේ ජරා ක්‍රීඩාව මොවුන්ට ඇති වන්නේ නැද්ද? මොවුන්ට තමන්ගේ බල ව්‍යාපෘති හැර රට ගැන අන් කිසිදු හැඟීමක් තිබේ ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දෙමළ ඩයස්පෝරාව ඇතුලු අනෙකුත් දෙමළ සංවිධාන සමග සාකච්ඡා කළ යුතු බව දැක්වෙන්නේ මහින්ද විසින් පත් කළ LLRC කමිටු වාර්තාව විසිනි.

    ReplyDelete
  2. කුමන සාකච්ඡා පැවැත්වුවද දෙමළ ඩයස්පෝරාවේ අවසන් අරමුණ වන්නේ ඊළාම් රාජ්‍යය ගොඩනැගීමය. පැරාලා කෙතරම් සුදු හුණු ගෑවද ඔවුන් සිය අවසන් අරමුණින් බැහැර වන්නේ නැත. මේ පිළිබද වැඩිදුර කතාකිරීමේ තේරුමක් ද නැත. සිදුවන දේ ඉදිරියේදී සිදුවනු ඇත.

    ReplyDelete
    Replies
    1. මෝඩයා.. 'දෙමල ඩයස්පෝරාව' කියන්නේ මොකක්ද කියලා අධ්‍යනය කරලා හිටපන්..
      හෑම දෙමල ඩයස්පෝරා සාමාජිකයෙක්ම කොටියෙක් හෝ බෙදුම්වාදියෙක් නෙමේ

      Delete
  3. LLRC කමිටු වාර්තාව කියන්නේ මහින්ද අනිවාර්යයෙන්ම කරන දෙයක්ද?

    ReplyDelete
  4. http://sinhala.lankanewsweb.net/news/17450-2015-06-23-10-42-08

    මොවුන්ට මරණය තෝරාගන්නට සැලසු විමලසිරි ගම්ලත් ලා අද අසුරයන් සමග සුරසැප විඳිති.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා