ඡන්දෙට පෙර විස්ස දියව්!

මේ දිනවල රටේ සිදු වන දේශපාලනික සංවර්ධනයන් ඔස්සේ සිවිල් සමාජයත්, දේශපාලන පක්ෂත් අතර වෙනස ඉතා පැහැදිලිව සලකුණු වෙමින් තිබේ. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු සමාජයේ පුළුල් කතිකාවකට ලක් වූ යෝජනා මාලාවකි. රාජපක්ෂ පවුල වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග අතළොස්සක් හැර මේ රටේ බහුතරයක් දේශපාලනඥයන් හා බුද්ධිමත් ඡන්දදායකයන් අතර දහනමයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා ගැන පුළුල් එකඟත්වයක් තිබිණි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට නො වේ නම්, එහි අත්තනෝමතික බලතල අවම කිරීම සම්බන්ධයෙන් සමාජයේ එකඟතාවක් තිබිණි. ස්වාධීන කොමිෂන් ඔස්සේ අධිකරණය, පොලිසිය, රාජ්‍ය සේවය ස්වාධීන කිරීම සම්බන්ධයෙන් ද, දූෂණය නැති කිරීම හා නීතියේ ආධිපත්‍යය පිහිටුවීම සම්බන්ධයෙන් ද සමාජයේ පොදු එකඟතාවක් තිබිණි. සිවිල් සමාජය මේ වෙනුවෙන් වූ අරගලයට උර දුන් අතර, අවසානයේදී එය හිටපු ජනාධිපතිවරයාගේ තුන්වන වර තේරී පත්වීම වැළැක්වීමට හා අලුත් ජනාධිපතිවරයකු පත් කර ගැනීම ඔස්සේ මෘදු ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක් දෙසට ද යොමු විය.

ජනවාරි 8දා මුල පුරන ලද විප්ලවය සත්තකින් ම දේශපාලන පක්ෂවලට වඩා සිවිල් සමාජය බලවත් වීමෙන් ඇති කරන ලද්දක් ලෙස සැලකීමෙහි වරදක් නැත. මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන් වී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව තරග කිරීමේ තීරණාත්මක අභියෝගය භාර ගැනීමට පෙළඹුණේ ද, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති තරගයෙන් ඉවත් වී මෛත්‍රීපාල සිරිසේනට එම අවස්ථාව ලබා දුන්නේ ද පක්ෂ දේශපාලනය ඉක්මවා ක්‍රියාත්මක වූ මෙම සිවිල් සමාජ දේශපාලන ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙසයි.

එහෙත්, දහනමය ඇත්තෙන් ම ක්‍රියාත්මක කරන්නට කටයුතු කරද්දී නැවතත් පක්ෂ දේශපාලනයේ, පවුල්වාදයේ හා පසුගාමිත්වයේ බලපෑම ඉස්මතු විය. ප්‍රජාතාන්ත්‍රිකයකු ලෙස එක් කලෙක කීර්තියක් දිනා සිටි මහාචාර්ය ජී.එල්. පීරිස් හා පාර්ලිමේන්තු කේන්ද්‍රීය දේශපාලනය පිළිබඳ හසලයකු වූ දිනේෂ් ගුණවර්ධන වැනි අය යූ අකුරේ හැඩයට ආපසු හැරෙමින් මහින්ද රාජපක්ෂගේ ප්‍රතිගාමී දේශපාලන අරමුණු සමග එක් වූ ආකාරය මේ සඳහා කදිම නිදසුනක් ලෙස සැලකිය හැකි ය. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දීප්තිය හැකි තරම් අඩු කරන්නට මෙම ප්‍රතිගාමී බලවේග උපරිමයෙන් දායක වූ හ. ඒ වනාහි පවත්නා දේශපාලන ව්‍යූහය හා සිවිල් සමාජය අතර වෙනස පෙන්නුම් කළ එක් අවස්ථාවකි.

දැන් මේ වෙනස පෙන්නුම් කරන තවත් අවස්ථාවක් උදා වී තිබේ. ඒ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙනි. වසර 35කට වැඩි කාලයක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වූ සමානුපාතික හා මනාප ඡන්ද ක්‍රම ඔස්සේ නැවත වතාවක් මැතිවරණයක් නො පැවැත්විය යුතු බවට සිවිල් සමාජය ප්‍රබල හඬක් නගමින් සිටියි. මේ වන විට 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් කෙටුම්පත් කර ද තිබේ. එහෙත් ඒ හා සම්බන්ධ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල උනන්දුව ප්‍රමාණවත් නැත.

පසුගිය දශක තුනක අත්දැකීමෙන් පෙන්නුම් කරන දෙයක් වන්නේ සමානුපාතික නියෝජනය හා මනාප ක්‍රමය ලංකාවට නො ගැලපෙන බවයි. 2010 මහ මැතිවරණය වන විට තත්වය කෙතරම් නරක අතට හැරී තිබුණා ද යත්, එක්තරා මාධ්‍ය ආයතනයක් ද එම මැතිවරණයට තරග කළේ ය. පක්ෂවලට ප්‍රචාරය ලබා දීම වෙනුවෙන් අල්ලස් ලෙස අපේක්ෂකත්වයන් ලබා ගත් අතර, තමන්ගේ අපේක්ෂකයන් වෙනුවෙන් වැඩි ප්‍රචාරයක් ලබා දී ඔවුන් මැතිවරණයෙන් ජයග්‍රහණය කරවා ගන්නා ලදී. එසේ පාර්ලිමේන්තුවට පත් වූ මාධ්‍යකරුවෙක් තමන්ට ඡන්දය දුන් පාක්ෂිකයන්ට පැය ගණනාවක් ඇතුළත පිටුපාමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එකතු වූයේ ය. මෙකී මාධ්‍ය ආයතනය නැවතත් සිය සුපුරුදු සෙල්ලම ආරම්භ කර තිබේ. ඔවුන්ගේ නියෝජිතයෝ දේශපාලන පක්ෂ ගණනාවක් ඔස්සේ මීළඟ මහ මැතිවරණය වෙනුවෙන් සූදානම් වෙමින් සිටිති. දවල්ට පාර්ලිමේන්තු යන ඔවුහු හැන්දෑවට මාධ්‍ය ආයතනයේත්, රෑ දෙගොඩහරියේ දේශපාලන නායකයන්ගේ අගුපිල්වලත් ලගිති. මේ වනාහි ගමේ චණ්ඩියා හා බල්ලන් මරා හෝ සල්ලි සොයා ගත් ලොකු ම ධනවතා පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමේ ක්‍රමයේ එක් කූටප්‍රාප්තියකි.

ප්‍රධාන දේශපාලන පක්ෂ කිසිවක් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන උනන්දුවක් දක්වන්නේ නැත. ජනාධිපතිවරයා පවා පසුගිය සමයේ සිටියේ ඒ වෙනුවෙන් දේශපාලන පක්ෂවල සහයෝගය ලබා ගැනීම දුෂ්කර වනු ඇත යන ස්ථාවරයේ බව දැනගන්නට ලැබිණි. එහෙයින් නැවත වතාවක් පවත්නා ක්‍රමය යටතේ ම මහ මැතිවරණයක් පවත්වා, තේරී පත් වන මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබාගෙන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබිණි. මෙහිදී එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් ක්‍රමයකට හැඩගැසීමට තදබල අකැමැත්තක් දක්වන බව පෙනේ. මෙම පක්ෂවල වත්මන් සංවිධාන ව්‍යූහයන් නිර්මානය වී තිබෙන්නේ මනාප ක්‍රමය ඔස්සේ ඉදිරියට ආ පුද්ගලයන්ගෙන් වීම එයට ප්‍රධාන හේතුවයි. ඔවුන් දේශපාලනය ලෙස තේරුම් ගන්නා දෙයත්, නවීන ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණත් අතර සැලකිය යුතු පරතරයක් තිබේ.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා අනුව පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වන අතර සුළු පක්ෂ හා සුළුතර ජාතීන්ට අසාධාරණයක් වන්නේ නැත. එසේම, කාන්තා නියෝජනයට වැඩි අවස්ථාවක් ලබා ගැනීමේ හැකියාව ද එහි තිබේ. හොඳම තරගයක් දුන් පරාජිතයන්ට ද පාර්ලිමේන්තුවට තේරී පත් වීමේ අවස්ථාව හිමි වේ. ආසන නියෝජිතයෙක් තේරී පත් වන නිසා මන්ත්‍රීවරුන්ගේ වගවීම සම්බන්ධ තත්වයන් ද වඩා හොඳ පැත්තට වෙනස් වේ. කලුතරින් පාර්ලිමේන්තුවට පත් වී කලුතර පැත්ත පළාතේ නො එන අර්ජුන රණතුංග වැනි දේශපාලකයන්ගේ ඒ ඔස්සේ බිහි වන්නේ නැත. මෙහි තිබෙන හොඳම දෙය වන්නේ මහා ධන කුවේරයන් හා චණ්ඩින් වෙනුවට වෘත්තීය දේශපාලනඥයන්ට පාර්ලිමේන්තුවට තේරී පත් වන්නට අවස්ථාවක් මේ ඔස්සේ උදා කර ගැනීමට හැකි වීමයි. නව ක්‍රමය අනුව මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම මාස කීපයක් තුළ සිදු කළ හැකි බව විශේෂඥයෝ පවසති. ගැටලු මතු විය හැකි ය. එහෙත්, ඒ ගැටලු ඊළඟ මහ මැතිවරණයකට පෙර විසඳා ගැනීමට පුළුවන. දැන් තිබෙන මූලික ගැටලුව වන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. ඒ ඔස්සේ මහජන නියෝජනය විධිමත් කර ගන්නට පුළුවන. එය සුවිසල් සමාජ ජයග්‍රහණයකි. ඒ සඳහා අතේ තිබෙන අවස්ථාව ඉවත දැමිය යුතු නැත.

එහෙත්, මේ අතරතුර රටේ දේශපාලන පක්ෂවල අවධානයට යොමු වී තිබෙන්නේ ඉදිරි මහමැතිවරණය ජයගන්නා ආකාරය පමණි. එ් වෙනුවෙන් උපායමාර්ග තෝරාගන්නා ආකාරය හා සන්ධාන ගොඩනගා ගන්නා ආකාරය කෙරෙහි අවධානය යොමු කරන ඔවුහු 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නො තකා හරින්නට උත්සාහ කරති.

රාජපක්ෂ පවුලේ ප්‍රතිගාමී අරමුණු නැවත වතාවක් සමාජයට සුවිසල් බලපෑමක් කිරීමට සමත් වී තිබේ. ඔවුන්ගේ මූලික අවශ්‍යතාව වී තිබෙන්නේ තමන්ටත්, තමන්ගේ ගෝලබාලයන්ටත් එල්ල වන දූෂණ චෝදනා වළක්වා ගැනීමයි. ඒ වෙනුවෙන් දූෂණ චෝදනා තිබෙන වෙනත් දේශපාලනඥයන් සමග හා ජාතිවාදයට, ඒකාධිපතිවාදයට ලොල් පිරිස් සමග සන්ධාන නිර්මානය වෙමින් තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ රාජපක්ෂ පවුල විසින් ඇති කරන ලද දූෂිත ක්‍රමයේ බලපෑම මුල් බැස තිබේ. ඒ නිසා ජනවාරි 8දා ඇති කරන ලද වෙනසට වඩා තවමත් පක්ෂය තුළ නැඹුරුව තිබෙන්නේ සුපුරුදු දූෂිත දේශපාලනයට ය.

මෙම සංදර්භය තුළ ජනවාරි 8 ඉලක්ක මත ශ්‍රීලනිපය දෙකඩ විය යුතු ය. එය සමාජය විෂයෙහි ප්‍රගතිශීලී ඛණ්ඩනයකි. මහින්ද රාජපක්ෂ කෙතරම් විශාල පංගුවකට උරුම කියනවා ද යන්න මෙහිදී එතරම් වැදගත් වන්නේ නැත. කෙතරම් විශාල වුවත්, දූෂණයට පක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි, රාජාණ්ඩුවාදී, ඒකාධිපති බලවේගයකට ලංකාවේ ස්ථිර පැවැත්මක් නිර්මානය කර ගත නො හැකි ය. ඔවුන්ට ද එක්කෝ වෙනස් වන්නට හෝ නැතිනම් ස්වාභාවික විනාශයක් තෝරා ගන්නට සිදු වනු ඇත.

මෙට්ටය මත තබන්නට බැරි කූඩැල්ලන් වැනි වූ ශ්‍රීලනිපයේ ඉදිරි පෙළ නායකත්වයට මහින්ද සමග එක් වන්නට ඉඩ දී, සාපේක්ෂව දුබල වුවත්, ප්‍රජාතන්ත්‍රවාදී, නවීන ශ්‍රීලනිපයක් නිර්මානය කරන්නට නායකත්වය දීමේ හැකියාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ තිබේ. ඒ නිමල් සිරිපාලලා සේ කුමන හෝ ආකාරයකින් ආණ්ඩුව පෙරළා බලය අල්ලා ගැනීමට ප්‍රමුඛත්වය දීමෙන් හා ඒ ඔස්සේ දූෂණ විමර්ශන වළක්වා ගැනීමෙන් නො වේ. එහෙමත් නැතිනම් එක්සත් ජාතික පක්ෂය සේ වත්මන් සමානුපාතික ක්‍රමයෙන් පැරණි දූෂිත ආකාරයට ම මීළඟ මහමැතිවරණයට මුහුණ දෙන්නට සූදානම් වීමෙන් නො වේ. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ නවීන තත්වයන්ට හැඩගැසීමෙනි. මෙය සෙසු දේශපාලන පක්ෂ විසින් ද තේරුම් ගත යුතුව තිබෙන තත්වයකි.

සිවිල් සමාජ බලවේග නැවත වතාවක් ප්‍රබල මැදිහත්වීමකට මුල පුරා තිබේ. ඒ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවධාරණය කිරීම ඔස්සේ ය. මේ මොහොතේ ජනතාව බලමුළුගැන්විය යුත්තේ පැරණි ස්වරූපයෙන් පක්ෂ දේශපාලනය මත පදනම් වූ මහ මැතිවරණයකට යන්නට නො වේ. මැතිවරණ ක්‍රමය වෙනස් කරමින් මහජන නියෝජනයේ ගැඹුරු වෙනසක් ඇති කරන්නට ය. එය අදම කළ යුතු ය. මේ අධම ක්‍රමයට හෙටක් අවශ්‍ය නැත.

මේ ලිපිය වෙනත් අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද  ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හැම දෙනාම මහත් සැලකිල්ලෙන් කියවිය යුතු ලිපියකි. //ජනවාරි 8දා මුල පුරන ලද විප්ලවය සත්තකින් ම දේශපාලන පක්ෂවලට වඩා සිවිල් සමාජය බලවත් වීමෙන් ඇති කරන ලද්දක් ලෙස සැලකීමෙහි වරදක් නැත.// මේ එහි වැදගත්ම කොටසයි. ඇත්තෙන්ම ඇතිකෙරෙන වෙනස්කම් කිසිවකට කිසිම පක්ෂයක් අවංකව කැමති බවක් නොපෙනේ. ජනවාරි 9 වනදාම පටන්ගතයුතුව තිබූ 19 හා 20 න් අපේකෂීත වෙනස්කම් මෙතරම් ඇදී ගියේ ඒ නිසාය. 20 ඔය තියන තරමින් හෝ දේවිද නොදේවිද යන්න සිවිල් සමාජයට තවමත් විශ්වාසයක් නොමැත. නැවතත් කමිටු පත්කරමින් උත්සාහ කරන්නේ රටට මොනව උනත් එයින් තමන්ගේ පක්ෂයට සිදුවන වාසි අවාසි කිරිබැලීමට හා අවශ්‍ය වෙනස් කම් ඇති කර ගැනීම සම්බන්ධවය. වදෙන් පොරේන සම්මත කර ගත්තත් ඔවුන් මනාප ක්‍රමය මේ වතාවට හෝ තබා ගැනීමට වලිකන බවද නිසැකය. මේ අවස්ථාවේ සිවිල් සමාජය අසරණ නොවී අවශ්‍ය වෙනස්කම් ඇති කරා ගැනීම සඳහා බල කිරීමේ ව්‍යාපාරය තවතවත් ශක්තිමත් කළයුතුය. මේ සඳහා යම්තරමකින් හෝ සාහාය වනු ඇතැයි සිතූ දේශපාලන පක්ෂ අතර ජ‍ේවීපිය පවා සිවිල් සමාජයේ බලාපොරොත්තු වෙනුවෙන් පෙනී සිටින බවක් නොපෙනේ.

    ReplyDelete
  2. මං හිතන්නේ මේ තීරණ ගැනීම මන්ත්‍රීලාට බාර දීම නරින්ට කුකල් කොටුව දුන්නා වාගේ සිද්ධියක්. බහුතර සංවිධාන සහ උනන්දුවක් ඇති සිවිල් පුද්ගලයින්ට සහභාගි විය හැකි ක්‍රියාවලියකින් අනතුරුව ගෙනෙන යෝජනා ජනමත විචාරණයකින් සම්මත කර ගැනීම අවශ්‍යයි.

    ReplyDelete
  3. සිරස වටේ අත දාන්නේ නැතුව සිරසට සිරස කියලම කිව්වනම් ඉවරයිනේ ලොක්කා.

    ReplyDelete
  4. රයිකොලොජිස්ට් කරන ප්‍රකාශය තමයි හරියටම හිරියන විදිහ.
    ඒත් එහෙම දෙයක් කරන්නත් ඔය කියන හිවල්ලුම ඕන නේ. එහෙම දුන්නත් ඔය හිවල්ලු සිවිල් සමාජය නොමග යවල තමන්ට ඕන තැනට ගෙනේවි. මෙච්චර කල් පක්ෂ විදිහට සංවිධානය වුන හිවල්ලු කළ දේවල් බැලුවාම පෙනෙන්නේ “උන් පස්සේ කරාවි යයි සිතූ දේවල් ගැන විශ්වාසය හැම විටම පළුදු කළ බවයි. මේ විදිහට හැම පක්ෂයක්ම සිවිල් සමාජයේ විශ්වාසය පළුදු කරගත්තොත් රට බොහොම භියජනක තැනකට තල්ලු වෙන්න පුළුවන්. ව්‍යවස්ථාදායකය, විධායකය පමණක් නොවෙයි අධිකරණය ගැන පවා සිවිල් සමාජයේ විශ්වාසය දෙදරායමින් තිබෙන බවට ඊයේ කොටකෙතන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන් බව උදාහරණයක් නොවන්නේ දැයි විමසිය යුතුව පවතී.

    ReplyDelete
  5. හොද ලිපියක්. ඒ වගෙම පලමු ඇනො සමග එකගයි. ජෙ වි පෙ පවා සිවිල් සමාජය බලාපොරොත්තු වන 20 වන සංශෝධන යට සහය දෙන බවක් නොපෙනේ. පක්ෂයක් ලෙස තමන්ට කොතරම් අවාසි උවත් දැනට එයට සහය දෙන්නේ චම්පික හා රතන හිමි පමණි.

    ReplyDelete
  6. //පක්ෂ විදිහට සංවිධානය වුන හිවල්ලු කළ දේවල් බැලුවාම පෙනෙන්නේ “උන් පස්සේ කරාවි යයි සිතූ දේවල් ගැන විශ්වාසය හැම විටම පළුදු කළ බවයි.// සම්පූර්ණයෙන් එකඟයි, අත්තනෝමතික ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීම ගැන ගෝලයෝ වන්ද්‍රිකාටත්, මහින්දටත් බෝලේ පාස් කරාට උන් තමයි හැමදාමත් අත්තනෝමතික ජනාධිපතික්‍රමය වඩ වඩාත් සවිමත් කරේ. ඡන්ද කිට්ටුවෙනකොට එලියට බැහැලා ජනතාව ආයෙත් රවටනවා, මහින්ද ගේ නාඩගමේ හොඳ තමයි දැන් හැමෝටම හෙළු බැල්ලෙන් රඟන්න සිඳුවීම. සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ වගකීම වෙන්නේ හෙළුවැල්ලේන් රඟනඋන් හෙලිදරව් කිරීම.

    ReplyDelete
  7. රටේ දැනට ඉතිරිවී ඇති නවීන ප්‍රජාතාන්ත්‍රීය පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි...
    රාජපක්ෂවාදී ශ්‍රිලනිපයත් සමග 20 සම්මත කරගන්නට යෑම නොකෙරෙන වෙදකමකි...
    වහාම පාර්ලිමේන්තුව විසුරුවා මහා මැතිවරනයක් ප්‍රකාශයට පත් කරන්න.. ඊට පසු බිහිවෙන රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු එජාප රජයක් 20 සම්මත කරගෙන ඉදිරි වසර 10 ඇතුලත නවීන ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් ගොඩනගනු ඇත..

    ReplyDelete
  8. ඇලෙක්ස් ඩිලාජ්June 18, 2015 at 9:07 AM

    20 යනු කිසිවෙකුට අනවශ්‍ය සංශෝධනයක් බවට පත්ව ති‍බේ

    ඒ ඇයි ? පසුගිය මැතිවරණ සලකා බලන්න - බොහෝ මැතිවරණ වලදී ශ්‍රිලනිපයට අවාසි තත්ත්ව ය‍ටතේ පවා බහුතර ආසන දිනාගැනීමට සමත් වූයේ ශ්‍රිලනිපයයි - එම නිසා ඔවුන් මෙයට කැමතිය - කොළඹ, මහනුවර ආදි නාගරික ප්‍රදේශ හා ඇතැම් සුළු ජාතීන් බහුල ප්‍රදේශවලින් කප් ගහන යූ එන් පි යට මේ අළුත් ක්‍රමය ආවොත් හොදිත් නැතිවේ - සුළු පක්ෂවලටද එසේමැයි
    ඉදින් 20වැනි සංශෝධනය අවසන් වන්නේ මහින්ද මහත්තයා බලයට පැමිණීමෙනි :p

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා