කසල ප්‍රශ්නය විසඳා ගැනීම යනු කුණු ටික තමන්ගේ පරිසරයෙන් ඈත් කර කොයි ලෝකෙකට හෝ පැටවීම නො වේ

ඡායාරූපය පුබුදු ජයගොඩගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී
කොළඹ මහා කුණු කන්ද ඉවත් කරන්නැයි මීතොටමුල්ලේ ජනතාව ඊයේ උද්ඝෝෂණයක් කළ හ. 

එහිදී මහාමාර්ගයට හානි වන පරිදි ටයර් පිළිස්සීමක් ද සිදු කරන ලදී. පාරේ ටයර් පිළිස්සීම යනු පොදු දේපලක් වන මහාමාර්ගයට බරපතල හානි සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියාවකි. එහෙයින් ජනතාව උද්ඝෝෂණවලදී ටයර් පිළිස්සීම නො කළ යුතු අතර, එසේ කරන්නන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ ක්‍රියා කළ යුතු ය. 

මීතොටමුල්ලේ උද්ඝෝෂණයට පොලිසිය පහර දුන්නා යයි හඬා වැළපෙන, ඒ ගැන කතා කරන්නේ නැතැයි අනෙක් අයට දොස් පවරන, පොදු මහජන උද්ඝෝෂණයක අයිතිය තම භුක්තියට ලියා ගන්නට සැරසෙන අය මෙම ප්‍රචණ්ඩත්වයේ වගකීමත් පිළිගන්නට සූදානම්දැයි අපි නො දනිමු. 

කෙසේ වෙතත්, කසල ප්‍රශ්නය කොළඹ පමණක් නොව, මුළු ලංකාවේ ම බරපතල ප්‍රශ්නයකි. මේ වනාහි දීර්ඝ කාලයක් තිස්සේ නො විසඳීමෙන් උග්‍ර වී ඇති බරපතල ප්‍රශ්නයක් වන අතර, එය දින සීයෙන් විසඳිය හැක්කක් ද නො වේ. 

එක තැනක ගොඩගසන කුණු තව තැනකට ගෙන ගොස් දැමුවා ය කියා ද මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.  

කසල බැහැර කිරීම යනු බරපතල සංස්කෘතික ගැටලුවක් ලෙස ද විග්‍රහ කළ හැකි කාරණයකි. ලාංකිකයන් වැඩිදෙනෙකුට කසල යනු කුමන හෝ ආකාරයකින් තමන්ගේ පෞද්ගලික සීමාවෙන් බැහැර කර ගත යුතු දෙයක් පමණි. 

ටොෆිය කා කොළය බිම දමන, ගෙදර කුණු ටික ෂොපිං කවරයක දමා ගෙනැවිත් පාර අයිනට විසි කරන, සමස්ත වායුගෝලයට ම පිළිකාකාරක මුදා හරින සේ පොලිතින් හා ප්ලාස්ටික් ගිනි තබන, තැන නො තැන නො බලා කෙළ ගසන, පොදු වැසිකිළිය අපිරිසිදු කරන, විරෝධය පළ කිරීම සඳහා පාරේ ටයර් පුළුස්සා පොදු දේපලක් වන මහාමාර්ගයට හානි කරන, පොදු මහජන ප්‍රශ්නවලින් දේශපාලන වාසි ගන්නට උත්සාහ කරන, හැම රෙද්දට ම ජාතිවාදය පටලවා ගන්නා විනයක් නැති ජනතාවක් වාසය කරන රටක මෙම ප්‍රශ්නය විසඳීම පහසු නැත. 

මා ජීවත් වන නගරයේ ප්‍රාදේශීය සභාව කසල ප්‍රශ්නයට අපූරු විසඳුමක් ගෙනැවිත් තිබේ. ඒ අනුව, නගරයේ කසල බඳුන් කිසිවක් නැත. සියලු කුණු ඒවා රැගෙන යන්නට යම් යම් වෙලාවලට එන කුණු ට්‍රැක්ටරයට භාර දිය යුතු ය. නගරයට එන මිනිසුන් රැගෙන එන කුණු ඔවුන් ගෙදර ගෙන යා යුතු ය. එහෙත්, ගම්වලට කුණු ට්‍රැක්ටරය යන්නේ ද නැත. ඒ කියන්නේ නගරයට එන පොලිතින් ගම්වල ම ගොඩගැසිය යුතු ය. මේ ක්‍රමය දැන් වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වේ. නගරය දැන් ඉස්සරටත් වඩා අපිරිසිදු ය. හැබැයි පළාත් පාලන ආයතනයට ලෙහෙසි ය. 

කසල බැහැරකරණය පිළිබඳ ප්‍රශ්නය ලංකාවේ ආණ්ඩුව විසින් ආමන්ත්‍රණය කළ යුතුව තිබෙන බරපතල ම ප්‍රශ්නවලින් එකකි. එහෙම කියලා කසල බැහැර කිරීම හැදෑරීම සඳහා ඇමතිවරුන්, නිලධාරීන් හා පළාත් පාලන ආයතන සභාපතිවරුන් පිටරට චාරිකා සඳහා යැව්වා කියා ද මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත. 

කසල බැහැර කිරීමේදී ජනතාව වගකීම්සහගත වීම ඉතා වැදගත් ය. විශේෂයෙන් ම පොලිතින්, ප්ලාස්ටික් වැනි නො දිරන ද්‍රව්‍ය භාවිතා කිරීමේදී ජනතාව සකසුරුවමින් කටයුතු කළ යුතු ය. ගිනිිපෙට්ටිය පවා ෂොපිං බෑග්වල දමා විකුණන සුපිරි වෙළඳසැල් ද කසල බැහැර කිරීමේ ක්‍රියාවලිය සමග සම්බන්ධ කර ගත යුතු ය. තමන් නිකුත් කරන පොලිතින් හා ප්ලාස්ටික් ආපසු ලබා ගත යුතු බවට ඔවුන්ට නීති පැනවිය යුතු ය. 

පොලිතින් හා ප්ලාස්ටික් වනාහි ඇසුරුම් කර්මාන්තයේ දියුණු අවස්ථාවක් නිසා පත්තර කඩදාසියට, හබරල කොළයට, කාඩ්බෝඩ් පෙට්ටියට මේ රට ආපසු යනු ඇතැයි බලාපොරොත්තු විය යුතු නැත. ඒ වෙනුවට කළ යුතුව තිබෙන්නේ කසල කළමනාකරණය විධිමත් කිරීමයි. 

ප්‍රතිචක්‍රීයකරණය කර්මාන්තයක් ලෙස දිරිගැන්විය යුතු ය. දැනටත් යකඩ ප්‍රතිචක්‍රීයකරණය දියුණු කර්මාන්තයක් ලෙස ලංකාවේ සිදු වේ. එහෙත්, ඒ හා සම්බන්ධ පාරිසරික ගැටලු ද රැසක් තිබේ. නිදසුනක් ලෙස වැලිපැන්න ප්‍රදේශයේ පිහිටුවා තිබෙන මෙල්වා කර්මාන්තශාලාවට එරෙහිව ඒ පැත්තේ ජනතාව උද්ඝෝෂණය කරන්නේ එයින් සිදු වන පාරිසරික හානිය නිසා ය. 

වීදුරු, ප්ලාස්ටික්, කඩදාසි වැනි ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි බොහෝ දේ සම්බන්ධ කර්මාන්තවලට සහනාධාර පිරිනැමීම හා එම කර්මාන්ත නිසි පරිදි නියාමනය කිරීම ඔස්සේ කසල බැහැර කිරීම සඳහා වැය වන මහජන මුදල් අවම කර ගන්නට පුළුවන. 

නිවසේ කසල ඇසුරින් කොම්පෝස්ට් නිපදවාගෙන ගෙවතු වගා සඳහා යොදා ගැනීම සඳහා ජනතාව දිරිගැන්විය හැකි ය. මේ සඳහා ජනතාව දැනුවත් කරන වැඩසටහන් ඕනෑතරම් කෘෂිකර්ම අංශ විසින් දියත් කර තිබේ. එහෙත්, එක් මූලික ප්‍රශ්නයක් ගැන ඔවුන්ට අවබෝධයක් නැත. ඒ වනාහි නාගරික ජනතාවට ගොම සොයා ගැනීම දුෂ්කර බවයි. බොහෝ විසඳුම් ප්‍රායෝගික නො වන්නේ මෙවැනි සුළු කාරණා නිසා ය. 

කසල ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා උද්ඝෝෂණ කිරීම පමණක් ප්‍රමාණවත් නො වේ. මන්ද, කසල ප්‍රශ්නය විසඳා ගැනීම යනු කුණු ටික තමන්ගේ පරිසරයෙන් ඈත් කර කොයි ලෝකෙකට හෝ පැටවීම නො වේ.

මේ ආකල්පය නිසා දැන් අභ්‍යවකාශයත් හැඩි වී තිබේ. පෘථිවියට ආසන්නයේ කක්ෂවල ඇති චන්ද්‍රිකා විසින් මුදා හරින ලද අපද්‍රව්‍ය නිසා දැනටමත් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා තිබෙන අභ්‍යවකාශ යානාවලට තර්ජන ඇති වී තිබේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පළාත් පාලන ආයතන පවා බොහෝ වෙලාවට කසල බැහැර කරනවා කියලා කරන්නේ කුණු ටික ගෙනත් කොහේ හරි කැලෑවකට,ඉඩමකට අතාරින එකනේ.

    මේ රට හදන්න බෑ පැරා. කකා වගේ වෙන රටකට ගිහිං මෙහෙ උන්ට ඔච්චම් කර කර වත් ඉන්න බලන්න. නිකං මේ කවදාවත් වෙනස් කරන්න බැරි,ආපස්සටම යන රටක වෙනුවෙන් පැරාගේ කාලය ශ්‍රමය වැය කරන්න එපා. පැරාගේ ලමයිටත් අනාගතයක් නෑ මේකේ ඉදලා.

    ReplyDelete
  2. ලිපිය ඉතාම වැදගත් ! ඉතාම වටිනවා ! මේ ප්‍රශ්නය විසඳා ගත නොහැකි එකක් නෙවෙයි තේරුම් ගැනීම හා අවශ්‍ය කැපවීම තිබෙනවා නම් මේක සුළු දෙයක් බව එක්තරා නගරසභාවක් පෙන්වා දී තිබෙනවා.
    බළන්ගොඩ නගරසභාව කාලයක සිටම වටිනා ව්‍යාපෘතියක් නොනවත්වා ක්‍රියාත්මක කළා. සභාපතිම පෙරමුණ අරන් දැඩි කැපවීමකින් නගරය ලස්සනට තබාගන්නටත් කසල ප්‍රතිචක්‍රීකරණයටත් මහන්සිවුන බව පෙනුනා. අවාසනාවට දැන් එය තරමක් පුස බසින බවක් මාස කීපයක සිට පෙනනවා. එම වැඩසටහන අධෛර්ය වන්නට හේතු සොයා බලා පිළියම් සැලසීමත් දිරිගැන්වීමත් එහි ආදර්ශය ලබාගන්නට මං සැලසීමත් වැදගත් විය හැකියි

    ReplyDelete
  3. පාරට හානි නොවෙන්න ටයර් පුළුස්සන විදිය ප්‍රේමදාස ජනාධිපතිගේ කාලෙ රනිල්ලා අත්හදා බැලුවා. පැරාලාට මතක ඇති

    ReplyDelete
    Replies
    1. පැරාලාට දැන් එව්වා මතක නැහැ. දැන් මෙයාලා මාර පොශ් වෙලානෙ මෙයා.

      Delete
    2. na mangala meyalata amathaka karawala karuu harahaa

      Delete
  4. මේ ප්‍රශ්ණය විසඳන්න නම් මහජනතාවගේ කැපවීමක් තියෙන්න ඕන. ඉස්සර ගෙවල්වල් කොම්පෝස්ට් වලක් අනිවාර්යයෙන්ම තිබුනා. දැන් ඉඩ තිබුනත් වලක් කපාගෙන දිරන දේවල් කොම්පෝස්ට් කරන්න උනන්දුවක් නෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා