2015-03-14

ආණ්ඩුවේ අසාර්ථකත්වය හා මාධ්‍ය බලධාරීන්ගේ අකාර්යක්ෂමතාව

මේ වන විට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙන් ම සමාජ මාධ්‍යවල ද සිංහලෙන් ප්‍රචාරය වන ප්‍රවෘත්ති හා දේශපාලන ලේඛන අධ්‍යයනය කර බැලූ විට දැකිය හැකි ප්‍රවණතා කීපයක් තිබේ.

එක පැත්තකින් හරවත් කියවීමක් සඳහා වූ ලේඛන අඩු වෙමින් තිබේ. සමාජ මාධ්‍යවල නම් තිබෙන තරමක් තිබෙන්නේ අාණ්ඩුවට පක්ෂපාත අය හා විපාක්ෂිකයෝ කරන එකිනෙකාට මඩ ගසා ගැනීම් ය. මේ දිනවල නම් ප්‍රධාන මාතෘකා වී තිබෙන්නේ එංගලන්තයේ රැජින ඉදිරියේ ජනාධිපති මැතිනිය කොන්ද නැවූ ප්‍රමාණය හා මහින්ද රාජපක්ෂ ඉදිරියේ වාසුදේව නානායක්කාර වැනි පුද්ගලයන් කොන්ද නමන ආකාරය ආදී එතරම් නොවැදගත් කාරණායි. 

මේ අතර, ප්‍රවෘත්ති ප්‍රබන්ධකරණයේ ගැටලුව බරපතල ප්‍රශ්න නිර්මානය කරයි. පුද්ගලයන් තමන්ට හිතෙන හිතලු ලියා දැමූ විට එයින් ඇති වන ගැටලු පොඩි පහේ ඒවා නොවේ. 

මෙම තත්වය ප්‍රධාන ධාරාවේ පුවත්පත්වල ද සාමාන්‍ය තත්වයක් වී තිබේ. බොහෝ ඉරිදා පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්තිය යම් යම් අනුමාන ඔස්සේ ගොඩනගා ගත් අතේ‍ රෝලකි.

වර්තමානය වන විට රාජ්‍ය පාලනය පැත්තෙන් රටේ ඇති වී තිබෙන තත්වය වික්ටර් අයිවන් විසින් හඳුන්වා තිබුණේ පූර්ණ අවුලක් ලෙසයි. මාධ්‍ය විසින් කරමින් සිටින්නේ රට අවුලෙන් අවුලට ම ඇද දැමීමයි. 

එහි වාසිය අත්පත් කර ගනිමින් සිටින්නේ චෞර මහින්ද රාජපක්ෂ පවුල නැවත ඔසවා තැබීමට තැත් දරමින් සිටින වාසු, දිනේෂ්, විමල්, උදය ප්‍රතිගාමී හවුල හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොර තක්කඩි ය.

රාජ්‍ය මාධ්‍ය විශාල ප්‍රමාණයක් මේ රටේ ඇත. එමෙන් ම රාජ්‍ය ආයතනවල දැන්වීම් ඔස්සේ පෞද්ගලික මාධ්‍යවලට සැලකිය යුතු බලපෑමක් කිරීමේ හැකියාව ද රජයට තිබේ. එවන් තත්වයක් තිබියදීත් රජයේ මාධ්‍ය ප්‍රධානීන් වෙතින් දක්නට ලැබෙන්නේ පූර්ණ අකාර්යක්ෂමතාවකි. 

අප කියන්නේ මහින්ද රාජපක්ෂ මෙන් මාධ්‍යකරුවන්ට තග දැමිය යුතු ය කියා නො වේ. එහෙත්, වැරදි වාර්තාකරණයන්, ජාතිවාදී හා ආගම්වාදී අගතීන් හා වෙනත් අවුල් සහගත තත්වයන් වළක්වා ගැනීම සඳහා මැදිහත් වීම අවශ්‍ය ය. සිතා මතා සියල්ල අවුල් කරන මාධ්‍ය පාලනය කර ගත යුතු ය. මෙය මාධ්‍ය නිදහස සමග පටලවා ගත යුතු නැත. කඩාකප්පල්කාරිත්වය නිදහස නො වේ.

දිගු කලක් තිස්සේ ප්‍රතිගාමිත්වයට සේවය කිරීම ම හුරු කරන ලද, වෘත්තිකභාවයෙන් හීන ලංකාවේ ජනමාධ්‍ය කලාව පුනරුත්ථාපනය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නො වේ. ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රධානීන්ට ඒ පිළිබඳ කිසිදු අදහසක් ඇති බව නො පෙනේ.

තනතුරු හා වරප්‍රසාද බෙදා හදා ගැනීමෙන් එහාට ගිය දේශපාලනයක් තවමත් රාජ්‍ය මාධ්‍ය තුළ සිදු වන්නේ නැත. දේශපාලනය තුළ අවුල් සහගත තත්වයක් ඇති බව ඇත්ත ය. එහෙත්, මාධ්‍ය ක්ෂේත්‍රය හසුරවන්නන් දක්ෂ නම් එම තත්වය මැද පවා රටේ න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව ඔවුන්ට තිබේ. 

මාධ්‍ය ප්‍රධානීන් පළමුව ‍දේශපාලනිකව නිරවුල් අදහසක සිටිය යුතු ය. ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ කුමක්ද යන්න ගැන ඔවුන්ට අදහසක් තිබිය යුතු ය. අපට සිතෙන අන්දමින් නම් ආණ්ඩුවේ ප්‍රමුඛතා විය යුතුව තිබෙන්නේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ස්ථාවර වීම, මහජන විශ්වාසය දිනා ගැනීම, සංවර්ධනය පිළිබඳ ස්ථාවරය පැහැදිලි කර ගැනීම, මහජන සුබසාධනය, නිතියේ ආධිපත්‍යය හා යහපාලනය වැනි කාරණායි. දේශපාලකයන් කුමක් කළත්, මාධ්‍ය ප්‍රධානීන් මාධ්‍ය හැසිරවිය යුත්තේ ඒ ප්‍රමුඛතා සිත්හි තබාගෙන ය. 

මාධ්‍ය හැසිරවීම සම්බන්ධ ගැටලුව සුළුපටු එකක් නො වේ. ඔවුන් මේ සෙල්ලම් කරමින් සිටින්නේ අඩු තීව්‍රතාවකින් සිදු වූ සමාජ විප්ලවයක් සමගයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.