ජාත්‍යන්තර කාන්තා දිනයේ ජෙයකුමාරි

ජෙයකුමාරි හා ඇගේ 13 වියැති දියණිය විභූෂිකා 
අද ජාත්‍යන්තර කාන්තා දිනයයි. ලංකාවේ ද මේ කැලැන්ඩර් දිනය නාමිකව සමරනු ලැබේ.

කාන්තා දිනය සැමරීම සඳහා මෙවර සැබෑ තේමාවක් ඇත. ඒ වනාහි ජෙයකුමාරිගේ ප්‍රශ්නයයි.

කිලිනොච්චි වාසී තනිකඩ මවක වන බාලේන්ද්‍රන් ජෙයකුමාරිව 2014 අවුරුද්දේ මාර්තු 13දා අත්අඩංගුවට ගනු ලැබුවේ කොටි සංවිධානය යළි ගොඩනැගීම සඳහා කටයුතු කළ බව කියන ගෝපි ඇතුළු තවත් අයට රැකවරණ දුන් බවට සැක පිට ය. පසුව, ගෝපි සහ තවත් දෙදෙනෙක් වැලිඔය ආසන්න ඝන වනාන්තරයේදී දැවැන්ත හමුදා සේනාංකයක් විසින් වටකොට පහර දී ඝාතනය කරන ලදී. ඔවුන් අත්අඩංගුවට ගැනීමට ඕනෑ තරම් හැකියාව තිබියදී, එතරම් දැවැන්ත යුද බලයක් යොදා පහර දී මරා දැමීම කෙතරම් සාධාරණ ද යන්න ගැන කිසිවෙක් ප්‍රශ්න කරන්නේ නැත. අප සිතන අන්දමින් නම් එය ද සීමාව ඉක්මවා ක්‍රියා කිරීමකි. 

ජෙයකුමාරිට එරෙහිව ඇති චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඇති තරම් කාලයක් දැන් ගත වී තිබේ. එහෙත්, ‍ආරක්ෂක අංශ එසේ නො කර ඇය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දිගින් දිගට ම රඳවාගෙන සිටින්නේ එය ඔවුන්නේ සාමාන්‍ය පිළිවෙත නිසා ය. කොටි සංවිධානයේ යුදමය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ යයි සැකපිට අත්අඩංගුවට ගත් ඇතැමෙක් වසර දහයකටත් අධික කාලයක් නඩු නොමැතිව රඳවා තබා ගැනිණි. මෙහි ඇති අසාධාරණ පැතිකඩ වන්නේ රජය විසින් තෝරා ගන්නා ලද කේපී, කරුණා අම්මාන්, දයා මාස්ටර් වැනි ප්‍රබල කොටි නායකයන්ට මුක්තිය ලැබුණේ සාමාන්‍ය ක්‍රියාකාරිකයන් මෙවැනි දණ්ඩනවලට ලක් වද්දී වීමයි.

ජෙයකුමාරිගේ පිරිමි දරුවන් දෙදෙනෙක් කොටි සංවිධානය සමග එක්ව කටයුතු කිරීම නිසා මරණයට පත් වූ හ. තවත් දරුවකු හමුදාවට භාර වීමෙන් පසු අතුරුදහන් වී ඇත. මේ වන විට ඇගේ බාල වයස්කාර දියණිය ද සිටින්නේ පරිවාස භා‍රයේ ය. එය ද එක්තරා නො නිල අත්අඩංගුවට ගැනීමකි.

සිය දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජෙයකුමාරි අභීතව සටන් කළා ය. ඇගේ හා ඇගේ දියණියගේ රුව දෙමළ මානව හිමිකම් අරගලයේ සංකේතයක් විය. ඇය කොටි සංවිධානය යළි පණගැන්වීමට උපකාර කළා නම් එය ද ඇගේ දේශපාලන අරගලයේ ම කොටසකි. එය සැඟවිය යුතු කාරණයක් නො වේ. ඇය හුදෙක් මානව හිමිකම් ක්‍රියාකාරිනියක් නොව, දෙමළ ජාතිවාදී ධාරාවේ දේශපාලන ක්‍රියාකාරිනියකි. එබැවින් දේශපාලන සිරකාරියකි.

ඇය වැනි දෙමළ මව්වරුන්ගේ ප්‍රශ්නය මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේදී තේමාව බවට පත් කර ගත හැකි ය. ඇය එක්තරා අන්දමකින් දෙමළ සමාජය මුහුණ දී සිටින ඛෙදවාචකයේ ප්‍රකාශනයකි. දෙමළ සන්නද්ධ කැරැල්ලේ හා සිංහල රාජ්‍ය ආධිපත්‍යවාදයේ ගැටුම තුළ ඇය වන් මව්වරුන් පත් වන තත්වය ඇගෙන් නිරූපණය වේ. ඇය වැරදි ද? 

දෙමළ දේශපාලනය තුළ ඇය අතිශය සාමාන්‍ය තත්වයකි. සිංහල මූලික ආණ්ඩුව ඇය හා ඇගේ දරුවන් වෙනුවෙන් මරණය හා සිරගත කිරීම යෝජනා කිරීම හරි ද? 

දෙමළ ජාතිවාදය පැරදවිය යුත්තේ දේශපාලනිකව ය. ඒ දෙමළ සමාජය ද ඇතුළුව සමස්ත ලාංකීය සමාජය ම ප්‍රජාතාන්ත්‍රීකරණය සඳහා පියවර ගැනීමෙනි. ජාතික සීමාවන් අතික්‍රමණය කළ දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීම සඳහා ඉවහල් කර ගත හැකි රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් යනු එහි අනිවාර්ය අංගයකි. සිංහල ජාතිවාදය පැරදවීම ද එහි අනිවාර්ය අංගයකි.

ජෙයකුමාරි වැනි සියලු දේශපාලන සිරකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරමින් දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීම වහා නතර කළ යුතු ය. ඔවුන් නීතිය අභිමුවට ගෙන ආ යුතු ය. නැතිනම් නිදහස් කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. නෑ.. නෑ.. මේව ගැන මොකුත් කියන්න එපා..
    මේවා දෙමල ජාතිවාදීන්ගෙ මාතෘකා
    මේවා ගැන කථාකිරීම "අලුත් දේසපාලන ප්‍රවාහයට' භාදාවක්...
    අපි මේ ප්‍රශ්න ගැන out of the box හිතන්න ඔනෑ...
    නැත්ද පැරා

    ReplyDelete
    Replies
    1. දෙමළ ජාතිවාදයේ පේටන්ට් අයිතිය ඔබ තියාගන්න. අපට කිසි සේත් එය අවශ්‍ය නැහැ. අපි දෙමළ ඩයස්පෝරා සල්ලිවලින් ජීවත් වෙන්නේ නැහැ.

      Delete
  2. මේ උතුරේ යුධ සමයේ තිබුණ ප්‍රශ්න විතරද ප්‍රශ්න. ඔය වගේම 89 දරුවො නැති වෙච්ච අම්මලාටත් ප්‍රශ්න තියෙනවා. ඒවත් කතා කරානම් හොඳයි වගේ. ඒත් කාන්තා දිනය සමරන එක කරන්නන් වාලේ අපි කරන්න අවශ්‍ය නෑ කියන එකනම් මතක් කරන්න කැමතියි. මොකද ඔය ජාත්‍යන්තර දින කවුරුත් සමරන්නේ කිසි තේරුමක් නැතුව.

    ReplyDelete
  3. Jayakumarita saha Diyaniyata Nidahasa Himiwiya yutuya Wiwadayak natha Ajith samaga math kiyami.
    HABAI AJITH THRASTA PANTH ANAGATHAYA SADAHA AWASI BAWA MITA PERA LIYA TIBIMATH METHANADI THRASTHAPANATHA WIWEHCANAYA KIRIMA PARASPARA THATHWAYAKI

    ReplyDelete
    Replies
    1. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගන මගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නැත. ලංකාවේ නැවත ත්‍රස්තවාදයක් මතු වීමට ඉඩ නො දිය යුතු ය. ඒ අර්ථයෙන් ගත් කල කොටි සංවිධානයට ලංකාවේ නැවත නැගිටීමට ඉඩ නො දිය යුතු බව ද ඉත පැහැදිලි ය.

      කොටි සංවිධානය හා පොදුවේ දෙමළ සන්නද්ධ දේශපාලනය විසින් දෙමළ සමාජයට කර ඇති හානිය සුළුපටු නො වේ. සන්නද්ධ දේශපාලනයෙන් දෙමළ සමාජයට කළ හැකි අලුත් කිසිවක් නැත. ගෝපිලා විනාශ කළ ආකාරය උවමනාවට වැඩි ක්‍රියාමාර්ගයක් වුවත්, එවැනි ප්‍රයත්නයන් මර්දනය කළ යුකු බව මගේ ඉතා පැහැදිලි ස්ථාවරයයි. සමාජවාදී ආණ්ඩුවක් තිබුණත් කරන්නේ එය ම ය.

      අනෙක් පැත්තෙන් ත්‍රස්තවාදයේ දැන් නැඹුරුව මානව සමාජයට නිගා දෙන එකකි. හොඳම උදාහරණය IS ත්‍රස්තවාදයයි. ත්‍රස්තවාදය මේ වන විට 1979දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන ආ සමයට වඩා වෙනස් ස්වරූපයක් ගෙන ඇති අතර මිනිස් සමාජයට එදා හිතන්නටවත් බැරි අන්දමේ ක්‍රියා ප්‍රසිද්ධියේ කිරීම අද වන විට ත්‍රස්තවාදයේ ස්වරූපයයි.

      කොටි සංවිධානය නැවත නැගී සිටියත්, එය ද IS වැනි සංවිධානයක් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ.

      මේවා මර්දනය කිරීමට නව නීති අවශ්‍ය ය. එහෙත්, එම නීති භාවිතා කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නට මිස දුබල කරන්නට නො වේ.

      Delete
  4. ජෙයකුමාරි ගැන ලියන්න කලින් DSB ජෙයරාජ්ගේ ලිපිය කියවල එන්න පැරා!

    ජෙයකුමරි යනු දෙමල කොටි සංවිධානයට පුතුන් තුන් දෙනෙකුම බැන්දවූ ප්‍රභල ආධාරකාරියක්. අයගේ වැඩිමල් පුතුන් හතරවන ඊලම් යුද්ධයට පෙර මිය යන අතර තුන්වන පුතා හතරවන ඊලම් යුද්ධයේදී කොටි සංවිධානය ඔහුගේ අකමැත්තෙන් (සමහර විට තම මවේගේ දැඩි පෙලබවිමෙන්) එක්ක්වෙන්වා. නමුත් ටික කලකින්ම ඉන් පන එන ඔහු සැගවී සිටිනවා. යුද්ධය අවසානයේ ආරක්ෂක හමුධාවට භාරවූ බව කියන ඔහු අතුරුදහන් වෙනෙවා. හමුධාව පවසන්නේ එනම් කෙනෙක් තමන්ට භාරනොවූ බවයි.

    සමහර අවස්ථාවල විදෙසි රටවල දේශපාලන රකවන ලබන කොටි සාමාජිකයන් අතුරුදහන්වුවන් ලෙස ලේඛන ගතවී සිටිනවා. මෙයත් එවන් අවස්ථාවක් විය හැකියි!

    ReplyDelete
  5. Let Tamil people to live with dignity in their home lands , remove the barriers that hindered their freedom

    ReplyDelete
  6. Jeyakumari saha diyaniya vahaama nidahas kala yuthuya. Namuth LTTE samaga thibuna sambhandakam nisaama eya pilibanda pareekshaawen sitiya yuthuya. Anandi genath kiyanna thiyenne eyamai. Demala janathaawa visinma mee aya prathikshepa karanathuru ese kalayathuya. LTTE "elam sihinaya" ta ayath une uthuru neganahira pamanakma nove, Mulu ratama!

    ReplyDelete
  7. මෙන්න තවත් යහපාලන ජයග්‍රහණයක්! භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී සිදු වූ මහ බැංකු අධිපති බෑණාගේ සමාගමේ ගනුදෙනුව ගැන පරීක්‌ෂණ

    ද්විත්ව පුරවැසියන්ගේ තනතුරු දැරීමේ හැකියාව ගැන ප්‍රශ්න කරන අනුර කුමාරයට පුරවසියෙක්වත් නොවන අර්ජුන් මහේන්ද්‍රන්ගේ පත්වීම නොපෙනෙන හැටි!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා