පොදු අපේක්ෂක කුමන්ත්‍රණයෙන් අන්තිමට වුණේ මොකක් ද?

විපක්ෂය පොදු අපේක්ෂකයකු සොයමින් සිටියි. විමල් වීරවංශ කියන හැටියට එය හරියට රියැලිටි වැඩසටහනක් වැනි ය. 

පොදු අපේක්ෂක කතිකාව මේ මොහොත වන විට නම් ක්‍රීඩා කරමින් සිටින්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොටුව තුළ ය. 

රනිල්, කරු, චන්ද්‍රිකා, සෝභිත හිමි, මෛත්‍රීපාල, අර්ජුන, සුනේත්‍රා බංඩාරනායක හා ශිරානි බංඩාරනායක වැනි නම් රැසක් කියවෙමින් තිබේ.

විපක්ෂය සොයමින් සිටින්නේ මහින්ද තරමට ම ජාතිවාදීන්ට හා ගැමියන්ට අලෙවි කළ හැකි, ඒ තරම් ම ව්‍යාජ, ජනතාවට බොරු ආදරයක් පෙන්විය හැකි, මහින්දගේ පිරිමි යයි කියන පෙනුම ඇති කෙනෙකි. 

එහෙත්, පොදු අපේක්ෂකයකු ලෙස ගොඩනැගිය යුත්තේ මහින්දට විකල්පයක් මිස තවත් මහින්ද කෙනෙකු නොවේ. මේ කිසිවකුට මහින්දගේ වංචාකාරිත්වයට අලගු තබන්නටවත් බැරි ය. ඔහු සිය ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය පවා කරන්නේ මහජන මුදලිනි.

මේ නම් ලැයිස්තුවේ සිටින වඩාත් ම දේශපාලන සත්වයා කවුරු ද? මම නම් සිතන්නේ රනිල් ය කියා ය. අනෙක් අය හුදු කදෝපැණියෝ පමණි.

රනිල්ට පුළුවන් ද? මේ අපේ රටේ ජනතාව අසන ප්‍රශ්නයයි. 

එහෙත්, ඇසිය යුතුව තිබෙන ප්‍රශ්නය එය නො වේ. 

පොදු අපේක්ෂකයා තෝරා ගන්නේ කවුරු ද? කෙසේ ද?

අඩු තරමේ එක්සත් ජාතික පක්ෂයවත් තම යෝජනාව ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයක් ඔස්සේ ඉදිරිපත් කර නැත. එහෙත්, රනිල් වික්‍රමසිංහ එජාප නායකයා නිසා ඔහු ජනාධිපතිවරණයට තරග කිරීම තුළ යුක්තියුක්තභාවයක් තිබේ. මේ අනෙක් අය කවුරු ද? 

ඔවුන් අතරින් එක් අයකු අපේක්ෂකයා ලෙස තෝරා ගත්තේ කවුරු ද? 

මේ වනාහි ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලියක් නො වේ. කුමන්ත්‍රණයකි. 

අප මිත්‍ර නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයා මෙම කාර්යයට මැදිහත් වූ පසු අප මේ පිළිබඳව කළ කතා බහකදී මා කීවේ පොදු අපේක්ෂකයා පහළ සිට ගොඩනැගිය යුතු බවයි. එයට එකඟ වූ නිර්මාල් එවැනි ප්‍රයත්නයක් වෙනුවෙන් ක්‍රියාකාරිකයන් 200කගේ සමුළුවක් කැඳවන්නේ නම් එයට සහභාගි වන්නට කැමතිදැයි මගෙන් ඇසී ය. මම කැමති වීමි. එහෙත්, ඉන් පසු ඒ කතාව ඉදිරියට ගියේ නැත. 

පොදු අපේක්ෂක කුමන්ත්‍රණය දැන් කූටප්‍රාප්තියට පැමිණ තිබේ. ඔවුන් හෙට අනිද්දා කිසිවකුගේ නමක් පොදු අපේක්ෂකයා ලෙස එළි දක්වනු ඇත. අපට තිබෙන්නේ එය පිළි ගන්නට ය. 

අද පවතින ජඩ ක්‍රමය හා එහි ප්‍රධාන කළමනාකරු පැරදවිය යුතු ය. එහෙත්, මේ පොදු අපේක්ෂක කතිකාව නිසා සිදු වනු ඇත්තේ අවසාන වශයෙන් මහින්දගේ ජය තහවුරු වීමයි. 

රනිල් හැර වෙනත් කිසිදු අපේක්ෂකයකුට අඩු තරමේ යම් තරමක ඡන්ද ව්‍යාපාරයක්වත් ගෙන යන්නට සංවිධාන ව්‍යූහයක් නැත. රනිල් හැර අන් කිසිවෙක් දේශපාලනිකව ශක්තිමත් ද නැත. 

එහෙත්, පොදු අපේක්ෂක කුමන්ත්‍රණය විසින් කළේ රනිල්ට බැරි ය යන ජනප්‍රිය මිථ්‍යාව ප්‍රවර්ධනය කර ඔහුට විකල්ප ලෙස ඊටත් වඩා දුර්වල අපේක්ෂකයින් බුරුත්තක් වෙත අවධානය යොමු කිරීමයි. මේ අතර මහින්ද ශක්තිමත් ලෙස සටනට බැස ඇත.

දැනට පවතින තත්වය එයයි. 

ආණ්ඩුවෙන් බලවත් පිරිසක් එළියට නො ආවොත්, මේ පවතින තත්වය තුළ ජනතාව අතර ජයග්‍රාහී මානසිකත්වයක් ඇති කිරීමට විපක්ෂය අසමත් වනු ඇත. 

අවසානයේදී පොදු අපේක්ෂක 'කතිකාව' විසින් සිදු කර තිබෙන්නේ වැඩේ අල කිරීම නො වේ ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා... SL වම්බොටු චැලෙන්ජ් එක බාර ගන්න කැමතිද.... අමු මිරිස් කෑව නම් ඊලඟ චැලෙන්ජ් එක වම්බටු.....

    ReplyDelete
  2. රනිල් ඇත්තටම දුර්වලයෙක්. රනිල්ට තිබුනේ රනිල් ඉල්ලනවා කියන්න. දිනන පරදින් එක වෙනම කතාවක්. අනික ඔතන තියෙන අවංක චේතනාව ජනාධිපති ක්‍රමය නැති කිරීම නෙමෙයි. රාජපක්ෂ පවුල එලවීම. කවුරු හරි හිතනවා නම් පොද්දා හෝ රනිල් හෝ මේ ක්‍රමය වෙනස් කරයි කියලා. ඒ තරම් බබෙක් තවත් නෑ.

    අනෙක් කාරනය පොද්දා. පොදු අපේක්ෂකයා කව්ද කියලා කලින් ඉඳලා සංවිධානේ හදලා ගේමට රෙඩි වෙලා ඉන්න තිබුනේ. මේ එකතුව කලින් පෙන්වලා සොලිඩ් පොද්දෙක් දැම්මා නම්, ආන්ඩුව මීට වඩා අමාරුවේ වැටෙනවා. එහෙනම් මේක අකුල ගන්නත් තිබුනා. එහෙම උනා නම් අවුරුදු දෙකකට පස්සේ තිබ්බා නම් ලොක්කට අමාරුයි. අනික කිසිම සංවිධානයක් නැති සංධානෙක පොදු අපේක්ෂකයා සමග යන ගමන ෆොන්සේකා මහත්තයා ගිය ගමනට වඩා අමාරු වෙනවා.

    කොහොම හරි එක දෙයක් පැහැදිලියි. ඔය සංධානේ ඉන්න කීප දෙනෙක් කෝටි පතියෝ වෙලා තමයි නවතින්නේ. මොකෝ මහා භාන්ඩාගාරය මේ වෙලාවේ දෝරේ ගලනවා. පලා බබා කෙනෙකුත් කෝටි පහයි...

    ReplyDelete
  3. කරුනු ගනනාවක් තියනව එකග වෙන්න බැරි.
    1.පොදු අපේක්ශකය අන්තිම මොහොතේ හෙලිකරන්න ඉන්නව වෙන්න පුලුවන්. මහින්ද කොහොමත් එන නිස එයා වේලාසන සටන පටන්ගන්නව තමයි. ඒකට කරන්න දෙයක් නෑ.

    2.ජනප්‍රිය නායකයෙක් හෙවීමත් වැරැද්දක් නෑ.මේක පරදින්න බලාගෙන ගහන ගේමක් නෙවේ.

    3.පොදු අපේක්ශකය කියන්නෙ සන්විදාන හැකියාවක් නැති කෙනෙක් වෙන්න පුලුවන්. සන්විදාන කාර්යන් භාරගත යුත්තෙ ඒ ඒ පක්ශ විසින්.

    4.මේක අපි වෙනුවෙන් අපි ජාතියෙ වැඩක් වෙන්න ඔන. මොකද අපි වෙනුවෙන් මහින්ද නැති නිසා.

    ReplyDelete
  4. අනේ අම්මප මට බැරි උනානේ (ක්‍රියාකාරී) දේශපාලනේ කරන්ඩ.. හෙහ් හෙහ්

    මේ පය බරවායට පිටි කර බෙහෙත් බැඳ බැඳ ඉන්න පුළුවන් වෙලාවක් නොවෙයි යකුනේ.. කවදද මේකෙ ඉවරයක් දකින්නේ?

    ReplyDelete
  5. දැනට එක ගොඩකට එකතුවෙන්නට යම් හෝ සංඥාවක් පේන්න තියෙන්නේ 12 වෙනිදා එකතුවෙන් බවයි පේන්නේ. අපි එය මුත්තයියා එකතුව යැයි කිව්වොත් , අප වැනි පුද්ගලයින් සහ අනිකුත් කංඩායම් කලයුතුව ඇත්තේ 'මුත්තයියා එකතුව' තුලට හැකි ලෙසින් සහයෝගය පලකිරීම බවයි මගේ අදහස. රනිල්ගේ සංවිධාන ශක්තිය තුලට අනිකුත් කංඩායම්වල ශක්තියත් එකතුකර ,ඒකමුතුව ඉදිරිපත්වෙන පොදු අපේක්ෂකයාට සහයෝගය දෙනවා හැර, ශක්තිය ඇත්තේ රනිල් සතුව පමණය, අනිකුන් කඳෝපැණියන් යැයි සිතා සටණින් කර හැරීමේ මාර්ගයකට යොමුවීම සාධරණ නොවේ.

    සමාජවාදය ගොඩ නැගීමට පෙර ඒකාධිපත්ත්වය සහ මිලිටරි ආඥාදායකත්වයට තිත තැබිය යුතු බව නමට හෝ පෙනුමට රතු සළු පොරවා ගත් කංඩායම් වටහා ගත යුතුය.

    ReplyDelete
    Replies
    1. මුත්ටයියා කියන්නනේ ඇයි අරූ ....පිවිතුරු හෙටක් කියන්න දිව නැමෙන්නේ නැද්ද ?

      Delete
    2. @මායා......නැහැ නැහැ එහෙම අප්සට් එකක් නැහැ. පිවිතුරු හෙටක් කියලා කියන්නම්. මම එහෙම කිව්වේ පිවිතුරු හෙටක් සංවිධානයට අයත් නොවන අයත් එතන හිටිය නිසා. අනිත් එක ඒ මුත්තයියා පිටියේ එකතුව, මගේ පෞද්ගලික අදහසට අනුව රටේ අනාගතයේ තීරනාත්මක එකතුවක් නිසා. ඒ වචනය ගැන වැරදියට හිතන්න එපා. මම ඒ එකතුවට වටිනාකමක් දෙන්නයි උත්සාහ කරේ. පිවිතුරු හෙටක් කියලා නෙමෙයි ඉල්ලන ඕනම නමක් කියන්නම්..ඒ නිවැරදි ස්ථාවරයට ආපු එකම ලොකු ශක්තියක්.

      Delete
  6. අද ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වය අසාමාන්‍ය එකකි. එහි සංරචක එකින් එක ගෙන බලමු.

    1. දීර්ඝකාලීන යුද්ධය නිසා සමාජය දැඩි ලෙස ධ්‍රැවීකරණය වී තිබීම. (සිංහල සමාජය 75% ක් ජාතිවාදීයි.)
    2. එම ජාතිවාදය ස්වකීය බලය පවත්වා ගැනීමට යොදා ගැනීමට තරම් කපටි හා හැකියාවැති නායකත්වයක් සිටීම.
    3. එම නායකයා පක්ෂයේ දෙවන පෙළ ස්වකීය ඥාතීන්ගෙන්ම සකස් කර ගැනීම හා ඒ නිසා ඔහුට එල්ල විය හැකි තර්ජනය අවම වීම.
    4. විපක්ෂයට ඉතාම දුර්වල නායකත්වයක් තිබීම.
    5. ඉහත සියල්ල අමතක කළත් නායකත්වයේ වැඩි වාසියට සකස් වූ ක්‍රමයක් (විධායක ජනාධිපතිකම) තිබීම
    6. යුද්ධය අවසන වීමෙන් පසු ගොඩ නැඟුණු පරිසරයේ ඉතාම සරල වෙනස්වීම් පවා මහා ජයග්‍රහණ සේ පෙනීම. (උදා: කෝච්චි පාරක් තැනීමත් මහා ලොකු දෙයක්!)

    මේ නිසා වර්තමාන නායකත්වය වෙනස් වීමේ ඉඩ ඉතාම අවම අතර ඒ පිණිස ගන්නා වෙහෙසද නිරර්ථකය. පොදු අපේක්ෂක නාඩගම එක් එක් පුද්ගලයින් විසින් තම තමන්ගේ ප්‍රතිරූප ගොඩ නඟා ගන්නා අරමුණින් මිස අවංකව කරන දෙයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ටැබූ......පස්වෙනි අදහසට අදාලවත්, ටැබූගේ මේ අදහස් මේ නිසා ""වර්තමාන නායකත්වය වෙනස් වීමේ ඉඩ ඉතාම අවම අතර ඒ පිණිස ගන්නා වෙහෙසද නිරර්ථකය.""දැක්වීමත් එකතුකර ගත්තාම මම අහන්නේ ජනතාව කුමක් කලයුතුද කියා. පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

      Delete
    2. මෙතැන 'ජනතාව' කියා ඔබ අදහස් කරන කණ්ඩායමේ නිර්වචනය ගැන ගැටළුවක් තිබේ. 'ජනතාව' කියන්නේ මෙරට ඡන්ද දායකයින් නම් ඔවුන් වැඩි පිරිසකට කළ යුතු කුමක්ද යන්න අප විසින් අමුතුවෙන් කියා දිය යුතු නොවේ. ඔබ හෝ මා හෝ පැරා හෝ නිර්මාල් දේවසිරි හෝ ගාමිණී වියන්ගොඩ හෝ වික්ටර් අයිවන් මොනවා කිව්වත් ලංකාවේ ඡන්ද දායකයින් කියන ලුම්පන් ගොබිලන් 50% ක් විතර මහින්ද රාජපක්ෂටද, 30% ක් විතර රනිල් වික්‍රමසිංහටද ඡන්දය භාවිතා කරනු ඇත්තේය. මා නොදන්නා හේතුවක් හෝ හේතු මත ඉතිරි 20% පමණ පිරිස හැමදා ඡන්දය දීමෙන් වැළකී සිටිති. මේ සංයුතිය අප කියන දේවල් නිසා වෙනස් නොවේ. වෙනස් කරන්ට සිතීමද ඵල රහිතය. මා මින් පෙර ලියා ඇති පරිදි ලංකාවේ ඡන්දදායකයා යනු අන් සියල්ලන්ටම වඩා ලොකු හොරෙකි.

      ඔබ අසන්නේ මේ රටේ සබුද්ධික ජනතාව කුමක් කළ යුතුද කියා නම් මගේ අදහස ඔවුන් රනිල් වික්‍රමසිංහ පරදින බව දැන දැනම හෝ ඔහුට ඡන්දය භාවිතා කළ යුතු බවයි. එසේ කළ යුත්තේ ඇයි? රාජපක්ෂ 80% ක වැඩි ඡන්දයක් ලබා ගන්නවාට වඩා 51% ක ඡන්දයක් ලබා ගැනීම පුරවැසියාට හිතකර නිසාය. මගේ පැරැනි ගුරුවරයා වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගන්නේ මේ ස්ථාවරයයි. ජවිපෙ ගත යුත්තේද මේ ස්ථාවරයම බවද මම සිතමි.

      Delete
    3. ටැබූගේ පිලිතුරට ස්තූතියි. මම අදහස් කලේ ඔබ කියනා පරිදිම සබුද්ධික ජනතාව යන්නයි. ජවිපෙ මේ තීරනාත්මක මොහෙතේ කල යුත්තේත් ඔබ කියනා පරිදිම බැව් මගේත් අදහසයි. එතැනදී රනිල් හෝ මොනයම් පොදු අපේක්ෂකයෙක් කියන ස්ථාවරයේ තමයි මම පෞද්ගලිකව ඉන්නේ.

      Delete
  7. 1. උතුරෙ දෙමල ජනයා 70%කට වඩා චන්දෙ දෙන්නෙ ද්‍රවිඩ සන්දානෙට. එතකොට ඔවුන් ජාතිවාදි නැද්ද?
    3. හැබැයි චන්ද්‍රිකාට විරුද්දව එයගෙම මල්ලි යුඑන්පි එකට ගිය නෙද?
    6. මිනිස්සු යමක් දිහා බලන්නෙ සපෙක්ශව. අවුරුදු 70ක් තිස්සෙ රේල් පාරක් හදුනෙ නැති රටකට ඒක ලොකු දෙයක් නෙමේද?

    ReplyDelete
    Replies
    1. 1. ඔවුන් ජාතිවාදී නොවේය කිව්වේ කවුද? මේ රටේ උතුරේද, දකුණේද, නැඟෙනහිරද ඉන්නේ අයියාට මල්ලී සේ එක ලෙස ජාතිවාදීව හැසිරෙන ජන කොටස්ය.
      3. අදාළත්වයක් නොපෙණේ.
      6. ඔව්. මා අදහස් කළේද එයයි.

      Delete
    2. ඉහත ප්‍රතිචාරය මගේය. වැරදීමකින් ඇනෝනිමස් ලෙස පළ විය.

      Delete
    3. Taboo හා , දැන් කොමෙන්ටුවේ වගකීම බාර ගත්තනේ. දැන් චු කරලා නිදා ගන්න. ලංකාවේ ඉන්නෙම ජාතිවාදියෝ. තමුසේ විතරයි සර්ව නිර්දෝෂී සුරංගනා පෝතකයා. තු නොදකින්

      Delete
  8. පොදු අපේක්ෂකයෙකු නම් කිරීම අද කොමඩියක් බවට පත් ව ඇත. එදා එජාප පාලනයට එරෙහිව ලන්ඩනයෙන් ඉම්පෝට් කල චන්ද්‍රිකා මතුවුයේ ජනතාවගේ සිහින කුමරියක ලෙසයි.පසු කලෙක ඈ චෞර රැජිනක්ව හීන කුඩු කිරීම වෙනම කතාවකි.හැබැයි විපක්ෂයේ පොදු අපේක්ෂිකාව ලෙස ඇය මතුවූ හීරෝයින් ටයිප් එක අනුව අපේ ජන්දාදයකයා නමැති අවුරුදු හැත්තෑවකට ආසන්න කාලයක් තිස්සේ ඇන්දෙන හරකුන්ව 77 ට පසු සිදු කල සුපිරිම ඇන්දීම කරන්නට ඇයට හැකි වුවාය .අපි 2014 දී ආයෙත් 94කට පැමිණ සිටිමු.නමුත් පොදු අපේක්ෂකයා ලෙස ගාමිණී මාලනී කෙනෙකු තබා අකිල දනුධ්දර කෙනෙකු වත් පෙනෙන තෙක් මානයක නැත.ටෙනී බන්දු පන්නයේ බාල විහිලු කාරයෙකු බිහි වීමේ ඉඩකඩ වැඩිය.මන්ද යත් මහින්දගේ ආණ්ඩුව සහ කඩේ යන උන් ,මැදිහත් සිතින් බලා සිටින උන් පමණක් නොව පොද්දෙක් බිහි කරන්නට දත කන උන්ද පොද්දා උපන්ගෙයි කොමිටලයක් බවට පත් කර ගෙන ඇත.

    ReplyDelete
  9. කොහොමත් අපේ අයියලා අක්කලා විජේ කියා රැවටුනේ විල්සන් කරූටය.ටික කලක් යන විට වීර සළු පිළි පිටින්ම දුෂ්ටයා අකේ පුරින්නට පටන් ගත් විට තවත් වීර පෙනුමක් සහිත දුෂ්ටයෙකුගේ පිහිට පැතීමු .48 පටන් කථාව එහෙමය.අකේ පුරින දුෂ්ටයෙකු අපේ ලෝකේ වීරයා උනත් කොමිටල් විහිළුකාරයෙකු වීරයා කර ගැනුම සිංහල අපිට තරම් නොවෙමු.අපි කොහොමත් පස්වාන් දහසකට බුදු වන්ට බලු ගැත්තාට අනුකම්පා කරන්ට පන්නයේ ජීවන රටාවකට යටි හිතින් කැමති ජාතියකි.සුද්දෝ කැලේ රෙද්දී කක්කුසි වල රුන්නාය කියන අපි අවුරුදු දෙදාස් ගාණකට පස්සේ සුද්දා නැත්නම් චීනා නැතුව බෙට්ටක් වත් යවා ගන්න බැරි තැනක ඉන්නේ ඒ හින්දාය .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා