ද්විත්ව පුරවැසිභාවය

එජාප මන්ත්‍රී අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවේදී ද්විත්ව පුරවැසිභාවය ගැන කරන ප්‍රකාශය වැදගත් ය. 

වසර කීපයකට පෙර ලංකාවේ රජය ද්විත්ව පුරවැසිභාවය ලබා දීම අත්හිටවූයේ ය. එහි අරමුණ ලෙස හඳුනා ගත හැක්කේ ආණ්ඩුව දේශද්‍රෝහීන් ලෙස හඳුනා ගනු ලැබූ අය ආපසු ලංකාවේ පදිංචියට පැමිණීම වැළැක්වීමයි. 

ලංකාවේ පවතින ජීවන ගැටලු නිසා වඩා සුව පහසු ජීවිතයක් සොයා බොහෝ දෙනෙක් රටින් බැහැර යති. මෙය ඈත අතීතයේ සිට සිදු වූ සංක්‍රමණික ක්‍රියාවලියේ කොටසකි. 

වර්තමාන යුගයේදී බොහෝ ලාංකිකයන් රටින් පිටට සංක්‍රමණය වී පුරවැසිභාවය ලබා ගැනීම සඳහා භාවිතා කළේ පොලිසියෙන් හා හමුදාවෙන් ඔවුන්ට ජීවිත තර්ජන තිබේ ය යන තර්කයයි. අද පිට රට සිට සිංහ කොඩි ඔසවාගෙන රඟන බොහෝ දෙනෙක් ද ඒ රටවලට පැමිණියේ සිංහල හමුදාවෙන්, පොලිසියෙන් තර්ජන ඇති බව කියා ය. 

බටහිර රටකට සංක්‍රමණය වීමට තිබෙන පාරිභෝජනවාදී ආශාව කෙතරම් ගැඹුරු එකක් ද යන්න මා වටහා ගත්තේ මාක්ස්වාදීන් ඇසුරේ ය. ඇතැම් මාක්ස්වාදී වීරයන් බටහිර රටකට සංක්‍රමණය වීම පිණිස දැරූ අනතුර විස්මය ජනක ය. 

හිරු කණ්ඩායමේ එක් සාමාජිකයෙක් සියලු දේශපාලන කටයුතු පසෙක ලා සිය ව්‍යාපාර ද වසා පවුල පිටින් බටහිරට සංක්‍රමණය වීමට උත්සාහයක් දැරුවේ ය. එහෙත්, අවසානයේ ඔහු විශාල මුදලක් ද නැති කරගෙන විදේශගත වන්නට නො හැකිව අතරමං විය. ඉන් පසු ඔහු කළේ නැවතත් දේශපාලන කණ්ඩායම සමග සම්බන්ධ වී, මංගලලාගේ වෙබ් අඩවියක රැකියාව කර, එහි සංස්කාරක ලෙස ඔහුට තර්ජන ඇති බවට ව්‍යාජයක් මවා පා රට පැන ගැනීමයි. 

මෙම දේශපාලන කණ්ඩායමේ ම සිටි සාන්තුවරයින් දෙදෙනෙක් එක් අයෙකුගේ බෑණා කෙනෙකුට විදේශ රටක දේශපාලන රැකවරණ ලබා ගැනීම සඳහා ඔහු කිසිදා සහභාගි නොවූ උද්ඝෝෂණයක සිටින ආකාරය සහිත මුල පිටුවක් සහිතව ව්‍යාජ හිරු පත්තරයක් මුද්‍රණය කළ හ. 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අරමුදල් වංචා කළ සංගීතා වීරරත්නගේ පුවත්පතේ වැඩ කළ තවත් මාක්ස්වාදී වීරයෝ දෙදෙනෙක් ද මේ අන්දමින් ව්‍යාජ තර්ජන මවා පාමින් විදේශ රැකවරණ සොයා ගිය හ.

මා මේ සිද්ධි දෙක මතක් කරන්නේ අපට දේශපාලන සදාචාරය උගන්වන මාක්ස්වාදීන් පවා මේ කාරණයේදී කෙතරම් කුහක අන්දමින් හැසිරෙන්නේ ද යන්න පෙන්වා දීමටයි. 

සත්‍ය ජීවිත තර්ජන නිසා විදේශගත වූ විශාල පිරිසක් ද මේ අතර සිටිති. එහෙත්, එය රාජ්‍ය නොවන සංවිධාන විසින් පෙන්වා දෙන තරම් නො වේ. 

මේ අයට තමන් අපේක්ෂා කළ සුන්දර ලෝකයට පැන ගන්නට ලැබුණු පසු ඊළඟට ඇති වන ප්‍රශ්නය වන්නේ තමන් ලංකාවේ භුක්ති විඳි පිළිගැනීම එහි නොමැති වීමයි. එබැවින් ඔවුන් සිටින්නේ අන්තර්ජාලයෙන්, මුහුණු පොතෙන් ලංකාව දෙස බලාගෙන හූල්ල හූල්ලා ය. 

ලංකාවට පැමිණ මෙහි දුප්පත් ජනයා ඉදිරිපිට සංදර්ශනයක් පවත්වා නැවත විදේශගත වන්නට මොවුහු කැමති ය. ආණ්ඩුව අකුල් හෙළා තිබෙන්නේ ඒ ප්‍රයත්නයටයි. 

එහෙත්, ද්විත්ව පුරවැසිභාවය අපේක්ෂා කරන අය අතර, ලංකාවෙන් පිට වී ගිය වටිනාකමක් සහිත පුරවැසියෝ ද රැසක් සිටිති. 

ඔවුන් රටින් බැහැර වූ සංදර්භය කුමක් වුවත්, නැවත සියරට පැමිණ සේවය කිරීමේ අවංක කැමැත්තක් ඔවුන්ට තිබේ. මේ අය දැනටත් සිය ආදායමින් පංගුවක් ලංකාවට එවමින් මේ රටේ ආර්ථිකය පවත්වා ගෙන යාමට සුවිසල් දායකත්වයක් සපයති. 

එවැනි අය වෙනුවෙන් රජය යෝජනා කර තිබෙන ක්‍රමය අප්‍රමාණවත් බව අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. රජය යෝජනා කරන්නේ තරුණයන්ට පමණක් වසර පහක කාලයක් සඳහා බලපත් ලබා දෙන ක්‍රමයක් බව ඔහු පවසයි. 

මෙතැන බරපතල කුහකකමක් ද තිබේ. මේ නීති සම්පාදනය කිරීමෙහි මූලිකත්වය ගන්නේ ද ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ වැනි ලංකාවේ හා ඇමරිකා එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසිභාවය ඇති අයයි. ඔවුන් ද අද ඔවුන්ගේ වෛරයට පාත්‍ර වන අය මෙන් ම මේ රට එපා කියා දාලා ගිය අයයි. ඔවුන්ට නැවත ලංකාව ගැන ආදරයක් ඇති වුණේ සිය සහෝදරයා ජනාධිපති වූ පසු ය. 

ලංකාවේ පුරවැසිභාවය අතහැර දෑමූ සෙසු ලාංකිකයන්ට ද එසේ නැවත තම රට ගැන ආදරයක් ඇති වන්නට බැරි ද? 

රටට සේවය කරන්නට අවශ්‍ය නම් බලපත්‍ර ක්‍රමය වුණත් ප්‍රමාණවත් යයි තර්ක කරන්නට ද පුළුවන. 

එහෙත්, මේ පිරිස ඉල්ලා සිටින්නේ ගෝලීය පුරවැසිභාවය ආරක්ෂා කර ගනිමින් ලංකාවේ ද පූර්ණ පුරවැසිභාවය ලබා ගැනීමේ අයිතියයි. ඔවුන් කිසිවෙක් තමන්ගේ අලුත් රටේ පුරවැසිභාවය අතහැර දමා ලංකාවට එන්නට අදහස් කරනවා යයි මම නො සිතමි. ලංකාව තවමත් එතරම් ආරක්ෂිත සමාජයක් නො වේ. කිසියම් අවස්ථාවක රට හැර ගියා කියා ඔවුන් තමන් අයත් සමාජයකින් මුළුමනින් ම බැහැර කර දැමීම අපරාධයකි.

එසේම, ඔවුන්ට මේ රටට කළ හැකි සේවයක් තිබේ නම් එය කරන්නට අවස්ථාව ලබා දීම ද නරක දෙයක් නො වේ. 

ආණ්ඩුව බියපත් වන කාරණය වන ඔවුන්ගෙන් ඇතැමෙක් රටට ද්‍රෝහිකම් කිරීමට මේ අවස්ථාව පාවිච්චි කරයි ද යන කාරණය ගැන ද සැලකිලිමත් විය යුතු ය.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.

Comments

  1. //මේ අයට තමන් අපේක්ෂා කළ සුන්දර ලෝකයට පැන ගන්නට ලැබුණු පසු ඊළඟට ඇති වන ප්‍රශ්නය වන්නේ තමන් ලංකාවේ භුක්ති විඳි පිළිගැනීම එහි නොමැති වීමයි. එබැවින් ඔවුන් සිටින්නේ අන්තර්ජාලයෙන්, මුහුණු පොතෙන් ලංකාව දෙස බලාගෙන හූල්ල හූල්ලා ය. //

    Not all Para
    For example I never regret migrating here and I earn respect from my work mates and fellow citizens here, which I did not recieve from my srilankan counterparts.I will nevert apply for duel citizenship.


    ReplyDelete
    Replies
    1. ඔබ අලුත් ජාතියකට ඇතුළු වූවා නම් එහි සරණාගතයකු ලෙස නො සිට සම්පූර්ණයෙන් ම එම ජාතිය වැළඳ ගැනීම මම අගය කරමි. ඒ සමාජයේ ඇගයීමට ලක් වන්නේ එවැනි මිනිසුන් ය. සදාකාලික පිටස්තරයන් ලෙස ජීවත් වන්නන්ගෙන් ඒ රටවලට ද මේ රටට ද වැඩක් නැත.

      Delete
    2. පැරාගේ අදහසට මම එකඟ නැහැ. සංක්‍රමිකයෝ කවදාවත් අලුත් සමාජ රටාවට සම්පූර්ණයෙන්ම අනුගත වෙන්නෙ නැහැ. එය ශ්‍රී ලාංකිකයින්ට විතරක් නෙවේ, හැම ජන වර්ගයකටම පොදුයි. ආසියාතික මෙන්ම යුරෝපීය, දකුණු ඇමෙරිකානු සහ අප්‍රිකානු රටවලින් එන හැමෝම ජීවත් වෙන්නෙ තමන්ගේ ආගමික සහ සංස්කෘතිකමය පරිසරය තුල. යමෙක් සමාජයේ පිළිගන්නේ ඔහු හෝ ඇය කරන වෘත්තියෙන් නෙවේ. තමන් ජීවත් වෙන විධියෙනුයි. පැරා දන්නවාද මහා බ්‍රිතාන්‍යයේ ජනප්‍රියම කෑම? ඉන්දියානු 'චිකන් ටික්කා මසාල'. එයින් පේන්නේ සංක්‍රමිකයන්ගේ ස්ංස්කෘතිකමය දේවල් ස්වදේශිකයන් විසින් කෙතරම් අගය කරනවාද යන්න.

      Delete
    3. @ Anonymous November 3, 2014 at 6:57 AM ---

      නිකං පට්ට පල් බොරු කියන්නේ නැතිව හිටපං....උඹත් මේ බ්ලොග් එකට ඇවිල්ල කරන්නේ පැරා කියපු විදියට ම අන්තර්ජාලයෙන්, මුහුණු පොතෙන් ලංකාව දිහා බලලා හූල්ලන එකනේ බං..... ඒක එහෙම නෙවෙයි නම් උඹ කවදාවත් ම මේ බ්ලොග් එකට එන්නේ නැහැනේ... නැද්ද?

      Delete
    4. It's "dual" you idiot

      Delete
  2. පැරා එක ගලෙන් කුරුල්ලන් කීප දෙනෙක් බා ගන්න වගේ යන්නෙ...

    ReplyDelete
    Replies
    1. නැහැ. ඔය කියන්නේ අර මාක්ස්වාදීන් ගැන මා කියූ දේ පිළිබඳ විය යුතුයි. ඒත්, ඒවා ඇත්ත. ඔය වැනි දෙබිඩි මිනිසුන් තමයි සමාජවාදයට තිබෙන ලොකුම ගැටලුව.

      Delete
  3. මම නම් හිතන්නේ නෑ ලංකාවෙවත් ඉන්දියාවෙවත් එකෙක්වත් ආයෙමත් තම රටවලට ඒය කියලා.. නාකි වෙලා මැරෙන්න එනවා මිසක්. මේ අර ඉන්දියාවේ මෝදීට විශාල ප්‍රතිචාරයක් ලැබුන නිසා, ඒක දැකලා කරපු තවත් සෙප්පඩ විජ්ජාවක් විතරයි.

    ReplyDelete
  4. "ආණ්ඩුව බියපත් වන කාරණය වන ඔවුන් රටට ද්‍රෝහිකම් කිරීමට මේ අවස්ථාව පාවිච්චි කරයි ද යන කාරණය ගැන ද සැලකිලිමත් විය යුතු ය."
    ඉහත ඔබගේ අවසාන වාක්‍යයෙන් දැක්වෙන අදහස , විශේෂයෙන්
    - "ඔවුන් " ලෙස අදහස් කරන්නේ කව්ද ? කුමන කණ්ඩායම්ද ?
    - " රටට ද්‍රෝහිකම් කිරීම ' යනුවෙන් අදහස් වන්නේ කුමන ක්‍රියා ...කිරීමද ?

    යන කරුණු තව දුරටත් ලුහුඩින් හෝ පැහැදිලි කරන්නේ නම් , ඔබේ මතය අදහස තේරුම් ගැනීමට මහත් උපකාරයකි.

    ReplyDelete
    Replies
    1. එය “ආණ්ඩුව බියපත් වන කාරණය වන ඔවුන්ගෙන් ඇතැමෙක් රටට ද්‍රෝහිකම් කිරීමට මේ අවස්ථාව පාවිච්චි කරයි ද යන කාරණය ගැන ද සැලකිලිමත් විය යුතු ය.“ යනුවෙන් නිවැරදි කර තිබේ.

      Delete
    2. "රටට ද්‍රෝහිකම් කිරීම " පිළිබඳව ආණ්ඩුව සලකන ක්‍රියා පිලිබදව , ආණ්ඩු බලධාරීන්ගේ කියුම් කෙරුම් හරහා මේ වන විට අපට යම් අවබෝධයක් ඇත.

      මේ ගැන සැලකිලිමත් වියයුතු යයි ඔබ සඳහන් කර තිබුනද, " රටට ද්‍රෝහී ක්‍රියා " යයි ඔබ සලකන ක්‍රියාවන් , ආණ්ඩුවේ මතයන්ට වෙනස් යයි සිතමි.

      මා විමසා සිටියේ " රටට ද්‍රෝහී ක්‍රියා " යයි ඔබ සලකන ක්‍රියා පිළිබඳවයි.

      Delete
    3. නිදසුනක් ලෙස රටේ ත්‍රස්ත ක්‍රියා ආරම්භ කිරීමට කවුරුන් හෝ උත්සාහ කරනවා නම් එය පිටුදැකිය යුතුයි.

      Delete
    4. ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම/ප්‍රදානය කිරීම පිලිබදව ,වර්තමානයේ පවත්නා තත්වය සලකා බැලීමේදී, එයට අවධානය යොමු කරවීම සාකච්චා කිරීම වැදගත් දෙයකි. සමාජ මෙහෙවරකි. ඒ පිලිබදව අජිත් ට ස්තුතිවන්ත විය යුතුය.
      මේ කාරණයේදී තීරණ ගන්න පුද්ගලයන්ගේ hypocrisy පිළිබදවද රචනයේ වැදගත් විවේචනයක් ඇත. වර්තමානයේ මෙය තනිකරම ආරක්ෂක ලේකම් ගේ තීරණයක් බවට පත්ව ඇති බව පෙනේ. නෑදෑ හිත මිත්රාකදීන්ට, පාක්ෂික මැති ඇමතිවරුන්ගේ රෙකමදාරු වලට පමණක් කරගතහැකි කාර්යයක් බවට පත්ව තිබේ. අනෙකුත් රටවල ක්රමමබවේදයන් ද සලකා බලමින්, රටේ අවශ්යාතාවයන්, විදේශවාසි ශ්රී් ලාංකිකයන්ගේ අපේක්ෂාවන් අවශ්ය්තාවයන් ද සලකා බලමින් ,මේ විෂය පිළිබද උගතුන් විසින් සකස් කල යුතු ප්ර්තිපත්තියක් තිබිය යුතු මෙම ජාතික කර්තව්‍යය යැ , තනි පුද්ගලයෙකුගේ/ පවුලක පාලනයක් තීරණයක් බවට පත්ව තිබීම ඛේදජනකය.
      කෙසේ වෙතත් අජිත් ගේ රචනයේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ , කලක් ඔහු හා එකට වැඩ කල දැන හඳුම්කම් ඇති,නමුත් දැන් යම් විරසකයක් ඇති “මාර්ක්ස්වාදීන් “ කිහිප දෙනෙකු තවදුරටත් උපහාසයට ගර්හාවට ලක් කිරීම වෙනුවෙනි. එයින් මේ රචනාවේ වැදගත්කම බාල වී ගොස් ඇති බව පෙනේ.
      අන් සෑම කරුණකදී මෙන්ම රට ජාතිය ජාතික ආරක්ෂාව යන කරුණු ඉදිරියට දැමුවද , මෙම කැරුණේ දී තීරණ ගන්නේ , රෙජිමයේ දේශපාලන වුවමනාවන් මත, දේශපාලන විරුධවාදීන් මර්ධනය කිරීමට ඈත් කර තැබීමට බව ද පැහැදිලිය. අජිත් සඳහන් කරන පුද්ගලයන් ද වැටෙන්නේ රෙජීමයේ දේශපාලන විරුද්ධවාදීන් ඝනයටය. ඔවුන්ගේ අතීත /වර්තමාන චර්යාවන් මතවාද පිළිබද පුද්ගලික කෝන්තර කෙසේ වෙතත්, ඔවුන්ගේ ද මානුෂික/සමාජයීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය යුතු නොවේද ?
      රටට ද්‍රෝහී ක්‍රියා , “ත්‍රස්ත ක්‍රියා “ යනුවෙන් හදුන් වන්නේ මොනවාද යන්න පිලිබද අජිත් ගේ අර්ථ දැක්වීම පිළිගැනිම අපැහැදිලිය. ( විමසුවේ ද පැහැදිලි කර ගැනීම සඳහා ය). සාමාන්යීයෙන් මෙම ක්‍රියා අර්ථ දක්වන්නේ පුන පුනා ප්‍රචාරය කරන්නේ , පුද්ගලයන්ට ලේබල් ගසන්නේ රෙජීමයේ දේශපාලන නායකයන්, හමුදා නායකයන් , වන්දි භට්ට මාධ්‍යය යන් සහ රෙජිමයට සහාය දක්වන ජාතිවාදී න් ය. මේ දක්වා සිදු වි ඇත්තේ ,වර්තමානයේ සිදු වන්නේත් එසේය.
      පිටු දැකිය යුතු යයි අජිත් අදහස් කරන්නෙත්, රාජපක්ෂ රෙජීමය හා අනුගාමිකයන් ත්‍රස්තක්‍රියා යයි හඳුන්වන ක්‍රියා ද ? ඔවුන් දේශ ද්‍රෝහීන් ලෙස ලේබල් ගසන පුද්ගලයන් ගේ ක්‍රියාකාරකම් ද ?

      Delete
  5. විදේශ රටක පුරවැසිබව ගන්නවත් එක්කම ලංකාවෙ පුරවැසිකම අහෝසි වෙනවනම්, ඒ එක්කම ලංකාවෙ තමන්ගෙ තියෙන තවත් අයිතියක් අහෝසි වෙනව. ඒ තමයි සාමාන්‍ය බද්දට යටව ඉඩකඩම් මිළට ගැනීම සහ විකිණීම.

    ගොඩක් අය ද්විත්ව පුරවැසිකම තියන් ඉන්නෙ ඔන්න ඔය ප්‍රශ්ණෙ නිසා. ඒ අයට දිවිත්ව පුරවැසි කම දීමෙන් එක පැත්තකින් ඒක රටට විදේශ විණිමය ගේනව වගේ පෙනුනත් අනෙක් පැත්තෙන් රටේ සමහර පැතිවල ඉඩම් මිළ අසාමාණ්‍ය ලෙස ඉහල ගිහින් ලංකාවෙ ඉඳන් හම්බුකරන් කන මිනිස්සුන්ට අසාධාරණයක් වෙනව.

    මේක තරමක සංකීර්ණ තත්වයක්. කොහොම උනත් මගේ පුද්ගලික අදහස වෙන රටක පුරවැසිකම ගන්න අයට පුරවැසිබව වෙනුවට ලංකාවෙදි දිගුකාලීන වීස හරි පදිංචි සහතිකයක් හරි දෙන එක වඩා හොඳයි කියලයි.

    වඩා යහපත් පිළිතුරක් සොයා ගත හැක්කේ විවිධ පාර්ශව වලින් නැගෙන මෙවන් අදහස් විශාල ප්‍රමාණයක් සාධාරණව සලකල බලල මිසක, කාගෙවත් තණි මතයට නොවිය යුතුයි. ඒත් ඉතින්....

    ReplyDelete
  6. "ලංකාවට පැමිණ මෙහි දුප්පත් ජනයා ඉදිරිපිට සංදර්ශනයක් පවත්වා නැවත විදේශගත වන්නට මොවුහු කැමති ය. ආණ්ඩුව අකුල් හෙළා තිබෙන්නේ ඒ ප්‍රයත්නයටයි."

    Para, you are dead wrong here. ද්විත්ව පුරවැසි කම නොදෙන්නේ දෙමළුන්ගෙන් අල්ලගත්ත දේපල වලට ඒ අය ආපහු ඇවිත් අයිතිවාසි කම් කියනවට බයේ. යාපනේ ඉඩම් නෙවෙයි පැරා, ඕව කොළඹ ඉඩම්. ලංකාවට ඇවිත් සංදර්ශන පවත්වන්න අපට ඕන නැහැ පැරා, මොකද අපි රට ගියේ පැරා ගේ ගැන්සිය වගේ බොරු ලියල රට විකුණලා නොවෙන නිසා.

    ReplyDelete
    Replies
    1. කලබල වෙන්න එපා ප්‍රභාත්. මේ ලිපිය ලිව්වේ ඔබට පහර දෙන්න නෙමෙයි නේ.

      කවුරුද දෙමළ ජනයාගෙන් ඉඩම් අල්ල ගත්තේ? රජය ද?

      ඔබ දන්නවා ද සමහර පිටරට ගිය අයගේ ඉඩම් අල්ලාගෙන තිබෙන්නේ ඒ ප්‍රදේශවල ජීවත් වන දිළිඳු ජනයා බව?

      මේවා ඔබ කියන තරම් සරළ කාරණා නෙමෙයි. ඒවා ඉතා සංකීර්ණයි. ඒ පිළිබඳ ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න.

      Delete
    2. ආන්ඩුවෙන් නොමිලේ ලැබුනු ලප්ටොප් එක නිසා මෙහෙමත් ලියන්න වෙනවා තමයි...

      Delete
  7. \\\\\මේ නීති සම්පාදනය කිරීමෙහි මූලකත්වය ගන්නේ ද ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ වැනි ලංකාවේ හා ඇමරිකා එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසිභාවය ඇති අයයි. ඔවුන් ද අද ඔවුන්ගේ වෛරයට පාත්‍ර වන අය මෙන් ම මේ රට එපා කියා දාලා ගිය අයයි\\\\\\
    කුහක කමේ උපරිමය.. අදටත් ඔවුන්ට සිදු උනොත් ලංකාව හරි ඇමෙරිකාව හරි දෙකෙන් එකක් සදහටම තෝර ගන්න.. ඔවුන් යන්නේ ඇමෙරිකාවට..

    ReplyDelete
  8. Marks wadeen ge asawa gena liwwata PARATA STHUTHI,Me,Ratawalata Noyek wargaye sri lankikayan,Noyekuth widiyata/Krama walata ewitth innawa, (Demala jathikayan gena hemoma liyana nisa noliyami) Mama danna widiyata,lankawen palamuwenma sankramanaya une 1971 karellen passe.(Nam washayen nokiyami) esema Amu boru kiyala 1988-89 thawath kattiyak awa.samanya sankramanikayanta Wada owun Athmarthakamithwayen wedi,

    ReplyDelete
  9. ඇනෝ ක්මෙන්ට්ස් ආපහු දීලා නේද?
    මාතලනුයි පැරායි කිච වුන කිච වීමක්,
    ඇනෝ නැතිව මොන බ්ලොක්ගල් ද හලෝ!!
    ඔයාල පවි.
    දැන් තේරෙනවා ඇනෝලගේ බලේ

    ReplyDelete
  10. ද්විත්ව පුරවැසිබාවය තියා අපේ රටේ පුරවසිබාවයවත් නැති සමහර දේශපාලකයින් මේ ලංකාවේ ඉන්නකොට...... ලංකාවනේ කියල හිත හදාගන්නේ කොහොමද මන්ද? නියම ලිපියක් :)

    ReplyDelete
  11. //මේ අයට තමන් අපේක්ෂා කළ සුන්දර ලෝකයට පැන ගන්නට ලැබුණු පසු ඊළඟට ඇති වන ප්‍රශ්නය වන්නේ තමන් ලංකාවේ භුක්ති විඳි පිළිගැනීම එහි නොමැති වීමයි. එබැවින් ඔවුන් සිටින්නේ අන්තර්ජාලයෙන්, මුහුණු පොතෙන් ලංකාව දෙස බලාගෙන හූල්ල හූල්ලා ය. //

    මට මතක් වෙනවා 'මචං' චිත්‍රපටයේ දෙබසක්:

    "මට බැහැ බන් ලංකාව දාල යන්න. ඔය රටවල් වල අපිට සලකන්නේ සෙකන්ඩ් ක්ලාස් මිනිස්සු විදිහට".
    "ආ... දැන් අපි මෙහෙදී ෆස්ට් ක්ලාස් ද?"

    ReplyDelete
  12. ලංකාවෙන් බටහිරට ගිය බොහොම අය කරන්නේ තමාගේ උගත් මට්ටමට වඩා අඩු රස්සවක් . නය බරෙන් ගොඩ එන්න ලංකාවෙත් දේපල පස්සේ විකුණලා සල්ලි අරන් යනවා . අයෙත් රටටත් වත් නෑදෑයන් ට වත් සත පහක් වත් එවන්නේ නැහැ . ගැහැනුත් ළමයෙනුත් parttime job කරනවා . ලංකාවේ ආර්ථිකයට කීයක් හරි එවන්නේ මද පෙරදිග ඉන්න නුඋගත් කම්කරු මිනිසුත් . housemaid ගැහැනුත් විතරය්. ඔවුන් මුල්ලින්ම agency කාරයොත් . විදේශ සේවා කාර්යාලේ එවුනුත් සුරා කනවා . ඉන්පසු යන රටේ සේවා දායකය මරවල වැඩ ගන්නවා . මේ මිනිසුන්ට හොද වැටුපක් අනිවාර්ය ක‍රන්න රජයට පුළුවන් . උවමනාවකට තානාපති කාර්යාලයකට ගියොත් එකේ උන්ගේ අමාරුකම් වලට සහයෝගේ දෙන්න ඕනේ . මේ ගැන කව්රුත් හඬ නගන්නේ නැහැ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා