සුන්දර ඉංගිරිසි: සිංහල නම් ගම් ඉංග්‍රීසියෙන් ලියද්දී ඇති වන ගැටලු

සිංහල වචන ඉංග්‍රීසියෙන් ලිවීමේදී බරපතල ම ගැටලු ඇති වී තිබෙන්නේ නම් ගම් ලිවීමේදීයි. පහත පළ වන්නේ එවැනි ගැටලු මතු වන අවස්ථා කීපයක්.

අ හා ආ ස්වර අතර වෙනස සලකුණු කරන්නේ කෙසේ ද? ජයන්ත හා ජයන්තා යන නම් දෙකම ලියන්නේ එකම අකුරින් Jayantha ලෙසයි.

ඇ ස්වරය සඳහා e අකුර යොදා ගැනීම නිසා මේ ලියන මගේ නමත් ඉස්සර ඉඳන් ලිව්වේ Perakum ලෙසයි. මේ e අකුර ම එයන්න සඳහාත් යොදා ගන්නවා. නිදසුනක් ලෙස සෙනෙවි ලියන්නේ Senevi ලෙසයි.

ඇ හා ඈ ස්වර අතර වෙනස පෙන්වීමට ක්‍රමයක් නැහැ. දෑල බංඩාර ලියන්නේ Dela Bandara ලෙසයි. දැල බංඩාර හෝ දෙල බංඩාර කියා නම් තිබුණා නම් ඒවා ලියන්නේත් මේ ආකාරයටමයි.

ඉ (i) හා ඊ (ee) ස්වර අතර වෙනස දක්වන ආකාරයත් උ (u) හා ඌ (oo) ස්වර අතර වෙනස දක්වන ආකාරයත් ප්‍රශස්ත මට්ටමක තිබෙනවා.

ඒත්, සමහර ගුනසේකරලා Goonasekara ලෙස ලියාගෙන ගූ වෙන්නේ ඇයි ද යන්න තේරුම් ගන්න අමාරුයි.

සිංහල ඔ හා ඕ යන ස්වර දෙක අතර වෙනස ඉංග්‍රීසි අකුරින් පෙන්වන්නත් නිසි ක්‍රමයක් නැතිකම ගැටලුවක්. බොල්ගොඩ ලියන්නේ Bolgoda සයි. බෝලවත්ත Bolawatta ලියන්නේ ලෙසයි.

සිංහල ව්‍යංජනාක්ෂර සම්බන්ධයෙනුත් මෙවැනි ගැටලු තිබෙනවා. ඉහත සඳහන් කළ බෝලවත්ත ලියද්දී අපි පාවිච්චි කළේ watta ලෙසයි. එය වට්ට යනුවෙන් උච්චාරණය නො කළ යුතුයි කියා බලාපොරොත්තු වෙන අපි Kottawa යි ලියා එය කොත්තාව ලෙස උච්චාරණය නො කළ යුතුයි කියාත් බලාපොරොත්තු වෙනවා. ට සඳහා t ද, ත සඳහා th ද යොදා ගන්නවා නම් මේ ගැටලුව විසඳෙනවා.

ද හා ඩ ස්වර සම්බන්ධයෙන් ඇති ගැටලුවත් මෙවැනි ම එකක්. දිලානි හා ඩිලානි කියන්නේ දෙවිධියක නම් දෙකක්. ඒත් අපි ඉංග්‍රීසියෙන් මේ දෙකම ලියන්නේ Dilani ලෙසයි.

ස (s), ෂ (sh) ස්වර දෙක අතර වෙනස දක්වන්න පුළුවන් ක්‍රමයක් අපට තිබෙනවා. ඒත් Rajapakse, Nissanka වැනි යෙදුම් නිසා එහි අවුලක් හැදෙනවා.

ක ස්වරය ලියන්න k අකුර යොදා ගැනීම වඩා ප්‍රශස්ථයි. මා දැක තිබෙනවා කලාතුරකින් ඇතැමෙක් කුඩා බංඩා වැනි නමක් වෙනුවෙන් Cuda Banda යි යොදා ගන්නවා. එයින් නමට යම් ඉංග්‍රීසි පෙනුමක් ආවත්, විදේශිකයෙක් ඒ නම කියුඩා බංඩා ලෙස උච්චාරණය කරන්න පුළුවන්. ඒ නිසා k භාවිතා කිරීම වඩා හොඳයි. මන්ද, ච වෙනුවෙන් අපි ch භාවිතා කරන නිසා.

ව ස්වරය වෙනුවෙන් යොදා ගන්නේ v ද w ද කියන එකත් ප්‍රශ්නයක්. මෙය විශේෂයෙන්ම අන්තර්ජාලයේ සෙවුම් කරන විට ගැටලුවක් වෙනවා. විමල් ගැන සෙවීමක් කරන විට අප ලිවිය යුත්තේ Vimal ද Wimal ද යන්න ගැන එක මතයක් නැහැ. ඉංග්‍රීසියේදී Victor හා Wilbert යන නම් දෙකේ ආරම්භක අක්ෂර උච්චාරණය කිරීමේදී පුංචි වෙනස්කමක් තිබෙනවා. එහෙත් සිංහල භාෂාවේ එවැනි වයනු දෙකක් නැති නිසා අපි භාවිතා කළ යුත්තේ එක අකුරක්.

සිංහල බිංදුව හා නයන්න අතර වෙනස දක්වන්න බිංදුව ng ලෙසත්, න n ලෙසත් ලියන්න පුළුවන් වුණත් අපි මේවා පටලවා ගන්නවා.

සිංහලේ තිබෙන මහාප්‍රාණ අකුරු ලියන්නත් ක්‍රමයක් අපි සකසාගෙන තිබෙනවා. ඒ h අකුර සමග ලිවීමෙනුයි. ධ (dh), ඛ (kh), භ (bh) මේ අන්දමින් ලියන්න පුළුවන් වුණත් මහාප්‍රාණ ථයන්න th ලෙස ලියන්න බැරි වීම ගැටලුවක්. මන්ද එය අල්ප ප්‍රාණ තයන්න වෙනුවෙනුත් යෙදෙනවා. සිරිවර්ධන වැනි නම් Siriwardhana ලෙස වඩා හොඳින් ලියන්න පුළුවන්කම තිබියදීත් බොහෝ අය Siriwardane යි ලියනවා.

සිංහල සංඥක අක්ෂර ලියන්න මුලින් n අකුර යොදා ගන්න පුළුවන්. (උදා: Kandawala) අඹ බයන්න ලියන්න mb යොදා ගන්න පුළුවන්. (උදා: Ambepitiya)

මේ ළඟදි ජෝන් කොතලාවල පරපුරේ කෙනෙක් පුවත්පතකට කියා තිබුණා තමන් තමයි Kotelawala ලෙස ලියන ‘ඔරිජිනල්‘ කොතලාවල පරපුරේ  අය තමන් ය කියා.

සිංහලයන්ගේ නම් ගැන අවබෝධයක් නැති විදේශිකයන් මේ නම් උච්චාරණය කිරීමේදී ඒවා උසුරුවන්නේ විකෘති ආකාරයකටයි. උදාහරණ ලෙස ජයවෝදන, රාජපක්සෙ, බංඩාරනායිකෙ, කොටෙලාවල, ඇටපැට්ටු, ජයසිංගෙ, ගූනවෝදනෙ, සිරිවෝදනෙ, රාමනායකෙ වගේ විකෘති උච්චාරණ අපට විදේශිකයන්ගේ මුවින් අසන්නට ලැබෙන්නේ.

ඒත්, මෙතන තිබෙන හිනා යන කාරණය කියන්නේ ඇතැමෙක් තමන්ගේ නම් මේ අන්දමින් විකෘති උච්චාරණය කරනවාට කැමති වීමයි. සර් ජෝන්ගේ ඥාති මුණුබුරා තමන්ගේ නම Kotelawala ය කියා ආඩම්බරෙන් කියන්නේ ඒ නිසා නේ. එසේ නම් ලිවීමෙන් නමට ඉංග්‍රීසි පෙනුමක් ගන්න මේ අය උත්සාහ කරනවා.

සිංහලකම ගැන ආඩම්බර වෙන මිනිස්සු තමන්ගේ නම් ගම් ඉංග්‍රීසි අකුරෙන් ලියන විට එහි මුල් ශබ්දය හා අරුත වෙනස් නො වන ආකාරයෙන් ලියන්න වග බලා ගත යුතුයි.

සිංහල වචන ඉංග්‍රීසියෙන් ලිවීම සඳහා සම්මත ක්‍රමයක් අවශ්‍යයි කියා මම කියන්නේ ඒ නිසායි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Michael මයිකල් නම්, Michelle මිශෙල් වුනේ කොහොමද කියලා සුද්දො කරදර වෙනවා ඇතිද? මේ වගේ උදාහරන කෝටියක් විතර ඉංග්‍රීසියෙන් දෙන්න පුලුවන්.

    අර කියන විදියෙ (Kotelawala / Kothalawala, Rajapakse / Rajapaksha) නම් මම හිතන්නේ තියෙන්නෙ අනන්‍යතාවය (සමහර විට අනන්‍යතා අර්බුදය!)

    - Dimithri

    ReplyDelete
    Replies
    1. පුස්පකුමාරOctober 3, 2014 at 11:42 PM

      2075 දී, විශ්වයෙ සියළු නාම පද සහ ක්‍රියා පද පොදු විශ්වීය කේතයන් බවට පත්වෙන බවට, අපේ ගමේ ජන්තු කස්ටා ගහලා කරටි කැඩිලා ගෙයි දොරකඩ "කබරයා" දමමින් කිවේය.
      2075 දී, භාෂා පරිවර්තක නමින් ජොබ් ටයිටලයක් නැහැයි කියලා පැරාට කියන්නත් කිව්වා ඕං..
      තවත් මොනවදෝ කිවුවා .....

      Delete
  2. දැන් පැරකුම් සහෝදරයා ඔය උඩින් දමා තිබෙන පින්තුරය මෙම ලිපියට අදාල වන්නේ කෙසේද? මමත් ඉංග්‍රීසියෙන් මගේ වාසගම ලියන විට ඉස්සර නම් එතරම් සැලකිලිමත් වුයේ නෑ.

    එහෙත් වරක් අසනීප වී බෙහෙත් ගැනීමට ගිය විට එම දොස්තරමහතා ඇසුවා මගේ නම ඉංග්‍රීසියෙන් ලියන කොට ඔබ එය ලියන්නේ කෙසේදැයි කියා. ඒ කියන්නේ මගේ වාසගම ලියද්දි අවශ්‍ය නම් OO (ඩබල් ඕ) ඇතුලත් කර ලිවිය හැකියි. එසේ නැතිනම් U (යූ) අකුර ලිවිය හැකියි. මම කිව්වා මම නං ඒ ගැන එච්චර සැලකිලිමත් නෑ කියලා. එවිට ඔහු පැහැදලි කර දුන්න යම් කාරණයක්. එනම් සිංහල වාසගම් ඉංග්‍රීසියෙන් ලියනා විට භාවිතා කරන ඉහත සදහන් අකුරු අනුව එම තැනැත්තාගේ කුලය පිලිබදව සදහන් වන බව. ඇතැම් කුලවල උදවිය ඔවුන්ගේ වාසගම ලියනා විදිය වෙනස් කියලයි ඒ මහතා පැහැදිලි කර දුන්නේ.

    මම ඉතිං ඒ හින්දා ඒක ගැනත් සැලකිලිමත් වෙලයි දැන් නම,වාසගම ලියන්න පුරුදු වෙලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි

      කන්දේ වහුම්පුර = k w
      කන්දේ විදානේ = k v

      Delete
  3. /ඒත්, සමහර ගුනසේකරලා Goonasekara ලෙස ලියාගෙන ගූ වෙන්නේ ඇයි ද යන්න තේරුම් ගන්න අමාරුයි./

    /සිරිවර්ධන වැනි නම් Siriwardhana ලෙස වඩා හොඳින් ලියන්න පුළුවන්කම තිබියදීත් බොහෝ අය Siriwardane යි ලියනවා./

    මෙන්න බබෙක්! දැන් පැරා දන්නෙම නැද්ද මේ නම් ඔහොම ලියන්නේ එක් එක් කුලයන් විසින් තමන් අනෙකුන්ගෙන් වෙන් කර ගන්න කියලා?

    ReplyDelete
    Replies
    1. නෑ මං දන්නෙ නැහැ. එහෙම එකක් තිබෙනවා නම් ඒක කුල නෙමෙයි පවුල් ප්‍රශ්නයක්. ලංකාවේ කුලභේදයට ඉංග්‍රීසි භාෂාවේ සම්බන්ධයක් නැහැ.

      Delete
    2. කුල වාදයත් ධනවාදය වගේ තමයි පැරා. මුල් විහිදිලා තියෙන තැන අදුරගන්නත් අමාරුයි. අන්ත පසුගාමී අදහස් උනත් භාවිතේ තියෙනවා. මාත් අර අනෝව එක්ක එකයි මම දන්නා එකක් තමයි සෙනෙවිරත්න කියල ලියන විදිය , Senevirathna එකක් (එක කුලයක්) Seneviratne තව එකක්.

      කුලය කියනදේ මතුපිටින් නොපෙනුනාට ලංකාවේ තාමත් බොහෝ දේ තීරණ කරන සාදකයක්

      ඔන්න පැරාට තව පොස්ට් එකකට මාතෘකාවක්

      Delete
    3. correction- 'මාත් අර අනෝව එක්ක එකඟයි'

      Delete
    4. පැරකුම් මහත්මයානනි.
      නොදන්නා කම යනු යමක් නැතැයි හෝ එසේ නොවේ කීමට හේතුවක් නොවේ.විය යුත්තේ එය ගැන් සොයා බැලීමයි. නිවැරදි නම් පිළිගැනීමයි.
      "නෑ" කීම හෝ වෙන උපකල්පන සැපයීම නොවේ.

      Delete
    5. කුලය අනුව වෙනස්කම් තිබෙන්නේ සිරිවර්ධන, සිරිබද්දන වැනි නම් අනුවයි. ජයසිංහ - ජාසිංහ, කුමාරතුංග - කුමාරනතුංග ආදියත් එවැනියි.

      සිරිවර්ධන නම් වාසගම ඇති ඕනැ කෙනෙකුට Siriwardane කියා ලියන්න පුළුවන්. එය පෙළපත් ව්‍යවහාරයක් මිස කුල ධුරාවලියක් නෙමෙයි.

      Kothalawala කියා ලියන නිර්මල කොතලාවලත්, Kotelawala යි ලියන සර් ජෝන්ගේ පවුලේ අයත් දෙගොල්ලෝ ම ගොවිගම කුලයේ අය. වෙනස තිබෙන්නේ පරගැතිකමේ තරම අනුවයි.

      Delete
    6. පැරා දැනුම අලුත් කර ගන්න. සිරිවර්ධනලා කුල කිහිපයක් ඉන්නවා. මේ අයගේ කතා හරිම අපූරුයි. ඇත්තටම එක පහළ කුලයක් ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ උස්සලා තියලා ගොවිගමට පරිවර්තනය කරලා. (මෙහෙම පසුව ගොවිගමට පරිවර්තනය කරන ලද කුල ගණන විශාලයි.) මේ අය නම් ලියන විදි වෙනස්. ගුණවර්ධනලාත් එහෙමයි. De Silva හා Silva භේදයත් එහෙමයි. Nalin De Silva හා Harsha De Silva කරාව. Mervin Silva හා Tilvin Silva දුරාව.

      Delete
    7. ඕකෙන් උසස් කුලය කරාවද , දුරාවද ?
      හලාගම මිනිස්සු ගැන කියනකොට හාලි කට කියල කියන්නේ මොකද ?

      Delete
    8. Gunaratna, Gunaratne, Gunarathna
      Bandaranayaka, Bandaranayake, Bandaranaike, Bandaranike
      Weerakon, Weerakoon, Weerakone

      Delete
    9. “පැරා දැනුම අලුත් කර ගන්න. සිරිවර්ධනලා කුල කිහිපයක් ඉන්නවා. මේ අයගේ කතා හරිම අපූරුයි. ඇත්තටම එක පහළ කුලයක් ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ උස්සලා තියලා ගොවිගමට පරිවර්තනය කරලා. (මෙහෙම පසුව ගොවිගමට පරිවර්තනය කරන ලද කුල ගණන විශාලයි.) මේ අය නම් ලියන විදි වෙනස්. “

      ඉතින් දැනුම අලුත් කර ගන්න ඔයා දන්න ඔය රහස් කියන්නකෝ.

      ඔය නම් ඔක්කොම සිංහල ඒවා මිස ඉංග්‍රීසි ඒවා නෙමෙයි. ඒවා ඉංග්‍රීසියෙන් ලිවීම පසුව සිදු වූ දෙයක්. ඒ වෙනුවෙන් විවිධ ක්‍රම සකසා ගත්තත්, ඔය කියන පහළ කුලවල අයටත් එම ක්‍රමය ම භාවිතා කිරීමේ කිසිම ගැටලුවක් නැහැ.

      මෙතන තිබෙන්නේ කුලවාදයකට වඩා ඉංග්‍රීසි සම්බන්ධ හීනමානය. තමන්ගේ නම හැබෑ විධියට කියවෙනවාට වඩා ඉංග්‍රිසි ඌරුවට කියවෙනවාට තිබෙන කැමැත්ත.

      Delete
    10. මම කලින් කොමෙන්ට් එකක කියන්න හැදුවේ එයයි. මේ නම් ලියන විදියෙන් පෙන්වන්නේ කුලයටත් එහා ගිය ( ප්‍රාථමික ) තමන්ගේ පවුල් අනන්‍යතාවය සලකුනු කිරීමක්. නිර්මල සහ ජෝන් උදාහරනයෙන් එය ඉතා හොඳින් පැහදිලි වෙනවා. පවුල් අනන්‍යතා අර්බුදය?!?

      මට මෙහෙමත් හිතෙනවා. සමහර විට මේ තියෙන්නේ සුද්දා ලියපු විදිය. උදාහරනයක් විදියට ඉතා විසුලු විදියට නම තාමත් ලියවෙන තේ වතු තිබෙනවා. ලබුකැලේ - Labookelle!, මැදකුඹුර - Meddecombra!!, උඩුවර - Oodoowerre!!!!! මේ කීපයක් විතරයි. ඒ ගම් වල නම්. තමන්ගේ පවුලේ නම එහෙම වෙනස් විදියකට ලියවෙන එකට මිනිස්සු කැමති ඇති. ඒක හීනමානයද අනන්‍යතාවයද ඒ දෙකමද?

      - Dimithri

      Delete
    11. පැරාලා වගේ 'සමාජවාදීන්' ගේ මූලික දුර්වලතාවයක් තමයි ඉස්සෙල්ලා නිගමනයට එන එක. ඊට පස්සෙ තමයි ඒක තහවුරු කරන්න කරුණු හොයන්නේ. නැතුව මුලින් කරුණු හොයලා ඒ අනුව නිගමන ගන්නා සිරිතක් නැහැ. දැන් පැරා හිතාගෙන ඉන්නවා සමහර මිනිස්සු මහප්‍රාණ ඉංග්‍රීසියෙන් ලියන්නේ පරගැතිකමටයි මහන්තත්තකමටයි කියලා. හැමවිටම එහෙම නෙවෙයි කියලා මං කොච්චර කිව්වත් පැරා ඒක පිළි ගන්නේ නැහැ. මගේ වාසගමත් ඉංග්‍රීසියෙන් ලියන්නේ වැරදියට. දැන් පැරා කියන්න පුළුවන් මාත් එහෙම කරන්නේ මහන්තත්තකම්ට කියලා. හැබැයි මගේ පවුලේ හැමෝම පාවිච්චි කරන්නේ ඒ විදිහට. ඒ වගේම මගේ පාස්පෝට් එක වගේ ලිය කියවිලි තියෙන්නෙත් එහෙම. ඉතින් මට හිතුණු හිතුණු විදිහට ඒක වෙනස් කරන්න බැහැ. අපි ඉන්නේ ලංකාවේ මිසක පැරාලාගේ සමාජවාදී දේශයේ නෙවෙයිනේ.

      Delete
  4. පැරාගේ ප්‍රතිපත්තිය මුග්ධ කමෙන්ට් ඉවත් කිරීම නේද?

    ReplyDelete
  5. යුරෝපියානු මාක්ස්වදයයි රුසියානු ලෙනින්වාදයයි 2005දී සිංහල දුටුගැමුනුවාදයට සෙට් වෙන්නෙ කෙසේද ? පැරා මට කියල දෙන්න.

    ReplyDelete
  6. Madanayaka මේ කියන්නේ මදනායක ද නැත්නම් මදනයකා ද

    ReplyDelete
  7. //ඒත්, මෙතන තිබෙන හිනා යන කාරණය කියන්නේ ඇතැමෙක් තමන්ගේ නම් මේ අන්දමින් විකෘති උච්චාරණය කරනවාට කැමති වීමයි. //

    ඇයි, ග්‍රාම නාම.

    " Galle " යනු ගාල්ල යන්න ඉන්ග්‍රීසි අකුරෙන් ලිවීමයි. නමුත් දැන් "ගෝල්" යන්න ගාල්ලට "ඉංග්‍රීසියෙන්" කියන නම වී ඇත.

    පිටකොටුව "පෙටා" වී ඇත්තේද, කන්ද රට "කැන්ඩි" වී ඇත්තේද මෙලෙස සුද්දාට වන පටලැවිල්ල "පොෂ්" වීමයැයි සිතාගත් දීනයන් නිසාය.

    මෙවැනි දේ ඉන්දියාවේද තිබී වෙනස් වී ඇත. එනම් "මුම්බායි" සුද්දන් විසින් "බොම්බෙ" යැයි කීම පසුව නැවත "මුම්බායි" කිරීම වැනි අවස්ථවන්ය. එහෙත් මෙයටද ප්‍රසිද්ධ ඉන්දියානු සම්භවයක් ඇති කැනේඩියානු "විහිළුකරුවෙකු" වන රසල් පීටර් අපූරු කතාවක් කියයි. ඔහු කියන්නෙ, සුද්දන් ඉන්දියාවෙන් ගොස් වසර පණහකට විතර පසු, උන් නැවත ආපසු නෝන බව ඉතා හොඳින් සහතික වූ පසු තම වර්ගයා නම් වෙනස් කරන්නට නිර්භීත වී ඇති බවයි. මෙයද ඇත්තෙන්ම විහිළුවකට එහා ගිය "විහිළුවකි"

    ReplyDelete
    Replies
    1. Lorry ඉංග්‍රීසි වචනය සිංහලෙන් 'ලොරිය' කියන එක ගැන ඉන්දිකට මොකද හිතෙන්නෙ?

      Delete
  8. මගේ නමෙත් වරුණ කෑල්ලට W වෙනුවට V අකුර යොදවල තියෙනව පොඩි කාලේ. මොකද සිංහලෙන් කෙටි අක්ෂර වලින් ලියනකොට අකුරු හතරකින් ඩබ්ලිව්. ලෙස ලිවිය යුතු නිසා. නමුත් දැන් අනෙක් උන් ලියන්නෙම Waruna කියල. උප්පැන්නේ එකක් අනෙක් ගොඩක් තැන්වල තවෙකක්. සමහර වෙලාවට අවුල් ගොඩයි

    ReplyDelete
    Replies
    1. ඇයි ඔය fernando- ප්‍රනාන්දු?

      Delete
  9. Which is the odd one out?
    Barge, Liner or Ferry?

    ReplyDelete
  10. කාල් මාක්ස් ගෙ නම Karl Marks නොවී Karl Marx උනේ ඇයි?

    ReplyDelete
  11. අපේ ආයතනයට පුහුණු පාඨමාලාවක් කරන්න ආපු සුද්දෙක් Ekanayaka උච්ඡාරණය කළේ මෙහෙමයි. "ඒකා-නයා-කා" (ඒකාව නයා කාපිය!)

    ReplyDelete
  12. මාතරගේ ට Matarage කැම්පස් එකේ ඉන්ස්ට්‍රුක්ට කෙනෙක් ඇටෙන්ඩ්න්ස් මාක් කරනකොට කතා කරේ මැටරේජ් කියල.

    ReplyDelete
  13. සමහර නැඟෙනහිර යුරෝපීය රටවල Buddha යන්න උච්චාරණය කරන්නේ "බුද්හා" කියලා.

    ReplyDelete
  14. මේ වෙනුවට ඉන්ගිරිසි නම් දැම්මා නම් ලේසියි නේද...?

    ReplyDelete
  15. බ්‍රිතාන්‍ය කොලෝනියල් යුගයේ ලංකාව ටොප් එකට තිබුණා අයිසේ....

    ReplyDelete
  16. එක සැරයක් විභාග ප්‍රථිපල ලැයිස්තුවක් බලද්දී මට හම්බ උනා renapana කියල නමක්. මම බැලුව මොකාද මේ රෙනපන කියල. බලද්දී ඇත්ත නම රෑනපාන

    ReplyDelete
  17. මම දන්න විදිහට ඉංග්‍රීසි කියන්නේ සිංහල වගේ phonetical language එකක් නෙවෙයි. ඒ කියන්නේ ඉංග්‍රීසි වචනයක් (හරි නමක් හරි) උච්චාරණය කරන විදිහ අකුරු බලලා කියන්න බෑ. ඒක අහලම තමා දැන ගන්න ඔන. වැරදිනම් කරුණ්කරලා නිවැරදි කරන්න.

    ඉංග්‍රීසි කතා කරනකොට නම කියන විදිය දන්නේ නැත්නම් hope I pronounced your name correctly වගේ දෙයක් කියනවා. ඕක සිංහල නම් ඉංග්‍රීසියෙන් ලියන අවස්ථා වලටත් පොදු දෙයක්.

    හැබැයි, ගුණවර්ධනලා විහින් ගූ වෙන්න යන්නේ මහන්තත්වකම පෙන්නන්ගන්න වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හැම බාසාවක්ම හැදිලා තියෙන්නේ Phoneme Inventory කියලා සීමිත ශබ්ද ගණනකිනුයි. භූමි ප්‍රදේශ දෙකක එකම phoneme එක දෙවිදිහකට උච්චාරණ කරන අවස්ථා තියෙනවා (උදා: ඇමරිකාවේ mate = මෙ-ඉට්; ඔස්ට්‍රේලියාවේ ම-ඉට්).

      ඉතින් ඉංග්‍රීසි අකුරෙන් ලියලා තියෙන සිංහල නම ඉංග්‍රීසි මව් බස වන කෙනෙක් කියවන්නේ ඒ අය ඒක තම බාසාවේ ශබ්ද හා රිද්ම අනුවයි. උදාහරණයකට, මගේ නම කියවන්න ඇමරිකන් මිනිස්සු පසුබසින්න හේතුව ඒ අය ahangama වචනය බැලූ බැල්මට එහැංගමැන් (පෝරිසාදයෙක්) කියලා පේන නිසායි. ඒ වගේම sri lanka කියන එක දැකලා නැති අය ඒක කියවන්නේ සිරි ලැන්ක කියලයි 'sri' කියලා morpheme එකක් ඉංග්‍රීසියේ (හෝ සිංහලෙත්) නැති නිසායි.

      Delete
    2. ලන්කාවේ සිංහල බෞද්ධ උන ඒකාලේ ඉදන්ම කරලා තියෙන්නේ විහිලු. වාහනවලට දැම්මට ශ්‍රී කියන්නේ සිංහල එකක් නෙවෙයි තමා. පාලි වෙනන්ත් බැරිද කොහෙද. ඒක සංස්කෘත වෙන්න ඕන. මුන්ගේ වැඩ සිරාම අයිරනිකල්.

      Delete
  18. හපොයි, රාවණා නැඟිට්ට නම් මීට සැපයි.

    ReplyDelete
  19. අපි යමක් කාට හරි කියන්නේ ඒ අයට තේරෙන බාසාවෙනුයි. ඒ වගේ තමා අහවලා ත්‍රස්තවාදියෙක් කියලා බටහිර පැත්තට හැරිලා කෑ ගහන්නේ. බටහිර එවුන් (මම අවුරුදු 30ක් එහේ තමා ඉන්නේ) අරකා ත්‍රස්තවාදියා, මූ සුළු ජාතීන් මර්දන කරනවා ආදී දේ ඇහෙනකොට ඒවා පස්සේ දුවගෙන එනවා. ඒකට හේතුව මිනිසුන්ගේ හිත උණු කරලා ආධාර සල්ලි එකතු කළ හැකි වීමයි. (තමන් කැමති ගානක් තියාගෙන ඉතිරිය දෙන්න පුළුවන්. හැම සතේම තියාගත් අවස්තාවලුත් තියෙනවා, කෝ අහුනාද බටහිර අප්‍රිකාවේ ඉබෝල ලෙඩේ ගැන රෙඩ් ක්‍රොස් එක මොනවත් කරනවා කියලා? මුං ඔක්කොම කරන්නේ සල්ලි එකතු කරන උපක්‍රම හොයන එකයි).

    දෙමළ ත්‍රස්තයා මුලින්ම සල්ලි ගත්තේ ඇලන් කියන දෙපල අල්ලාගෙන ඇමරිකාවෙන් ගත්ත කප්පමෙනුයි. (එදා රේගන්ගේ උප ජනාධිපතිව හිටියේ ජෝර්ජ් බුශ්ගේ පප්පායි, එයා ඉන්දියාවට ඇවිත් හිටිය අතරේදියි ඇලන්ලාව අල්ලා ගත්තේ). දෙවෙනුවට උන් සල්ලි හොයා ගත්තේ අනුරාධපුරයේ කළ ජන ඝාතනය තමන්ම විඩියෝ කරලා යුරෝපයෙයි ඇමරිකාවෙයි පිනට දෙන මිනිස්සුන්ව රවටලායි.

    හාමුදුරුවෝ මිනී මැරුවේ නෑ, නමුත් ත්‍රස්තවාදියෙක්ලු. මිනී මරපු එවුන් තමා ඒ චෝදනාව කරන්නේ. මේක ගැන මොනවද සමසමාජ කාරයන් කියන්නේ?
    http://www.divaina.com/2014/09/28/feature01.html

    ReplyDelete
    Replies
    1. http://www.divaina.com/2014/09/28/feature01.html
      හි තියෙන කරුණට අපේ බහුතරයක් බ්ලොක් කරුවන්ට කට උත්තර නැහැ

      Delete
  20. ඔබගේ ක්‍රමය නම් ගොඩක් හොඳයි. නමුත් ඔය විදියට සිංහල වෙබ් අඩවි වලට දැම්මොත් searching වලදී සහ දැනට හැදෙමින් පවතින translation වැනි සේවාවලට ගැටළු ඇතිවෙනවා නේද? හැබැයි සිංහල අඩවි වලට හොරෙන් ඇඩ්සෙන්ස් දාන්න දඟලන අපේ මල්ලිලාට නම් ඕක ගොඩක් වටිනවා. එක නිසා මේ ක්‍රමය ව්‍යාප්ත කරන්න ඒක හොඳ විභවයක්.

    ReplyDelete
  21. "මහාප්‍රාණ ථයන්න th ලෙස ලියන්න බැරි වීම ගැටලුවක්"
    මේ සඳහා යෝජනා thh කරන්න පුළුවන්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා