No More July සුහද හමුව හා දෙමළ ඩයස්පෝරාවේ ප්‍රගතිශීලියෝ

රතිඤ්ඤා ඇඳුම - බන්දු මනම්පේරි
Please reconsider your position on the Tamil diaspora. In your articles you paint the diaspora with a broad brush labeling them as separatists. The Tamil diaspora represent many views, there is a significant group who seek autonomy within United Sri Lanka. The majority is for a federal sort of solution. So it's unfair and inaccurate to label everyone as separatists. Can we label all Sinhalese as racists or anti-Tamil?

මේ දෙමළ ඩයස්පෝරාව පිළිබඳ අප දක්වන ලද අදහස් පිළිබඳ මතු කරන ලද විවේචනයකි. දෙමළ ඩයස්පෝරාව ‍තුළ බොහෝ දර්ශන ඇති බවත්, එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ස්වයං පාලනයක් ‍වෙනුවෙන් පෙනී සිටින සැලකිය යුතු කණ්ඩායමක් එහි සිටින බවත්, එහි බහුතරය ෆෙඩරල් ස්වරූපී විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින බවත්, ඒ නිසා, දෙමළ ඩයස්පෝරාවේ සියලු දෙනා බෙදුම්වාදීන් ලෙස නම් කිරීම අසාධාරණ හා වැරදි සහගත බව ඉන් කියැවේ.

සියලු සිංහලයන් ජාතිවාදීන් හා දෙමළ විරෝධීන් ලෙස සැලකිය හැකි ද යන්න ද මෙම අදහස් දක්වන අය විමසති.

කිසියම් සමාජයක අදහස් පද්ධතියේ පොදු නියෝජනයන් හෝ ප්‍රකාශනයන් ලෙස අපට සැලකීමට සිදු වන්නේ එහි තිබෙන අධිපති කතිකාවන් ය. එහෙත්, විරෝධාකල්ප හෙවත් එකී අධිපති මතවාදයන් සමග ගැටුම් නැති බවක් ඉන් අදහස් වන්නේ නැත.

සියලු සිංහලයන් ජාතිවාදීන් ලෙස හෝ දෙමළ විරෝධීන් ලෙස හංවඩු ගැසිය හැකිදැයි අපගේ පාඨකයා අසයි. වෙන වෙන ම පුද්ගලයන් සම්බන්ධයෙන් එසේ කළ නො හැකි බව ඇත්තකි. එහෙත්, සිංහල සමාජය සම්බන්ධයෙන් අපට කිව හැක්කේ කුමක් ද?

සිංහල සමාජයේ අදහස් පද්ධතියේ ජාතික ප්‍රශ්නය හා සම්බන්ධ පොදු නියෝජනය වන්නේ සිංහල ජාතිවාදය හා දෙමළ විරෝධය මිස වෙන කුමක් ද? මේ ලියන මා ඇතුළු පුද්ගලයෝ විශාල පිරිසක් අඩු වැඩි වශයෙන් ජාතිවාදයට එරෙහිව පෙනී සිටිති. එහෙත්, අපි සමූහයක් ලෙස උක්ත කතිකාවට කරන මැදිහත්වීම හෝ එයට එරෙහිව කරන අරගලය ගැන මම අතිශය අතෘප්තිමත් ය.

උදාහරණයක් ලෙස ඊයේ විහාරමහාදේවි විවෘත රංග පීඨයේ පැවති No More July කළු ජූලි සමරුවට පැමිණ සිටි පුද්ගලයන් පිරිස සැලකිය හැකි ය. මම එම වැඩසටහනෙහි කලාත්මක ප්‍රකාශනය පිළිබඳ කිසිවක් ප්‍රකාශ කරන්නට නො යමි. පෙරේදා මම කොස්තාපල් පුන්‍යසෝම චිත්‍රපටය රස විඳින්නට උත්සාහ කළෙමි. එහි එතරම් රසයක් තිබුණේ නැත. මම No More July ගැන නො ලියන්නේ මම එහි කලාත්මක පාර්ශ්වය සමග ඒකාත්මික නො වූ නිසා ය. මට එය දැනුණේ ජාතික ප්‍රශ්නය හා සමාජය සම්බන්ධයෙන් අධිපති මතවාදයන්ප්‍රතික්ෂේප කරන්නන්ගේ සුහද හමුවක් ලෙස පමණි.


ජාති මස් - ජනක ඉලංංගරත්න
එහි පැවති ජාති මස් හෝ රතිඤ්ඤා ඇඳුම වැනි මා විසින් නිරීක්ෂණය කරන ලද කලා කෘතිවල ප්‍රකාශනය වන්නේ නො ගැඹුරු විරෝධාකල්ප පමණි. ඒවා සිංහල සමාජයේ පොදු කලාත්මක ප්‍රකාශන ද නො වේ.

No More July එක පැත්තකින් සිංහල සමාජයේ පොදු කලාත්මක ප්‍රකාශනයේ නියෝජනයක් වූයේ යයි මට සිතේ. එයින් නිරූපණය කෙරුනේ සිංහල කලාකරුවන්ගේ ජාතික ප්‍රශ්නය සම්බන්ධ කලාත්මක ප්‍රකාශනයේ නොගැඹුරුකම යයි මට සිතේ. විකල්ප අදහස් දරන කලාකරුවන්ගේ නිර්මානවල ප්‍රචාරකවාදී, නොගැඹුරුකම විසින් ප්‍රකාශ කරනු ලබන්නේ සිංහල සමාජයේ ජාතිවාදී හා දෙමළ විරෝධී ස්වභාවයේ ගැඹුර ම නො වේද?

සිංහල කලාකරුවා ජාතික ප්‍රශ්නය ස්පර්ශ කළ සීමාව ඉතා පටු යයි මට සිතේ. මීට වසර හතළිහකට පමණ පෙර ජයඩු විතාන කවියා විසින් ලියන ලද
තල් කොළයයි
පොල් කොළයයි
එකින් එකට පෙළට තියා
හොඳ ලස්සන රටාවකට
කළාලයක් වියමුව අපි
වැනි කවියක සීමාවකින් එහාට ගොස් ජාතික ප්‍රශ්නයේ ගැඹුර විනිවිද දුටු කලාත්මක ප්‍රකාශන සිංහල සමාජයෙන් සිදු වූවා නම් ඒ ඉතා අතළොස්සකි.

සිංහල කලාකරුවාගේ මේ දිළිඳුකම විසින් අවසානයේ නැවතත් ඔප්පු කරන්නේ සිංහල සමාජයේ ජාතිවාදී හා දෙමළ විරෝධී ස්ව්‍භාවය ම ය.

දෙමළ ඩයස්පෝරාව ජාතිවාදී යයි අප කියන්නේ ද මෙම පදනමෙහි ම පිහිටා ය. බෙදුම්වාදී යන වචනය අප බිය වද්දන එකක් නො වේ. ලෝක ඉතිහාසය යනු ‍බෙදුම්වාදයන්ගේ ඉතිහාසයකි. ලෝකය විවිධාකාරයෙන් බෙදී නො ගියා නම් අද පවතින ආකාරයේ ලෝකයක් අපට දකින්නට නො ලැබෙනු ඇත. ලෝකයේ දේශසීමාවන් වෙනස් වීම අවසන් වී නැත.

අප විරුද්ධ ජාතිවාදයට ය. මන්ද, ජාතිවාදය පසුගාමී අදහසක් නිසා ය. දෙමළ ජාතිය උත්තම ජාතියක් බැවින් ඔවුන්ට වාර්ගික ආධිපත්‍යයක් සහිත රාජ්‍ය පාලනයක් අවශ්‍ය ය යන අදහසට අපි විරුද්ධ ය. එය ලංකාව යනු සිංහලයන්ගේ වාර්ගික ආධිපත්‍යයෙන් පැවතිය යුතු රාජ්‍යයක් ය යන ජාතිවාදී අදහස නම් කාසියේ ම අනෙක් පැත්ත ය.

දෙමළ ඩයස්පෝරාවේ පොදු ප්‍රකාශනය ලෙස අපට දැකිය හැක්කේ මේ ජාතිවාදී ඊලාම්වාදයයි. එය සිංහල මහ ජාතිවාදයට ප්‍රතිචාරාත්මක එකක් වූ පමණින් එහි ප්‍රගතිශීලී හරයක් ගැබ් වන්නේ නැත.

දෙමළ ජාතික විමුක්ති අරගලය ප්‍රතිචාරාත්මක අවධිය පසු කර ගිය එකකි. එය රාජ්‍ය ගොඩනැගීමේ අවධියක් හරහා යමින් තිබේ. එහෙත්, ඒ ජාතිවාදී පදනමකිනි. අප ප්‍රශ්න කරන්නේ එයයි. දෙමළ ඩයස්පෝරාවේ පොදු ප්‍රකාශනය තුළ එකී ප්‍රශ්න කිරීම තිබේ ද?

මෙතැන තිබෙන්නේ අධිපති ප්‍රකාශනයන් සමග සමාජයන්ගේ ප්‍රගතිශීලී ‍කොටස් සම්බන්ධ වන හෝ ගැටෙන ආකාරය පිළිබඳ ගැටලුවකි.

ඊයේ පැවැත්වුණු No More July සංස්කෘතික වැඩසටහනෙහි (සුහද හමුවෙහි) කලාත්මක ප්‍රකාශනයන්ගේ දිළිඳුකම හා දෙමළ ඩයස්පෝරාවේ ඔබ කියන බහුතරයෙහි ගොළුබව විසින් ප්‍රකාශ කරන්නේ එක ම අර්බුදයකි.

ඒ වනාහි අධිපති අවකාශයෙහි මුල් බැසගෙන තිබෙන ජාතිවාදය පියමං කර යන්නට පොදුවේ සිංහල හා දෙමළ යන සමාජයන් දෙකේ ම ප්‍රගතිශීලීන් අසමත් වී තිබෙන බවයි.

මෙතැන තිබෙන මූලික ම ප්‍රශ්නය ලෙස මා නම් දකින්නේ කුහකත්වයයි.

No More July බලන්නට ආ පිරිස නිදසුනකට ගන්න. විහාරමහාදේවි උද්‍යානය නම් පොදු අවකාශයේ ගල් තාප්පයෙන් වට කළ එළිමහන් රංගපීඨය තරම් ජාතික අර්බුදය ප්‍රකාශ කරන තවත් ස්ථාපන කලා නිර්මානයක් නැතැයි මට සි‍තේ. එළිමහන් රංගපීඨය යනු පසුගිය දිනවල විහාරමහාදේවි උද්‍යානයේ සිදු වූ සංවර්ධනයන්ට හසු නො වූ අවකාශයකි. එකී සංවර්ධනයන් කරනු ලබන්නේ හමුදාව විසිනි. මෙහෙයවනු ලබන්නේ ගෝඨාභය රාජපක්ෂ විසිනි.

No More July සංවිධායකයන් විසින් වෙන් කර ගන්නා ලද රංග භූමිය විසින් එක්තරා ආකාරයකට ස්ථාපනය කරනු ලැබුවේ අවට ලෝකයෙන් වෙන් කර ගන්නා ලද කුඩා අවකාශයකි. ඊයේ එහි පැවැත්වුණේ ජාතිවාදයට විරුද්ධ එහෙත් කිසිවක් නො කරන හෝ කරන්නට අසමත් හෝ කරන දෙය අප්‍රමාණවත් හෝ සිංහලයන්ගේ සුහද හමුවකි.

දෙමළ ඩයස්පෝරාව සම්බන්ධයෙන් ද කියන්නට තිබෙන්නේ එය ම ය. 

අවසාන ප්‍රතිඵලය සිංහල සමාජය මෙන් ම දෙමළ සමාජය ද ජාතිවාදී හරයකින් යුක්ත වීමයි. අධිපති මතවාදයන්ට එරෙහිව ඇති කැරැලි කුහකත්වයේ ඝනාන්ධකාරය තුළ ගිලී ගොසිනි. හරියට විහාරමහාදේවි උද්‍යානයේ අඳුරු එළිමහන් රංගපීඨය වගේ ය.

මෙම සමාජ පරිවර්තන යුගයේ ශෝකජනකම දෙය වන්නේ නරක මිනිසුන්ගේ අමිහිරි ඝෝෂාව නොව හොඳ මිිනිසුන්ගේ දරුණු නිහැඬියාව බව ඉතිහාසයේ සටහන් විය යුතු ය.
- මාටින් ලූතර් කිං

History will have to record that the greatest tragedy of this period of social transition was not the strident clamor of the bad people, but the appalling silence of the good people.
- Martin Luther King, Jr.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. No More Comments !

    ReplyDelete
    Replies
    1. NO MORE JULY නමින් ආතල් කෝටියක් සමග ගු බවුසරක් නාපු සිලංකාවේ රැඩිකල් පොරවල් සහ උන්ගෙ මැණිවරුන්ට, පුල්ලෙයාරේ දෙවිපිහිටයි!

      PLEASE NO MORE " NO MORE JULY"

      Delete
    2. " NO MORE JULY" is a Lumpen Get-together.

      Delete
    3. NO MORE CAKE FOR" NO MORE JULY"

      Delete
  2. අදහස් හා එකඟ වෙමි. හොඳම උදාහරණය නම්, බහුතරයක් සිංහල බෞද්ධයින් ආගමික/වාර්ගික අන්තවාදයට විරුද්ධ බව පැහැදිළි මුත්, සුළුතරයක් වූ අන්තවාදී ත්‍රස්තයින් අතින් අළුත්ගම, බේරුවල සිදුවූ මහා පරිමාණ ව්‍යසනය නතර කිරීමට ඔවුන්ට හැකි වූයේද යන්න ගැන විමසිළිමත් වීමයි.

    ReplyDelete
  3. දුක්වෙන්න එපා පැරා. මම ඔයට කිව්ව ඔය කුණු රස පින්තූර තවත් දාන්න එපාය කියලා. දැන් යුද්දේ විකුණන්නත් බෑ. ඔය 83 විකුණන්නත් බෑ. සාම ගැන කතා කරණ උන්ගේ ඔළුවේ තියෙන්නේ මොනවද කියලා මේ කළා නිර්මාන කියලා හදලා තියෙන මරි මෝඩ බංකොලොත් ගැජට් දෙකෙන්ම පේනවා. උන් සාමේ නෙමෙයි ඉල්ලන්නේ. ආයෙත් යුද්ධයමයි ඉල්ලන්නේ.

    මේ ෆොටෝ දෙක දාලා උන්ගේ හෙළුව පෙන්නුවට, පැරාට මාගේ නොමද ගෞරවය.

    ReplyDelete
    Replies
    1. fighting for the first place with your BOG

      Delete
  4. Men make their own history, but they do not make it as they please; they do not make it under self-selected circumstances, but under circumstances existing already, given and transmitted from the past.-Marx

    ReplyDelete
    Replies
    1. Sometimes they do. But nevertheless hats off to this.

      Delete
  5. ''සිංහල බහුතරය ජාතිවාදිය. දෙමළුන්ද සිල් අරන් නොමැති අතර සිංහලුන් තරමටම ජාතිවාදිය. මුසල්මානුවන්ගේද වෙනසක්නොමැති අතර ඔවුන්ද ජාතිවාදී වේ''

    පැරා කියන ප්‍රවාදය මේකනම් ලංකාවේ සමාජය dead end එකකට ඇවිත් නේද ? මොකක්ද විසදුම ?

    ReplyDelete
    Replies
    1. ගමන් මගේ අවසානය නිර්මානය වන්නේ ජාතිවාදයට මිස මිනිස් වර්ගයාට නෙමෙයි.

      ජාතිවාදයේ යුගය අවසන් කරමු.

      අලුත් අනන්‍යතා වෙනුවෙන් සටන් කරමු.

      Delete
  6. පැරා, රතිඤ්ඤා ඇඳුම සම්බන්දයෙන් ඔබ කරන විවේචනයේ පදනම මොකද්ද ?

    ReplyDelete
    Replies
    1. රතිඤ්ඤා ඇඳුම ගැන විවේචනයක් නැහැ. මගේ විචාරාත්මක දැක්ම අනුව එය එතරම් නිර්මානශීලී නිරූපණ කලාංගයක් නොවෙයි. මා දකින ආකාරයට එය උවමනාවට වඩා ප්‍රචාරකවාදීයි.

      රතිඤ්ඤා ඇඳුම විසින් අපට සිහිපත් කරන ලද එක් සුවිශේෂ සිද්ධියක් තිබෙනවා. ඒ තමයි, මහනුවරදී භික්ෂුවක් සිරුරට පෙට්‍රල් වක්කරගෙන ගිනි තබා ගැනීම.

      පීඩක ජාතිවාදය පැත්තෙන් වගේ ම, පීඩිත ජාතිවාදය පැත්තෙනුත් මෙවැනි ස්වයං නාශක ගිනි තබා ගැනීම් වාර්තා වුණා.

      රකිඤ්ඤා ඇඳුම එක පැත්තකින් පුපුරනසුළු සමාජයක මිනිස්භාවය ප්‍රශ්න කිරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.

      රතිඤ්ඤා ඇඳුම වගේ ම, එය අඳින්නට පෙර ඔහු ඇඳ සිටි ඇඳුම හා එය ඉවත් කළ ආකාරයත් වැදගත්. එහෙත්, කලින් ඇඳුම මෙම නිරූපණයේදී වැදගත් භූමිකාවක් කළා ද කියන එක ප්‍රශ්නයක්.

      මාරයි කියන වචනය පමණක් කියලා නිහඬව කලා කෘති අමතක කර දමන සමාජයක අදහස් දැක්වීමක් විවේචනයක් ලෙස බැහැර කරන්න එපා. එය සමග සංවාදයක් ගොඩනගන්න උත්සාහ කරන එකයි වැදගත්.

      අදහස් පළ කරන්න. ඒවා එකතු කරලා රතිඤ්ඤා ඇඳුම ගැන අපි වෙනම පෝස්ට් එකක් දමමු.

      Delete
  7. පැරා,මේක Contemporary Art වැඩක්ද?

    Contemporary Art -
    Contemporary art is art produced at the present period in time. Contemporary art includes, and develops from, Postmodern art, which is itself a successor to Modern art. In vernacular English, "modern" and "contemporary" are synonyms, resulting in some conflation of the terms "modern art" and "contemporary art" by non-specialists. ( Wikipedia)

    ReplyDelete
  8. නැ ,මේක Contemporary Cake වැඩක් .. හිහි හි හි..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා