කට්ටඩියෝ, තක්කඩියෝ හා පිස්සෝ

පහත පළ වන්නේ නෙත් එෆ්.එම්. වෙතින් උපුටා ගත් පුවතකි.

"රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා මාරක අනතුරකින් අනූ නවයෙන් දිවි ගලවාගෙන ඇතැයි වාර්තා වේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්්‍යාලයේ ඉහල සිට ඇද වැටුණු ගඩොලක් සුමනදාස අබේගුණවර්ධන මහතාගේ හිස ආසන්නයෙන්ම බිමට වැටී ඇත. එම මුලස්ථානයේ මේ දිනවල අලුත්වැඩියා කටයුත්තක් සිදු කෙරෙමින් පවතින අතර පසුගිය බ්‍රහස්පතින්දා දින මෙම සිදුවීම සිදුවී ඇත. සිය මෝටර් රථයට ගොඩ වීමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුවී ඇතිඅතර සුමනදාස මහතාගේ හිස් අසලින් බිමට වැටුණු ගඩොල ඔහුගේ වාහනයේ ඉදිරිපස වීදුරුව සම්පුරණයෙන් කුඩු කරමින් බිමට පතිත වී ඇත."

ලංකාවේ ජනාධිපතිට වෙන්න තිබෙන දේ ගැන කියන ජ්‍යෝතිෂ උපදේශකවරයා වන්නේ තමන්ට සිදු වන්නට තිබෙන අනතුර ගැන කලින් කියන්නට නො දන්නා මෙවැනි අයෙකි. ඇත්තම කියනවා නම් එසේ කියන්නට සමත් කිසිවකු ලොව නැත. ඒ නිසා ඔලුව තිබෙන මිනිස්සු මෙවැනි තැන්වලට යන විට හිස ආවරණය වන පරිදි හෙල්මට් දමාගෙන යති.

ජනාධිපතිතුමනි, මෙවැනි කට්ටඩියන්ගේ උපදෙස් මත කටයුතු කරන, ෂිසොෆ්‍රීනියා රෝගීන්ගෙන් බෙහෙත් ගන්නා ඔබට අබ සරණයි!

මෙවැනි කට්ටඩියන්, .තක්කඩියන් හා පිස්සන්ට ලංකාවේ සමාජයේ විස්මිත පිළිගැනීමක් තිබේ. ලෝකයේ වෙනත් රටවලත් මෙවැන්නෝ සිටිති. 

නූතන සමාජයේ ඔවුන්ට මෙවැනි තැනක් ලැබෙන්නට හේතු වූයේ කුමක් ද යන්න ගැන අප විමසා බැලිය යුතු ය. අප දකින ආකාරයට නම්, මේ අවිද්‍යාව ප්‍රවර්ධනය කිරීම පිටුපස ඇත්තේ ජාතික හා වෙනත් වාර්ගික ස්වෝත්තමවාදයෝ ය. ජාතිවාදියෝ හැම විට ම සමාජ යථාර්ථයට මුහුණ  දෙනවා වෙනුවට අතීතයේ තිබුණා යයි කියන ගූඪ සමෘද්ධියක ෆැන්ටසියක ජීවත් වෙති. උදාහරණයක් ලෙස සිංහල ජාතිවාදීන්ගෙන් ඇතැමෙක් රාවණා නම් රජෙක් ගැන ද, ඒ රජු අහසින් පියෑඹූ දඬු මොනරය ගැන ද විශ්වාස කරති. ජාතිවාදය ඔස්සේ ඒ අතීතය බඳු අනාගතයක් නිර්මානය කළ හැකි යයි විශ්වාස කරති.

නලින්ද සිල්වා වැනි අය මෙවැනි අතීතකාමී දෘෂ්ටිවාදයන් විද්‍යාවත්, අවිද්‍යාවත් සමග පටලවමින් ලංකාවේ ප්‍රවර්ධනය කළ හ. මේ ඌරන් කැකුණ තලන විට ඒවායින් මඟුල් කෑ හබන් කුකුළන් වූයේ අප ඉහත කී ආකාරයේ කට්ටඩියෝ, තක්කඩියෝ හා පිස්සෝ ය. පිස්සා යන වදන අප යොදා ගන්නේ මානසික රෝගීන්ට අපහාස කිරීමට නො වේ. තමන්ගේ මානසික රෝගී තත්වයන් සමාජය මත ආරෝපණය කරමින් සමාජයට වින කරන තක්කඩින් වර්ගය හඳුන්වන්නට ය. ජාතිවාදයේ පිහිටෙන් මේ අය අතීතයෙන් හා විද්‍යාවට පිටින් තමන් වෙත ලැබෙතැයි කියන දැනුම හා බලයන් විකුණමින් සමාජයේ වැජඹෙති. ඇති තරම් මුදල් උපයති. 

නිදසුනක් ලෙස ආයුර්වේදය හා වෙනත් පාරම්පරික වෛද්‍ය අවිද්‍යාවන් විකුණන වට්ටෝරු වෙද්දු අටෝරාශියක් මේ වන විට රට පුරා විසිරී සිටිති. 

ඊනියා බටහිර විරෝධය ඔස්සේ සමාජවාදීහු ද මෙම අවිද්‍යාව ප්‍රවර්ධනය කරන්නට දායක වූ බව කියන්නේ කණගාටුවෙනි. එය සිදු වූයේ කිසියම් න්‍යායික තලයකදී ය. යටත් විජිතවාදය හා බටහිර ආධිපත්‍යය විසින් යටපත් කරන ලද බටහිර නොවන සමාජයන්ගේ උරුමයන් දෙස සානුකම්පිත වීමේ අතුරු ඵලයක් ලෙස ද මෙවැනි තක්කඩිකම්වලට තටු ලැබිණි. 

ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන සීමාන්තික උන්නතිකාමය හා තෘෂ්ණාව ද මේ හාස්කම් සොයා යාමේ ප්‍රවණතාවට උත්තේජකයක් විය. 

ජාතිවාදයෙන් බලය පිහිටුවා ගත් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ කට්ටඩිකම් වෙනුවෙන් මහජන මුදලින් පඩි හා වෙනත් වරප්‍රසාද දී නිල ජනාධිපති උපදේශකයකු පත් කර ගැනීම මෙම ප්‍රවණතාවේ එක් කූටප්‍රාප්තියකි. 

සම‍ාජ යහපත වෙනුවෙන් සටන් කරන සමාජවාදීන් ඇතුළු සියලු ප්‍රගතිශීලී බලවේග මේ කට්ටඩියන්ට, තක්කඩියන්ට හා පිස්සන්ට එරෙහිව සටන් කළ යුතුව තිබේ. 

සමාජය මුග්ධත්වයෙන් ගලවා ගැනීම සඳහා එය අත්‍යවශ්‍ය ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. නියමයි පැරා. මෙලෝ අධ්‍යාපනයක් නැති දේශපාලකයො පැත්තකින් තියමුකො, මේ විද්‍යා විශයන්ගෙන් ආචාර්ය උපාධි ගන්න ඇමරිකාවෙ යුරෝපෙ හිටපු එවුනුත් මෙ බහුබූත විශ්වාස කරනවනෙ.

    ReplyDelete
  2. ඒ ගඩොලක් ද නැතිනම් සෙනසුරු දෙවියන් ගේ කුණ්ඩලාභරණය ද කියා පැරා දන්නවාද?

    කොහොම වුණත් කාරෙකේ කේන්දරේට සුමනේ ගේ කේන්දරේට වඩා ග්‍රහ අපල තියෙනවා වගෙයි.

    ReplyDelete
    Replies
    1. කාර් එකේ කේන්දරේ කස්ටම් එකෙන් තියාගෙන. ඩියුටි ගෙව්වාම දෙන්නම් කියලා.

      Delete
  3. අනේ කොවුර් හිටියනම් කියල හිතෙනව

    ReplyDelete
  4. ස්කිට්සෝෆ්‍රේනියා කියලා උච්චාරණය කරන්න.

    ReplyDelete
  5. මොනවා කියනවාද පැරා !!!

    අතිගරු ජනාධිපති තුමාගෙ පින් බලේ නිසා තමුන් බේරුනා කියයි.. මෙන්න කැට !!!

    ReplyDelete
  6. අර ගඩොල වැරදි ඉලක්කයට අතෑරපු එකා අහුවුණොත්............

    ReplyDelete
    Replies
    1. මුංට ගඩොලක්වත් අත ඇරගන්න බෑ තමයි හරියට.අපරාදෙ ජනාධිපතිවරනයත් අගේට ගොඩ දාගන්න තිබ්බ.

      Delete
  7. මහින්දයගෙ ඔලුවෙ හැටියට,මේ වගේ එකෙක් තමයි ගැලපෙන්නෙ.

    ReplyDelete
  8. නලීන් ද සිල්වා ඉපදුනු කාලයේ ලංකාවේ වසූරිය රෝගය පැතිරී යාම නිසා අලුත ඉපදුනු ළමුන් බොහෝ දෙනෙකු මිය ගියහ​. බිළිඳු නලීන් ද සිල්වාට එවනි විපතක් නොවූයේ දෙමාපියන් විසින් කලට වෙලාවට එඩ්වඩ් ජෙනර් නම් බටහිරයෙකු විසින් සොයාගත් වසූරිය රෝගය වලක්වන වසූරිය එන්නත ඔහුට ලබා දීම නිසාය​.

    නලීන් ද සිල්වා හැදෙන වැඩෙන කාලයේ ලංකාවේ හාල් හිඟයක් ඇති විය​. එම නිසා එඞලන්තයේ නිශ්පාදිත නැව් මගින් බුරුමයේ සිට හාල් ලංකාවට ගෙන එනු ලැබීය​. එම නිසා නලීන් ද සිල්වා මන්ද පෝෂණයට ලක් නොවී හැදුනි වැඩුනි. ඔහු පාසල් ගියේ බටහිරයන් ගේ තාක්ෂණයෙන් නිශ්පාදනය කල බස් රථයකිනි. පසු කාලයක බටහිර තාක්‍ෂණය යොදා නිපදවූ මෝටර් රථයකින් ඔහු ගමන් බිමන් ගියේය​.

    තරුණ නලීන් ද සිල්වා වරක් වැස්සට තෙමී බ්‍රොන්කයිටිස් හදා ගත්තේය​. වෙද මහතෙකුගේ කසාය සුමාන දෙකක් බිව් නමුත් බ්‍රොන්කයිටිස් රෝගය වැඩිවී නිව්මෝනියාවට හැරුනේය​. මේ නිසා නලීන් ද සිල්වාගේ පියා ඔහුව බටහිර දොස්තර කෙනෙක් වෙත ගෙන ගියේය​.බටහිර දොස්තර නලීන් ද සිල්වාගේ පෙනහළු ආසාදනය වී තිබෙන බව සොයාගෙන ඔහුට ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං නම් සුද්දා සොයාගත් පෙනිසිලින් නම් ප්‍රතිජීවකය දුන්නේය​. පෙනිසිලින් වලට පින් සිද්ද වන්න නලීන් ද සිල්වාගේ පණ බේරුනේය​.

    විශ්ව විද්‍යාලයට ගිය නලීන් ද සිල්වා ලංකාවේ බොහෝ ප්‍රදේශ වල සංචාරය කලේය​. ඔහු බොහෝ විට ගමන් කලේ ජෝජ් ස්ටීවන්සන් නම් ඇමරිකන්කාරයා සොයා ගත් දුම්රියේය​. මෙයට නලීන් ද සිල්වලා කිව්වේ රේල්ලුව කියාය​.

    විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කොට නලීන් ද සිල්වා බටහිර තාක්‍ෂණය මගින් නිපදවූ ගුවන් යානයකින් එංලන්තයට ගියේ ආචාර්‍ය උපාධිය කිරීමටය​එඞලන්තයේ සිටි කාලයේ ඔහු පණ ගැට ගසා ගත්තේ දේශීය කොස් දෙල් කා නොව බටහිර කෑම මගිනි. ආචාර්‍ය උපාධිය කිරීමෙන් පසුව නලීන් ද සිල්වා ලංකාවට පැමිණි විගස ඔහුට රැකියාවක් ලැබුනි. ඒ එඞගලන්ත ආචාර්‍ය උපාධිය නිසාය​.

    මේ කාලයේ ඔහු පෙළවහක් කර ගත්තේය​. ඔහුට දරුවන් ලැබුණි. නලීන් ද සිල්වා ගේ දරුවා කුඩා කාලයේ පෝලියෝ රෝගය හිස ඔසවා ලමයින් බොහෝ දෙනෙකු අබ්බගාත කරන ලදී. නලීන් ද සිල්වා ගේ දරුවා කුරිරු පෝලියෝ රෝගයෙන් බේරෙන ලද්දේ සුද්දෙකු විසින් සොයාගත් පෝලියෝ එන්නතට පින්සුදු වන්නටය​. එසේම නලීන් ද සිල්වා ගේ දරුවා කාස රෝගය​, වසූරිය​, ගලපටලය , සරම්ප ,කක්කල් කැස්ස වැනි රෝග වලින් බේරා ගත්තේ සුද්දන් ගේ වෛද්‍ය තාක්‍ෂණයේ පිහිට මගිනි. මේ නිසා නිරෝගීව හැදුනු වැඩුනු දරුවා පසු කාලයක බටහිර රටක වැඩිදුර අධ්‍යාපනය සඳහා ගියේය​.

    මධ්‍යම වයසේදී නලීන් ද සිල්වාට මැලේරියාව සෑදුනි. ගැට අන්නාසි , පැපොල් යුශ බෙහෙත් වශයෙන් ගත්තද මැලේරියාව සුව නොවීය​. අවසානයේදී මැලේරියාව සුව වන්නේ සුද්දෙකු විසින් සොයා ගත් ක්ලොරොක්වීන් නම් බෙහෙත නිසාය​. මෙලෙස බටහිර තාක්‍ෂණයේ බටහිර විද්‍යාවේ පිහිෙටන් පණනල ගැට ගහගත් නලීන් ද සිල්වා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කීවේය​. මෙයට චූන් ගිය ලංකාවේ මාධ්‍යකාරයෝ රූපාවාහිනී වැඩසටහනක් සඳහා නලීන් ද සිල්වාට දිනයක් සහ වෙලාවක් දුන්හ​.

    නියමිත දිනයේදී සුවිස් ඔරලෝසුවෙන් වෙලාව බලා වේලාපහින් නැගිට ගත් නලීන් ද සිල්වා සුද්දන් සොයා ගත් ක්ලෝරීන් මගින් විස නැසූ වතුර වලින් නාගෙන දේශීය අමුඩයක් වෙනුවට සුද්දන් නිපදවූ සස්පෙන්ඩරයක් යටට ඇඳ ඊට උඩින් ජාතික ඇඳුම ඇඳලා බටහිර තාක්‍ෂණයේ මහිමයෙන් නිපදවන ලද මෝටර් රථයකින් ජාතික රූපාවාහිනියට ගියේය​. හෙතෙම ජාතික රූපාවාහිනියට ගොස් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව කීවේය​. මේ සිංහ ගර්ජනාව ලංකාවේ සකල හුදී ජනයන්ට මහාචාර්‍ය නලීන් ද සිල්වා සූරීන් ගේ රූප කාය සමග​ ඒ මොහොතේම දැක බලා ගන්නට හැකි වූයේ ජෝන් ලොගී බෙයාඩ් නම් සුද්දා විසින් සොයාගත් රූපාවාහිනී තාක්‍ෂණයට පින්සිදු වන්නට .

    ReplyDelete
    Replies
    1. නලින් සිල්වා තවම බදාගෙන සිටිනුයේ බටහිරයකු විසින් නිර්මාණය කරන ලද නාමයකි.

      Delete
    2. නලින් සිල්වාගේ නිවසේ සෙවිලි කර ඇත්තේ අනුරාධපුර, පොළොන්නරු, දඹදෙනි, යාපහු, කෝට්ටේ සහ මහනුවර ආදී ප්‍රෞඩ, ශ්‍රේෂ්ට යුගවල දේශීයයන් විසින් භාවිතා කරන ලද විශිෂ්ට, අනගිභවනීය පොල් අතු නොව, කොහෙදෝ යන පර සුද්දෙකු සොයා ගත් ඇස්බෙස්ටොස් තහඩු ය.

      Delete
    3. ඔය ඇති මො‍ළේ කොලොප්පන් වෙනවා.

      Delete
    4. ඔහුට මඩ ගැසීම නවත්වා කරුණාකර ඔහුගේ අදහස් වලට ඇහුම්කන් දෙන්න. විදුසරෙහි පළවන "විද්‍යාව පට්ටපල් බොරුවක්ද සංවාදය විවෘත මනසකින් යුතුව කියවන්න. ". http://www.vidusara.com/2014/06/04/vidya.html

      Delete
  9. "ජනාධිපතිතුමනි, මෙවැනි කට්ටඩියන්ගේ උපදෙස් මත කටයුතු කරන, ෂිසොෆ්‍රීනියා රෝගීන්ගෙන් බෙහෙත් ගන්නා ඔබට අබ සරණයි!"
    ආතල් ම කතන්දරය වන්නේ ජනාධිපති ට කළින් , දැනටමත් අබ සරණ ලැබී ඇත්තේ ඔය බම්බු කට්ටඩියන්ගේ උපදෙස් මත කටයුතු නො කරන සාමාන්‍ය මිනිස්සු වන අපට වීමයි......

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා