සුන්දර ඉංගිරිසි - ගෙදරදොර උපකරණ ගැන ලියන්න ගිහින් ට්‍රැක් පැන යළි තේමාවට ආවෙමි

අධික වැස්ස නිසා මේ දිනවල මම වැඩිපුර ඉන්නේ ගෙදරට කොටු වෙලා. ඒ නිසා ගෙදරදොරේ භාවිතා වන ඉංග්‍රීසි ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. 
ගෘහ උපකරණ රැසකට ම අපි භාවිතා කරන වචන ඉංග්‍රීසි වදනින් සකසා ගත් තත්සම ඒවායි. ම උදේ පාන්දරින් නැගිටලා මේ සටහන ලියමින් ඉන්නවා. සාමාන්‍යයෙන් අපි ලියන්නේ පෑනෙන්. පෙන් නම් ඉංග්‍රීසි වදන පෑන වීමේදී ස්වර පෙරළියක් සිදුවෙලා. හැබැයි ඉංග්‍රීසියෙන් පෑන් කියන්නේ වළඳටයි. පෙන්සිල් පැන්සල වුණ එකත් ඒ වගේමයි. ළමයි සටහන් ලියන්නේ ඇක්සයිස් පොත්වල. ඇක්සයිස් කියන වචනය බිඳිලා ඇවිත් තිබෙන්නේ එග්ස(ර්)සයිස් කියන වදනින්. එය අභ්‍යාස කියා සිංහලට පරිවර්තනය වෙනවා. ළමයි පීටී කරන්න පිට්ටනියට යනවා. පී.ටී. කියන්නේ ෆිසිකල් ට්‍රේනිං (Physical Training). එහි අරුත ශාරීරික (අභ්‍යාස) පුහුණුවයි. ඒත් පාසල්වල තිබෙන්නේ ශාරීරික අධ්‍යාපනය හෙවත් ෆිසිකල් එඩියුකේෂන් (Physical Education) වුණත් කවුරුවත් මෙයට පී.ඊ. කියන්නේ නැහැ. කියන්නේ ම පීටී කියලා තමයි. ඉස්කෝලවල පීටී මිස්ලා පීටී සර්ලාත් ඉන්නවා. 
සුරාබදු නිලධාරීන්ටත් ගමේ මිනිස්සු ඇක්සයිස් මහත්තුරු ය කියනවා. එතනදී ඇක්සයිස් වෙන්නේ එග්සයිස් (excise) නම් වදනයි. තේරුම සුරාබදු. 
ලියන්න ගියේ ගෘහ උපකරණ ගැන වුණාට මාතෘකාව පීලි පැන්නා. පීලි පැන්නා කියන වචනය ඩිරේල් (derail) කියන වදනේ පරිවර්තනයක්. සමහරු මේකට ට්‍රැක් පනිනවා කියනවා. තේරුම මාතෘකාවට හෝ තේමාවට අදාළ නැතිව කතා කරන එක වුණාට ට්‍රැක් පනිනවා කියන යෙදුම හැදෙන්නේ ධාවන තරගවලදියි. කෙටි දුර රිලේ දුවනකොට ට්‍රැක් පැන්නොත් අවුට් වෙනවා. අවුට් වෙනවා කියන සංකල්පයට දැවී යනවා කියා පරිවර්තනයක් තිබුණත්, සිංහල මිනිස්සු අවුට් වෙනවා ය කියා ක්‍රියා පදයක් හදාගෙන තිබෙනවා. අවුට්ටෙක කියලා නාම පදයකුත් තිබෙනවා. ක්‍රීඩාවේ ව‍ගේම වැඩපොළවලදී පිටවීම සම්බන්ධයෙනුත් මේ වදන යෙදෙනවා. ඒත්, ඉංග්‍රීසියෙන් අවුට් (out) කියන්නේ ක්‍රියාපදයක්වත් නාම පදයක්වත් නෙමෙයි. 
දැන් ඔය තේමාව කියන වචනය ගන්නකෝ. මේ වනාහි ඉංග්‍රීසියේ තීම් (theme) කියන වදන හරි අපූරුවට සිංහල කරගෙන තිබෙන හැටි නේ. රිදම් (rhythm) කියන ඉංග්‍රීසි වදන රිද්මය යනුවෙන් සිංහල කරගෙන තිබෙන්නේත් ඒ වගේමයි. 
ඉතින් අද තේමාව ගෙදරදොර භාණ්ඩනේ. දැන් මම තේ කෝප්පයක් බිව්වා. තේ කියන්නේ ඉංග්‍රීසියෙන් ටීවලට. කෝප්පය හැදුණේ කප් (cup) කියන වචනයෙන්. වතුර උණු කරන කේතලය හැදුණේ කෙට්ල් නම් වදනින්. පහත දැක්වෙන තත්භව වචන ලැයිස්තුව බලන්න. (ලැයිස්තුව කියන්නේ ලිස්ට්)
  • ජෝගුව - ජග් (jug)
  • රාස්පාන හෝ සාස්පාන - සෝස්පෑන් (saucepan)
  • දීසිය - ඩිෂ් (dish)
  • ගෑස් ලිප - ගෑස් කුකර් (gas cooker)
  • රාක්කය - රැක් (rack)
  • ඉස්කිරිම - ස්ක්‍රීන් (screen)
  • බේසම - බේසින් (basin)
  • බෝතලය - බොට්ල් (bottle)
  • ලාම්පුව - ලෑම්ප් (lamp)
  • බල්බය / බලුප්පෙක - බල්බ් (bulb)
  • ලන්තෑරුම - ලැන්ට(ර්)න් (lantern)
  • ඩස්පින් - ඩස්ට්බින් (dustbin)
  • සුවිච්චෙක - ස්විච් (switch)
  • පයිප්පය - පයිප් (pipe)

පහත දැක්වෙන්නේ ගෙදරදොර උපකරණ සම්බන්ධයෙන් භාවිතා වන තත්සම වචනයි. ඒ කියන්නේ ඒ ආකාරයෙන් ම යෙදෙන වචනයි.
  • හීටරය - හීටර් (heater)
  • කැබිනට්ටුව - කැබිනට් (cabinet)
  • කබඩ්ඩෙක - කබ්ඩ් (cupboard)
  • කැලැන්ඩරය - කැලැන්ඩර් - සිංහල වචනය දින දසුන (calendar)
  • ප්ලග් එක - ප්ලග් (plug)  - සිංහල වදන පේනුව
  • ටැප්පෙක - ටැප් (කරාමය) (tap)
  • බාස්කට්ටෙක - බාස්කට් (basket)
  • ටෝච්චෙක - ටෝච් (torch) (විදුලි පන්දම)
  • බැටරිය / බැස්ටිය - බැටරි (battery) (විදුලි කෝෂය)
  • ඇල්බමය - ඇල්බම් (album)
  • ලොක්කෙක - ලොක් (lock)
  • ලොක්කරනවා - ලොක්(lock)
සිංහල වදන් වන වැසිකිළිය, කක්කුස්සිය යන වදන් තරමක් අශ්ලීල වගේ පෙනෙන නිසා සිංහල මිනිස්සු ලැට්ටෙක කියන වචනය භාවිතා කරන්න පටන් ගත්තා. මේ භාවිතය ආවේ පාසල්වලින්. ලැට් කියන්නේ ඉංග්‍රීසි ලට්රීන් නම් වදනින් හදාගත් ලාංකික ඉංග්‍රීසි වදනක්. භාවිතාවේදී නම් මෙය වැඩිපුර යෙදෙන්නේ කැසිකිළියටයි. 
හැබැයි, ඉංග්‍රීසි කතා කරන සමාජයේ නම් ටොයිලට්, ලට්රීන් වැනි වදන් ප්‍රසිද්ධියේ භාවිතා කිරීමත් අශ්ලීල ය කියා සැලකෙන නිසා භාවිතා වන්නේ වොෂ්රූම් කියන වචනයයි. 
සිංහල මිනිස්සු දැන් නියකටර්රෙක කියා අපූරු වචනයක් භාවිතා කරනවා. නිය සිංහල. කටර් ඉංග්‍රීසි. මෙහි ඉංග්‍රීසි වදන නේල් ක්ලිපර් (nail clipper) හෝ නේල් කටර්. කපන උපකරණ ගණනාවකට සිංහල මිනිස්සු කටර්රෙක කියනවා. බෝතල් මූඩි අරින බොට්ල් ඕපනර් (bottle opener) එකත් කටර්රෙක. ටින් කඩනයත් කටර්රෙක. පැන්සල් උල් කරන පෙන්සිල් ෂාපනර් (pencil sharpener) එකත් කටර්රෙක. කටර් අඬුව කියා උපකරණයකුත් භාවිතා කරනවා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. කක්කුස්සිය යනු සිංහල වදනක් නොවේ. එය ඕලන්ද භාෂාවෙන් පැමිණියකි. එම වදන නිර්මාණය වී ඇත්තේ kak (කක්කා හෙවත් මල) සහ huis (ගෙය) යන ඕලන්ද වචන දෙක එකට සම්බන්ධ වීමෙනි. එකල වැසිකිලිය තනා තිබුණේ නිවසින් බැහැරව නිසා (තවම එවැනි වැසිකිලි ඕනෑ තරම් ලංකාවේ දැකිය හැක) එය මල පහ කරන ගෙය හෙවත් kakhuis, (සිංහලට හැරෙන විට කක්කුස්+සිය) නමින් හැඳින්විණි.

    ReplyDelete
  2. ඉංග්‍රීසීන් ලංකාවට පැමිණීමට පෙර මෙහි සිටි පෘතුගීසීන් සහ ලන්දේසීන් ලාම්පුවට කීවේ පිළිවෙලින් ලම්පදා (lâmpada) සහ ලම්ප් (lamp) ය. එම නිසා 'ලාම්පුව' යන වදනේ මූලාශ්‍රය ඉංග්‍රීසි නොව, මේ භාෂාද්වයෙන් එකක් විය හැකි යි.

    ReplyDelete
  3. රාස්පාන හෙවත් සාස්පාන යන වදන් ද සිංහලට පැමිණෙන්න ඇත්තේ ඕලන්ද භාෂාවෙන් විය හැකි යි. මන්ද, ලන්දේසීන්, ඉංග්‍රීසීන්ට පෙර මෙහි සිටි බැවිනි. sauspan (සෞස්පාන්) යන්න ඒ ඕලන්ද වචනය යි.

    ReplyDelete
  4. ලන්තෑරුම යන වදනත් ඒ ආකාරයට ම ඕලන්ද භාෂාවෙන් පැමිණියාදැ යි සෙවීම වටී. මන්ද, එය lantaarn (ලන්තෑර්න්) නිසා ය.

    රාක්කය ඕලන්ද භාෂාවෙන් rek (රෙක්) ය.

    ReplyDelete
  5. "කපෝති" යන්න සිංහලට පැමිණියේ ද ඕලන්ද භාෂාවෙනි. ඒ kapot (කපෝත්) යන වදන යි

    ReplyDelete
  6. ලනිදේසි භාෂාව දන්නා ඔබ මේ කරන මැදිහත්වීම මම මහත් සේ අගයනවා. ස්තුතියි.

    ReplyDelete
  7. පැරාගේ ලිපිය ට ඇනෝ ගේ කමෙන්ට්ස් එක් වීමෙන් මේ ලිපියේ අගය තවත් ඉහළ ගොස් තිබෙනවා. ස්තුතියි දෙදෙනාටම.

    ReplyDelete
  8. අන්තිමේ දී පැරා මේ ලිපිය බ්ලොග් (blog) එකේ පෝස්ට් (post) කළා!

    දැන් අපි කමෙන්ට් (comment) කරනවා. ප්‍රොෆයිල් (profile) කාරයෝයි ඇනෝලායි (anonymous) දෙගොල්ලෝම.

    (ඒ වාක්‍ය දෙක නිකඅ කීර්ති වර්ණකුසූරිය ලිව්වා වගෙයි.)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කකා වර්ණකුසූරිය

      Delete
    3. @කතන්දර කාරයා,
      නෑ... කීර්ති වර්ණකුලසූරිය ලියන්නේ මෙහෙම ------->

      අන්තිමේ දී පැරා මේ ලිපිය බ්ලොග් (බ්ලොග්) එකේ පෝස්ට් (පොස්ට්) කළා (Finally, Para posted this article in the blog).

      දැන් අපි කමෙන්ට් (comment) කරනවා (Now we comment).

      Delete
    4. කීර්ති වර්ණකුලසූරිය කියන්නේ දිවයින පත්තරේ ආරක්ෂක ලේකම් (Secretary of Defence) .

      Delete
    5. කීර්ති වර්ණකුලසූරිය යනු මෙරට සිටින ජඩම ජඩ ලියන අප්පුවෙකි.

      Delete
  9. මම මේ කල්පනා කළේ සිංහල ආදි වචනයක් වෙන 'සේතුව' අත හැරලා ඒ වෙනුවට 'පාලම' කියන දෙමළ වචනය ආවේ කොයි කාලේ ද කියලා. උසස් පෙළ භෞතිකයේ නම් 'වීට්ස්ටන් සේතුව' (Wheatstone bridge) කියලයි කියන්නේ. ඒ වගේ ම ඉන්දියාවේ පැට්නා නුවර අසල, ගංගා නම් ගඟ හරහා තියෙන්නේ 'මහත්මා ගාන්ධි සේතුව".

    ReplyDelete
    Replies
    1. එතකොට "සෙතු සමුද්‍රම්" කියන එකේ සෙතු දෙමල නෙවෙයිද

      Delete
    2. @Anonymous June 12, 2014 at 2:43 PM ----

      "සේතුසමුද්‍රම්" කියන්නේ "සේතු" සහ "සමුද්‍ර" කියන සංස්කෘත රූප දෙක අරගෙන හදා ගත්ත වචනයක්. එතන "සේතු" කියන වදන සංස්කෘත මිසක් දෙමළ නෙවෙයි. කොහොම නමුත් දෙමළ භාෂාවේ සංස්කෘත වචන බොහොමයක් තියනවා.

      Delete
  10. English words write in English,...to lean your pupils how to spell too.

    ReplyDelete
  11. @AnonymousJune 12, 2014 at 1:06 PM,
    ඇයි සෘජුකාරක සේතුව - Rectifier Bridge

    ReplyDelete
  12. හීටරය, කැබිනට්ටුව, ඇල්බමය, යන වචන තත්සම නෙවෙයි තද්භව කියලයි මටනම් පෙනෙන්නේ.

    අර උඩ පින්තූරයේ තියන 'නියපොතු කපනය'ට හමුදා සොල්දාදුවන් බහුතරයක් කියන්නේ 'නී කටර්' කියලයි. කොපමණ වාරයක් නිවැරදි වචනය කියාදුන්නත් පුරුද්ද අත්හරවන්නට බැහැ.

    ReplyDelete
    Replies
    1. මගේ පියා මගේ බෙල්ල = My father මයිනෙක්

      මගේ මව මගේ දණහිස = My mother මයිනී

      Delete
  13. පැරා, නොදන්න කමට අහන්නෙ. ශාරීරික අභ්‍යාස කියන එකයි, ශරිරික අධ්‍යාපනය කියන එකයි දෙකක් නේද ? තව දුරටත් කියනව නම්. අභ්‍යස කියන එක "ගත සිත " යොදවල කරන ප්‍රායෝගික පුහණුවක් ගැන කියවෙනව වගේම, අභ්‍යාසය කියන එකෙන් එහෙම දෙයක ඇගවෙන්නෙ නැහැ නේද ? ඒ අනුව ශාරීරික අභ්‍යාස වලට පී ඊ කියන්නන පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. PE = Physical Education
      PT = Physical Training

      Delete
  14. අධ්‍යාපනය කියන එකෙන් එහෙම දෙයක ඇගවෙන්නෙ නැහැ නේද ?

    ReplyDelete
  15. මම මේක කලිනුත් කොමෙන්ටුවක සඳහන් කලා ඒත් පැරා ගනන් ගන්නේ නෑ වගේ ..

    තත්සම කියන්නේ එලෙසින්ම යෙදෙන වචනවලට (loaned words කියන ඒවා) .. තත්භව කියන්නේ අපි වෙනස් කර ගත් ඒවා ( derived words)..

    මම දන්න තරමට..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පැරා ආයෙත් වැරදි යි.... මෙන්න තත්භව/තත්සම ගැන නිවැරදිව පැහැදිලි කිරීමක්:

      (A) තත්භව
      වෙනත් භාශාවන්ට අයත් පද යම් විපර්යාසයකට ලක් කිරීම/ලක් වීම මගින් නිපදවෙන පද.
      මේ කටයුත්තට පදයක් තද්භව වීම කියල කියනවා.
      උදාහරන බොහෝ යි
      සංස්කෘත සිට සිංහලයට තද්භව වූ පද
      ආභරන - අබරන
      අර්ථ - අරුත්

      දෙමලෙන් සිංහලට තද්භව වූ පද
      අම්පලම් - අම්බලම්
      උරුමෛ - උරුම
      කරවාඩු - කරවල
      පොලිවු - පොලී

      පාලියෙන් සිංහලට තද්භව වූ පද
      ධම්ම - දම්
      තන්හා - තන
      මග්ග - මග
      කහාවන - කහවනු
      විජ්ජුලි - විදුලි

      ඉංගිරිසියෙන් සිංහලට තද්භව වූ පද
      ඒකර් - අක්කර
      ඩිස්ට්රික්ට් - දිස්ත්රික්කය
      පැනල් - පනේල
      පෙන්සිල් - පැන්සල්
      ඉංජිනියරින් - ඉංජිනේරු
      ඩසන් - දුසිම්

      පැරා ආයෙම වැරදි යි... මෙන්න තත්සම/තත්භව දෙකේ නිවැරදි පැහැදිලි කිරීම:

      (B)තත්සම
      තත්සම යනු “එයට සමාන” යන තේරුම දෙය යෙදුමක්. එයින් ම අදහස් වන පරිදි
      තත්සම පද අදාල මුල් භාශාවේ පරිදි ම භාවිතා වෙනවා. කෙලින් ම වචනය “ආනයනය”
      කරනවා :-)

      තත්සම පදවලට උදාහරන -

      සංස්කෘත බසින් සිංහලට තත්සම පද-
      කුමාර - කුමාර
      ආධාර - ආධාර
      විද්යා - විද්යා
      මාර්ග - මාර්ග

      දෙමලෙන් තත්සම පද-
      අත්තිවාරම් - අත්තිවාරම්
      පදක්කම් - පදක්කම්

      ඉංගිරිසියෙන් තත්සම පද (මේවාට නම් ඇතැම් අය සිංහල පදත් හදල තියෙනවා)-
      නමුත් අද කථා ව්යවහාරය තුළ නම් මේ ඉංගිරිසි තත්සම යෙදුම් පිරිලා. ඒත් ඒ හැම
      එකක්ම පාරිභාශික පද හැටියට ගන්න නම් බැහැ.

      බස් - බස්
      ගැජට්- ගැජට්
      ෆෝල්ඩර් - ෆෝල්ඩර්
      මොබයිල් - මොබයිල්
      චැනල් - චැනල් (චැනල් කිරීම ආදී අවස්ථාවල)

      බ්ලොග් - බ්ලොග්

      පෘතුගීසි බසින් තත්සම පද
      කාමර - කාමර
      පෙනේර - පෙනේර
      වීදුරු - වීදුරු
      සාක්කු - සාක්කු
      බේබදු - බේබදු

      උපුටා ගත්තේ: නිශ්පන්න, තද්භව සහ තත්සම.... කියන බ්ලොග් පිටුවෙන්

      Delete
    3. පෝස්ට් එක සහ ඇනෝ කමෙන්ට් සියල්ලම නියමයි, ගොඩක් දේවල් අදමයි දැනගත්තේ, ස්තුති ඔයාලට

      Delete
    4. ඔබ හරි මෙය මටත් පැටලෙන වචන දෙකක්. අදාළ ආකාරයට ලිපිය සංශෝධනය කළා. ස්තුතියි.

      Delete
  16. ඇයි සයිඩ් කණ්ණාඩිය
    ඒකට සිංහලෙන් කියන්නෙ කොහොමද ? පැති දර්පණයද ?

    ReplyDelete
    Replies
    1. "සයිඩ් කණ්ණාඩිය" කියන එක ම සිංහල වුණු වදනක්.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා