සුන්දර ඉංගිරිසි: බජාර් භාෂාව හා කැම්පස් භාෂාව

කැම්පස් එකයි බජාර් එකයි කියන්නේ සම්පූර්ණයෙන් ම වෙනස් තැන් දෙකක් වුණත්, මේ ක්ෂේත්‍ර දෙකේ භාවිතා වන භාෂා උප කුලකයන් තුළ අපූරු සමානත්වයක් තිබෙනවා. මේ ක්ෂේත්‍ර දෙකේ ම අපූරු වචන නිර්මානය වෙන ආකාරය දකින්න පුළුවන්. ඒ වගේ ම සෑහෙන ඉංග්‍රීසි වචන ප්‍රමාණයකුත් මෙහි භාවිතයේ පවතිනවා.

මෙහි වචන නිර්මානය වන ආකාරය හරි රසවත්. දැන් හුඟ දෙනෙක් භාවිතා කරන යෙදුමක් තමයි, කට්ට කනවා කියන එක. රූකාන්ත ගුණතිලක ගයන ගීයකත් 'කටු කාලයි මෙතෙන්ට ආවේ' කියනවා. මොකක්ද මේ කටු කෑම?

මෙය නිර්මානය වුණේ 'කටුකයි' නම් වදන 'කටු කයි' ලෙස ඛන්ඩනය කර ගැනීමෙන්. ඊට පස්සෙ මෙය කටු කනවා, කට්ට කනවා ආදී වශයෙන් වෙනස් වුණා.

මළ පනිනවා කිය එකත් එවැනි යෙදුමක්. අර්ශස් රෝගීන්ට කේන්ති යනවා. කේන්ති ගියා ම අර්ශස් රෝගීන්ට මළ පොඩ්ඩක් පහ වෙන්න පුළුවන්. මළ පැනීමේ මුල තිබෙන්නේ එතැන.

බජාර් කියන වචනය bazar නම් වදනින් හැදුණු එකක්. එය ඉංග්‍රීසියට පැමිණියේ පර්සියානු භාෂාවෙන්. ලංකාවට පැමිණියේ ඉංග්‍රීසියෙන් නො වෙන්න පුළුවන්.

කැම්පස් කියන්නෙත් ඉංග්‍රීසි වදනක්. එය සිංහල තත්සම වදනක් වෙලා. කැම්පස්  තේරෙනවා, කැම්පස් යනවා කියලා ක්‍රියා පදත් තිබෙනවා.

කැම්පස්වල වගේම බජාර් එකෙත් ගැන්සි ඉන්නවා. මේ gang නම් වදනේ තත්භව ස්වරූපයක්. මේවායේ බයිබෝස්කාරයෝත් ඉන්නවා. බයිබෝස් වුණේ by force. බජාර් එකේ රැස්පොට්කාරයෝත් ඉන්නවා. ඒ අය අපෙන් බලා‍ෙපොරොත්තු වෙන්නේ respect කරන එක. බජාර් එකේ අයියාර්සීකාරයෝ (IRC) වගේම පුදුම හිතෙන වැඩ කරන පකීර්ලාත් ඉන්නවා. පකීර් කියන්නේ fakir. ඉංග්‍රීසියට මේ වචනය ආවේ අරාබි භාෂාවෙන්. හැබැයි ජරා වැඩ කරන අයට ඩස්පියෝ කියලාත් කියනවා. මේ වදන හැදිලා තිබෙන්නේ dust bin යන දෙවදනින්. බජාර් එකේ පයිටුත් (fight) වරදින්නේ නැහැ. කිරිමෙල්කාරයෝත් (criminals) ඉන්නවානේ.සමහරු හැබිචෝල් (habitual). හැබැයි සිංහල වචනයේ තේරුම ඉංග්‍රීසි වචනයට වඩා ‍ගොඩක් වෙනස්.

කොහේ වුණත් අමුතු අමුතු ඩයල් ඉන්නවා. ඉංග්‍රීසියෙන් dial කියන්නේ තැටියක් වැනි දෙයකට. ඔර්ලෝසු මුහුණත එවැන්නක්. ඒත් ලංකාවේ බජාර් ඉංග්‍රීසියේ මුහුණටත් ඩයල්ලෙක කියනවා. දැන් නම් චරිතවලටත් ඩයල් කියනවා. "දැකල පුරුදු ඩයල්ලෙකක්." "මිනිහා මහ අමුතු ඩයල්ලෙකක්." හැබැයි සමහර ඩයල් නම් ටිකක් සයිකො (psycho).

සමහරු වයසක අයට මැන්ටලේ කියනවා. ඉස්සර තිබුණු පැට්‍රොමැක්ස් ලාම්පුවල චිමිනිය ඇතුළේ මැන්ටල් නම් දෙයක් තිබුණා. මෙය හරි සියුම් උපාංගයක්. ඇල්ලුවොත් කුඩු වෙනවා.

කැම්පස් එකේ කූල්ටූර්කාරයෝ කියන යෙදුම ටිකක් පරණ එකක්. මෙය හැදිලා තිබෙන්නේ culture නම් වදනින්.


කැම්පස්වල රැග් කරනවා. රැග්ගෙක දෙනවා කියලාත් කියනවා.  වාසිටි, පැකල්ටි, ලෙච්චර්, ලෙචා, ඩොකා, ප්‍රොපා, ඉංජා, ටියුට්, නෝට්, ප්‍රොජෙක්, එක්සෑම්, රිසල්ට්, කොපි කරනවා, රිපීට් වෙනවා, කොන්නොකේසන්නෙක වගේ වදනුත් ආවේ සරසවියෙන් තමයි. ඇත්තම කියනවා නම් මං ඕව ගැන වැඩිය දන්නේ නැහැ. අපට ඔය ඩිග්‍රි-බිග්‍රි නැහැනේ. ඩිග්‍රි-බිග්‍රි කියන්නේ අලුත් යුගල පදයක්.

මෙන්න ඉංග්‍රීසියත් එක්ක මුසු වෙලා හැදුණු අලුත් යුගල පද කීපයක්. සූට් බූට්, කාර් බාර්, සැන් පවුඩර්, කෝට් බෝට්, ටයි කෝට්, විස්කි බ‍්‍රැන්ඩි, හැම් - බේකන්, උඩිං පුඩිං.

බුල ගහනවා කියලා ක්‍රියාපදයක් තිබෙනවා. මෙය හැදෙන්නේ bully නම් ක්‍රියාපදයෙන් හෝ bull නම් නමපදයෙන් වෙන්න පුළුවන්.

අබ්ලික් කියන වචනය ඉංගිරිසි වගේ පෙනෙන ඒත් ඉංග්‍රීසි නොවන අප්සෙට් (upset) වචනයක්. අප්සෙට් ජොකියෝත් (jockey) ඉන්නවා. මේ යෙදුම නම් භාවිතාවට ආවේ රේස් ඔට්ටු දැමීම සමග සම්බන්ධවයි.

මේ ලිපි පෙළ ටොපේ ටොප් කියන අයත් ඉන්නවා. මට එතකොට හරි  චූන්. චූන් හැදුණේ tune එකෙන්. සමහරු එයින් සෑහෙන ආතල් එකක් ගන්නවා. හැබැයි ආතල් ඉංග්‍රීසි වදනක් නම් නෙමෙයි. දැන් ටිකක් රෑ වෙලා. දවල් පටන් වැඩ කරලා දැන් ටිකක් හන්තර්. හැබැයි ඉංග්‍රීසියෙන් hunter කියන්නේ නම් දඩයක්කාරයාටයි. 

මේ ලිපිත් කියෙව්වද? 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. පැරා බජාර් එකේ එච්චර ඉඳලා නෑ වගේ. පොඩ්ඩක් හොයලා බලන්න. බජාර් එකෙත් කැම්පස් එකේ වගේම ඉන්ගිරිස් වචන සූ ගාලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි, ඒවා ලියන්න.

      හැබැයි, මෙතනදී වැදගත් වෙන්නේ එහෙමම පාවිච්චි වෙන ඉංගිරිසි වදන් නෙමෙයි. සිංහල වෙලා තිබෙන ඉංගිරිසි වචන.

      Delete
    2. ෆකර් කියන එක පකයා වීම? ගූයි( බේරෙන සුලු,චොර )කියන එක ගූ වීම? ඕයි කියල ඈත ඉන්න අයට කතා කරන එක ඕයි කියලා බනින්න යොදා ගැනීම?

      Delete
  2. ලොරි ටෝක්ස් වගේ තවුසන්ඩ් ටෝක්ස්, ෆුල් චාටර්, මාර සීන් එක, සීන් කෝන් එක, සීන් එකට එන්ටර් වෙන එක, කොන්ට්‍රැක්ට්ස් (මේ කන්ට්‍රැක්ට්ස් මාර භයානකයී), ඩස්ට්, හයිඩින්, වැනිෂ්, ගේම, පුල් ඉස්ටෝරි එක. තව මතක් උනොත් ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. චැප්ටර් ක්ලොස්, නිව් එඩිෂන්....,

      Delete
  3. පැරා රූකාන්ත කිව්වෙ "කටු කාල" නෙමෙයි "මඩ කාලයි මෙතෙන්ට ආවේ" කියලයි. හැබැයි පස්සෙනම් ගොඩක් අය "කටු කාලත්" ලොකු තැන්වලට ගියා

    ReplyDelete
  4. වන්ටුවන් ගහනව කියල කියනව වෙනත් ශිශ්‍යයෙක්ගෙ නිබන්ඩනයක් එහෙම පිටින් කොපි කිරීම. ඒ ඉන්ග්‍ර්‍රීසි one to one. බුලක් කෙලිනව කියන්නෙ මෝඩ වැඩක් කිරීම. Bull වචනෙන් වේන්න ඇති එන්නෙ. බැචා, ෆ්‍රෙශා, සින්නා, ජුන්නා, රූමා තවත් එවන් වචන

    ReplyDelete
    Replies
    1. බොග, ඇක, ගැට්ට වගේ ඒවත් ඉංග්‍රීසියෙන් ආපුවා..

      එතකොට කුප්පිය?

      Delete
    2. Whats the origin of 'Getta'? Its used in 2 different meanings in pera and moratuwa. In moratuwa, 'Getta' means Tribe or Gothraya (such as mathugama getta, horana getta etc.). But in pera, 'Getta' is used to mean 'oluwen innawa'.

      Delete
    3. හම මතුපිට එන ඉන්නො වගේ “ගැට“ නිසා හමේ එකාකාර බවට හානි වෙනව. ඒ වගේ ‘මාතර ගැට්ට, අම්බලන්ගොඩ ගැට්ට, කොලඹ ගැට්ට‘ වල් නිසා කැම්පස් එකේ සමතලාව නැති වෙනව කියල “රැගාල“ (රැග් එක වෙනුවෙන්ම නෙමෙයි, පොදුවේ විශ්ව විද්‍යාලය තුල ඇති උප සංස්කෘතිය පවත්වා ගත යුතුයි කියන අදහසේ ඉන්න අය) කියනව. කුප්පි කියන්නෙ “සින්නො“ “ජුන්නන්ට“ අතීතයේ දී කුප්පි ලාම්පු ආධාරයෙන් පාඩම් කියාදීම නිසා ආපු වචනයක් බව මම “ෆ්‍රෙෂා“ කාලෙ “සින්නෙක්“ මට කිව්ව. අපිත් “කුප්පියක්“ දැම්ම. අපේ “රෙපා“ (Batch Representative) තමයි ඕගනයිස් කලේ. හැබැයි වැඩේ කලේ ටොපා (Batch Top)

      Delete
    4. අපේ කුප්පි දෙන කාලෙට ඉන්නව කුප්පි රෙපා.ඌ තමයි ඕගනයිස් කරන්නෙ.බච් රෙප් ගෙ නම රෙපා.කෙල්ලන්ගෙ රෙපී.එතකොට ඇසිස්ටන්ට් රෙප් ඇරපා,ඇරපී ලෙස.

      Delete
    5. ගැට්ට ආවෙ මෙතනින් වෙන්න බැරිද?

      http://en.wikipedia.org/wiki/Ghetto

      Delete
  5. ආතල් කියන එක හින්දි භාෂාවේ වචනයක්ද?

    http://www.enghindi.com/english-word-for-athal.html

    ඕනෑම සමාජයක තිබෙන උප සංස්කෘතීන්ට අයත් යෙදුම් සහ වාග්මාලා අධ්‍යයනයත් බොහොම විනෝද ජනක දෙයක්.

    ReplyDelete
    Replies
    1. अठल Noun, Masculine
      ‣ the bathing of the bride and bridegroom together on the third day after marriage

      Delete
    2. මේ සබැඳියේ තියෙන හින්දි වචනය "අතල්" මිසක් ආතල් නොවෙයි. ඒ නිසා ආතල් වචනයේ මූලය එය විය නොහැකි යි.

      Delete
  6. ඇයි.. කොටුපනිනවා,වැල අදිනවා,තොල දානවා etc

    ReplyDelete
  7. "කොට උඩ" කියන යෙදුම දැන් පාවිච්චි වෙන්නේ නෑ නේද?

    ReplyDelete
  8. මම සිරා වැඩක් ලයින් කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ serious දෙයක් align කරලා කියන එක නේද?

    ReplyDelete
  9. Batchmate යන්නට බැචා, බැචී යනුවෙන් භාවිත වෙද්දීම Batch යන්නට අද කාලේ සිසුන් "බැජ් එක (Badge) කියා කියනවා මං අහලා/දැකලා තියෙනවා.

    ReplyDelete
  10. //මළ පනිනවා කිය එකත් එවැනි යෙදුමක්. අර්ශස් රෝගීන්ට කේන්ති යනවා. කේන්ති ගියා ම අර්ශස් රෝගීන්ට මළ පොඩ්ඩක් පහ වෙන්න පුළුවන්. මළ පැනීමේ මුල තිබෙන්නේ එතැන.//

    අර්ශස් නහරවල ලේ පිරිලා ගැට ගැට හැදෙනවා මිදි පොකුරක් වාගේ , ඕක වෙලාවකට එලියට පනිනවා කොන්ද නමල කකුල් ඇත් කරල බලපුවහම හරියට පුකේ මලක් පිපිලා වාගේ .

    මං හිතන්නේ ඕකට තමා මල පනිනව කියන්නේ

    තව කතාවක් තියනව පුක මල පිදෙනවා කියල

    එහෙම කියන්නේ ගැනු ළමයි ලොකු උනාම

    ReplyDelete
    Replies
    1. උඹට අර්ශස් ද?

      විහිළුවක් හොඳේ......හී හී

      Delete
  11. ආතල් සහ අබ්ලික් ආවේ කොහොමද කියල දැනගන්න විදියක් නැද්ද ?

    ReplyDelete
  12. අබ්ලික් ආවේ oblique වලින්ද ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා