සමාජවාදය ජීවන භාවිතාවක් ලෙස: උරුගුවේ ජනාධිපති ජොසේ මුජිකා


(hot news:No limit to anti-Muslim attacks in Sri Lanka. Nolimit fashion store in Panadura set ablaze)

ධර්ගා නගරයේ කලබල උණුසුම මැද මම කොළඹ සිටින මගේ මුස්ලිම් මිතුරකුට කතා කළෙමි. ඔහු විහිළුවට මෙන් කීවේ තමන්ට දැන් ලංකාවේ ඉන්නට බැරි තත්වයක් ඇති වෙමින් තිබෙන හෙයින් පිටරට යන්නට සිතමින් සිටින බවයි. ඔහු යන්නට ඉන්නේ අරාබියටදැයි මම ඇසුවෙමි. මගේ මුස්ලිම් මිතුරා කීවේ "නෑ මචං, මම යන්නේ උරුගුවේ. ඒ තමයි ලෝකයේ ප්‍රගතිශීලී ම ජනාධිපති ඉන්න රට," කියායි.

උරුගුවේ ජනාධිපති ජොසේ මුජිකාගේ නම ස්පාඤ්ඤ බසින් උච්චාරණය කරන්නේ වෙනස් ආකාරයකට ය. එහෙත්, එය වැදගත් කාරණයක් නො වේ. වැදගත් කාරණය වන්නේ ඔහු උරුගුවේ ජනාධිපතිවරයා ලෙස ලොවට දී ඇති ආදර්ශයයි.

ඒ පරමාදර්ශය නිර්මානය වී තිබෙන්නේ මහා ගැඹුරු න්‍යායික ඉදිරිපත් කිරීම්වලින් හෝ සියුම් උපායමාර්ගවලින් හෝ වෙනත් එවැනි ලොකු ලොකු දේවලින් හෝ නොවේ. සරළ දිවිපැවැත්මෙනි. විකල්ප ජීවන විලාසයෙනි. සමාජවාදය ජීවන භාවිතාවක් බවට පත් කිරීමෙනි.

ඔහුගේ කාර්යාලයේ ඔහු හිඳ ගන්නා සරළ ලී මේසය ඉදිරියෙන් අැත්තේ ඔහුගේ පරමාදර්ශී නායකයා වන චෙ ගුවේරාගේ උඩුකය ඡයාරූපයකි. චේ යනු විප්ලවීය හෘදය සාක්ෂියේ පරමාදර්ශයයි. ටොන් ගණනක් බර පොත් කන්දරාවක ලියවුණු න්‍යායට වඩා සමාජ මැදිහත්වීමක් චේගේ ජීවන භාවිතාව විසින් කර තිබේ. ඔහු සදාකාලිකව ජීවත් වන්නේ එබැවිනි. ජොසේ මුජිකා යනු චේගේ භාවිතාව ඉදිරියට ගෙන යන්නෙකි.

උරුගුවේ යනු දකුණු ඇමෙරිකාවේ ගිණිකොණ දෙසින් පිහිටි වර්ග කිලෝමීටර මිලියන 0.176 වන කුඩා රටකි. එහි ජනගහනය මිලියන 3.3 කි. අගනුවර වන මොන‍්ටෙවීඩියෝ හා ඒ ආශ්‍රිතව මිලියන 1.1ක් ජනගහණය ජිවත් වේ. එහි ජනගහණයෙන් 88%ක්ම යුරෝපීයානු සංක්‍රමණිකයන්ගෙන් පැවත එන අයයි. රටේ බහුතරය සුදු හම ඇති අයයි. පැරණි ස්‍වදේශික ජනගහණය 1%කටත් වඩා අඩු ය.

1680 පෘතුගීසීහු පළමු වරට කොලනියාඩෙල් සැක්‍රමෙන්ටෝහි යුරෝපියානු ජනාවාසයයක් පිහිටවූ හ. 18 වන ශතවර්ෂයේදී ස්පාඤ්ඤ ජාතිකයන් විසින් වත්මන් අගනුවර වන මොන්ටවීඩියෝ අලුලා ගන්නා ලදී. ස්පාඤ්ඤය, ආජන්ටිනාව සහ බ්‍රසීලය සමඟ 1811 සිට 1828 දක්වා දිග්ගැසුණු සටනකින් උරුගුවේ නිදහස් රාජ්‍යයක් බවට පත් විය.

එහි ජනාධිපති විසින් නායකත්වය දෙනු ලබන ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේ. ආර්ථිකය විශාල ලෙස රදා පවතින්නේ කෘෂිකර්මය මතය. සංවර්ධිත ආර්ථිකයකි. එහි ඒක පුද්ගල ආදායම ලෝකයේ 47 වන ස්ථානය ගනී. ලතින් ඇමරිකානු රටවල් අතර දුෂණය අවම රට ලෙස උරුගුවේ පිළිගැනීමට ලක් වී තිබේ. එහි දේශපාලන හා කම්කරු නීති වඩාත් ලිබරල් ස්වභාවයකින් යුක්ත ය. සම අයිතීන් නීතිගත කොට ඇත. එහි නිල භාෂාව ස්පාඤ්ඤ ය.එහි වැසියන්ගෙන් විශාල පිරිසක් නිර්ආගමිකයෝ ය. ප්‍රධාන ආගම වූ කතෝලික ආගමත්, රජයත් අතර සම්බන්ධයක් නැති උරුගුවේ යනු නිර්ආගමික රාජ්‍යයකි. ජනාධිපති ජොසේ මුජිකා තමන් නිර්ආගමිකයකු බව ප්‍රසිද්ධියේ කියයි.


ජොසේ මුජිකා යනු 1960, 70 දශකවල උරුගුවේහි ක්‍රියාත්මක වූ ටුපැමරෝස් ජාතික විමුක්ති ව්‍යාපාරයේ හිටපු ගරිල්ලා භටයෙකි. එම ව්‍යාපාරයේ යුද උපායමාර්ග අතර මිනිසුන් පැහැරගෙන යාම හා බැංකු මංකොල්ලකෑම් ද දේශපාලනික ඝාතන ද තිබිණි. 1973 සිට 1985 දක්වා උරුගුවේ රාජ්‍යය හමුදා ආඥාදායකත්වයකට යටත්ව තිබිණි. ජොසේ මුජිකා වසර 13ක් ම සිරගතව සිටියේ ය. එයින් වසර දෙකක් ම ඔහු සිටියේ ළිං පතුලක ය.

අද ‍ඔහුගේ පැරණි සගයන් ඔහු විවේචනය කරන එක් හේතුවක් වී ඇත්තේ හමුදා ආඥාදායකයන් විසින් කරන ලද අපරාධ නීතියෙන් නිදහස් කිරීම සඳහා පනවා තිබෙන නීතිමය මුක්තිය ඉවත් කිරීම සඳහා ඔහු දක්වන විරෝධයයි.

2009 ජනාධිපතිවරණයේදී 53%ක් ඡන්ද ලබා ගනිමින් ඔහු ජනාධිපති පදවියට පත් විය. දැන් 78වන වියේ පසුවන හේ තමා හඳුන්වන්නේ සාමාන්‍ය ගොවියකු ලෙසයි. තමන් හඳුන්වන විට ඔහු මම කියා යොදනවාට වඩා අපි කියා භාවිතා කරයි. 2013 සැප්තැම්බරයේදී එක්සත් ජාතීන් අමතමින් ඔහු මෙබඳු ගැඹුරු ප්‍රකාශයක් කළේ ය: මානව සබඳතා පාලනය කළ යුතු දේශපාලනය ආර්ථිකය හමුවේ දන ගසා මුල්‍ය පද්ධති විසින් පාලනය නො කරනු ලබන දේවල පමණක් පරිපාලකයකු බවට පත් වී තිබේ. ("Politics, which should rule human relations, has succumbed to economics and become a mere administrator of what the financial system does not control.")

ඇතැමුන් ජොසේ මුජිකා ලොව දුප්පත් ම ජනාධිපති ලෙස හඳුන්වයි. එයට හේතුව ඔහු සිය ආදායමින් 90%ක් ම අඩු ආදායම්ලාභී නිවාස සංවිධාන වෙත පිරිනමා අල්පේච්ඡ ජීවිතයක් ගතකිරීමයි. "මට කතා කිරීමේ ආක්‍රමණශීලී ධෛර්යයක් තිබේ. නූතන ලෝකයේ එය ‍එසේ වන්නේ නැත. මිනිස්සු සිය හැඟීම් සඟවාගෙන වෙස්වලාගනිති. මා මිනිසුන්ගේ අවධානයට ලක් වන‍්නේ ඒ නිසා විය හැකි ය."

සිය පාලන කාලය තුළදී ඔහු ඉතා නිර්භීත පියවර ගණනාවක් ම ගත්තේ ය. ඔහු මාස තුන දක්වා ගර්භනී කාලය තුළදී ගබ්සාව නීතිගත කරන්නට පියවර ගත්තේ ය.සමලිංගික විවාහය නීතිගත කළේ ය.

මෑතදී ඔහු මරිජුවානා නිෂ්පාදනය හා අලෙවිය නීතිගත කරමින් රාජ්‍ය පාලනයට යටත් කරන පනතක් සම්මත කළේ ය.  මේ අනුව, රජයේ ලියාපදිංචි මරිජුවානා පාවිච්චි කරන වැඩිහිටියන්ට පමණක් ග්‍රෑම් එකක් ඩොලර් එක බැගින් මාසයකට ග්‍රෑම් 40ක් දක්වා මරිජුවානා පිළිගත් ඔෟෂධ වෙළඳුන්ගෙන් ලබා ගත හැකි ය. රජය ඒ සඳහා අවශ්‍ය ගංජා නිෂ්පාදනය කරන අතර ගංජා උරන්නන්ට ද උපරිමය හයක් දක්වා ගංජා පැළ නිවසේ වගා කර ගන්නට ද පුළුවන. ජොසේ මුජිකා ගංජා පාවිච්චි කරන්නෙක් නො ‍වේ. එසේම ඔහුගේ මෙම පියවරට රටේ ජනගහණයෙන් 60%කට වඩා විරුද්ධ ය. එහෙත්, මත්ද්‍රව්‍ය භාවිතය හා අලෙවිය පාලනය කිරීමේ පරීක්ෂණාත්මක ක්‍රමවේදයක් ලෙස උරුගුවේ ගංජා භාවිතය නීතිගත කළ ලොව පළමු රාජ්‍යය ලෙස ඉතිහාසගත වී තිබේ. මත්ද්‍රව්‍ය යනු ලතින් ඇමරිකානු කලාපය ගිල ගත් දැවැන්ත උවදුරකි.

මුජිකා උරුගුවේහි මරණීය දණ්ඩනය අහෝසි කළේ ය. එපමණක් නොව, මෑතදී එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමාගේ ඉල්ලීම මත ග්වොන්ටනාමෝ කඳවුරේ රඳවා සිටි සිරකරුවන් පස්දෙනෙකුට උරුගුවේ රාජ්‍යයේ රැකවරණය ලබා දීමට එකඟ වූයේ ය.

ඔහුගේ සුරතල් බල්ලා කකුල් තුනේ ආබාධිතයෙකි. ගමන් බිමන් යාමට ඔහු සතුව ඇත්තේ ෆොක්ස්වැගන් බීට්ල් කාර් දෙකකි. ඔහු භාවිතා කරන්නේ සාමාන්‍ය ලී මේසයක් හා පුටුවකි. ඔහු සෑහෙන්න පොත් කියවයි. අරවා මේවා විවෘත කරමින් බොරුවට අතන මෙතන ඇවිදීම අඩු ය. ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් එන්නේ ද අඩුවෙනි. ඔහු එයට අකැමැති බව ජනතාව දනිති. ඔහුගේ විවේචකයෝ ඔහු තරමක උන්මත්තකයකු ලෙස හඳුන්වයි. පිස්සු වැටුණාක් සේ භාණ්ඩ පසුපස හඹා යන ලෝකයක ජොසේ මුජිකා වැනි අය උන්මත්තකයන් ලෙස පෙනීම ගැන පුදුම විය යුතු නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. හෝසෙ මුහිකා

    ReplyDelete
  2. අපේ මහින්ද මාත්තයා එක්ක බැලුවම හෝසේ මුජිකා උම්මත්තකයෙක් තමයි.

    ReplyDelete
  3. ඉරානයේ හිටපු ජනාත් දැන් සෙවා ජාලය නිමවී විශ්ව විද්‍යාලයේ පරන ජොබ් එකට ගිහින්. බස් එකේ වැඩට යන ෆොටෝ එකක දැක්කා.

    ReplyDelete
  4. මෙන්න මිනිස්සු. මට නේපාලයේ අගමැතිවත් මතක් වුනා.

    ප.ලි...උරුගුවේ විසින් එංගලන්ත පාපන්දු කංඩායම 2-1 පරාජය කලා. මෙහේ අය කියන්නේ අඩු පහසුකම් සහ වැඩි පහසුකම් අතරින් අඩු පහසුකම් ජයග්‍රහණය කලා කියලා.

    ReplyDelete
    Replies
    1. නේපාලයේ අගමැති ගැන නම් මම ඇත්ත දන්නේ නැහැ. ඒත් අන්ත දූෂීත රටක් සහ අවම සංවර්ධිත රටක් කියලා හොඳටම දන්නවා. මගේ හොඳ මිත්‍රෙයක් නේපාලයේ ඉන්න නිසා මේ ගැන හොඳටම දන්නවා.

      උරුගුවේ ජනාධිපත් ලෝකේ දුප්පත්ම ජනාධිපති කියලා හදුන්වන අයට කියන්න තියෙන්නේ, සල්ලි වලින් දුප්පත් වුනත් සතුටින් නම් පෝසත්ම ජනාධිපති කියලයි.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා