ආගමික අන්තවාදයෙන් හා ත්‍රස්තවාදයෙන් ඔද්දල් වුණ පකිස්තාන ඉස්ලාමීය ජනරජය

ගල් ගසා මරා දමන ලද ගැහැනියක්
පකිස්තානයේ නිල නාමය පකිස්තාන ඉස්ලාමීය ජනරජයයි. එය ජනගහණය අතින්  ලෝකයේ හයවන තැන අත් කර ගන්නා රටකි. ඉන්දියාවට, ඇෆ්ගනිස්තානයට හා චීනයට ගොඩබිමින් මායිම් වන පකිස්තානය ඕමානය සමග මුහුදු දේශසීමාවක් බෙදා හදා ගනියි. ඉතිහාසය පුරා ඉන්දු නිම්න, හින්දු, ග්‍රීක, මොංගෝලියානු, ඇෆ්ගන්, සික් ආදී විවිධ සංස්කෘතීන්ගේ බලපෑමට ලක් වූ මෙම භූමි ප්‍රදේශය නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් වුණේ 1947දී මොහොමඩ් අලි ජින්නාගේ නායකත්වයෙන් ඉන්දීය නිදහස් සටනට සමාන්තරව දියත් වූ අරගලයක ප්‍රතිඵලය ලෙසයි. 1956දී නව ව්‍යවස්ථාවක් සකසා ගත් පකිස්තානය ඉස්ලාමීය ජනරජයක් ප්‍රකාශයට පත් කළේ ය. සිවිල් යුද්ධයකින් අනතුරුව 1971දී නැගෙනහිර පකිස්තානය ඉන්දීය සහයෝගය ඇතිව බංග්ලාදේශය නමින් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් විය.

නිදහසින් පසු පකිස්තානයේ ඉතිහාසය පුරාම වරින් වර මිලිටරි ආණ්ඩු බිහි වී තිබේ. දේශපාලන අස්ථාවරත්වයන් හා ඉන්දියාව සමග ගැටුම් ද එහි ඉතිහාසය පුරා ම ඇදී යයි. පකිස්තානය ලොව අටවන ශක්තිමත් ම හමුදාව සිටින රටයි. එපමණක් නොව එය න්‍යෂ්ටික බලවතෙකි. ඇමරිකාව සමග මෙන්ම චීනය සමග ද ඉතා සමීපව කටයුතු කරන රටකි. පකිස්තානය ඉන්දියාව සමග තුන්වරක් යුද වැදුණේ ය. එයට මූලික හේතුව වූයේ කාශ්මීරයේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයයි. සටන්කාමීන් කාශ්මීර‍යේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කරමින් සිටින අතරතුර ඉන්දියාවත්, පකිස්තානයත් කාශ්මීරයේ අයිතිය සම්බන්ධයෙන් ගැටුමක සිටියි. ඉන්දීය කාශ්මීර සටන්කාමීන්ගෙන් කොටසක් පකිස්තානය සමග එක් වීමට ද තවත් කොටසක් වෙනම රාජ්‍යයක් බිහි කර ගැනීමට ද සහයෝගය දෙති.

පකිස්තානය ලොව දෙවන විශාලතම මුස්ලිම් ජනගහණය සිටින රටයි. (පළමු තැන ගන්නේ ඉන්දුනීසියාවයි.) එරට පිහිටා ඇති ස්ථානය මූලෝපායික වශයෙන් ඉතා වැදගත් ය. එය තෙල් සම්පත සපිරි මධ්‍යම ආසියාවට ආසන්නයෙන් හා ලොව ප්‍රධාන තෙල් ප්‍රවාහන නැව් මාර්ගවලට ආසන්නයෙන් පිහිටා තිබේ.

කෙසේ වෙතත්, අද වන විට පකිස්තානය නිරතුරුව ම ලෝක අවධානයට ලක් වන්නේ ත්‍රස්තවාදයේ තෝතැන්නක් ලෙසයි. අලුත්ම සිද්ධිය කාර්ය බහුල කරච්චි ගුවන් තොටුපලට පසුගිය සතියේ එල්ල වූ ප්‍රහාරයයි. එහිදී සෙබලු හා සිවිල් වැසියෝ 19ක් ද, ප්‍රහාරකයෝ 10දෙනෙක් ද මිය ගිය හ.

පකිස්තානයේ ත්‍රස්තවාදයට ගැඹුරු ඉතිහාසයක් තිබේ. කලක් සාපේක්ෂව සාමකාමී දේශයක් වූ පකිස්තානය ත්‍රස්තවාදයේ තෝතැන්නක් වීම ආරම්භ වුණේ 1970 දශකයේ අග හා 1980 දශකයේ මුල‍භාගයේදී සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ හමුදා විසින් ඇෆ්ගනිස්තානයේ කරන ලද යුදමය මැදිහත්වීමට එරෙහිව  ඇමරිකාව පකිස්තානයත් සමග එක්ව එ‍රට භූමිය භාවිතා කරමින් ඇෆ්ගනිස්තානයේ මුජිහඩීන් ගරිල්ලන් පුහුණු කිරීමත් සමගයි. ඇෆ්ගනිස්තානයේ තලිබාන්වරුන් මෙන්ම පකිස්තානයේ තලිබාන්වරුන් ද බිහි වන්නේ මේ ඔස්සේ ය.

කරච්චි ප්‍රහාරයේ වගකීම භාර ගත් ටෙහ්රික්-ඊ-තලිබාන් සංවිධානය යනු උතුරු වසිරිස්තානය ප්‍රමුඛ වයඹදිග ගෝත්‍රික ප්‍රදේශ කේන්ද්‍ර කර ගත් සටන්කාමී සංවිධාන රැසක ලිහිල් එකමුතුවකි. 2007දී බිහි කර ගන්නා ලද මෙම සංවිධානයේ අරමුණ ලෙස දැක්වෙන්නේ  පකිස්තාන රජය පෙරළා ඔවුන්ගේ පන්නයේ ෂාරියා නීතියක් ක්‍රියාත්මක වන ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනැගීමයි. එසේම .ඔවුහු ඇෆ්ගනිස්තානයේ බටහිර බලවතුන්ගේ මැදිහත්වීමට ද එරෙහිව සටන් කරති. ඔවුහු වයඹදිග පකිස්තානයේ විශාල භූමි ප්‍රදේශයක සිය ආධිපත්‍යය තහවුරු කරගෙන තිබේ. එම ප්‍රදේශවල තිබෙන්නේ අරාජිකත්වයකි. මෙම ප්‍රදේශවල ත්‍රස්ත බලය බිඳලීම පිණිස පකිස්තාන රජයේ හමුදා 2009 සිට ම යුද වැදී සිටියි. දහස් ගණන් පකිස්තානු ජනයාත්, හමුදා සෙබලුත් මරු දුටු, තවත් ලක්ෂ ගණනක් ජනයා අවතැන් කළ එම යුද්ධය නිසා පකිස්තානු ජනයා පීඩාවට පත් වී සිටිති. වේගයෙන් සංවර්ධනය වෙමින් තිබෙන ආර්ථිකයක් වන පකිස්තානයට මෙම ත්‍රස්තවාදය නිසා අහිමි වූ දේ බොහෝ ය. මෙම පසුබිම තුළ නවාස් ෂරීෆ්ගේ පක්ෂය ඡන්දය ජයග්‍රහණය කළේ සාමය පිළිබඳ දල්වන ලද බලාපොරොත්තු ඔස්සේ ය.

අගමැති නවාස් ෂරීෆ්ගේ ආණ්ඩුව සටන්කාමීන් සමග සාකච්ඡා ආරම්භ කර තිබේ. ‍කරච්චි ප්‍රහාරය එම සාකච්ඡා බිඳ වැටෙන්නට කිට්ටු තැනකට තල්ලු කර තිබේ. පකිස්තානයේ ත්‍රස්තවාදී ක්‍රියා උත්සන්න වීමට හේතුව ලෙස බොහෝ අය දකින්නේ ඇෆ්ගනිස්තානයේ සිදු වන ඇමරිකානු ආක්‍රමණයයි.

ටෙහ්රික්-ඊ-තලිබාන් සංවිධානය යනු ඉතා ලිහිල් අන්දමින් එක්සත් වී සිටින විවිධ අරමුණු සහිත ඉස්ලාමීය සටන්කාමී සංවිධාන රැසක එකමුතුවකි. ඔවුන් අතර පොදු සම්මුතිය තිබෙන්නේ පකිස්තාන රජයට ඇති විරෝධය තුළ ය. ඔවුන් අතර ඇමරිකන් විරෝධීහු මෙන් ම, බලුකිස්තාන ප්‍ර‍දේශයේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට සටන් කරන සංවිධාන ද, සුළුතර ෂයිට් මුස්ලිම්වරුන්ට ප්‍රහාර එල්ල කරන සුන්නි අන්තවාදී සංවිධාන ද තිබේ. එබැවින් කුමන සාකච්ඡාවක් ඔස්සේ වුවත් පකිස්තානයේ පූර්ණ සාමයක් උදා කළ හැකි යයි සිතිය නො හැකි ය.

පකිස්තානයේ ගෝත්‍රික ප්‍රදේශවල ආර්ථිකයේ, සමාජ සංවර්ධනයේ හා අධ්‍යාපනයේ පසුබෑම ඉස්ලාම් මූලධර්මවාදයේ හා ත්‍රස්තවාදයේ ව්‍යාප්තියට හේතු වී තිබේ. ත්‍රස්තවාදය පෙරළා මෙම ප්‍රදේශවල තත්වය තවත් නරක තත්වයට ඇද දමයි. ආර්ථික කටයුතු බිඳවැටීම හේතුවෙන් එම ප්‍රදේශවල දරිද්‍රතාව තවත් ඉහළ යයි. නූතන මානව සමාජය විසින් පිටු දකිනු ලබන ස්ත්‍රීන් ගල් ගසා මරා දැමීම වැනි සිදුවීම් මෙම කලාපයෙන් වාර්තා වන්නේ මෙම සංදර්භය තුළ ය. එහි ක්‍රියාත්මක වන මද්රාසා නම් ඉස්ලාම් පාසල් ද ත්‍රස්තවාදය පෝෂණය කිරීමෙහිලා දායක වන බවට චෝදනා එල්ල වේ.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ගේ නව ලිබරල් නව යටත්විජිතවාදය හමුවේ ප්‍රතිරෝධීව මතු වූ පීඩිත ජාතීන්ගේ විමුක්ති අරගල හා ඉස්ලාම් මූලධර්මවාදය වැනි අන්තවාදී ප්‍රවණතා දෙස සානුකම්පිතව බැලීමේ ප්‍රවණතාවක් පසුගිය සමයේ වාමාංශිකයන් අතර දක්නට ලැබිණි. විශේෂයෙන් ම, 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ඇෆ්ගනිස්තානයේ සිට ඉරාකය දක්වා ඇමරිකානු යුද මෙහෙයුම්වල පැවති ආක්‍රමණික ස්වරූපය මෙම දැක්ම වර්ධනය කිරීමට හේතු විය. ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ අධිරාජ්‍ය විරෝධී සටන ගෝලීය ධනවාදයට එරෙහි පීඩිතයන්ගේ අරගලයක් ලෙස හඳුනා ගන්නට උත්සාහ කිරීමේ ප්‍රවණතාවක් වාමාංශිකයන් හා ප්‍රගතිශීලීන් අතර දක්නට ලැබිණි.

එහෙත්, අධිරාජ්‍ය විරෝධය හා ධනවාදයට එරෙහි අරගලය ජාතිවාදයන් හා ආගම්වාදයන් සමග පටලවා ගැනීම හා එසේ පටලවා ගනිමින් ජාතිවාදී හා ආගමික අන්තවාදී ව්‍යාපාර සම්බන්ධයෙන් සානුකම්පිත වීම තවදුරටත් සිදු විය යුතු ද යන්න පිළිබඳ වාමාංශිකයෝ නැවත කල්පනා කළ යුතු ය.

2001 සිට මේ දක්වා ගෙවී තිබෙන දශකයකට වැඩි කාලය තුළ ජාතිවාදීන් හා ආගම්වාදීන් විසින් ලෝක සමාජය ඇදගෙන ගොස් තිබෙන පසුගාමිත්වයේ ගැඹුර පිළිබඳ අප සංවේදී විය යුතු ය. ධනවාදයට එරෙහි අරගලය හා ජාතිවාදීන් හා ආගම්වාදීන් වැනි පසුගාමීන්ගේ රාජ්‍ය විරෝධී අරගල අතර සම්මුති නිර්මානය කරන්නට බැරි බව දැන් දැන් තහවුරු වෙමින් තිබේ. අන්තවාදයන් විසින් සමාජ සංවර්ධනයට අදාළව නිර්මානය කරනු ලබන ගැටලුවල ගැඹුර තේරුම් ගැනීම සඳහා පකිස්තානය කදිම නිදසුනකි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. Newsweek සඟරාව 2010 දී ලෝකයේ භයානකම රට විදියට පාකිස්තානය නම් කරා ඒකට හේතු විදියට සගරාව මූලිකවම දැක්වුවෙත් පාකිස්ථානය තුල තිබෙන දරුණු ආගමික අන්තවාදය. ඉස්ලාම් ආගම ස්වභාවයෙන්ම දරුණු එකක්, පාකිස්ථානයේ උතුරු වසිරිස්තානය වගේ දුෂ්කර ඈත පළාත්වල තියෙන නූගත්කමත් එක්ක එකතු වෙලා මුස්ලිම් අන්තගාමීත්වයක් ගොඩනැගිලා තියෙනවා. මේ පළාත්වල ඉන්න සටන්කාමී ගෝත්‍රික කණ්ඩායම් තමන්ගේ පළාත තුළ පෝලියෝ එන්නත් වැඩසටහන්වත් පවත්වාගෙන යන්නවත් ඉඩ දෙන්නේ නැහැ ඒක මුස්ලිම් ආගමට පටහැනියි කියලා. මලාලා යූසුප්සායි දැරියගේ සිද්ධිය ඇති වුනේත් ඔය ආගමික අන්තවාදය නිසාමයි. මොන රටක මොන ආගම මුල් කරගෙන ඇති වුනත් ජාතිවාදී සහ අන්තවාදී ආගමික ව්‍යාපාරවලට සානුකම්පිත නොවිය යුතුයි, ඒවා වහාම පිටු දැකිය යුතු පිළල වගේ කියන එකයි මගේ අදහස

    ReplyDelete
    Replies
    1. එහෙම කොහොමද මෙක සින්හල බෞද්ධ රට

      Delete
    2. Perage Carrot...owwa apitanam epa....nabiyatama deepiya

      Delete
  2. තව ටික දවසකින් ලංකාවත් මෙම තත්වයට පත් වීමට නියමිතය

    ReplyDelete
  3. ආගමීක අන්තවාදය කියන පිස්සුවෙන් වියරු වෑටුන පිස්සු බල්ලන්ට කරන්න පුලුවන් දේ ඔන්න ඔච්චරයි,
    රටක් ගල් යුගයට ඈදගෙනයාම!.
    මෙච්චර තාක්ශනය දියුනු යුගයේ ඈමරිකානුවෝ පවා පරිනාමවාදය මහා පිපුරුම් වාදයට වඩා දෙවියෝ ලෝකේ මෑව්වා කියන ඵක විස්වාස කරනවාලු.
    ඈමරිකාවේත් ඵහෙමනම් නූගත් පාකිස්තානු මුස්ලිමුන් ගෑන කවර කතාද?
    තර්ක බුද්දියක් නෑති සුරන්ගනා කතාපොත් පුනුරුච්චාරනය කරන ආගම්වාදී මීහරකුන්ගෙන් තොර ලොවක් කවදා උදාවෙයිද?
    ඵහෙම ලොවක් උදාකරගන්න තක්කඩි ආගම්වලින් හරිහරියට වෑඩගන්න ධනවාදී පෙරමුණ ඉඩ දෙයිද?

    ReplyDelete
  4. අජිත් පැරකුම් ගේ සෑම ලිපියකටම , පළවුණු හැටියේම රෙද්ද උස්සගෙන ඇවිල්ල කොමෙන්ට් කරන කකා තාම පේන්න වත් නැහැ. සිංහල බෞධයන්ට ගරහල ලිපියක් ලියල තිබ්බ නං බලන්න තිබ්බ කොමෙන්ට් 1 ක් නොවෙයි 10ක් විතර දාන හැටි. කුහකත්වය කියන්නේ හරිම අපූරු දෙයක් නේද ? :P

    ReplyDelete
  5. "අධිරාජ්‍ය විරෝධය හා ධනවාදයට එරෙහි අරගලය ජාතිවාදයන් හා ආගම්වාදයන් සමග පටලවා ගැනීම හා එසේ පටලවා ගනිමින් ජාතිවාදී හා ආගමික අන්තවාදී ව්‍යාපාර සම්බන්ධයෙන් සානුකම්පිත වීම තවදුරටත් සිදු විය යුතු ද යන්න පිළිබඳ වාමාංශිකයෝ නැවත කල්පනා කළ යුතු ය."

    I agree one hundred percent. For many decades, this trend has been prevailing within the left movements world-wide!

    ReplyDelete
  6. ඉහත කොමෙන්ටුව හමුදා සෙබලුන් පුනරුත්ථාපනය ගැන පළ කළ ලිපියේද දැම්මෙමි.ජවිපෙ යනු මොන තරම් ම්ලේච්ඡයන්ද යන්න මෙයින් පෙනේ.

    ReplyDelete
  7. පන ඇති දෙවිවරු කියල මේ ලිපිවලට දාල තියන නම ලස්සනයි.ඔය ම්ලේච්ඡ මිනීමැරුම් කළා කියන්නෙ ඔය කතාව කියන රංජිත් පීරිස් කියන එකාද නැත්නම වෙන අමනයෙක්ද
    මුන් මේ බලු වැඩ කෙරුවෙ 1971 දිද 1989 දිද
    1989 දි මුන් මිනී මරල නියෝග දුන්නලු දනහිසෙන් පහල ගෙනියන්න.ඒ නියෝග පිලිපැද්දෙ නැත්නම් මිනිය වලෙන් ගොඩ අරන් එලියට දානවලු බල්ලන්ට කපුටන්ට කන්ඩ.
    ජේවීපී කාරයන්ගෙ මිනීත් බල්ලො කපුටො කෑවෙ දිට්ට දම්ම වේදනීය කර්මය පලදීල.මිනීමරු වේසිගෙ පුතාල

    ReplyDelete
  8. පැපොල රෝගියෙක් ලවා වලක් හාරවගෙන ,ම්ලේච්ඡ විදියට ඒ මිනිහව මරල එයා හාරපු වලටම දාල බල්ලෙක් වගෙ වලලන්න ජවිපෙ සාමාජිකයගෙ විප්ලවීය ජීවගුනය හදපු රෝහන විජේවීර කියන්නෙ මොනතරම් තිරිසනෙක්ද මෘගයෙක්ද කියල හිතෙනව.මේ වගෙ මිනීමැරුම් කරන්න ඇත්තෙ දහම් පාසල් ගිය ළමයි.
    සමනල විප්ලවය කියන බ්ලොග් එකේ විජේවීරව මෘගයෙක් ලෙස හදුන්වල ඔහුගෙ මරණය ගැන සතුට පළ කරනව
    ඇත්තටම 1971 දිත් 1989 දිත් මිනිස්සු මෘගයො කරපු ඒ මෘගය ට ශාප වේවා.
    මේ තිරිසන් අපරාදෙ ගැන තොරතුර ලැබුනම අජිත් පැරකුම්ගෙයි,සුමිත් නිරිඇල්ලගෙයි බ්ලොග් වල පළ කළා.තව විප්ලවකාර බ්ලොග් කීපයකමත් පළ කළා.
    අද උපාසක බලල්ලු වගෙ පන්ඩිත කතා කියන්නෙ ,මනුස්සකම ගැන කියවන්නෙ මොන තරම් තිරිසන් මෘගයොද කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. @AnonymousJune 15, 2014 at 6:29 PM
      //මේ තිරිසන් අපරාදෙ ගැන තොරතුර ලැබුනම අජිත් පැරකුම්ගෙයි,සුමිත් නිරිඇල්ලගෙයි බ්ලොග් වල පළ කළා.//
      සුමිත් නිරිඇල්ල කියන්නෙ ජවිපෙට සම්බන්ධ වෙලා හිටියා කියලා එයාම කියාගන්න කෙනෙක්නෙ.ඒ වුනාට එයා දැන් අර වීරවංශ ටයිප්පොරක් වෙලා බ්ලොග් මහාචාරියන්ට කුමාරිහාමිලාට කඩේයනවා නේහ්???

      Delete
  9. ඔය අන්තවාදී ආගම ගෑවුන තැන ඉවරයි.

    ReplyDelete
  10. පකිස්ථානය හා විජේවීර?????

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා