දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය හා සිංහලයා

මගේ ලංකාවේ කොඩිය
අනන්‍යතාවක් සහිත යම් ජන කොටසක්, පාලන බලය සහිත වෙනත් ජනකොටසකින් නිරතුරුව, අඛන්ඩව අසාධාරනයකට ලක් වෙනවා නම් එයම ස්වයං නීර්න හිමිකම සඳහා ප්‍රමානවත් නොවේද? එවන් පීඩිත ජනකොටසකගේ එකමුතුව ආගමිකද, මූල ධාර්මිකද, ජාතියක් මත පදනම් වූවක්ද යන්න අදාල වෙනවාද?

ඉහත සඳහන් වන්නේඋතුරේ ප්‍රශ්නය දැන් මට පෙනෙන හැටි  යන ලිපිය හා ආශ්‍රිත සංවාදයේදී දිමිත්‍රි අපෙන් ඇසූ පැනයක්. මෙය ඇත්තෙන් සංකීර්ණ ප්‍රශ්නයක්.

මේකට බොහෝ අය ඉතාම සරළ පිළිතුරක් දෙනවා. ඒ තමයි, ස්වයං නිර්ණ හිමිකම මූලධාර්මිකව පිළිගන්න එක. මටත් එහෙම කියන එක හරි ලේසියි. මෙච්චරයි. මම දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම පිළිගන්නවා ය කියලා පැත්තක‍ට වෙලා ඉන්න පුළුවන්. ඒ ස්ථාවරය නිසා තර්ජන ඇති බව කියා බටහිර රටක‍ට සංක්‍රමණය වෙලා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධිත සමාජයක අලුත් ජීවිතයක් ආරම්භ කරන්නත් පුළුවන්.

හුඟක් විදෙස්ගත දෙමළ තරුණ තරුණියන් කරනවා වගේ ඔය අවන්හල්වල වැඩ වැනි රැකියාවක් කරලා කොටි සංවිධානය නැවත ගොඩනගන්න මාසෙකට ‍ඩොලර් විසිපහක් පනහක් දෙන්නත් පුළුවන්. මට ප්‍රශ්නයක් නැහැනේ. මං ඉන්නේ එහෙනේ. මෙහේ මල්ලිලා යුද්දේ කරාවි. මෙහේ යුද්දෙ තිබෙන කල් මට එහේ ඉන්නත් පුළුවන්. ම‍ට තියෙන්නේ ඔය ඉඳ හිටලා උද්‍ෙඝෝෂණයකට යන්න විතරයි. ඒකත් ඉතින් ෆන් එකක් නේ. මං දේශපාලනය කියලා කරන මඟුලක් නැති වුණාට ලංකාවේ ආණ්ඩුව මට ඩයස්පෝරා ය කියමින් බය වෙනවා නේ.

මගේ ස්ථාවරය මේකයි.දෙමළ ජාතියේ ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් වැඩ කරන එක දෙමළ ජාතිකවාදීන්ගේ වැඩක් මිසක් මගේ වැඩක් නෙමෙයි. මන්ද, මම දෙමළ ජාතිකවාදියෙක් නෙමෙයි. සිංහල‍යකු වන මම දෙමළ ජාතිකවාදියකු වෙන්නට යන එක විකාරයක්. ඒක හරියට අර සාමය වෙනුවෙන් අරමුදල් ‍පොම්ප වන කාලේ සමහර සිංහල එන්.ජී.ඕ. නෝනලා නහයේ කරාබු දාගෙන හිටිය එක වගේ විකාරයක්.

දෙමළ ජාතියට වෙන් වීම හැර අන් විසඳුමක් නැතිනම් පමණක් මම ඊලම පිළිගන්නවා. දෙමළ ජනතාව වෙන් වීම යන විසඳුම කරා යන්නේ අන් සියලු විසඳුම් සලකා බැලීමෙන් අනතුරුව ද යන ප්‍රශ්නයත් ඉතිරිව තිබෙනවා.

නිදසුනකට 1987 ඉන්දීය මැදිහත්වීම හා උතුරු නැගෙනහිර පළාත් සභාව පිහිටුවීම සලකා බලන්න. දෙමළ ජාතිය ඒ අවස්ථාව පූර්ණ අන්දමින් භාවිතා කරමින්, එතැන් සිට ඉදිරියට යන්නට උත්සාහ කළේ නැහැ. එ් වෙනුවට දෙමළ ජාතිකවාදය ම ප්‍රවර්ධනය කරමින් වෙනම රාජ්‍යයක් ම ඉලක්ක කරමින් යුද්ධයේ මාවතට පිවිසුණා. යුද්ධය තෝරා ගැනීම සම්බන්ධයෙන් පනහට පනහ නොවුණත් වෙනත් ප්‍රතිශතයකින් හෝ දෙමළ ජාතියේ නායකයෝ වගකිව යුතුයි.

හිරු කණ්ඩායමේ ක්‍රියාකාරිකයකු ලෙස මම ඉතා ම පැහැදිලිව චෝදනා කරනවා, කොටි සංවිධානයට හා එහි නායකත්වය පිළි ගත් දෙමළ ක්‍රියාධරයන්ට සිංහල ප්‍රගතිශීලීන් සමග එක්ව වැඩ කිරීමේ හා දෙමළ ජාතිකවාදය පියමං කරන පුළුල් දැක්මක් ඇති කර ගන්න උවමනාවක් නො තිබුණු බව. ඔවුන්ට උවමනා වුණේ සිංහල ප්‍රගතිශීලීන් කඩේ යවාගන්නට විතරයි. සරළව කියනවා නම් ඔවුන් සිංහල සමාජයෙන් බලාපොරොත්තු වුණේ දෙමළ ඊලම වෙනුවෙන් සේ්‍වය කරන කොන්ත්‍රාත්කරුවන් පිරිසක් විතරයි. මේ වනාහි අමු ම අමු ජාතික ස්වෝත්තමවාදය මිස වෙන කුමක් ද?

මම දිමිත්‍රිගෙන් අහන්නේ එක සරළ ප්‍රශ්නයයි. වාමාංශිකයන් ජාතිවාදයට කඩේ යා යුත්තේ කුමට ද?

පීඩිත ජාතිවාදය ප්‍රගතිශීලී විභවයන්ගෙන් යුක්ත එකක් ය යන්න නූතන ලෝකයට වලංගු නැහැ. මේ තර්කය ධනවාදයේ නැගීමේ මුල් යුගය තුළ වලංගු සාධකයක් වෙන්න ඇති. ධනවාදය ගෝලීයකරණය වෙච්ච නූතන සංදර්භය තුළ, පීඩිත ජාතීන්ගේ විමුක්තිය ජාතිකවාදය තුළින් සොයා ගන්න දැන් බැහැ. ජාතිකවාදී අරගල ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරන්නට හෝ දායක වන බව‍ට වත්මන් ලෝකයේ උදාහරණ නැහැ.(මීළඟ ලිපිය බලන්න) හොඳම උදාහරණය කොටි සංවිධානය.

වාමාංශිකයන්ට මම යෝජනා කරන්නේ මෙයයි. ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ තර්කය ඔහේ තිබුණා‍වේ. ජාතිකවාදීන් ඒ අරගල කරපුවාවේ. අපි ඒවා පස්සේ යන්න ඕනැ නැහැ. අපට ඊට වඩා ඉදිරිගාමී අරගලයක් තිබෙනවා. ඒ මොකක් ද? ඒ තමයි, ජාතික සීමාවන් අතික්‍රමණය කළ පුළුල් දේශපාලන ප්‍රවණතාවන් ගොඩනැගීමේ අරගලය. අපේ අවධානය නාභිගත වෙන්න ඕනැ එතැන.

ලංකාවට අදාළව නම් අපි උත්සාහ කළ යුත්තේ සිංහල හා දෙමළ ආදී ජාතික අනන්‍යතාවන් වෙනුවෙන් රාජ්‍ය ගොඩනගා ගැනීම සඳහා වූ දේශපාලනයට සම්බන්ධ වෙන එක නෙමෙයි. ශ්‍රී ලාංකික ය කියන ඊනියා සිංහල අනන්‍යතාව වෙනුවට සැබැවින් ම පුළුල් ලාංකික දේශපාලන ප්‍රජාවක් වෙනුවෙන් සටන් කරන එකයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. //ලංකාවට අදාළව නම් අපි උත්සාහ කළ යුත්තේ සිංහල හා දෙමළ ආදී ජාතික අනන්‍යතාවන් වෙනුවෙන් රාජ්‍ය ගොඩනගා ගැනීම සඳහා වූ දේශපාලනයට සම්බන්ධ වෙන එක නෙමෙයි. ශ්‍රී ලාංකික ය කියන ඊනියා සිංහල අනන්‍යතාව වෙනුවට සැබැවින් ම පුළුල් ලාංකික දේශපාලන ප්‍රජාවක් වෙනුවෙන් සටන් කරන එකයි. //

      ඔබගේ කලින් පෝස්ට් එකේ අහපු ප්‍රශ්නයක් නැවත වෙනත් විදිහකින් අහන්නම්, කැමති නම් පිළිතුරක් දෙන්න.

      'නිදහසේ වේදිකාව' ව්‍යාපාරය සිංහල,දෙමළ,මුස්ලිම් ජාතීන් හා වාමාංශික,ලිබරල් යනාදී විවිධ ස්ථරයන්ගෙන් සමන්විත සැබැවින් ම පුළුල් ලාංකික දේශපාලන ප්‍රජාවක් වෙනුවෙන් සටන් කරන සංවිධානයකි. ඔබ එහි නැත්තේ ඇයි?

      Delete
  2. mchang Para....Bella kapala weng karahama kandata eka adalada..wage..neda..maathrukawa දෙමළ ජනවාගේ ස්වයං නිර්ණ අයිතිය සිංහලයන්ට අදාළ ද? ithuru paluwane machang sinhala kiyannema.

    ReplyDelete
  3. if you are a gentleman,To the first comment you have to thanks...man.but instead of that. you just removed it without saying anything. it is not good.Mr.A.P.jayasingha. (V all R same.)
    I hasve to say to you behave wisely. Nobody is perfect.

    ReplyDelete
    Replies
    1. Thank you very much for showing the typing error and the comment was removed after the error was corrected.

      Sorry, I did not think that you needed so big thank you for showing such a simple thing.

      Delete
  4. ඔබගේ ලිපි කියවා පලකරනු ලබන අදහස් වලට වඩා කිනම් හෝ පුද්ගලයෙක් ඔබගේ බ්ලොගය කියවීමයි වැදගත් වන්නේ, අදහස් ඉවත් කිරීමෙන් ඔබ කරනු ලබන නින්දිත ක්‍රියව මා තරයේ හෙලා දකිමි. ඔබගේ බ්ලොගය පාරිශුද්ධත්වයේ සංකේතයද? ඔබ යම් අදහසක් ඉවත් කරනු ලබන්නේ කා වෙනුවෙන්ද? නීතිමය කාරනා කියල බොරු කියන්නෙ නැතුව සත්‍ය පැවසීම වැදගත්. විකල්ප මාධ්‍යක් ලෙස බ්ලොග් කියවීම හා තමන්ට රිසි සේ අදහස් පල කිරීමට ඇති අවස්ථාවට ඔබ වැනි කෙනෙක් බාධා, තහන්චි පැමිණවීම යෝග්‍ය නැත. ඔබගේ ක්‍රියාව ලංකාවේ අනිකුත් ජන මාධ්‍යන් වල හැසිරීම සාධර්ණීකරනය කරනු ලබයි.

    ReplyDelete
    Replies
    1. This is the nature of Marxist socialists . They take every possible attempt to hide out of the shadow of the reality.

      Delete
    2. this is the nature of para and factor almost, not all Marxist socialists....Mun wage ewun anonym niweradi karanawata a pita. gahanna on a hark paiyen.

      Delete
    3. ඔබ ඔය තරම් කෑගහන්නේ කුමක් වෙනුවෙන් ද කියා දන්නවා ද? මේ ලිපිය ටයිප් කරද්දී මගේ අතින් වැරදීමකින් මාතෘකාවේ තිබෙන දෙමළ ජනයාගේ කියන වචනය දෙමළ ජනවාගේ කියා ටයිප් වී තිබුණා. පළමු කමෙන්ටුව දැමූ පුද්ගලයා එය පෙන්වා දී තිබුණා. මා එය නිවැරදි කර කමෙන්ටුව ඉවත් කළා. අදාළ ටයිපිං වරද නිවැරදි කළ පසු එම කමෙන්ටුව වැඩක් නැහැ නේ ද?

      දැන් ඔබගේ කමෙන්ට් ගැන ආපසු කල්පනා කර බලන්න. මිනිස් ස්වභාවය හරිම රසවත් නේ ද?

      Delete
  5. දිමිත්‍රි එක්ක සිදුකරන ඔබගේ තර්කය සම්බන්ධයෙන් හෝ "හින්ට්" වශයෙන් දක්වා ඇති කරුණු ගැන මං අදහස් දක්වන්න යන්නෙ නෑ. ඒත් ඔබ මෙහි උඩින්ම රතු පාටින් දාල තියන ප්‍රකාශය නිවැරදියි.

    සිංහලයෙකුට දෙමළ ජාතිවාදියෙක් වෙන්න බෑ. ඒත් සිංහලයෙකුට දෙමළ ජාතියේ ස්වයං නිර්ණ අයිතිය පිළිගන්න පුළුවනි. දෙමළුන් වෙනුවෙන් නෙවෙයි, බල්ලන් වෙනුවෙන් හරක් වෙනුවෙන් මරාගෙන මැරෙන මිනිස්සුත් ඉන්නවනෙ.

    ප්‍රභාකරන් විසින් සිංහලයන් විතරක් නෙවෙයි දෙමළ ජනතාවත් කඩේ යවනු ලැබුවා. ස්වයං නිර්ණ අයිතිය තිබුනු පමණකින් බෙදී වෙන්වීමට අවශ්‍යතාවක් නෑ. නොබෙදී කළ හැකි බොහෝ දේ තිබුනා, තිබෙනවා. ඔබ සහ මම නිවැරදි කොමියුනිස්ට් රාජ්‍යයක් වශයෙන් පිළි නොගත්තත් සෝවියට් සංගමයේ එකතුව සිටි සෑම රටකටම ස්වයං නිර්ණ අයිතිය තිබුනා නේද? (බලහත්කාරයෙන් හෝ උපක්‍රමශීලීව එකට එකතු කරගෙන හිටිය වුනත්) මේක ගැඹුරු සබ්ජෙක්ට් එකක්.

    අපේ රටේ ගෑණියකුට ස්වයං නිර්ණ අයිතිය තියනවද?

    ReplyDelete
    Replies
    1. ඒක අවස්ථාවට සාපේක්ෂයි.ලංකාවෙ දෙමළුන්ට එය දුන් හැටියෙම වෙන් වෙනව.හැබැයි සෝවියට් දේශය අවුරුදු 74 ක් තියාගෙන හිටියෙ කලින් වෙනම රාජ්‍ය ලෙස පැවති ඒව. ඒ කියන්නෙ එතන තිබුනෙ වෙන මොකවත් නොවෙයි රුසියන් බලය.
      ඉන්දියාවෙ හින්දි බෙල්ට් එක හින්දු ආගම කියන රැහැන මගින් ජාතීන් රැසක් අල්ලගෙන ඉන්නව.
      ඔය විදියට ස්වයංතීරණය දෙන්න ගියොත් ලෝකය රටවල් ලක්ෂ ගනනකට කැඩී යනව. මුළු සමාජයම කඩා බිද දමා සුන්නද්දූවිලි කරන පිස්සු කතාවක් ඔබ කියන්නෙ මොඅකක් හරි පොතක තිබුන ඇදහිල්ලකට මුලා වෙලා. ලෙනින් කියන සියල්ල දත් ඍෂිවරය එහෙම කියල තිබුනලු නේද

      ගෑනු ගැනත් කියල තිබෙනව. දෙන්නෙක් හිටියොත් එතන අනිවාර්යයෙන්ම නායකයෙක් ඉන්නව. ඔබ ඔය කියන පිස්සු විකාරෙ ප්‍රායෝගිකද බලන්න ඒ පිස්සු කතාව ඊට කලින් මොන පිස්ස කියල තිබුන වුනත්.

      Delete
  6. //ලංකාවට අදාළව නම් අපි උත්සාහ කළ යුත්තේ සිංහල හා දෙමළ ආදී ජාතික අනන්‍යතාවන් වෙනුවෙන් රාජ්‍ය ගොඩනගා ගැනීම සඳහා වූ දේශපාලනයට සම්බන්ධ වෙන එක නෙමෙයි. ශ්‍රී ලාංකික ය කියන ඊනියා සිංහල අනන්‍යතාව වෙනුවට සැබැවින් ම පුළුල් ලාංකික දේශපාලන ප්‍රජාවක් වෙනුවෙන් සටන් කරන එකයි. //

    ඔබගේ කලින් පෝස්ට් එකේ අහපු ප්‍රශ්නයක් නැවත වෙනත් විදිහකින් අහන්නම්, කැමති නම් පිළිතුරක් දෙන්න.

    'නිදහසේ වේදිකාව' ව්‍යාපාරය සිංහල,දෙමළ,මුස්ලිම් ජාතීන් හා වාමාංශික,ලිබරල් යනාදී විවිධ ස්ථරයන්ගෙන් සමන්විත සැබැවින් ම පුළුල් ලාංකික දේශපාලන ප්‍රජාවක් වෙනුවෙන් සටන් කරන සංවිධානයකි. ඔබ එහි නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මා ජීවත් වන ප්‍රදේශයේ නිදහසේ වේදිකාව කියා සංවිධානයක් නැත. ‍කොළඹ සිට එය මෙහෙයවන අය කිසිදු දිනෙක මට ආරාධනාවක් කර නැත. අයදුම්පත් යවා එහි සාමාජිකත්වය ගන්නා ආකාරයක් මා දන්නේ නැත. සැබැවින් ම පුළුල් ලාංකික දේශපාලන ප්‍රජාවක් වෙනුවෙන් සටන් කරන සංවිධානයන ද යන්න ද මා දන්නේ නැත.

      Delete
    2. I thought ur intend is to make a better society than what we have right now, sorry my bad, I hav mis-read u.

      Delete
  7. ජාතික ප්‍රශ්නය ගැන හොරගල් අහුලන ඊනියා වාමංශිකයන්ගෙන් (ප්‍රධාන වශයෙන් ජවිපෙ හෝ එහි විමතිකයන් ) අහන්න. දෙමල ජනයාට අද දවසේ ඇති ප්‍රශ්නය ස්වයං නීර්න අයිතිය අයිතිද නැතිද යන්න නොවන බවත්, ඔවුන්ගේ ප්‍රශ්නය විසඳිය හැක්කේ සමාජවාදය තහවුරු කර ගැනීමෙන් බවත් අද දවසේ අප කලයුත්තේ දෙමල සහ සිංහල පොදු අරගලයක් දියත් කිරීම බවත් තමයි ඔවුන්ගේ පිලිතුර. බැලූ බැල්මට ඇත්ත. නමුත් මේ නම්, ප්‍රශ්නය මග හැර යාමක් මිස අනිකක් නොවේ.

    අජිත් නොදැනුවත්වම සමපාත වෙමින් රකින්නේ මේ ආස්ථානය නොවේද? පහත දැක්වෙන්නේ 'දෙමලාගෙ අඩවියෙන්' උපුටා ගත්තක්. නිර්මාල් මේ ලිපිය ලියන්නේ 1996 දී!

    http://demalageprashnaya.wordpress.com/ 'අප දෙමළ ජාතිකවාදීන් ද?'

    වාම ජනතාවාදී ප‍්‍රවේශය

    මෙම ප‍්‍රවේශය තුළ අවධාරනය කෙරෙන්නේ ජාතින් අතර පවත්නා මෙවන් ගැටලූවලට විසඳුම් දීමට ධනපති පංතියට නොහැකි බවයි. ඊට හේතුව මේ ගැටලූවල ඇත්ත හේතු වන්නේ සමාජයේ පවත්නා අසමානතාවය නිසාය. එම හේතුව ඉවත් කරන්නේ නොමැතිව මතු පිටින් ‘විසඳුම්’ ලබා දීම කිසිසේත් ප‍්‍රශ්නය විසඳීමක් නොවේ. මේ නිසා ප‍්‍රශ්නය විසඳාලිය හැක්කේ සමාජවාදය පිහිටුවා සමාජය තුළ සමානාත්මතාවය ඇති කිරීම මගින් පමණකි. මෙම ‘විසඳුම’ මේ මොහොත තුළ ප‍්‍රධාන වශයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණ මගිනි........පළමුව මෙම ප‍්‍රවේශය යෝජනා කරන පිරිස් (විශේෂයෙන් ජ.වි.පෙ.) තම ‘සමාජවාදී විසඳුම’ සංයුක්ත දේශපාලන ක‍්‍රියාමාර්ගයන් බවට පත්කරලීමට සමත් වන්නේ නැත. එම නිසා එය ගැටලූවට මුහුණ නොදී පලා යාමට මඟක් පමණක් බවට පත්වේ.'

    ඔබ කියනවා... සිංහල‍යකු වන මම දෙමළ ජාතිකවාදියකු වෙන්නට යන එක විකාරයක් බව. ඒ අනුව ගත්තොත්, ස්ත්‍රීන්ගේ හිමිකම් වෙනුවෙන් අරගලකිරීම ස්ත්‍රීන්ගේ වැඩක් පමනක්ද? ස්ත්‍රීන්ගේ හිමිකම් වෙනුවෙන් අරගල කරන බහුතරයක් එන්ජීඕ ස්ත්‍රීවාදීන් වීම නිසා අප ඔවුනට සහය දිය නොයුතුද?

    - Dimithri

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රීන්ගේ ප්‍රශ්නයට විසඳුම පුරුෂාධිපත්‍යයට එරෙහිව ස්ත්‍රී ආධිපත්‍යයක් පිහිටුවීම නොවෙයිනේ. ඒ වගේ සිංහල ස්වෝත්තමවාදයට විසඳුම දෙමළ ස්වෝත්තමවාදය නොවෙයි.

      ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම ලෙස මා යෝජනා කරන දෙය සමාජවාදය වගේ සංකල්පීය දෙයක් නොවෙයි. ප්‍රායෝගිකව දැනටත් සිදු වෙමින් පවතින දෙයක්. ඒ තමයි සිංහල, දෙමළ වැනි ජාතික අනන්‍යතාවන් අතික්‍රමණය කරන පුළුල් ලාංකික දේශපාලන ප්‍රජාවක් ‍ගොඩනැගීම හා එවැනි සංදර්භයක් තුළ ලාංකීය රාජ්‍යය නැවත ව්‍යූහගත කිරීම.

      එය දෙමළ ප්‍රශ්නයේදී පීඩක, පීඩිත යන දෙපැත්තට ම අයත් වන ප්‍රජාවන් සහභාගි වී සෙවිය යුතු විසඳුමක්.

      ස්වයං නිර්ණ හිමිකම කියන්නේ ඒක පාර්ශ්වීය අරගලයක්. එහිදී පීඩක ජාතිකවාදය පැත්තට වර්ගීකරණය වන අය කළ යුතු දේත් සමාජවාදය වගේ ම තමයි.

      Delete
    2. ජවිපෙ සහ විමතිකයන් කියන්නෙත් ඔය අදහසම තමයිනේ අඩුවැඩි වශයෙන්. ඔවුන්ගේ අදහස් හා සමපාත නොවිය යුතු බව නොවෙයි මා කියන්නේ. ප්‍රශ්නය මගහැර යාමට ඓතිහාසික ලෙස භාවිතා කල අදහසක් නිසයි.

      මෙතනදි නැවතත් හෙනහුරා මතක් කල ස්ත්‍රීන්ට ස්වයං නීර්න අයිතිය තියෙනවද යන ඇනලොගි එක යොදාගත හැකියි.

      පීඩක, පීඩිත යන දෙපැත්තට ම අයත් වන ප්‍රජාවන් සහභාගි වී සෙවිය යුතු විසඳුමක් සෙවීමේදී, පීඩිතයාගේ සංධිස්ථානමය ඉල්ලීම් නොසලකා හරින්න (උදාසීන ආකල්පයක් දරන්න ) පීඩක පක්ශයේ මැදහත් ප්‍රජාවට බැහැ කියන එකයි මම කියන්නේ. ඔබ යෝජනා කරන උදාසීන ආස්ථානය, 'ජාතික අනන්‍යතාවන් අතික්‍රමණය කරන පුළුල් ලාංකික දේශපාලන ප්‍රජාවක් ‍ගොඩනැගීම' සඳහා පීඩිත ප්‍රජාව උනන්දු කරවන්නක් නොවේ. එවන් ලෑන්ඩ් මාර්ක් ඉල්ලීම් සඳහා ක්‍රියාකාරීව පෙනී සිටීම සමාජවාදී ජීවන මාදිලියක අත්‍යවශ්‍ය අංගයක් වියයුතු නොවේද?

      අනික් අතට, සිංහල ප්‍රජාවගේ සිංහල අනන්‍යතාවය අවධාරනය (එය ජාතිවාදී නොවන බව මම හොඳින් දනිමි ) කරන ඔබ, 'සිංහල, දෙමළ වැනි ජාතික අනන්‍යතාවන් """අතික්‍රමණය කරන""" පුළුල් ලාංකික දේශපාලන ප්‍රජාවක් ‍ගොඩනැගීම' යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

      - Dimithri

      Delete
    3. මේ ඔබේ කොඩිය හරහා හිතුන දෙයක්.

      වැට මායිම් කොඩියකට දැමීම කොතරම් සුදුසුද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මගේ අදහස නම් කොඩියේ අඩංගු විය යුත්තේ භූමිය සම්බන්ධ ලක්ශන නොවෙයි, මිනිසුන් සම්බන්ධ දෙයක්. මේ කොඩිය දෙමල සිංහල සහයෝගීත්වයක් සඳහා යොදාගත හැකියයි ඔබ හිතනවාද? ඔබේ කොඩිය තුල ලංකාවේ 'ඒකීය භාවය' පිලිගැනීමට අවිඥානික යෝජනාවක් තිබෙන බවයි මට හැඟෙන්නේ. ජාතික ගීය එක භාශාවකින් ගැයීමට නියම කිරීම, පාර්ලිමේන්තුවේ දී රටේ ඒකීය භාවය ගැන ප්‍රතිඥාවක් දීම අනිවාර්ය කිරීම, එක රටක් පෙන්වන කොඩියක් භාවිතා කිරීම...!

      ඔබ ඉන් අදහස් කරන්නේ පාලකයන් තොරොම්බොල් කරන ඒකීය භාවය නොවන බවට සැකයක් නැහැ.

      හැබැයි අනික් අතට මෙහෙමත් හිතෙනවා... දූපතක ජීවත්වන අපටම කියාපු කොඩිය!

      - Dimithri

      Delete
  8. සාමාන්‍යෙයන් අපි කතා කල යුත්තේ ඇයි? කට තියෙනවාට දිව තියෙනවාට හෝ අපිට හිතන්නට හිතක් තියෙනවාට කතා කරලා වැඩක් තියේද? නැහැ කියලයි මම හිතන්නෙ.
    අපි දැන් ඔය ජනවාර්ගික ගැටලුව පැත්තකින් තියමු. එහෙම එකක් නෑමයි කියමු. එහෙම වුනත් දෙමල ජනයා දිනාගන්න මොනවද අපි කරන්නෙ? මුකුත්ම නැහැ.. බොරුවට උතුරට ගිහින් හණී බලන්න අරුං දුක් විඳිනවා කියල විසිට් එකක් දාල එනවා. ඊට අමතරව මේ වගේ පුක එක තැන වැඩිවෙලාවක් තියං ඉන්නකොට නිකං නලියන වගේ ගතියක් තියෙන අය ටික දෙනෙක් මනෝරාජික දේශපාලන සංකල්ප එක්ක හැමාදම විවාද කරනවා.
    අරක්කු ටිකක් බොනකොට , වැඩ ඇරිල ගෙදරාවම පේස්බුක් ගියාම, පරණ යාලුවො හමුවුනාම. මාත් පරන පොරක් කියාල ලෝකෙට පෙන්වන්න ඕන වුනාම අල්ලගන්නවා මහ ගැටලුවක් ඒකෙ නම ජනවාර්ගික අර්බුධය.

    එහෙම නැතුව මේ බුද්ධිමත් ප්‍රජාව,වාමාංශික ප්‍රජාව කියන එ්වට රටේ තීරණ ගන්න තැන්වල තීරණ වෙනස් කරන්න හැකියාවක් නැහැ. කරන්න පුලුවන් ලොකුම දේ ලංකාවට අංචියක් අදින කොට අර දැන් වෙනවා වගේ ජිනීවා වල පුටු වල වාඩි වෙලා බණ අහගෙන ඉදලා කමෙන්ට් එකක් දාල එන එක විතරයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා