2014-03-29

ඡන්දය දෙන්නට යන්නට පෙර හිතට එන සිතුවිලි

අද පැවැත්වෙන බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය ජාතික මෙන් ම ජාත්‍යන්තර වැදගත්කමකින් ද යුක්ත ය.

මෙහිදී ජනතාවට එක්කෝ ආණ්ඩුවට සුවිසල් වැඩි ඡන්දයක් ලබා දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුමත කරන්නට පුළුවන. ඒ කියන්නේ ආණ්ඩුවේ ජාත්‍යන්තර හුදකලාභාවය, දූෂිතභාවය, ජාතිවාදය, මානව හිමිකම් කෙරෙහි තිබෙන නො සැලකිල්ල, ප්‍රජාතන්ත්‍ර විරෝධීභාවය හා ඒකාධිපති පවුල්වාදය නැවත අනුමත කරන්නට පුළුවන.

ආණ්ඩුවට ඒ ජනවරමින් ඔකඳ වී තව තවත් ජාත්‍යන්තරව හුදකලා වන අන්දමේ ක්‍රියාමාර්ග ගන්නට පුළුවන. රටේ ඉතිරි සාරයක් ඇත්නම් එය ද සූරා කන්නට පුළුවන. ජාතික හෙළ උරුමය, බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධානවල පදයට නටමින් ජාතික ප්‍රශ්නය ආගම් ප්‍රශ්නයක් දක්වා ම අවුල් කරන්නට පුළුවන. ප්‍රජාතන්ත්‍රවාදයට සමච්චල් කරන්නට පුළුවන. යන යකා කොරහත් බිඳගෙන ම යන්නා සේ මහා ජන මර්දනයකට වුව මෙම ජනවරම යොදා ගන්නට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත.

මේ ඡන්දයෙන් ආණ්ඩුව ජය ගන්නට තිබෙන ඉඩකඩ වැඩි ය. මැතිවරණයේදී තරගය තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, විපක්ෂයත් අතර නො වේ. ආණ්ඩුවත්, විපක්ෂයත් අතර ය. ආණ්ඩුව සමස්ත රාජ්‍ය බලයමත්, මහජන මුදලුත් ඡන්දයට යොදවා තිබේ. එහෙව් ආණ්ඩුත් එක්ක ඡන්ද කර දිනන්නට පුළුවන් විපක්ෂ ලෝකයේ කොහේවත් නැත. එහෙත්, මෙවැනි ඡන්ද පවත්වන උතුරු කොරියාවේ, කියුබාවේ හෝ ඉරානයේ හෝ මෙන් සියයට අනූ ගණන් ප්‍රතිශත ලබා ගන්නට ද මේ ආණ්ඩුවට බැරි ය.

එහෙත්, ජනතාව ලෙස අපගේ වගකීම වන්නේ විපක්ෂය ශක්තිමත් කිරීම ය. ජනතාවට තමන්ගේ හිමිකම් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළ හැකි වන්නේත්, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් යම් තරමකට හෝ ආරක්ෂා කර ගත හැක්කේත්, ආණ්ඩුවේ දූෂණය යන්තමින් හෝ පාලනය කර ගත හැක්කේත් විපක්ෂය ශක්තිමත් වන තරමට ය.

රට ඉදිරියේ තිබෙන්නේ ඉතා දුෂ්කර කාලයක් බව නිසැක ය. යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ජාත්‍යන්තර හා දේශීය පරීක්ෂණ සඳහා තිබෙන බලපෑම් විෂයෙහි ද මෙම ඡන්ද ප්‍රතිඵලය අදාළ වේ. ආණ්ඩුවට ඕනෑ නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා පහසුකම් සැපයීම ප්‍රතික්ෂේප කරන්නට හැකියාව තිබේ. එවැනි සංදර්භයක් තුළ සිදු වන ජාත්‍යන්තර පරීක්ෂණයක් ආණ්ඩුවට වඩාත් අවාසි සහගත වන බව නිසැක ය. දේශීය පරීක්ෂණ ගැන නම් ඉතින් කියන්නට දෙයක් නැත. ඒවා ඉතින් ලෝකල් වැඩ ය.

වසරින් වසර ජාත්‍යන්තර වශයෙන් වැඩි වැඩියෙන් හුදකලා වෙමින් තිබෙන ලංකාවේ ආණ්ඩුවට 2015 ජාත්‍යන්තර මානව හිමිකම් කොමිෂමේ සැසිවාරය මීටත් වඩා දුෂ්කර වනු ඇති බව නිසැක ය. 

ඇමරිකාව ප්‍රමුඛ බටහිර ධනේශ්වර රටවලට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙල්ල කර ගැනීමට උවමනා වී තිබෙන බව පැහැදිලි ය. ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කියන පරිදි ඔවුන් ඇමරිකාවට හිසරදයක් වී තිබෙන නිසා නො වේ. බටහිර රාජ්‍යයන් විසින් අනුදකිනු ලබන දැනට තිබෙන ධනේශ්වර දේශපාලන ක්‍රමය තුළ මෙවැනි ආණ්ඩු වල් පැළෑටි වී තිබෙන නිසා ය. වල් පැළෑටි යනු විකල්ප භෝගයක් නො වේ. නිකම් කඩාකප්පල්කාරීහු පමණ ය. කඩාකප්පල්කාරීන්ට දැක්මක් නැත. ඔවුන් කරන්නේ අල කිරීම පමණි. එය‍ට හොඳම උදාහරණය වත්මන් ආණ්ඩුවයි. 

ආණ්ඩුව බටහිරට මෙතරම් විරුද්ධ ඇයි? ජී.එල්. පීරිස් වැනි ඇමරිකන් ගැත්තන් ඇමරිකානු විරෝධයේ කුලී ප්‍රකාශකයන් බවට පත් වී තිබෙන්නේ ඇයි? මේ ඊනියා බටහිර විරෝධයට හේතු වන පැහැදිලි දේශපාලන මූලධර්මයක් තිබෙනවා නම් පෙන්වා දෙන්න. 

ලංකාවේ ආණ්ඩුව මේ වන විට කරමින් සිටින්නේ කුමක් ද? විවෘත ණය වෙළඳපොළින් ණය ගනිමින් ඔවුන් මේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ 2004ට පෙර පැවති ආණ්ඩු සමයන්හිදී බටහිර රටවල මග පෙන්වීමෙන් ‍යෝජනා කරන ලද යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නො වේ ද? වෙනසකට ඇත්තේ දැන් ඒවා සිදු වන්නේ පාලක පවුලේ හිතු මනාපයට වීම හා චීනයෙන් හැර වෙනත් රටවලින් ආයෝජකයන් නො පැමිණීමයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණා නම් ඒවාට ආධාර දෙන කණ්ඩායම ලෙස හැඳින්වුණු බටහිර රටවල හා ජපානයේ සහාය ලැබෙන්නට ඉඩ තිබිණි. එහි හොඳ නරක දෙපැත්තක් තිබේ. දැන් සිදු වන්නේ චීනය නිර්දය අන්දමින් ලංකාව සූරාකෑම පමණි. 

බටහිර දියුණු ධනේශ්වර රටවලට අවශ්‍ය වන්නේ ලංකාව සිය බල අවකාශය තුළ රඳවා ගන්නට ය. ලංකාව උතුරු කොරියාව හෝ කියුබාව හෝ ඉරානය තරමින් ඔවුන්ට අභියෝගයක් නො වේ. ඔවුන්ට ලංකාව ගැටලුවක් වන්නේ ඒ රට පාලනය කරන්නේ විකාරකාරයන් පිරිසක් විසින් වීම නිසා පමණි. තුන්වන ලෝකයේ රටවල මෙවැනි විකාරරූපී ආණ්ඩු ඕනෑ තරම් තිබේ. එ් හැම එකක් සම්බන්ධයෙන්මත් බටහිර කටයුුතු කර තිබෙන්නේ මේ අන්දමට ම ය. බුරුමය සම්බන්ධයෙන් බටහිර රටවල් හා ඉන්දියාව කටයුතු කළ ආකාරය හා අවසානයේදී චීනය එයට දැක්වූ අනුකූලතාව ලංකාවට පාඩමක් ඉගෙන ගන්නට හොඳ උදාහරණයකි. 

මේ ගමන එතරම් දුර යා හැකි එකක් නො වේ. එහෙත් එහි තර්කානුකූල අන්තයක් දැකීමට ආණ්ඩුවට අවස්ථාව ද ලබා දිය යුතු ය. ප්‍රශ්නය තිබෙන්නේ ඒ වන විට රට වවුල් හපයක් බවට පත් වන එක ය. තව පරම්පරා ගණනාවකටවත් ගොඩ එන්නට බැරි අගාධයකට රට වැටෙන එක ය.

ඡන්දපොළට යාම මහා කම්මැලි වැඩක් බව ඇත්ත ය. ඒ ගත වන කාලය නිදා ගත්තත් සැප යයි සිතෙන සිතිවිල්ල පාලනය කිරීම අතිශය දුෂ්කර ය. එහෙත්, ඡන්දය නො දීම ද වත්මන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට සහයෝගය දීමකි. ඡන්දපොළට ගියත්, ආණ්ඩුවට ඡන්දය නො දී ඡන්දය දෙන්නේ කාට ද යන්න ද බරපතල ප්‍රශ්නයකි. ජවිපෙට ඡන්දය දෙන බව මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදී මම කීවෙමි. එහෙත් පසුගිය කාල සීමාව තුළ ජවි‍පෙ ක්‍රියාත්මක වූ ආකාරය හා විශේෂයෙන් ම ලාල් ක‍ාන්ත පුවත්පත්වලට දී තිබූ ඇතැම් සම්මුඛ සාකච්ඡා දුටු විට ඇති වුණේ කලකිරීමකි. ජවිපෙ විසින් මීළඟට බිහි කරන විමල් වීරවංශ, ලාල් කාන්ත යයි මට සිතේ. එහෙත්, වෙනත් විකල්පයක් නැති නිසා මගේ ඡන්දය ජවිපෙට ම දෙන්නට තීරණය කළෙමි. මනාප ගසන්නේ නැත. 

ජවිපෙට උවමනා නම් අප මේ කියන දෙය ගැඹුරින් තේරුම් ගන්නට පුළුවන. නැතිනම් සුපුරුදු අහංකාරකම රැකගෙන තවත් සමසමාජ පක්ෂයක් බවට පත් වන්නට පුළුවන. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com