වික්‍රමබාහුලා, භාෂණලා, දීප්තිලා කියන්නේ විවේචනය කරන්න බැරි දෙවිවරු ද දිමිත්‍රි?

විවේචනය දරා ගැනීමට නොහැකිකම ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේමත් වාමාංශිකයන්ගේ මූලික ලක්ෂණයකි. 

එසේම, සත්‍ය ස්වයං විවේචනය යනු ද වාමාංශික නයින්ට අඳුකොළ වැනි දෙයකි.

වාමාංශිකයන් හැම විට ම උත්සාහ ගන්නේ ප්‍රබන්ධ වීරත්වයන් මත පවතින්නට ය. මේ ඒ සඳහා උදාහරණයකි. "(වික්‍රමබාහු) යුධ විරෝධී ස්ථාවරය යුද්ධ කාලෙදිමත් නිර්භයව ප්‍රකාශ කල කීපදෙනාගෙන් කෙනෙක්. (එහෙම කලේ රෝහිත භාශන, ගම්ලත්, x/දීප්ති සහ සමාජවාදී සමානතා පක්ශය ඇතුලු තව කීප දෙනෙක් පමනයි.)" -දිමිත්‍රි

දැන් මේ කීපදෙනා අතරට ඔහු එකතු නො කරන නමක් තමයි, මගේ නම. ඒත්, රෝහිත භාෂණ ඔය නිර්භීතව අදහස් ප්‍රකාශ කළ පත්තරේ ඒ යුගයේ කතුකම කළේ මම. රට හැර ගොස් නිහඬව සිටින නිසා රෝහිත භාෂණ අද බොහෝ දෙනෙකුට වීරයෙක් වෙලා. පසුගිය ජනරළ සම්මන්ත්‍රණයේදී ජනරංජනගේ කතාවෙනුත් මේ අදහස කියැවුණා. ඒත්, මේ කට්ටිය රට හැර ගියේ ඔය කියන තර්ජන නිසා ම ද? මංජුල වෙඩිවර්ධනට ලංකාවට එන්න බැරි ඔහු ලියපු කවි නිසා ද? එහෙනම් ඔහුට මෙහේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබෙන්නේ කොහොම ද? සියත පත්තරේ පිටු ටික පාස් කර ගන්නට රජගෙදරට අරන් ගියේ මේ මංජුල නෙමෙයි ද?

මේ අය දැරූ ස්ථාවරය යුද විරෝධී ස්ථාවරයක් ද? ඉතා පැහැදිලිව ම නැහැ. ඔවුන් හිටියේ කොටින්ගේ යුද්ධයට කොන්දේසි විරහිතව පක්ෂ ස්ථාවරයක මිස සැබෑ යුද විරෝධී ස්ථාවරයක නො වෙයි. මාවිල්ආරු වහලා, මූතූර් සටන හා වෙනත් සටන් විරාම උල්ලංඝන සිද්ධි ඔස්සේ යුද්ධය අවුළුවා ගන්නට රජය හා සමාන දායකත්වයක් කොටි සංවිධානයත් කළ බව පැහැදිලි ඇත්තක්. මේ දෙපිරිසටම ඕනැ වුණේ යුද්ධය. එක පිරිසකගේ පැත්ත ගත් අය කොහොමද යුද විරෝධී වෙන්නේ? එහෙනම් චම්පික රණවකත් යුද විරෝධී විය යුතුයි. 

වාමාංශිකයන්ට කොන්ද පණ ඇතිව යුද විරෝධී ස්ථාවරයක් ගන්න බැරි වීමත්, දෙමළ සමාජය දැවැන්ත ව්‍යසනයකට ගොදුරු වීමට හා දෙමළ අරගලය දැවැන්ත විපර්යාසයකට භාජනය වීමටත් හේතු වුණා.

වික්‍රමබාහුගේ මෑත කාලීන වංචාකාරී ක්‍රියා කීපයක් විවේචනය කිරීමත් එක්ක දිමිත්‍රි කරන යම් ප්‍රකාශයක් අපට දිගින් දිගටම විවිධ මාර්ගවලින් එල්ල වන අනියම් තර්ජනයක් එක්ක සමපාත වෙනවා. 

ඒ මෙන්න මේ ප්‍රකාශයයි. "මේ සුචරිතවාදය අනුව ගියොත්, ජවිපෙ කැරැල්ල සමයේ කරපු පුංචි හොරකමුත්, පුංචි මිනීමැරුමුත් ගැන මේ ආණ්ඩුවෙන් හොයන්න ගියොත් ඔබේ ස්ථාවරය අනුව යමින් ඔබ එකඟ වෙනවාද?"

ඉතින් අපට මොකද? දිමිත්‍රිට ඕනෑ නම් ඒ පරීක්ෂණ සම්බන්ධ බිල්ලකු හෝ සාක්කිකරුවකු වීමට අයිතිය තිබෙනවා. වසර ගණනාවක් සිර ගෙවල්වල තබාගෙනත්, 89 කැරැලිකරුවන් සම්බන්ධයෙන් නො කෙරුණ පරීක්ෂණ නේ ඔබ මේ කරන්නට යෝජනා කරන්නේ. ඔබේ දේශපාලනය එය නම් ඉතින් කරන්න.

හැබැයි, මේ පිළිබඳව ඇසිය යුතුව තිබෙන්නේ අපෙන් නොවෙයි. ජවිපෙ නිල නායකත්වයෙන්. ජවිපෙ මේ පිළිබඳව පැහැදිලි කරලා ඉවරයි. 89 කැරැල්ල වකවානුවේ පැවතුණේ යුද්ධයක් මිසක් ප්‍රජාතාන්ත්‍රික සංවාදයක් නොවෙයි. පක්ෂය අතින් වැරදි සිදු වූ බව ජවිපෙ උපමාවකින් පිළි ගත්තේ අත පය බැඳලා ළිඳකට දැමුවාම ගොඩ එන්නට දඟලනකොට වතුර බොර වෙන එක වළක්වන්න බැහැ කියලායි. 

ජවිපෙ තමන්ගේ වැරදි ස්වයං විවේචනාත්මකව දැකීමේ ප්‍රතිළුලයක් ලෙස තමයි, එම පක්ෂය අද වන විට ප්‍රචණ්ඩත්වයෙන් සැලකිය යුතු දුරකට ඈත් වූ පක්ෂයක් වී තිබෙන්නේ.

වැරදි නො කරන දේශපාලන ව්‍යාපාර හෝ ‍දේශපාලන ක්‍රියාධරයෝ නිර්නාමික සයිබර් අවකාශයේ හිටියාට භෞතික ලෝකේ නැහැ. ඒත්, ඒ ව්‍යාපාර හෝ පුද්ගලයන් නිවැරදි වෙන්නේ බාහිර විවේචනය ඉවසීමෙන් හා ස්වයං විවේචනාත්මක වීමෙන්.  වික්‍රමබාහු හෝ මෙහි සඳහන් වන හෝ නො වන වෙනත් වාමාංශික වීරයන්ටත්, දිමිත්‍රිටත්, මටත් නිවැරදි වෙන්නට පුළුවන් වන්නේ ස්වයං විවේචනාත්මක වුණොත් විතරයි. 

දීර්ඝ කාලීන වාමාංශික ක්‍රියාධරයන් ලෙස අපි ඔය වීරයන්ගේ රහස් හුඟක් දන්නවා. ඒත්, අපි ඒ හැම එකක් ම නො කියන්නේ අපේ අරමුණ දේශපාලන සංවාදය මිසක් කුණු රසය ඇවිස්සීම නො වන නිසායි. මේ අය පිළිම කරගෙන ඔවුන්වන්දනා කරන මුවාවෙන් තමන් ම වන්දනා කර ගන්නා අයට අප ප්‍රශ්නයක් වන එක වළක්වන්න අමාරුයි. ඒත්, ඔය මිනිසුන්ට සැබෑ ප්‍රතිරූප ගොඩනගා ගන්න පුළුවන් නිවැරදි වුණොත් විතරයි. එහෙම නැතිව තමන් ගැන ඇත්ත හෙළිදරව් වන එක වළක්වා ගැනීමෙන් නෙමෙයි. 

මම හිතන්නේ දැන් වීරයන් ප්‍රබන්ධ කිරීම ජෝක් වෙලා ඉවරයි. මන්ද, වාමාංශිකයන්ට වඩා හොඳින් මේ වැඩේ ප්‍රතිගාමියෝ කරනවා. නූතන මාධ්‍ය සමාජයේ වීරයන් ප්‍රබන්ධ කරන්න උත්සාහ කරනවාට වඩා මිනිස්කම සොයා ගැනීම තමයි වැදගත්. හොඳ - නරක, ප්‍රබලකම් - දුබලකම් ආදිය සහිත ‍සහෝදරයින් එක්ක මිසක්, බොරු බොල් පිළිම එක්ක වාමාංශික දේශපාලනය කරන්න දැන් බැහැ. 

දිමිත්‍රි හැංගි හැංගි කරන සෙල්ලම ගැන මේ දේත් කිව යුතුයි. ඔබට 1989 කැරැල්ල ගැන ප්‍රශ්න තිබේනම් අපෙන් නොවෙයි, ජවිපෙන් අහන්න. පක්ෂයක් ලෙස ඒවාට පිළිතුරු දීමට අයිතිය ඇත්තේ ඔවුන්ටයි. පෞද්ගලික පැමිණිලි තිබේනම් කරුණු සහිතව පොලිසියට කරන්න. අපෙන් ප්‍රශ්නයක් නැහැ. 

මතක තබා ගන්න, මේ ලියන මම කැරැලිකරුවෙක් පමණක් නොවෙයි. යුද අපරාධ වින්දිතයෙක්. ඔබට පුළුවන් නම් 1989 කැරැල්ලේ යුද අපරාධ පිළිබඳවත් විභාග කරන්නැයි ආණ්ඩුවට කියන්න. එම යුද අපරාධ කළේ අද වික්‍රමබාහුත් සමග එක වේදිකා‍වේ සිටින පක්ෂය බවත් මතක් කර ගන්න.

අප පුහු සුචරිතවාදීන් යයි කියන ඔබ මෑත කාලීනව අප ආරක්ෂා කළ වාමාංශික ස්ථාවරයන්ගේ පරස්පරයන් පෙන්වා දෙනවා නම් වඩා හොඳයි. මන්ද, අපට එහි වැරදි නිවැරදි කර ගන්න පුළුවන්. 

ඔබ පුහු සුචරිතය යයි කියන දෙය අපට නම් එහෙම නොවෙයි. අප උත්සාහ කරන්නේ අප හෙට දවසේ බලාපොරොත්තු වන සමාජ වෙනස අද අප තුළ ඇති කර ගන්නයි. මාධ්‍යකරුවන් ලෙස ආණ්ඩුවේ දූෂණ විවේචනය කරන අපි මහජන මුදලින් පොළී ගෙවන 'සහන' ණය ආණ්ඩුවෙන් ලබා නො ගන්නේ ඒ නිසායි. මන්ද, එතන අවශ්‍යතා පිළිගැටුමක් තිබෙන නිසායි. 

මේක තමයි සමාජවාදය. 

සමාජවාදය කියන්නේ නො නවතින අරගලයක්.   

වික්‍රමබාහු1988දී පමණ සන්නද්ධ ජවිපෙන් ආරක්ෂා වීම සඳහා සන්නද්ධව


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. අජිත්,

    ඔබේ කලින් ලිපිය ගැන වූ මගේ කොමෙන්ටුවට ඔබකල ප්‍රතිචාරයට මා තරමක් දීර්ඝ පිලිතුරක් යැවූ පසුයි මා ඔබේ මේ පෝස්ටුව දකින්නේ. එම ප්‍රතිචාරය ලියුවේම ඔබ මගේ ප්‍රකාශය තර්ජනයක් ලෙස දුටුවා නම් ඒ ගැන කොන්දේසි විරහිතව සමාව ඉල්ලීමටයි. එවැනි තර්ජනයක් ගම්‍ය වේනම් මගේ එම පලමු කොමෙන්ටුව මකාදමන ලෙස මා ඉල්ලා සිටියා.

    පුහු සුචරිතවාදය ලෙස මා අදහස් කල දේ ගැන සහ ඔබ මේ ලිපියේ පල කරන අදහස් සහ කරුනුමය දේ ගැන ඉදිරියට කතා කරමු.

    නැවතත්, මා කිසිසේත්ම තර්ජනයක් අදහස් නොකල බව සහ එය නිවැරදි කරගැනීමට මට අවශ්‍ය බව මා ඉල්ලා සිටිනවා.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න. ඔබ කියන ‍දේ තේරුම් ගත්තා. එහෙත්, මා මේ ලිපිය හෝ කමෙන්ට් හෝ මකා දමන්නේ නැහැ. මන්ද, දිගින් දිගටම මේ කරුණ මතු කරමින් අනියම් තර්ජනයක් කරමින් සිටින පිරිසකට පිළිතුරු දීම සඳහා කිසියම් සංදර්භයක් අවශ්‍යව තිබුණා.

      මෙහි ඔබේ නම සඳහන්ව තිබීම නො තකා හරින්න.

      ඒත්, වාමාංශික දේශපාලනය සංස්කෘතිකව ප්‍රශ්න කිරීම නරක දෙයක් ලෙස නො සලකමු. සමාජ ව්‍යාපාරවලට වෙනස් වෙන්න ඒ දේ ිවශ්‍යයි. මම ශාස්තෲ නවකතාවෙනුත් උත්සාහ කළේ එයයි.

      Delete
    2. ස්තුතියි අජිත්

      හොඳයි, මගේ නම මෙහි සඳහන් වීම මා නොතකා හරින්නම්.

      මෙහි අඩංගුව ගැන මගේ අදහස පසුව ලිවීමට බලාපොරොත්තු වනවා.

      දැනට කෙටියෙන් මෙහෙම අහන්නම්. ජුලියන් අසාන්ජේට විරුද්ධව එංගලන්ත / ස්වීඩන් ආන්ඩුව (හෝ වෙනයම් ආන්ඩුවක් ) ඔහුට ගොනු කරන ස්ත්‍රී දූශන චෝදනා ඔබ පිලිගන්නවාද?
      (මා ජවිපෙ / ඔවුන්ගේ පසුගිය ක්‍රියා සහ ඔවුන්ට විරුද්ධව අන්ඩුවකට ගත හැකි ක්‍රියා යනුවෙන් මා මතු කිරීමට තැත් කලේ මෙයයි ) එහෙම පිලිගන්නවානම් එය පුහු සුචරිතවාදයක් නොවේද?

      - Dimithri

      Delete
    3. ආණ්ඩුවක් එවැනි චෝදනා එල්ල කිරීම සාමාන්‍යයෙන් සිදු විය හැකි තත්වයක්. වික්‍රමබාහු සම්බන්ධ ඇතැම් චෝදනාත් එවැනියි. ඒත්, කලම්බු ටෙලිග්‍රාෆ් චෝදනාව වෙනස්. එය පිළිතුරු දිය යුතු චෝදනාවක්.

      මගේ චෝදනාව වන්නේ මේ ක්‍රියා පසුපස තිබෙන්නේ පුංචි විදෙස් ආධාර බවයි. මේ පක්ෂ ලංකාවේ පොළවේ වැඩ අතහැරලා, විදෙස් සම්බන්ධකම් හා ජනමාධ්‍ය පසුපස යාමත්, සෙසු වාමාංශිකයන්ට ගේම් දීම තමන්ගේ ප්‍රධාන කාර්යය කර ගැනීමත් විසින් තමයි මේ පක්ෂ ඒ තත්වයට ඇද වැටුණේ. මේ කතාව නසසපයට විතරක් නොවෙයි, තවත් වාම පක්ෂ, කණ්ඩායම්වලටත් අදාළයි.

      ආණ්ඩුවලට එරෙහිව සටන් කරන්නන්ට මේ අන්දමින් චෝදනා නගන බව ඇත්ත වුණත්, පොදු මිනිසුන් අතින් සිදු වී තිබෙන දුර්වලකම්වලදී අපේ අනුකම්පාව ආණ්ඩුවට නොව ඒ මිනිසුන් වෙත යොමු විය යුුතුව තිබුණත්, සමාජවාදී පරමාදර්ශ ප්‍රවර්ධනය කරන්න ඒවා බාධාවක් නොවෙයි.

      වික්‍රමබාහුලා සමාජවාදී පරමාදර්ශ නොවෙයි. ඒ නිසා ඒගොල්ලන් ගැන මෙහෙම කිව්වාම මොකද?

      ඒගොල්ලන් නැගලා ඉන්න පාදස්තලවලින් බිමට ඇදලා දාන්න ඕනැ. සහෝදරයන් වගේ අරගලයේ ඉන්න එයාලටත් අවස්ථාව දෙන්න ඕනැ.

      Delete
    4. දීප්ති කුමාර ගුණරත්න යුද්ධය පැවතිච්ච කාලෙ ජාතික ප‍්‍රශ්නය සම්බන්දයෙන් කිසිම පැහැදිලි මතයක ඉදල නැහැ. L.T.T.E යේ යුධමය පරාජයෙන් පස්සෙ මැතක ඉදන් දීප්ති ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අප දැරූ පැරණි මතයට සමාන මතයක් ප‍්‍රකාශ කරන්න උත්සහ කරනවා. දීප්ති වෙනත් දේවල් සම්බන්දයෙන් කියන දේ වගේම ජාතික ප‍්‍රශ්නය සම්බන්දයෙන් දැන් කියන දේත් පැහැදිලි නැහැ. භාෂණ ලංකාවේදී පෙනි සිටියේ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වූ භාෂණගේ මතවාදයක් නොව L.T.T.E. යේ මතවාදයයි. දැනට යුරෝපයේ සිට භාෂණ දරමින් සිටින්නේත් මෙම L.T.T.E යේ මාතවාදයමය. ගැටලුව වන්නේ මෙහිදී භාෂණලා දකුණේ දැරූ (අපත් යම් කාලයක් දැරූ) ජාතික ප‍්‍රශ්නය සම්බන්දයෙන් වූ මෙම L.T.T.E යේ දෘෂ්ඨිවාදය මගින් දකුණේ හෝ උතුරේ සමාජ වෙනසක් සදහා කිසියම් දායකත්වයක් සිදුවී ඇත්ද යන්නයි. L.T.T.E යේ දෘෂ්ඨිවාදය දකුණ තුළ ප‍්‍රකාශ කිරීම වීරකමක් වශයෙන් දැකීමම මට අනූව දැඩි දේශපාලන සීමාකමකි. වර්තමානයේ ලංකාවේ ජාතීන්ගේ ප‍්‍රශ්නයෙහි පවතින සංකිර්ණත්වය ග‍්‍රහනය කරගනිමින් එයට විසදුම් සෙවීමට අප මෙම සම්ප‍්‍රධායික දේශපාලන සීමාවෙන් ඔබ්බට ගමන් කිරීම අනිවාර්්‍යයකි.

      Delete
    5. @Dimithri

      ජුලියන් අසාන්ජේට විරුද්ධව එංගලන්ත / ස්වීඩන් ආන්ඩුව (හෝ වෙනයම් ආන්ඩුවක් ) ඔහුට ස්ත්‍රී දූශන චෝදනා ගොනු කරන එකයි බාහු ලේසියට බොරු කරන එකයි සමාන නෑ නේද? වෙන උදාහරණයක් දෙන්න පුලුවන්ද ?

      Delete
    6. අජිත්,

      පුද්ගලික කාරනා කීපයක් නිසා මගේ පිලිතුර ප්‍රමාද වුනා. නමුත් එතරම්මත් ප්‍රමාද නැතැයි වරෙක සිතෙනවා; ප්‍රස්තුත මූලික කාරනාව තවමත් උනුසුම් ලෙස සාකච්චාවේ පවතින නිසයි!

      මා කලින් සඳහන් කල පරිදි - අනියම් තර්ජනයක් පිලිබඳ දුරවබෝධය බේරුම්කරගෙන ඇති බැවින් - ඔබේ මෙම ලිපියේ සහ කොමෙන්ට් වල අඩංගුව ගැන, කරුනුමය දේ ගැන මෙහි අවධානය යොමු කරන්නම්.

      යුද්ධ කාලෙදි, යුධ විරෝධී ස්ථාවරය දැරූවේ මා සඳහන් කල 4 කොටස පමනක් යැයි මා කියා නැහැ. (එහෙම කලේ රෝහිත භාශන, ගම්ලත්, x/දීප්ති සහ සමාජවාදී සමානතා පක්ශය ඇතුලු තව කීප දෙනෙක් පමනයි) මෙහි ඔබේ නම සිතා මතා අමතක කලේ නැති බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඔබ, නිර්මාල් ඇතුලු තවත් බොහෝ දෙනෙක් ඒ ස්ථාවරය දැරූ බව රහසක් නොවේ.

      පිවිතුරු යුධ විරෝධයක්ද නැතිනම් කොටි යුද්ධයට උදවු දීමක්ද යන්න ගැන ඒ තරම් නිගමනයක් දීමට ඒ කන්ඩායම් වල නොසිටි අපට බැහැ. මා කලේ සාමාන්‍ය පිලිගත් මතයක් දැක්වීමක් පමනයි. ඔබ පවසන දේ වැනි 'ඉන්සයිඩ් නොලේජ්' එකක් පොදුවේ හැමෝටම ලබාගන්න බැහැ. ඒ සඳහා ඒ කවයන් තුල සිටිය යුතු වෙනවා. පිටස්තර අයට කල හැකිවන්නේ කියවන දෙයින්, වාර්තා වන දෙයින් මතයකට එලඹීම පමනයි.

      අනික් අතට 'වික්‍රමබාහුලා, භාෂණලා, දීප්තිලා කියන්නේ විවේචනය කරන්න බැරි දෙවිවරු ද' කියලා අහන එකම තරමක් අභූත ප්‍රශ්නයක්. මගේ පලමු කොමෙන්ට් එකෙන් එහෙම ප්‍රශ්නයක් පැන නගිනවද කියලා කුමන ආකාරයෙන් කල්පනා කලත් මට හිතාගන්න බැරි උනා. ඔබ පසුව එය '...... අනියම් තර්ජනයක් කරමින් සිටින පිරිසකට පිළිතුරු දීම සඳහා කිසියම් සංදර්භයක් අවශ්‍යව තිබුණා' යැයි කියා තිබෙනවා. හොඳයි.... පිටේ ලියන්න..ඒත් හංවඩු ගහන්න එපා! :-)

      - Dimithri

      Delete
    7. "පිටේ ලියන්න..ඒත් හංවඩු ගහන්න එපා!"

      නියමයි. ඇත්තෙන් ම අප‍ගේ විවේචනයට ලක් වන අය සම්බන්ධයෙන් ද අප කටයුතු කළ යුත්තේ ඒ ප්‍රතිපත්තියේ පිහිටායි.

      Delete
  2. දේශපාලනය එතරම් නොතේරේ ,, ඒත් ඔබේ ලිපියෙන් යම් දෙයක් ලබාගත්තා...
    ඒ වගේම මට ඉන්න ගොඩක් යාළුවො වාමාංශිකයෝ නේද කියලා හිතුණා

    ReplyDelete
  3. Para, take a bow !!!

    ReplyDelete
  4. පැරාගෙ මේ ලිපිය ට මම එකඟයි.ඇත්තටම කලින් කතා කරපු එකෙකුටවත් තිබෙන්නෙ සැබෑ යුධ විරෝධයක් නොවෙයි .සිදුවුනේ ඔවුන් කොටින්ට පක්ෂ වීමක්.ඒක ඕනම කෙනෙකුට තේරුනා.ඇත්තටම සිංහල පාර්ශ්වයෙන් දැඩි විදියට 2004 වෙන කොට ජාතික මතවාදය ඉදිරියට ආවෙත් මොවුන්ගෙ නීච හැසිරීම නිසයි.දලදා මාලිගාවට ගහලත් අවදි කරන්න බැරිවුන ජාතිකවාදී හැඟීම් අවදිකලේ මේ මාක්ස්වාදීන් ඉතා අසාධාරන ලෙස කොටින්ට කඩේයාමෙන්.කොහිල කටු ඇනෙන එක කොහොමත් ඉවසන්න බෑනෙ.මුන්ගෙ මෑතකාලීන ලිපිත් මම දැකල තිබෙනව කොටි මිනීමාරුවො වර්නනා කරකර ඉන්නව.මුන්ට විශාල ආර්ථික ප්‍රතිලාභ ඇති.

    පැරා කැරළිකරුවෙකු සේ සිටින කාලයේ විවිධ ක්‍රියාකාරකම්වල නියැලෙන්න ඇති.කිසිවෙක් කියන්නෙ නෑ පැරා රහත් වෙලා කියලා.නමුත් කරුනාට,කේ පීට වගේම පැරාටත් අළුතෙන් හිතන්න ප්‍රයෝජනවත් පුරවැසියෙක් වෙන්න අවස්ථාව තිබිය යුතුයි.

    මාක්ස්වාදයේ මම අප්පිරියම එකක් තමා පුද්ගල වන්දනය.එදා සෝවියට් දේශයේ යූරි ආන්ද්‍රප්පොවු ලා ලියොඉඩ් බ්‍රෙශ්නෙෆ් ලා කොන්ස්ටන්ටයින් ශෙර්නෙන්කො ලා හිටියෙ අමුතුම සත්වයන් ලෙසයි.ඔවුන් එක්තරා පූජාවට ලක් වුනා.කියුබාවේ කස්ත්‍රෝලා චීනයේ මාවෝ හා ඩෙන් ලා ත් එසේමයි.මාක්ස්වාදීන් ඔවුන්ගේ සුපුරුදු බිල්ලා වන ධනාවාදයට සියළු ප්‍රතිවිරෝධතා බැර කලා.

    වික්‍රමබාහු,විජේවීර,කියන එවුන් වත් විවේචනය කරන්නා බැහැ.උන් සියල්ල දන්න එවුන්.මේ විදියට මාක්ස්වාදී පක්ෂ වලා සාමාජිකාත්වයේ මනස හැඩගස්වනවා.ඇත්තටම වාමාංශික පක්ෂයක සාමාජිකයාගේ සිරුර මටහ් මැටි ගහල අමුතුම පාක්ෂික සහෝදර සතෙක් නිර්මානය කරනවා.විජේවීර විතරක් නොවෙයි ව්ක්‍රමබාහුලා,ඔය සසප නායකයො හැම එකාම යම් පූජාවකට,වන්දනයකට ලක් කරල උන්ව අදහන එකයි මාක්ස්වාදයෙදි කෙරෙන්නෙ.

    මේ පූජාවෙන් වෙන්නෙ බලය එක්තැනකට එක් රැස් වීමයි.ඇයි මෙහෙම වෙන්නෙ සාවද්‍ය වූ මාක්ස්වාදී න්‍යායට පාක්ෂිකයා ඌනනය කරවීම නිසා.පාක්ෂිකයාගේ ඇට මස් ලේ හම දෙයක්ම ඊනියා පක්ෂ කලුකුහරයකට ඇදී යනවා.

    ReplyDelete
    Replies
    1. // සාවද්යේ වූ මාක්ස්වාදී න්යාකයට//
      මාක්ස්වාදයේ වැරදි තැන් උපුටා දක්වමින් පෙන්නන්න.මෙහිදී ඔබට මාක්ස් ලියන ලද ඕනෙම ලියවිල්ලක් භාවිතා කල හැක.
      //වික්රවමබාහු,විජේවීර,කියන එවුන් වත් විවේචනය කරන්නා බැහැ//
      දෙශපාලන ව්යාපාරයක් විවේචන කලයුත්තේ දේශපාලන න්යනය ක් තුලින් සහ ප්රානයෝගික භාවිතාවක් තුලිනි.ඔබ මොවුන් විවේචනයට භාවිතා කරන න්ය යන් මොනවාද.ඊට අදාල ඔබේ ප්රාතයෝගික භාවිතාවන් මොනවාද.එක උදාහරනයක් දුන්නත් ඇති
      .පාක්ෂිකයාගේ ඇට මස් ලේ හම දෙයක්ම ඊනියා පක්ෂ කලුකුහරයකට ඇදී යනවා.
      කැපවීම කියන දෙය දන්නේ නැත්නම් කටපියාගෙන ඉන්න.
      ඔබට මාක්ස්වාදය විවේච්නය කිරීමට අවශ්යනම් අදාලකරුනු සහිතව ඔබේ න්යා ය පැහැදිලිකරමින් කරන්න.

      Delete
    2. කැප කිරීම් කියල දෙයක් ඕක ඇතුලෙ නැහ.තමන්ගේ උවමනාවට කැමැත්තෙන් ගිහිල්ල කරන වැඩක් කොහොමද කැපකිරීමක් වෙන්නෙ.ඒක තමන්ගෙ ආතල් එකක්.තමන් ආස නැති වැඩක් දිගටම තමන්ට කරන්න වෙනවනම් ඒක තමයි කැපකිරීම.

      Delete
    3. මේ කොමෙන්ට් එක මට මඟ ඇරුනා

      මාක්ස්වාදය මියගිය ධර්මයකි.එහි සාවද්‍ය බව විද්වතුන් දසදහස් ගනනක් ඔප්පු කර ඇත.හැබැයි මාක්ස්ගේ ඊනියා ශුද්ධ වාක්‍ය උපුටමින් එය පෙන්වාදෙන්න නම් බැරිය.මගේ බ්ලොග් එකේද මාක්ස්වාදය ගැන ඕනෑ තරම් කතා කර ඇත.මාක්ස්වාදය සාවද්‍ය වන තරමටම ප්‍රායෝගිකත්වය අතින්ද දුර්වලය.එය වැඩවසම්වාදයට පමනක් විකල්පයක්ව 18 වැනි සියවසට සුදුසු මතවාදයක් වී ඇත්තේ ඒ නිසාය.

      මෙයට දියයුතු හොදම උත්තරේ මාක්ස්වාදයේ සත්ය කුමක්ද යන්නයි.වැරදි මොකක්ද කියා ඔබ අසයි .හරි කුමක්දැයි මම අසමි
      ඊලඟ ප්‍රශ්නය විජේවීරව විවේචනය ක්ජරප්පු අයව මැරුවනෙ.ව්ක්‍රමබාහුගෙ පක්ෂය ඇතුලෙ ඔහු දෙවියෙක්.
      විජේවීරගෙ දේශපාලන න්‍යය මොකක්ද සුළු ඪහ්නේශ්වර අසහනකාරඔ ටිඅක එකතුකරල ඊනියා ඉන්දියන් විරෝධයකුයි පන්තිය මාරුකිරීමේ උප්පරවට්ටි ටිකකුයි ඉගැන්නුව.වික්‍රබාහු ගෝලීය ධනවාදය කියල නිකන් නන්දෝඩෝනව.

      ඊලඟ ඇනෝ.

      මනෝ විද්‍යාත්මකව කෙනෙක් ව පුරුදුකරනව ඔබ කියපු ආතල් එකට.ඊට පස්සෙ ඒ ආතල් එක කියන කැරට් අලේ පස්සෙ යවල ඌව නැති භංග කරනව .නායකයො සැප විදිනව

      Delete
  5. 'විවේචනය දරා ගැනීමට නොහැකිකම ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේමත් වාමාංශිකයන්ගේ මූලික ලක්ෂණයකි. '

    මේකනං සම්පුර්ණයෙන්ම ඇත්ත. හැබැයි මේ කරණය මුලින්ම පැරකුම්ට අදාලයි.

    ReplyDelete
  6. 'මාධ්‍යකරුවන් ලෙස ආණ්ඩුවේ දූෂණ විවේචනය කරන අපි මහජන මුදලින් පොළී ගෙවන 'සහන' ණය ආණ්ඩුවෙන් ලබා නො ගන්නේ ඒ නිසායි. මන්ද, එතන අවශ්‍යතා පිළිගැටුමක් තිබෙන නිසායි.

    මේක තමයි සමාජවාදය. '

    එතකොට පැරකුම් ආණ්ඩුවේ හෙන්චයියෙක් වන ටිරාන් අලස් ගේ පත්තර වලට සේවා සැපයීම ගැන මොකද කියන්නේ? ඒකත් සමාජවාදේද?

    ReplyDelete
  7. මම දිමිත්‍රගේ කෙමෙන්ට් එක ඊයෙම දැක්කා. ලේඛකතුමා නැට්ට පාගගෙන. කොහෙද යන්නේ පොල්ලේ මල්. :D

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ, කෙල්ලෝ ටයර් උඩ යනකොට පඩ ඇර ඇර නිදාගෙන, ඊටත් කාලාන්තරයකට පස්සේ බ්ලොග් එකකින් සමාජය වෙනස් කරන්න ගිගින් එකත් අතඇරලා, රටෙනුත් ගිය ඔයාට දිමිත්‍රගේ කෙමෙන්ට් එක ගොන්පාට් වෙන්න ඇති .
      එත් තාමත් වාමාංශික ඔස්තාර්ලා සහ අනෙකුත් අපතයන් 88-89 දිවි බේරා ගත්තු ජවිපෙ සාමාජිකයින්ව මෙල්ල කරන්න හදන්නේ 88-89 සිද්දි මතක් කරලා. ඒකනිසා පැරාගේ හැසිරීම අරුමයක් නෙවෙයි.
      නැට්ට තිය කශේරුවවත් නැති එවුන් නැට්ට ගැන කතා කරන එක තමයි අරුමේ! :D ම තමා නේද මාලන්.

      Delete
    2. මේ වගේ කමෙන්ට්ස් වලට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් නොදැකා මෙන් සිටීම. මම කරන්නේ අන්න ඒක.

      අනිත් ක්‍රමය මම පස්සේ වෙලාවක කියලා දෙන්නම්.

      Delete
  8. Para enda hadana thana pahadiliy. Thawa 10yrs walin bala gata hakiy. Wenas nokara, wenas nowuyai kiya than than wala banimin yana eniya viplawawadin damimata athi thana athanama noweda?

    ReplyDelete
  9. Hey para, what do u abt the place leftism will have in the modern world, im asking this cz i dont know much abt leftism, from the little i know i feel that leftism is no longer in the main stream in the countries that originated it cz it has failed as a system,,,,,,
    not tryin to dis respect ur views bt trying to learn smeting

    ReplyDelete
  10. "මේ සුචරිතවාදය අනුව ගියොත්, ජවිපෙ කැරැල්ල සමයේ කරපු පුංචි හොරකමුත්, පුංචි මිනීමැරුමුත් ගැන මේ ආණ්ඩුවෙන් හොයන්න ගියොත් ඔබේ ස්ථාවරය අනුව යමින් ඔබ එකඟ වෙනවාද?"

    ‍මේක තර්ජනයක් විදියට දකින අජිත් පැරකුම් මහත්තය‍ගෙ සිංහල දැනීම ගැන නං දුකයි. ඒක වෘත්තීය මට්ට‍මේ පරිවර්තක‍යෙකුට තරම් ‍නො‍වේ.

    ReplyDelete
  11. Neville wrote in Facebook: "දීප්ති කුමාර ගුණරත්න යුද්ධය පැවතිච්ච කාලෙ ජාතික ප‍්‍රශ්නය සම්බන්දයෙන් කිසිම පැහැදිලි මතයක ඉදල නැහැ. L.T.T.E යේ යුධමය පරාජයෙන් පස්සෙ මැතක ඉදන් දීප්ති ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අප දැරූ පැරණි මතයට සමාන මතයක් ප‍්‍රකාශ කරන්න උත්සහ කරනවා. දීප්ති වෙනත් දේවල් සම්බන්දයෙන් කියන දේ වගේම ජාතික ප‍්‍රශ්නය සම්බන්දයෙන් දැන් කියන දේත් පැහැදිලි නැහැ. භාෂණ ලංකාවේදී පෙනි සිටියේ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වූ භාෂණගේ මතවාදයක් නොව L.T.T.E. යේ මතවාදයයි. දැනට යුරෝපයේ සිට භාෂණ දරමින් සිටින්නේත් මෙම L.T.T.E යේ මාතවාදයමය. ගැටලුව වන්නේ මෙහිදී භාෂණලා දකුණේ දැරූ (අපත් යම් කාලයක් දැරූ) ජාතික ප‍්‍රශ්නය සම්බන්දයෙන් වූ මෙම L.T.T.E යේ දෘෂ්ඨිවාදය මගින් දකුණේ හෝ උතුරේ සමාජ වෙනසක් සදහා කිසියම් දායකත්වයක් සිදුවී ඇත්ද යන්නයි. L.T.T.E යේ දෘෂ්ඨිවාදය දකුණ තුළ ප‍්‍රකාශ කිරීම වීරකමක් වශයෙන් දැකීමම මට අනූව දැඩි දේශපාලන සීමාකමකි. වර්තමානයේ ලංකාවේ ජාතීන්ගේ ප‍්‍රශ්නයෙහි පවතින සංකිර්ණත්වය ග‍්‍රහනය කරගනිමින් එයට විසදුම් සෙවීමට අප මෙම සම්ප‍්‍රධායික දේශපාලන සීමාවෙන් ඔබ්බට ගමන් කිරීම අනිවාර්්‍යයකි."

    ReplyDelete
  12. ටෙරල් අබේසිංහ
    1996 හිරු පුවත්පත වටා සිටි සැලකිය යුතු පිරිසක් ජාතීන්ගේ ප්‍රශ්ණය මුල් කර ගනිමින් ජ.වි.පෙ න් ඉවත් විමත්, ජ.විපෙ විසින් එම පිරිස හිරු කන්ඩායම බවට නම් කිරිමත් තුලින් හිරු කන්ඩායමක් බිහි විය.
    හිරු පුවත්පත යනු 87-89 වැරදි ආකාරයෙන් වුවත් සමාජ සාධාරනත්වය ඉල්ලා සටන් කර ජිවිත දුන් හැට දහසකට අදික තරුන තරුණියන්ගේ ලේ වල, ජිවිත වල ප්‍රතිඵලයක්. හිරු යනු සාමූහික ක්‍රියා කාරිත්වයක ප්‍රතිඵලයක්.
    87-89 වක වානුවෙන් පසු ජ.විපෙ නැවත ගොඩනැගිමේ ක්‍රියාවලිය, හිරු පුවත්පත ගොඩ නැංවිම, හිරු කන්ඩායම බිහි වීම, හිරු කන්ඩායම හා දෙමළ ජාතික අරගලය අතර ඇති සම්බන්දය, හිරු කන්ඩායම තුල මතුවු අර්බූදයන්,මාධ්‍යවේදීන් රට හැර යැම හා එහි සැබැව ඇතුලු බොහො දෙශපාලන කාරනාවන්ගේ ඉතිහාසය බොහොදෙන්කු නොදන්නවා මෙන්ම එම නොදන්නා කමේ වාසියෙන් බොහො බොල් පිලිම ගල් පිලිම මෙන් සමාජයේ පැවතිම නතර කලයුතු කාලය දැන් පැමින ඇත යන්නයි මගේ අදහස.
    මේ වෙනුවෙන් පැරකුම් සැලකිය යුතු කාලයක සිට ගෙන යන අරගලයට ගරු කරමින්ද, ඒම කාර්යට කිසිම ආකාරයකින් සාහායොගය නොදැක්විම සම්බන්දව සමාව ඉල්ලමින්ද, පැරකුම් වෙත යොජනාවක් කරමි, එය නම්, මේම නොදන්නා හා සගවා තබාගෙන සිටින ඉතිහාසය පිලිවලකට ඔබගේ බ්ලොගය පාවිච්චි කරමින් ලියමුය යන්නයි.

    ReplyDelete
    Replies
    1. ‍අදහස හොඳයි. ඒත්, මම නම් හිතන්නේ වාමාංශික දේශපාලනයේ මේ යථාර්ථය පිළිබඳ සංවාදයක් කරන්න හොඳම විධිය තමයි සාහිත්‍යය. නවකතාව. ඒ ඔස්සේ තමයි, මෙය සමාජ සංවාදයක් බවට පත් කරන්න පුළුවන්. නැතිනම් මෙය දේශපාලන වාදයක් විතරක් වේවි ය කියා මට හිතෙනවා.

      මේ සමාජ සංවාදය යහපත් දේශපාලන පරිණාමයක් සඳහා අත්‍යවශ්‍ය දෙයක්.

      Delete
  13. නව සමසමාජ පක්ෂය යනු වික්‍රමබාහු කරුණාරත්න වත්, හිරු කණ්ඩායම යනු රෝහිත භාෂණවත්, එක්ස් කණ්ඩායම යනු දීප්ති ගුණරත්නවත් පමණක් නොවන බව බොහෝ වුන් අමතක කර දමා තිබේ. මේ සියළු සංවිධාන සහ පක්ෂ, ගණනය කළ නොහැකි තරම් වූ මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ ගැටුම්, මතවාද, දහඩිය, කඳුළු, කැපවීම්, කැපකිරීම් පාවාදීම් පමණක් නොව ජීවිත වන්දි වලින්ද ගොඩනැගුනු බව අමතක නොකළ යුක්තකි.
    පක්ෂ තුළ හෝ කණ්ඩායම් තුළ එලියට පෙනෙන පොර චරිත වලට වඩා විශාල කාර්යභාරයක් එලියට නොපෙනෙන නමක සඳහන්ක්වත් නොමැති වූවන් ඉටුකළ බව තේරුම්ගත යුක්තකි.

    පොදුවේ වාමාංශික දේශපාලනය යන්න මදකට බැහැරකොට මට, පැරකුම්ට, ටෙරල්ට සහ නෙවිල්ට ඇතුළු තවත් කිහිපදෙනෙකුට ඓන්ද්‍රීයව සම්බන්ධයක් ඇති හිරු කණ්ඩායම ගැන, එහි බිඳවැටීම ගැන කතා කිරීම සහ එහි අභ්‍යන්තරයෙහි සිදුවූ මත ගැටුම්, පාවිච්චි කිරීම්, පාවාදීම්, කුහකකම් ගැන දේශපාලනික කතාබහක් මේ මොහොතේ වැදගත් දෙයකි. මන්ද එසේ නොවුනහොත් අන්ධයා අලියාගේ හැටි කියන්නැහේ එක එකා ඔවුන් ට රිසි පරිදි නොදන්නා මළමඟුල් කියවමින් දේශපාලන පාදඩයින් උත්කර්ශයට නන්වනු ඇති බැවිනි.

    ReplyDelete
  14. මේ ෆොටෝ එකේ මැද ඉන්න එකා ඇත්ත සමාජවාදියෙක් නම් ඌත් ඉන්න ඕනකරන්නේ රිපීටර් එකකුත් අතේ තියාගෙන ඉස්සරහින් දැනගහගෙනයි.

    ReplyDelete
  15. "Socialism begins and focuses in the bottom (of the society)"
    Dr. Richard Wolff
    Para, you'll like this for sure. Please check the link.
    http://www.youtube.com/watch?v=OE6GsRVzB9k

    ReplyDelete
  16. "..ඔය පින්තූරෙ ඉන්නෙ ගුරු සංගමේක සහෝදරවරු පිරිසක්. ඔය සහෝදරවරු අවුරුදු 25ක පමණ ඉඳං පක්ෂෙට වැඩ කරපු කට්ටිය. මං ඔය පින්තූරෙට පෙනී හිටියෙ පරම විශ්වාෂය මත පදනම්ව. ඒ අය අත්වල තුවක්කු තියං හිටි බවක් මම දැනං හිටියෙ නැහැ. ඒ පිංතූරෙ ඉන්න අයගෙ අත්වල තුවක්කු තියෙනව නම් ඔවුන්ගෙන් ඒ ගැන විමසීම් කළ හැකියි. ඒ සම්බන්ධව කෙරෙන ඕනම පොලිස් පරීක්ෂණයකට මගෙ උපරිම සහයෝගය ලබාදෙනව..."

    - බාහු

    ReplyDelete
  17. කව්ද මේ දිමිත්‍රි? (දුහුනන් ගේ දැනගැනීම සඳහා පැහැදිලි කරන්නේ නම් අගය කරමි.)

    ReplyDelete
  18. නැවතත් අප ආසා කල (දැන් නොකරන) වාමාංශක ව්‍යාපාරය ගැන සිතිවිල්ලක් ගැනීමට මේ ලිපිය උදව් උනා. Para මට මේ පින්තූරය උපුටා ගන්න අවසර දෙනවාද ඔබේ link එක සහිතව.

    ReplyDelete
    Replies
    1. මේ පිංතූරය අන්තර්ජාලයේ සංසරණය වූ එකකි. අපට එහි අයිතියක් නැත. පිංතූරය සමග අප ලින්ක් කිරීම අවශ්‍ය නො වේ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා