ළමාරක්ෂක අධිකාරිය ළමයින්ගේ පැත්තේද? දූෂකයන් පැත්තේ ද?

නව හැවිරිදි දරුවකු ලිංගිකව අපහරණය කිරීම නිසා 2013 ඔක්තෝබර් මාසයේදී ඇටඹගස්කඩ සෙත් සෙවණ ළමා නිවාසය භාර කල්යානතිස්ස හිමියන් අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලදී.

මේ පිළිබඳව කරන ලද පරීක්ෂණයේදී, ඔක්තෝබර් 12 දින ලිංගික අපචාරයක් සිදු වී ඇති බව වෛද්‍ය සාක්ෂි මගින් තහවුරු විය. එම නිසා එහි ඉතිරි ළමයින් 22 දෙනා 2013 ඔක්තෝබර් 15 දින සිට ජාතික ළමාරක්ෂක අධිකාරියේ භාරයට පත් කරන ලදී. එම ළමයින් 22 දෙනා ද අපචාරවලට මුහුණ දී තිබෙන්නට ඉඩ ඇති බැවින් ඔවුන් ද වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කරන ලෙස වවුනියා මහේස්ත‍්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

එහෙත්, වාර්තා වී තිබෙන පරිදි, ‍එම ළමයින් වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කර නැත. ජාතික ළමාරක්ෂක අධිකාරිය මෙම හිමියන් නිදහස් කරනවාට විරුද්ධ නැති බව ප‍්‍රකාශ කිරීම නිසා හා පොලිසිය පරීක්ෂණ අවසන් බව පැවසීම නිසා නීතිපතිවරයාගේ උපදෙස් මත මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් 2013 දෙසැම්බර් 31 දින කල්‍යාන හිමියන් කොන්දේසි විරහිතව ඇප මත නිදහස් කරන ලදී. නඩුව පෙබරවාරි 11 දින විභාගයට ගැනීමට නියමිතය.

දැන් මෙම සිද්ධිය හේතුවෙන් මතු වන ප්‍රශ්න ගණනාවක් ම තිබේ. 

මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය ප්‍රකාරව එකී ළමුන් 22දෙනා වෛද්‍ය පරීක්ෂණවලට ලක් නො කළේ  ඇයි?

පරීක්ෂණයේ කොටසක් වන මෙම කාර්යය අවසන් කිරීමට පෙර පරීක්ෂණ අවසන් බව පොලිසිය ප්‍රකාශ කළේ ඇයි?

මෙම සැකකරු කොන්දේසි විරහිතව ඇප මත නිදහස් කිරීම නිසා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු වීමට තිබෙන ඉඩකඩ ගැන සැලකිලිමත් වන්නේ කෙසේද? මෙම නඩුවේ සාක්ෂිකරුවන් වන්නේ අනාථ දරුවන් හා ඔවුන්ගේ දිළිඳු මව්වරුන් වැනි අයයි. 

ජාතික ළමාරක්ෂක අධිකාරිය පෙනී සිටින්නේ වින්දිතයන් වෙනුවෙන් ද? නැතිනම් මෙවැනි සැකකරුවන් වෙනුවෙන් ද?


බෞද්ධ භික්ෂූන් හා ක්‍රිස්තියානි පූජකයන් වැනි අය ළමා අපචාර සම්බන්ධයෙන් සැකයට භාජනය වූ කල ඔවුන්ට වෙනත් සාමාන්‍ය සැකකරුවන්ට වඩා වෙනස් අන්දමින් සැලකීමේ ප්‍රවණතාවක් තිබේද?

ළමා අයිතිවාසිකම් ආරක්ෂා කරන බව පෙන්වීම සඳහා ආණ්ඩුව කරන ප්‍රචාරයන් මෙවැනි සිදුවීම් අතර පරස්පරය පැහැදිලි කරන්නේ කෙසේද?

ළමයින් සම්බන්ධ කරුණු පිළිබඳ පැමිණිලි කිරීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව කියන 1929 අංක දරන දුරකථනය ඇත්තෙන් ම ක්‍රියාත්මක ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් තිබේ. කිසියම් උවමනාවක් සඳහා මම ඊයේ සවස 8ට පමණ මෙම දුරකථන අංකයට ඇමතීමට උත්සාහ කළෙමි. පැය කාලකට වැඩි කාලයක් එය සම්බන්ධ කර ගත නො හැකි වූ හෙයින් උත්සාහය අත් හළෙමි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මේ ඉතින් ලංකාවනේ පැරා,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා