පොලිසිය හා පාතාල ලෝකය අතර වෙනස කුමක්ද?

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මරණ සම්බන්ධ සිද්ධි දෙකක් වාර්තා වුණා. එයින් එකක් කැකිරාවේ පදිංචිකරුවකු වූ හිටපු පොලිස් පරීක්ෂකවරයකුගේ ඝාතනයකට සම්බන්ධයි. මේ පොලිස් පරීක්ෂකවරයා ඝාතනය කිරීමට කොන්ත්‍රාත් දෙන්නේ ඔහු සමග එකට ජීවත් වූ කොළඹ හතේ ධනවත් පරම්පරාවකින් පැවත එන කාන්තාවක්. ඔහු ඇයගෙන් රුපියල් මිලියන 100ක් ඉල්ලමින් කරදර කරමින් සිටි නිසා ඇය ඔහු මරා දමන්න කොන්ත්‍රාත්තුවක් දෙනවා. ඇගේ රියදුරා ඇතුළු පිරිසක් විසින් ඔහු මරා කිතුල්ගලදී කැලනි ග‍ඟේ ඔබන්නේ පසුගිය ජුනි 21දායි.

හැබැයි, මේ සිද්ධිය ඒ දිනවල ම අසු වෙනවා. ඝාතනයට සම්බන්ධ රියදුරා තලංගම පොලිසියට සිද්ධිය හෙළිදරව් කරනවා. ඒත්, තලංගම පොලිසියේ ස්ථානාධිපති, අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් එක්ව රුපියල් කෝටියක පමණ පගාවක් මිනීමරු ධනවත් කාන්තාවගෙන් ලබාගෙන සිද්ධිය යට ගහනවා. පසුව කොළඹ අපරාධ අංශය විසින් කරන ලද පරීක්ෂණයකින් පසු මේ පිරිස අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබෙනවා.

දෙවන සිද්ධියේදී ඝාතනය වන්නේ කඹුරුපිටි‍යේ පදිංචි, මාතර සේවයේ නියුතු පොලිස් කොස්තාපල්ව‍රයෙක්. ඔහු මත්ද්‍රව්‍යවලට එරෙහි මෙහෙයුම් දියත් කළ නිලධාරියෙක්. ඔහුගේ නිවස ආසන්නයේ ම පදිංචි මැරවරයෙක් විසින් මෙහෙයවන ලද පිරිසක් ඔහුවත්, ඔහුගේ බිරිඳවත් පොලුවලින් පහර දී, කපා කොටා, වෙඩි තබා මරා දමන්නේ දරුවන් දෙදෙනා ඉදිරිපිටදීමයි.

ඔහු මරා දැමූවන් අත්අඩංගුවට ගන්න දැන් දැවැන්ත මෙහෙයුමක් දියත් වෙනවා. මුලින් ම අත්අඩංගුවට පත් වූ සැකකරු ආයුධ පෙන්නන්න ගිහින් පොලිසියට පහර දී පළා යන්නට තැත් කරද්දී වෙඩි තබා මරා දමන ලද බව දැන් පොලිසිය කියනවා. මේ කතාව ඉතින් කාටත් පුරුදු කතාවක්නේ. 

මේ සිද්ධි දෙක වගේ ම තවත් සිද්ධි රාශියක් පසුගිය කාලයේ වාර්තා වුණා. ඒ අතරින් වැදගත් ම සිද්ධිය වන්නේ කොන්ත්‍රාත් මිනීමැරුම් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට නඩු පැවරීම. 

ලංකාවේ පොලිසිය කියන්නේ ඇත්තට ම රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන ආයතනයක් ද, නැතිනම් ජනතාව ආරක්ෂා විය යුතු ආයතනයක් ද යන්න මම මෙහිදී මතු කරන ප්‍රශ්නයයි. 

ලංකාවේ පොලිසිය භයානක ලෙස පාතාලකරණය වෙලා. පොලිසියට මෙහෙම වෙන්න ප්‍රධාන හේතුව පොලිසිය දේශපාලනීකරණය වීමයි. ලංකාවේ දේශපාලනය කියන්නේ පාතාල වැඩක් නේ. 

රටක පොලිස් සේවය මේ අන්දමින් පිරිහීම කියන්නේ රටේ නීතිය හා සාමය පිළිබඳ බරපතල ගැටලුවක්. මේ පිරිහීම අලුත් දෙයක් නො වුණත්, දැන් එය අන්තයකට ගමන් කරමින් තිබෙනවා. පසුගිය සමයේ පොලිසියේ මිලිටරි ලක්ෂණ අවම කර එය සිවිල් ආයතනයක් බවට පත් කිරීමේ යම් ප්‍රයත්නයක් දකින්න ලැබුණා. හමුදා කඳවුරු වගේ තිබුණු පොලීසි සාමාන්‍ය කාර්යාල ස්වභාවයට වෙනස් කරනවා දකින්න ලැබුණා. ඒත්, පොලිසියේ දූෂිත මානසිකත්වය නම් මේ එකකින්වත් වෙනස් වෙයි කියලා හිතන්න අමාරුයි. මෙය රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ම ගැටලුවක් ලෙස සලකන්න පුළුවන්.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. පොලීසිය පෞද්ගලීකරනය වෙලා. තීරණ ගන්නෙ ආර්ථික වාසියට මිසක් සමාජයට වැඩදායක විදියට නොවෙයි

    ReplyDelete
  2. පොලීසිය පෞද්ගලීකරනය වෙලා. තීරණ ගන්නෙ ආර්ථික වාසියට මිසක් සමාජයට වැඩදායක විදියට නොවෙයි

    ReplyDelete
  3. මෙන්න මේ ලියලා තියෙන්නේ පැරා ගැන මම හිතන්නේ.
    ඒත් මෙතන තියෙන එව්වා ඇත්ත. පරකුම්ගේ දෙබිඩි ස්භාවය මොවුන්ටත් වැටහිලා.
    ඒ හින්දා වෙන්න ඇති පරකුම්ව ඊනිවුස් එකේ පරිවර්තන වැඩ වලිනුත් අයින් කලේ.

    ...
    ලංකා ඊ නිවුස්.

    සිරිකොත ප්‍රතිප්‍රහාරය සම්බන්ධයෙන් සමහර වාමාංශික අඳෝනා බ්ලොග්කරුවන්ගේ ප්‍රතික්‍රියාද හාස්‍ය දනවන සුළුය. මානව හිමිකම් උළෙල කඩාකප්පල් කිරීම සඳහා පළමු දින මහින්ද කහඳගම බලකාය යෙදවීම ගැනවත්, දෙවන දින බොදුබල සේනා සිවුරුදැරූ මැරයන් යෙදවීම ගැනවත්, උළෙලට සහභාගි වූ දෙමළ තරුණයන් ත්‍රස්තවාදීන් ලෙස අත්අඩංගුවට ගැනීම ගැනවත්, උළෙලට සහභාගි වූ දෙමල පිරිසක් නිවාස අඩස්සියට ගැනීම ගැනවත්, උළෙලට සහභාගි වීම සඳහා උතුරින් පැමිණි පිරිසක් හමුදා බලය යොදවා නැවත හරවා යැවීම ගැනවත් වචනයක් නොකී මේ වාමාංශික අඳෝනා බ්ලොග්කරුවන්ට ඥානසාර හිමියන්ගේ සිවුර එහෙ මෙහෙ වීම ගැන විස්සෝපයක් ඇති වී තිබේ. එහිමියන් නොමිලේ ලබාගත් සම්බාහනය ගැන ශෝකයක් ඇති වී තිබේ. ආණ්ඩුවේ මැරයන්ගේ මැර ක්‍රියා ගැන මුණිවත රකින මේ බ්ලොග්කරුවන්ට ආණ්ඩු විරෝධීන් එම මැරයන් සමග සටන්කාමී ලෙස ගැටෙන විට වාවන්නේ නැත. සාමකාමී සහජීවනය සහ අවිහිංසාවාදය ගැන මතක් වෙන්නේ ය. රාජපක්ෂලාට නොරිදෙන සීමාව ගැන තමන් විසින්ම කොටුවක් ගසා ගෙන, ස්වයං වාරණයක් දමාගෙන අඳෝනා ලියන මේ වාමාංශිකයන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වියද නොහැක.

    ReplyDelete
    Replies
    1. පළමු කාරණය මාව ලංකා ඊ නිව්ස් වෙතින් ඉවත් කළා නොවෙයි. මම අයින් වුණා. ඒක සඳරුවන් දන්නවා.

      දෙවන කාරණයේ කොටසක් ඇත්ත. ඒ කියන්නේ මම ඔය පහර දීමට පෙර සිදු වූ මා හෙළා දකින ඔය සිද්ධි මාලාව ගැන ලිව්වේ නැහැ. ඒකට හේතුව මම මෙතැනදී බ්ලොග්කරුවකු වීම. රටේ සිදු වන සියලු දේ ගැන ලියන්න බ්ලොග්කරුවකුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. තෝරා ගත් සිද්ධි ගැන විතරයි ලියන්නේ. ඒත්, මා විසින් වාර්තාකරණය කරනු ලබන මාධ්‍යවල මම ඔය අත්අඩංගුවට ගැනීම වාර්තා කළා. ඒවායේ මගේ බයිලයින් නැහැ. මගේ ක්‍රියාකලාපය මට සාධාරණ වුණාට පිටින් බලන අයට ඔය විදියට පේන එක වළක්වන්න බැහැ.

      අනෙක, "මහින්ද කහඳගම බලකාය යෙදවීම ගැනවත්, දෙවන දින බොදුබල සේනා සිවුරුදැරූ මැරයන් යෙදවීම ගැනවත්, උළෙලට සහභාගි වූ දෙමළ තරුණයන් ත්‍රස්තවාදීන් ලෙස අත්අඩංගුවට ගැනීම ගැනවත්, උළෙලට සහභාගි වූ දෙමල පිරිසක් නිවාස අඩස්සියට ගැනීම ගැනවත්, උළෙලට සහභාගි වීම සඳහා උතුරින් පැමිණි පිරිසක් හමුදා බලය යොදවා නැවත හරවා යැවීම ගැනවත්" මම පක්ෂ නැති බව අමුතුවෙන් කියන්න ඕනැ නැති බව මේ බ්ලොගය ලියන කවුරුත් දන්නවා.

      මට එක්සත් ජාතික පක්ෂය බලයට පත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් නැහැ. මම ලියන්නේ සාධනීය සමාජ වෙනසක් වෙනුවෙන්.

      Delete
  4. පොලිසිය සහ පාතාලය එකිනෙකට වෙනස් විය යුත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. යහපාලනය ඇති වීම පිණිස..

      Delete
  5. ලංකා ඊ නිව්ස් කියන්නෙ රජ්ජුරුවො ආරක්ෂා කරන්න ආපු වඳුර වගෙ එකක්.ඒකෙ භාෂා විලාශය ඉතා අශිෂ්ටයි.නමුත් එහි අසාර්ථකත්වයට හේතුව කරුණු 50% ට 50% ක් බොරු වීමයි.ඊ නිව්ස් එකෙන් හාමුදුරුවරුන්ට බුදු දහමට අපහාස කරන හැටි දකින අය යූ ඇන් පිය ගැන කළකිරෙනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා