2013-11-19

ඔන්න ඒ පාර චීනෙත් ..........

ඔන්න ඒ පාර චීනය ද ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම කළ යුතු බව කියා තිබේ. කීවේ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ක්විං ගැං ය.

මේ අදහස දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රශ්න ආමන්ත්‍රණය නො කළහොත් ලබන මාර්තු මස වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම හමුවේ ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳ බලපෑම් කරන බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් කරන ලද ප්‍රකාශයට අදාළවයි.

ජාත්‍යන්තර බලපෑම හමුවේ චීනය ද දිගින් දිගට ම, කොන්දේසි විරහිතව ශ්‍රී ලංකා ආණ්ඩුව ආරක්ෂා කරමින් සිටිනු ඇතැයි බලාපොරොත්තු විය නො හැකි ය. මන්ද, චීනයට ලංකාවට වඩා හෝ ලංකාව තරමට ම ඉන්දියාව, බටහිර රටවල්, ඇමරිකාව හා එක්සත් ජාතීන් වැදගත් නිසා ය.

චීනය පසුගිය කාලයේ ලංකාවට ණය සැපයූ ප්‍රධාන පාර්ශ්වයයි. එහෙයින්, ශ්‍රී ලංකා ආණ්ඩුවට පහසුවෙන් චීනය නො තකා හැරිය නො හැකි ය. පසුගිය වසරවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ඉදිරියේ ලංකාවට එරෙහි යෝජනා සම්මත වෙද්දී චීනය ඒවාට විරුද්ධව ඡන්දය දුන්නා ය. චීනය මේ වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට තේරී පත් වුණා ය.

මුළු ලෝකය ම ප්‍රජාතන්ත්‍රවාදී ලෝක සම්මතයන්ට අවනත වෙමින් සිටිති.  චීනය වැනි විප්ලවකාරී රාජ්‍යයන් පවා එ‍සේ කරද්දී ලංකාව වැනි පුංචි රටකට ලෝකයට එරෙහිව කැරැලි ගැසීමේ ශක්තියක් නැත.

දිනෙන් දින ශ්‍රී ලංකා ආණ්ඩුව වටා දැල එළෙද්දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කියන එක දෙයක් වන්නේ ජාත්‍යන්තර ප්‍රජාව කොටි සංවිධානයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ද පරීක්ෂා කළ යුතු බවයි. ඇත්තෙන්ම, ජාත්‍යන්තර ප්‍රජාව ඉල්ලා සිටින්නේ ලංකාවේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සොයන්නට මිස ආණ්ඩුව විසින් පමණක් කරන ලද මානව හිමිකම් උල්ලංඝනයන් සොයන්නට නො ‍වේ.

මෙම තර්කය හේතුවෙන් මතු වන ගැටලුව වන්නේ යුදමය වශයෙන් විනාශ කර තිබෙන කොටි සංවිධානයේ යුද අපරාධ සම්බන්ධයෙන් වග කියන්නට කෙනෙකු නැති වීමයි. එහෙත්, ආණ්ඩුවේ නායකයන්ට තම පාර්ශ්වයෙන් සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ වගකීම භාර ගන්නට සිදු වේ.

ජාත්‍යන්තර පරීක්ෂණයක් දක්වා වැඩේ දිග්ගැහෙන්නට පෙර ලංකාවට කළ හැකිව තිබුණු දේ බොහෝ ය. ආණ්ඩුවට යම් වගවීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ හැකියාව තිබිණි. දකුණු අප්‍රිකාවේ සත්‍ය කොමිසම වැනි ක්‍රමවේදයක් මේ සඳහා අනුගමනය කිරීමට ඉඩ තිබිණි.

ආණ්ඩුවට දැන් කතා කරන්නට ඉතිරි වී තිබෙන්නේ එපා වාහෙට ‍හොදි බෙදන්නා සේ කළ උගත් පාඩම් හා සංහිඳියා කොමි‍සම හෙවත් ආණ්ඩුවේ වචනවලින් කියනවා නම් 'අර තිස්සගේ කමිටුව' ගැන පමණි. මේ වනාහි ආණ්ඩුව විසින් දේශීයව කිසිදු ප්‍රවර්ධනය කිරීමක් කළ ‍ක්‍රියාවලියක් නො වේ. එහි අබල දුබල නිර්දේශ හෝ ක්‍රියාත්මක කිරීමේ උවමනාවක් ආණ්ඩුවට තිබුණේ නැත.

තමන් වටා ඇති දැල හිර වෙන විට ආණ්ඩුවේ ගැලවිජ්ජාව වුණේ ජාතිවාදයේ පිළිසරණ සෙවීමයි. ආණ්ඩුව විසින් මුදා හරින ලද සීමාන්තික ජාතිවාදය දැන් ආණ්ඩුවට ම කොඩිවිනයක් වී හමාර ය. ලක්සෙට කොඩි දමා පැවැත්වූ චොගම් සමුළුව ද මොවුහු චොර කළ හ.

අප ජීවත් වන්නේ යුද අපරාධ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පමණක් දඬුක‍ඳේ ගැසීම සාධාරණීකරණය කළ හැකි ලෝකයක නො වන බව ඇත්තකි. සරළව කියනවා නම්, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වැරදිකරු කරන්නට ගන්නා ජාත්‍යන්තර ක්‍රියාමාර්ගවලින් ලංකාවේ අර්බුදය තවත් උත්සන්න වනවා මිස රටට යහපතක් වන්නේ නැත.

එහෙත්, රාජපක්ෂවරුන්ගේ පාලනයේ අගතිගාමිත්වය නියාමනය කරන්නට වෙනත් ක්‍රමයක් ද නැත.

මේ අර්බුදයෙන් තමනුත් ගැලවී රටත් ගලවා ගන්නට නම් රාජපක්ෂ පාලනය දිගුකාලීනව බරපතල දේශපාලන තීරණ කීපයකට එළඹිය යුතු ය. 

ඒ අන් කිසිවක් සඳහා නො ව ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරින් ම තහවුරු කිරීම සඳහා ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com