රං ගෝලයා හෙවත් ගොන් රාළයා

දුම්රිය දෙපාර්තමේන්තුවේ 'ගෝලයා' නම් තනතුරක් ඇති බව දැන ගන්නට ලැබුණේ දිනමිණ පුවත්පතේ මේ වාර්තාව හරහා ය. මේ රස කතා ලියන්නේ මහින්ද අබේසුන්දරගේ ගෝලයෝ ය. අබේසුන්දර මහින්ද රාජපක්ෂගේ චක්ගෝලයෙකි.

ඇත්තෙන් ම මේ ගෝලයා නම් වචනය රසවත් පසුබිමකින් යුක්ත ය. උම්මග්ග ජාතකයේ කාලගෝලට ඒ නම වැටුණේ කළු බෝලයක් වැනි පුද්ගලයකු නිසා විය හැකි ය. 

රිවිරැස පත්තරේ තිබුණු ජයසිරි සේමගේ විසින් අඳින ලස ගුරු ‍ගෝල වෙනස නම් තරගයේදී පාඨකයන්ට කරන්නට තිබුණේ ගුරුවරයාගේ චිත්‍රයත්, ගෝලයාගේ චිත්‍රයත් අතර ඇති වෙනස්කම් දහයක් සොයා සලකුණු කිරීමයි. ඉන් පසු ඒවාට අංක යොදන ආකාරය පුවත්පතේ ඇති චිත්‍රයේ අංක යොදා ඇති ආකාරය සමග ගැලපුණොත් තෑග්ග හිමි වූ බව මට මතක ය. ඇතැම් දිනෙක මට ‍ගෝලයාගේ චිත්‍රයේ වැරදි දහයකට වැඩි ගණනක් හමු වූ අවස්ථා ද තිබිණි. 

ශිෂ්‍යයා ‍ගෝලයා ලෙස ආමන්ත්‍රණය කිරීම මහදැනමුත්තා කතාවලදී අපට හමු වේ. දැන් සිටින ගුරුවරු තමන් මහදැනමුත්තන් ලෙස හඳුන්වා නො ගත්තත්, තමන්ගේ සිසුන් ගෝලයන් ලෙස හැඳින්වීමට නම් කැමති ය. මා සිතන්නේ ගෝලයා යයි කීවා ම තමන්ගේ මනස තුළ හෝ ඒ පුද්ගලයාව පහත් මට්ටමක තබා ගන්නට පුළුවන් නිසා වෙන්නට පුළුවන. "අහවලා මගෙ ගෝලයෙක්," යයි ගුරුවරු නිතර කියති. 

යකැදුරෝ හා සිත්තරු වැනි කලාකරුවෝ සිය ආවතේවකරුවන්ටගෝලයා යි කියති. මූසිල ගුත්තිලගේ ගෝලයෙකි. වැඩ වසම් ගුරු ගෝල සම්බන්ධය තුළ ගුරු මුෂ්ටි ද තිබිණි. 

ගරාජ් බාස්ලා සිය ගෝලයන්ට නො දී ගුරු මුෂ්ටි තබා ගත් ආකාරය ගැන අසා ඇති කරුණක් මෙසේ ය. ඉස්සර කාලේ බාස් උන්නැහේලා වාහනයක එන්ජිමේ ටයිමිං තැබුවේ බුලත් විටක් ගෙන එන්නට ගෝලයා කඩේට යවා යයි කියනු ලැබේ.

මේසන් බාස් උන්නැ‍හේලා අත්වැඩකාරයන්ට ද, ලොරි රියැදුරෝ ක්ලීනර්ලාට ද, බස් රියැදුරෝ කොන්දොස්තරලාට ද ගෝලයන් කියා අමතති. ඇත්තෙන් ම ගත් කල, රියැදුරා යනු රිය ඇදුරා හෙවත් රියට යන හැටි උගන්වන්නා නිසා රියැදුරා ද ගුරුවරයෙකි.

ගුරු හාමුදුරුවරුන්ට ගෝල හාමුදුරුවරු සිටිති. චක්ගෝලයා කියන්නේ සාමාන්‍ය ගෝලයකුට වඩා අන්තේවාසිකයෙකි. 

කෙසේ වෙතත්, ගෝලයා යන වචනය තුළ අනෙකෙකු යටපත් කර ගැනීමේ ආධිපත්‍යවාදී උවමනාවක් හා පහත් කොට සැලකීමේ අරමුණක් ඇති බව මගේ අදහසයි. ඒ නිසා මම ගෝලයින් නො හදමි. මා කාගේවත් ගෝලයකු බව ද නො කියමි. මට ඉගැන්වූ ගුරුවරුන්ට මම ගරු කරන මුත්, මම කාගේවත් ගෝලයකු ‍නො වෙමි.

ගෝලයා යන වදනට සමාන ඉංග්‍රීසි පරිවර්තනය ලෙස සැලකෙන්නේ disciple ය. එම වචනය පිළිබඳ විස්තර මෙතැනින් බලන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. Para, machan ,knowledge / experiences / adaptations/ assimilations get evolved through the wisdom passed by our teachers/ ancestors. You may not define yourself a disciple or a 'golaya' but it doesn't mean that you got no teacher or a peadegogue to learn from. Knowledge is a never ending process. We learn even from kids.

    ReplyDelete
  2. නිතර දිණමිණ කියවා ඒ ගැන ලියන අයට නම් රං ගෝල ලා යැයි කිව හැක.

    හැක, හැක.

    ReplyDelete
  3. දිනමිණ කියවීමෙන් සිිරුරට සැප වැඩි වීමට ද හැක.
    හැක හැක

    ReplyDelete
  4. ඔබ දවසක් ලියු " බස් කතා " ටයිප් එකේ පෝස්ට් එකක් ළඟදිත් දැම්ම නේද ...? මට ලින්ක් එක හොයාගන්න බැහැ ...

    ( අජිත් පුළුවන් වෙලාවක පේජ් ෆොන්ට් සයිස් එක 16 ට වත් ගන්න..අකුරු පෙන්නේ නැහැ.. ctrl වැඩේ හැම වෙලේම කරන්න අපහසුයි )

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා