2013-10-18

ට්‍රිප් යාම,පරිභෝජනවාදය හා භාණ්ඩ (හා සේවා) වන්දනාව



පරිභෝජනවාදය ධනවාදයේ ගැටලු අතරින් උග්‍රම ගැටලුවකි. ධනවාදයේ ආත්මය ලාභයයි. ලාභ ලැබීමේ අරමුණෙන් යුතු නිෂ්පාදකයෝ හා වෙළෙන්දෝ සිය නිර්මාන ශක්තිය‍ යොදවන්නේ නව ඉසව් ඔස්සේ මිනිසුන්ගේ පරිභෝජනය ඉහළ නැංවීම වෙනුවෙනි.

පරිභෝජනය ඉහළ යාමත් සමග මතු වන තවත් ප්‍රශ්න තිබේ. බලශක්ති හිඟය එකකි. පරිසර දූෂණය තවෙකෙකි. එසේ ම, මිනිසුන් අලසයින් බවට පත් වීමේ ප්‍රවණතාව හේතුවෙන් රෝගාබාධ ද ‍වැඩි වේ. 

භාණ්ඩ වන්දනාව පරිභෝජනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන තත්වයකි. මෙය භාණ්ඩ පරිභෝජනය එක්තරා ආගමික ස්වරූපයක් බවට පත් කිරීමකි. මෙහිදී මිනිස්සු භාණ්ඩ පරිභෝජනය කරනවා පමණක් නො ව ඒ පිළිබඳ කතා කිරීම, ඒ භාණ්ඩ වෙනත් අයට ප්‍රවර්ධනය කිරීම හා භාණ්ඩ ඔස්සේ සමාජ තත්වයන්ගේ ප්‍රමිති නිර්මානය කරගැනීම ද වේ. 

ධනවාදයට එරෙහි අරගලයේදී අපි නවීන සමාජයෙන් දුරස්ථ වන්නේත් නැතිව, භාණ්ඩ වන්දනාව හෙළා දකිමින්, පාරිභෝජනවාදයෙන් අත්මිදෙන ආකාරය සෙවිය යුතු ය. 

නොනවතින සමාජවාදය ලෙස අප විසින් හඳුන්වා දී තිබෙන සමාජවාදය සඳහා වූ අඛන්ඩ අරගලය තුළ අප අපේ ජීවිත හැඩගස්වා ගත යුතු ආකාරය ගැන අවධානය යොමු කළ යුතුව තිබේ. එහිදී පවත්නා පාරිභෝජනවාදී සමාජ රටිව තුළ අප අරගල කරන්නේ කෙසේ ද? 

මෙහිදී පරිභෝජනය හා පරිභෝජනවාදය අතර වෙනස අවබෝධ කර ගත යුතු ය. අප පවතින සමාජය සමග පැවතිය යුතු ය. එයින් වෙන් වී තපස් දිවියක් වෙත යාම පෞද්ගලිකව මිස සමාජයක් ලෙස ප්‍රායෝගිකව කළ නො හැක්කකි. සමාජයක් ලෙස අප පාරිභෝජනවාදය සමග පොරබදන්නේ කෙසේ ද?

මෙම සටහන තබන දීර්ඝ සති අන්තය තුළ මිනිස්සු සෑහෙන්න විනෝද ගමන් යන ආකාරය දක්නට ලැබේ. විනෝද ගමන් යාම ප්‍රධාන වශයෙන් ම සේවා ආර්ථිකය හා සම්බන්ධ දෙයකි. 

මිනිස්සු විනෝද ගමන් යාම පිණිස විවිධ අලුත් අවකාශ විවෘත කර ගනිති. පසුගිය කාලයේ යාපනය එසේ අලුතින් විවෘත විය. 'ගියෙ නැද්ද යාපනේ?', 'දැක්කෙ නැද්ද ප්‍රභාකරන්ගෙ සොහොන?' වැනි ප්‍රශ්න නිරතුරුව අසනු ලැබේ.

කලින් කලට රටේ මෙවැනි රැළි ඇති වේ. මිනිස්සු අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොට, පොත් ප්‍රදර්ශන, දැයට කිරුළ ආදියෙහි තෙරපෙති. මට නම් සිතෙන ආකාරයට මිනිස්සු මේ තැන්වලට යන්නේ තැන් බලන්නටත් වඩා මිනිසුන් බලන්නට ය. එය ද නරක දෙයක් නො වේ. 

මා ජීවත් වන මතුගම ප්‍රදේශය සුන්දර ස්ථාන බහුල පළාතකි. මම සාමාන්‍යයෙන් තැන් බලන්නට යන්නට එතරම් කැමැත්තක් නො දක්වමි. රටේ විවිධ ප්‍රදේශවල ජීවත් වන්නට නම් කැමැත්තෙමි. එහෙත් දරුවන් නිසා දැන් ඒ සඳහා ලැබෙන අවස්ථාව ඉතා අඩු ය. 

මම මගේ සිසුන්ගෙන් අප ජීවත් වන ප්‍රදේශයේ තිබෙන සුන්දර තැන් දැක තිබේදැයි අසා ඇත. එහෙත්, රටේ විවිධ තැන් දැක ඇති, ඇතැම් විට පිටරට ද තැන් බලා ඇති මේ ළමයි අතර ඒ තැන් දැක බලාගෙන තිබෙන අය සිටින්නේ ඉතා අඩුවෙනි. වාර්ෂික අධ්‍යාපන චාරිකා යාමේදී ද මෙවැනි ළඟ ඇති ස්ථාන පිළිබඳ යෝජනා වන්නේ හෝ ස්ථිර වන්නේ හෝ නැත. 

බොහෝ දෙනා විනෝද චාරිකා යන්නේ යන්නන් වාලේ ය. ඇතැම් පිරිමි බසයට නැගුණු වේලේ සිට මත්පැන් බොති. තැන නො තැන නො බලා ගයති; නටති. බොහෝ සංචාරකයෝ බලන්නට යන සුන්දර තැන් අසුන්දර කරති. තමන් ගෙන ගිය අපද්‍රව්‍ය එහි දමා එති. ගල්වල නම් කොටති. ගල් කැට ආදී දේ ගලවා අරගෙන එති. වැඩි දෙනෙක් ඇත්තට ම මේ ස්ථාන බලන්නේත් නැත. ඔහේ ගොඩ වී රවුමක් කැරකී ආපසු එති. 

ට්‍රිප් යාමේ හොඳ ම හරිය වන්නේ ගිය තැන් ගැන සෙසු අයට කීමයි. තැන් බලන අතරෙත් තමන් එහි පැමිණි වාර ගණන ගැන කියවති. අද කාලේ නම් ට්‍රිප් ගිහින් ඇවිත් ෆේස්බුක්හි පිංතූර දැමිය යුතු ය. 

ස්ථාන වෙත යන්නේ වන්දනා කිරීමේ අරමුණින් ය කියා වෙනසක් නැත. 

ආදි ම කාලයේ සිට ම මිනිස්සු මෙසේ තමන් ජීවත් වී පුරුදු ප්‍රදේශයෙන් පිටත තතු සොයා සංචාරය කළ හ. ඒ ස්වාභාවික ආශාව වර්තමානය වන විට දැවැන්ත කර්මාන්තයක් බවට පත් වී තිබේ. ලංකාව සිය ආර්ථික අභිලාෂයන් පදනම් කරගෙන ඇත්තේ ද සංචාරක කර්මාන්තය මත ය. 

ධනේශ්වර සංචාරක වෙළඳපොළට විකල්ප වූ වින්දනාත්මක පුරවැසි සංචරණ ක්‍රියාවලියක් ගොඩනඟා ගන්නට අපට බැරි ද? ඒ සඳහා අවශ්‍ය වන්නේ අප මේ කරන්නේ කුමක් ද කියා සිතීමයි. 

මම ටික කලක් ඉන්දි සමරජීවගේ යමු වෙබ් අඩවියේ පරිවර්තක ලෙස වැඩ කළෙමි. එය අපූරු වෙබ් අඩවියකි. කොළඹ නගරයේ හා අවට බලන්නට, කන්නට, බොන්නට හා කරන්නට ඇති දේ ගැන නිර්මානය වූ මෙම වෙබ් අඩවියේ කෑම බීම අංශය පාරිභෝජනවාදයේ ආන්තික කෙළවරක් නියෝජනය කරන මුත්, එහි සංචරණය හා සම්බන්ධ පිටු තුළ යේ බුද්ධිමත් සංචරණ ක්‍රියාවලියක ලක්ෂණ ගැබ් වී තිබේ. 

අප විසින් ආරම්භ කරන ලද මාධ්‍ය ව්‍යපෘතියක් ඉදිරියට ගෙන යාම සඳහා මේ දිනවල සැලසුමක් සකසමින් සිටිමි. ඒ තවත් පිරිසක් සමග එක්ව අප ජීවත් වන මතුගම ප්‍රදේශයේ සුන්දර තැන් ගැන තො‍රතුරු අඩංගු වෙබ් අඩවියක් නිර්මානය කිරීමයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com