2013-09-28

සමාජවාදී ජීවිතයකට y සහෝදරයාගෙන් අදහස් කීපයක්

සමාජවාදය වෙනුවෙන් අරගල කරන ජීවිතයක් ගෙවන්න අපි කාටත් පුළුවන්. ඒ සඳහා ඕනැ තරම් විධි තිබෙනවා. මම කීපයක් විතරක් සඳහන් කරන්නම්. මේවාත් අර y සහෝදරයාගේ සමාජවාදී ජීවිතය තුළ තිබෙන ඒවා. 

හැමෝ ම කරන්නන් වාලේ කරන හුඟක් දේ අපට නො කර ඉන්න පුළුවන්. ඒකට අවශ්‍ය වන්නේ ආත්ම ශක්තිය හා බිය නැතිකමයි. 

අපි මොකට ද මේ රාජපක්ෂලා හා උන්ගේ ඇම්බැට්ටයන් ගණන් ගන්නේ? උන් අපේ ජීවිතවලට සම්බන්ධ බව ඇත්ත. ඒත්, ඒ සම්බන්ධය ඇති වන්නේ අප සූරාකෑමෙන් හා අපේ අනාගතය අඳුරු කිරීමෙන්. උන් හරියට කොකු පණුවෝ, පටි පණුවෝ වගෙයි. කවුරුද පණුවන්ට ආදර ගෞරව කරන්න යන්නේ? ඒත් දැන් සමාජය කරන්නේ ඒකනේ. ඉතින් ඒක නො කරන ඉන්න එක කොයි තරම් සුළු දෙයක් ද? 

මේ වගේ හාල් පාරුවන් වීරයන් ලෙස සලකන්න එපා. උන් මරණෙට, මඟුලට ගෙන්න ගන්න එපා. බලෙන් ආවත්, ලොකුවට පිළි ගන්න එපා. උන් එන උත්සව ආදිය බලන්න යනවා නම් වාර්තාකාර කුතුහලයෙන් විතරක් යන්න. කීයටවත් උන්ට ඡන්දෙ දෙන්න එපා කියන එක කියන්න ඕනැ නැහැනේ. 

උන්ව විතරක් නොවෙයි, උන්ගේ ඉඳුල් කන, උන්ගේ පස්සා ලෙවන එවුන්වත් අවඥාවෙන් සලකන්න. අත්හළ නො හැකි මිනිස්සු ඒ දේ කරනවා නම් උන්ට උන්ගේ ආතල් එක ගන්න ඉඩ දෙන්න. හැබැයි, උන්ට ගරු කරන්න එපා.

සමාජවාදී ජීවිතයක තවත් ලක්ෂණයක් කර ගත හැකි දෙයක් තමයි, මේ පාරිභෝජනවාදී රැල්ලට ගොදුරු නො වීම. රැල්ල විසින් ප්‍රවර්ධනය කරනු ලබන ජීවිතවලට අනුගත නො වීම. අනුන්ට පෙන්නන්න ගෙවල් හදන්න එපා. අනුන්ට පේන්න, පරිහරණය නො කරන බඩුවලින් ගේ පුරවා ගන්න එපා. අනුන්ට පේන්න කාර් ගන්න එපා. භාණ්ඩ මිළ දී ගන්න ණය වෙලා දුක් විඳින්න එපා. භාණ්ඩ හා සේවා පරිහරණය ජීවිතය නො වෙයි. ජීවිතය පහසු කර ගන්න භාණ්ඩ හා සේවා මිළ දී ගන්න. ඒත්, ජීවිතය අලස කර ගන්න භාණ්ඩ මිළ දී ගන්න එපා. භාණ්ඩ පරිහරණය කරන්න. ඒත්, වන්දනා කරන්න එපා. 

අපි හොඳ හෝටල්වලින් කන්න ම අවශ්‍ය නැහැ. හොඳ බීම වර්ග බීලා තිබෙන්න ම ඕනැ නැහැ. හොඳම ඇඳුම් ඇඳලා තිබෙන්න ඕනැම නැහැ. ලංකාවේ හෝ පිටරට ‍හෝ හැමෝ ම යන හැම තැන ම බලන්න ඕනෑත් නැහැ. එහෙම ගිහින් ෆේස්බුක්වල ඡායාරූප දාගන්න බැරි එක ගැන කණගාටු වෙන්න ඕනැත් නැහැ. උදාහරණෙකට y සහෝදරයා කවදාවත් කතරගම ගිහින් නැහැ. අද කාලෙ කතරගම නො ගිහින් ඉන්න සෑහෙන ධෛර්යයක් තිබෙන්න ඕනැ. මොකද, වාමාංශික සහෝදරවරු වුණත් වාහනයක් ගත්තාම කතරගම යනවානේ. 

අනෙක බටහිර මිනුම් දඬුවලින් ජීවිතය මනිමින්, කෙසේ හෝ පිටරකට සංක්‍රමණය වීම හෝ නාගරික ජීවිතය සොයා යාම හෝ ජීවිතයේ අරමුණ කර ගන්න එපා. තමන් ජීවත් වන තැන සමාජ වටපිටාව ගොඩනඟා ගන්න උත්සාහ කරන්න.

පාරිභෝජනවාදය හා උන්නතිකාමය ප්‍රතික්ෂේප කරලා සරළ ජීවිතයකට හුරු වෙන්න. ඒක සමාජවාදී ජීවිතයක මූලික ලක්ෂණයක්. 

පාරිභෝජනවාදය උපරිමයෙන් ක්‍රියාත්මක වන තැනක් තමයි, පවුල කියන විෂය. සමහරු නිවැරදි සියලු දේ දන්නවා. ඒත්, බිරිඳ කියන නිසා කරනවා. එතැන ම බිරිඳ පාවා දීලායි පටන් ගන්නේ. හුඟක් අයගේ විකල්ප ජීවිත කිසිවක් දරුවන්ට උරුම කර දී නැහැ. ඒ වෙනුවට දරුවන්ට පුංචි කාලේ සිට ම හුරු කරන්නේ තමන්ට සැබෑ කර ගන්නට බැරි වූ කුමක් හෝ ආත්මාර්ථකාමී සිහිනයක් පසුපස යන්නටයි. දරුවන්ට ඔවුන්ගේ ජීවිතයක් හිමි කර ගන්නට මග පෙන්වන්න. ඒත්, ඔවුන්ගේ ජීවිතය මත ආධිපත්‍යය පතුරුවන්න එපා. මේ දේ කරන්න පුළුවන් නම්, ඔබේ ජීවිතය සෑහෙන්න සමාජවාදී වෙනවා. 

සමාජවාදී වෙන්න පුළුවන් තවත් ආකාරයක් තමයි, අනුකාරකවාදී නො වී නිදහස් චින්තකයකු වන එක. මනසේ සියලු දොරටු විවෘත කරගෙන ඉන්න එක. ජීවිතය හා ලෝකය යහපත් අන්දමින් වෙනස් කර ගන්න පුළුවන් දර්ශනයන්ට හා අත්දැකීම්වලට විවෘත වෙන එක. 

ඔලුවේ තිබෙන වාදයන්, ධූරාවලි හා රාමු බොහොමයක් බිමින් තිබ්බා ම අපි කවුරුත් සමාන වෙනවා. ඉස්සරහින් යන, පස්සෙන් යන අය නැති වුණා ම සමානාත්මතාව තමන්ගේ දෙපතුල් ළඟින් ම පටන් ගන්නවා. 

සමාජවාදය ගොඩනැ‍ඟෙන්නේ මහේක්ෂ ව්‍යාපෘතිවලින් ම නොවෙයි. ලෝකයේ මීට කලින් කරන ලද සමාජවාදී අත්හදා බැලීම් අසාර්ථක වෙන්න එක් හේතුවක් තමයි, ඒවා තුළ ජීවිතය හා සම්බන්ධ ක්ෂුද්‍ර ව්‍යාපෘති නො තිබීම. විප්ලවය වෙනකල් බලා නො ඉඳ තමන්ට කරන්න පුළුවන් මට්ටමේ දෙයක් තෝරා ගන්න. ඒ හා සමාන දේ කරන වෙනත් මිනිසුන් එක්ක එකතු වෙන්න.මිනිසුන්ගේ හොඳත් එක්ක වැඩ කරන්න. නරක අමතක කරන්න. මහන්සි වෙලා වැඩ කරන්න. ඔව්, මනස වගේම සිරුරත්. එතන තමයි, නිරෝගීකම තිබෙන්නේ.

කලින් කිව්වා වගේ මේ සියලු දේ   y සහෝදරයා තම ජීවිතයෙන් අත්හදා බලන දේවල්. මේ දේවල් කරන්න පොත් ගොඩක් කියවලා තිබෙන්න ඕනැ නැහැ. 

(කොම්පියුටරේ ළඟ ඉඳලා දැන් බඩ වැඩියි
අද ඉරිදා මං යනවා වත්තෙ වැඩට)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com