සුනිල් පෙරේරාගේ 'ඇයි?' ගී ආර ගැන විචාරයක්

සුනිල් පෙරේරා ක්‍රිකට් සම්මාන උළෙලේදී ඉදිරිපත් කළ සංගීතමය විශේෂාංගය ගැන විවිධ අදහස් තිබේ. සුනිල් පෙරේ‍රා ගී ගයන්නේ සල්ලිවලට ය. ඔහු එක්කෝ තමන්ට මුදල් ගෙවීමට සම්බන්ධ වූ පුද්ගලයන්ගේ උවමනාව ඉෂ්ට කරන්නට ඇති බව හෝ නැතිනම් බ්‍රේක් නැති ගමනක් යන්නට ඇති බව හෝ එහෙමත් නැතිනම් හිතා මතා දෙබරෙකට ගල් ගසා දැවැන්ත ප්‍රචාරයක් බලාපොරොත්තු වන්නට ඇති බව හෝ ඇතැමෙක් පවසති. ඇතැමෙක් සුනිල් පෙරේරා ඇත්ත කතා කරන වීරයකු බව කියති. 

මා නම් සිතන්නේ සුනිල් පෙරේරා කර තිබෙන්නේ සංගීතමය කාර්යයක් පමණක් බවයි. එය අමුතු දෙයක් ද නො වේ. එය ලංකාවේත්, මේ ආසියාතික කලාපයේත්, මුළු ලෝකයේත් ප්‍රචලිත නිර්ප්‍රභූ සංගීත සම්ප්‍රදායක දිගුවකි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉහළ සිට පහළ දක්වා ම දූෂිත බව ඇත්ත ය. එහි කෑල්ලක් වූ පාසල් ක්‍රිකට් සම්මේලනය සමග මම යම් ගනුදෙනුවක් කරමි. මගේ නිරීක්ෂණවලින් පෙනෙන්නේ එහි මුල් පුටු අරක්ගෙන සිටින ගුරුවරුන් හා වෙනත් අධ්‍යාපන නිලධාරීන් අතරින් ඇතැමෙක් දූෂණයට ලොල්, අශිෂ්ට, අදක්ෂයන් පිරිසක් බවයි. පාසල් ක්‍රිකට් සම්මේලනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කුඩා කරන ලද ඡායා පිටපතක් විය හැකි ය.  

සුනිල් පෙරේරා ක්‍රිකට් සම්මාන උළෙලේදී ප්‍රකාශ ‍කළේ මේ තිත්ත ඇත්තයි. ඔහු ඒ සඳහා අනුගමනය කළ ක්‍රමවේදය අලුත් එකක් නො වේ. මීට පෙර පාසල් සිසුන් කණ්ඩායමක් මෙය විරිදුවක් ආශ්‍රයෙන් කළේ ය. සුනිල් පෙරේරා කරන්නේ සිය 'ඇයි?' ගීය ආශ්‍රයෙන් අදහස් ප්‍රකාශනයක යෙදීමයි.

මෙහිදී මගේ අවධානය යොමු වන්නේ මේ ගීත කලාවටයි. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ස්වයං පිටුවහලේ සිටියදී මට එක්තරා දලිත් ගායකයකු හමු විය. ඔහුගේ නම මට මතක හිටියේ එහි තිබූ සිංහලට හුරුකම නිසා ය. ඔහු ඩිංග්‍රි මාමා විය. ඔහුගේ විශේෂත්වය වූයේ ඔහු වීදි ගායකයකු වීමයි. සරමක්, කමිසයක් ඇඳ ඔහු තැනින් තැන යන්නේ තරමක් ලොකු රබානක් වැනි තනි ඇසේ බෙරයක් අතින් රැගෙන ය. ඒ බෙරයට කියන්නේ තප්පු කියා ය. එය ලංකාවේ ද වතුකරයේ දෙමළ ජනයා අතර භාවිතයේ තිබිණි. තප්පුව වාදනය කරන්නේ අතින් හා ඉරටු කැබලි කීපයකිනි.

තප්පුව වාදනය කරමින් ඔහු ගී ගයයි. ඒවා බොහෝ විට නිශ්චිත තනුවකට අනුව ඒ වෙලාවේ නිර්මානය කර ගන්නා ලද ඒවා ය. ගායනයෙහි දක්ෂ දලිත් ගැහැනු පිරිසක් අත්වැල් ගායනය පිණිස ඒ වෙලාවේ ඔහුට එක් වෙයි. ඔවුන් කරන්නේ ඩිංග්‍රි විසින් ගායනා කරන ලද ගී ඛන්ඩය ම නැවත ගායනා කිරීමයි. හරියට මනමේ නාට්‍යයේ අත්වැල් ගායනය වැනි ය.   

මේ ගී විනාඩි තුනේ රාමුවක කොටු වී නැත. එසේ ම, සංගීතය ඔවුන්ට අදහස් ප්‍රකාශනයට බාධාවක් වී ද නැත. ඒ තනු සරළ ය. ඕනෑ කෙනෙකුට ඒවා ගායනා කළ හැකි ය. වාදනය ද සරළ ය. මේ ගී තනුවලට අයිතිකාරයෝ ද නැත.

මේ ලක්ෂණ ලංකාවේ ප්‍රචලිත විරිදු හා කපිරිඤ්ඤා සංගීතයේ ද නො අඩුව තිබේ. කැලිප්සෝ, බ්ලූස්, රැප් වැනි සංගීත සම්ප්‍රදායන්ගේ මුල් ද මෙවැනි ය. මේවා ‍යොදා ගැනුනේ සරළ සංගීත රසාස්වාදයක් ඔස්සේ මිනිසුන්ගේ හැඟීම්, විරෝධාකල්ප ප්‍රකාශනයටයි. 

සුනිල් පෙරේරාගේ 'ඇයි?' ගීය මේ ගී ආරට එක් කරන ලද නැවුම් නිර්මානයකි. එහි සංගීතය ද ගායනය ද සරළ ය. ගීතයේ ආකෘතිය ම නිර්මානය කර තිබෙන්නේ උත්ප්‍රාසය ඔස්සේ ය. එහෙයින් එය විරෝධාකල්ප ප්‍රකාශනයට අතිශය උච්ත ය. ලෝකෙන් උතුම් රට යයි ජාතිවාදීන් විසින් තොරොම්බල් කරනු ලබන ලංකාවේ සුලබ දූෂණ හා ගැටුම් ලංකාවේ සිදු නො වන බව හා ඒවා සිදු වන්නේ ඇමරිකාව, එංගලන්තය වැනි රටවල බව පවසමින් මතු කරන්නේ තියුණු හාස්‍යයකි. කිසිවකුට එකී අදහස් ගැන උරණ වන්නට ද බැරි ය. මන්ද, ඒවා සිදු වන්නේ ලංකාවේ නො වන නිසා ය. ‍එහෙත්, තොප්පිය හරි අය එය දා ගනිති. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තොප්පිය දමාගෙන හමාර ය.

මේ විරෝධාකල්ප ගීත කලාවේ අරමුණ ම සමාජය මේ අන්දමින් අවදි කිරීම නො වේ ද?


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. කිසි වරදක් දකින් නෑ එදා ඉදන් ඇත්ත ඇති සෙටියෙන් කියන නියම ගායකයෙක් සුනිල් කියන්නෙ ඒකෙ දෙකක් නෑ ස්තුතියි ලිපියට :-)

    ReplyDelete
    Replies
    1. ඔව් දක්ෂයෙක්, හැබැයි හැම තුප්පහි වැඩේම (STAG NIGHT)වගේ කතා කරන්නෙම බුද්ධ ධර්මයෙන්. එයාගෙ ජේසු තුමාව නෑ.. රතුපස්වල සිද්ධිය කොහෙද හලෝ ක්‍රිකට් වලට සම්බන්ධ...

      ඉස්සෙල්ලා සුනිල්ලාට තැන නොතැන අවස්ථා සම්බන්ධය ගැන කියල දෙන්න ඕන.
      පැරා ට බත් ටිකක් දෙමු...

      Delete
    2. ක්‍රිකට් ගැනම නෙමේ සිංදුව කියන්නෙ පවතින අන්ඩුවටත් එක්ක කාලීනයි වගෙ පේන්නෙ .

      Delete
    3. බල්ලා ගැන රචනෙ ලියන්න කිව්වාම බලු මැක්කා ගැන ලිව්ව එක සාධාරනීකරනය කරනවා. ඒක ලිව්වෙ ඔයාද?

      Delete
  2. ඔබේ කතාව ඇත්ත.

    හැබැයි ඉතිං වැඩේ ප්‍රාඨමික මට්ටමේ. කෙලින්ම කියන හින්දයි බහුජනයාට නැගලා යන්නේ.

    ඔයිට වැඩිය හොඳ ප්‍රතිනිර්මාණ තිබුණා ඕල්වේස් බ්‍රේක් ඩවුන් එකේ.

    කෙසේ වෙතත් සුනිල් පෙරේරා දක්‍ෂයෙක්. මං ඔහුව 2010 ජනාධිපතිවරණය සඳහා යෝජනා කළා!

    !

    ReplyDelete
    Replies
    1. කකාගේ යෝජනාව ඉස්තිර කරමි!
      ලන්කාවේ වෙන දෙවල් ගැන පෙරදක්මක් ඇත්තෙ
      සුනිල් පෙරේරාට සහ චුටි මල්ලි ඇන්ඩ් පොඩි මල්ලි දෙපලට පමනි.

      Delete
    2. හිට්ස් ලාබායි... හිට්ස් ලාබායි....

      Delete
    3. @boo pale - ටෙනිසනුයි - බන්දුයි මග ඇරිලා වගේ.

      Delete
  3. තෙද බල ඇති කඳ සුරිඳුනි!
    ඔබගේ නාමය විකුණමින් මුදල් වාසි අරමුණූ කොට බොරු බේගල් ඇඳ බා අහිංසකයන් රවටන අයට පුංචි දඩුවමක් හරි ලැබේවා.උන්ගේ බොරු අසා අද දින ඔබව සියැසින් දැක ගැනීමේ අදහසින් කතරගම යන සියළු අහිංසක මෝඩ ජනතාවට ආරක්ෂාව සලසනු මැනවි.

    ReplyDelete
  4. සුනිල් පෙරේරා ගීතයෙන් පමණක් නෙවෙයි අදහස් දැක්වීමෙදිත් ඉතාම නිර්භීත අයෙක්.මෙවැන්නන් ඉතා දුර්ලබයි.මොහු අගය කළ යුතු පුද්ගලයෙක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා