ශ්‍රී ලංකා නිදහස් විමුක්ති කොටි

කොටි සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායක හා නැගෙනහිර අඥාපති කරුණා අම්මානුත්, ප්‍රභාකරන්ගෙන් පසු නායකත්වයට පත් කරන ලද කේ.පී.ත්, කාන්තා දේශපාලන අංශයේ නායිකා තමිලිනීත්, මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටරුත් මේ වන විට පුනරුත්ථාපනය වෙලා ආණ්ඩුවේ දේශපාලනයට එක් වෙලා. 

කොටි සංවිධානය එක් කාලයක පුරසාරම් කියුවා තමන්ගේ මරාගෙන මැරෙන කළු කොටි බලකාය පිළිබඳව. ඔවුන් කොපමණ කලක් සතුරු ප්‍රදේශයේ සාමාන්‍ය ජීවිත ගත කළත්, ශපථ කරගෙන තිබෙන ‍ආකාරයට තමන්ට නියමිත මෙහෙයුම අවස්ථාවේදී තැනට වාර්තා කරන බව තමයි කියවුණේ.

කේ.පී. හැර මේ අනෙකුත් සියලු දෙනාමත් සයනයිඩ් කරල බෙල්ලේ එල්ලගෙන සිටි අය. ඒත්, සංවිධානයේ සෙසු අය මැරී වැටෙද්දී මේ අය සයනයිඩ් කරල බිම දමා ආණ්ඩුවට යටත් වුණා. තමිලිනී වැනි අය පුනරුත්ථාපනය සඳහා අවස්ථාව ලබන්නේ, ඒ වකවානුවේදී, ඒ ආකාරයෙන් ම අත්අඩංගුවට ගත්තා යයි කියන වේලුපිල්ලේ බාලකුමාර්, බේබි සුබ්‍රමනියම් වැනි කොටි දේශපාලන නායකයන් අතුරුදහන් වෙද්දී. 

මොවුන් ආණ්ඩුවේ යුද හා දේශපාලන මෙහෙයුම්වලට සම්බන්ධ වන්නේ ඔවුන්ගේ අණ මත කොටි සංවිධානයේ යුද මෙහෙයුම්වල නිරත වුණ තවත් විශාල සාමාජික පිරිසක් සිරබත් කද්දීයි. 

මේ සංසිද්ධිය අලුත් දෙයක් නොවෙයි. 1971, 1989 කැරැලිවලදීත් මේ දේ ම සිදු වුණා. ලංකාවේ විතරක් නොවෙයි, ලෝකය පුරාමත් මෙවැනි දේ සිදු වී තිබෙනවා. 

මෙහි තිබෙන අනෙකුත් කාරණය තමයි, ක්‍රම විරෝධී කැරැලි හරහා සම්මත ඉහළ සමාජයේ තැන් අත්පත් කර ගන්නා මේ පුද්ග‍ලයෝ ඒ කැරැලිවලට සහභාගි නො වුණා නම් කිසිදු වැදගැම්මක් නැති සාමාන්‍ය මිනිස්සු වීම. 


කැරැලි කියන්නේ අවසාන වශයෙන් මෙවැනි නිකමුන්, නෝබොඩිවරුන් පිරිසකට කිසියම් කෙනෙකු හෙවත් සම්බොඩිවරුන් වීමට මාර්ගයක් පමණයි ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. \\\\මෙහි තිබෙන අනෙකුත් කාරණය තමයි, ක්‍රම විරෝධී කැරැලි හරහා සම්මත ඉහළ සමාජයේ තැන් අත්පත් කර ගන්නා මේ පුද්ග‍ලයෝ ඒ කැරැලිවලට සහභාගි නො වුණා නම් කිසිදු වැදගැම්මක් නැති සාමාන්‍ය මිනිස්සු වීම. \\\\

    +++

    කෙසේ වුවත් නෝබොඩිවරුන් පිරිසක් එක් වූ තැනක ගොඩ නැගෙන බලය අපි දුටුවා නේද අජිත්...

    මේවා අපි සියලු දෙනාටම හොඳ පාඩම් ජීවිතයේ සෑම අවස්ථාවකටම ගැළපෙන..

    වැදගත් කාරණයක් මතු කළ පෝස්ටුවක්..

    ReplyDelete

  2. අපි කවුරු කවුරුත් නෝබොඩිවරුන් තමා අපි මොකක් හරි කරනකන්, ඒක හොඳ වැඩක්ද වරදි වැඩක්ද කියන එක අදාල නෑ කියලයි මට හිතෙන්නෙ, මොකද මර්වින් ගත්තොත් දැන් එයා සම්බොඩි කෙනෙක් වෙලා ඉවරනේ.

    නමුත්,

    "කැරැලි කියන්නේ අවසාන වශයෙන් මෙවැනි නිකමුන් නෝබොඩිවරුන් පිරිසකට කිසියම් කෙනෙකු හෙවත් සම්බොඩිවරුන් වීමට මාර්ගයක් පමණයි ද?"

    හැම වෙලාවෙම එහෙම නෑ නේද, හොඳින්ම දන්නා කියුබානු විප්ලවය සහ මෑත ඉතිහාසයේ අනෙකුත් ලතින් ඇමරිකානු විප්ලව ගැන බැලුවොත්. අපේ රටේ මෙච්චර කල් ඇති වෙච්ච කැරලි ඔක්කොම ඇතිඋනෙ ඒක පුද්ගල හෝ සීමිත පුද්ගල අවශ්‍යතාවන්ට මිස නියම ප්‍රශ්නයක් උඩ නෙවෙයි. හැහෝම කරේ නියම ප්‍රශ්නෙ පෙන්නලා තම තමන්ගෙ පටු උවමානාවන් ඉටු කරගන්න හදපු එක විතරයි.

    ඒකයි අපිට කස්ත්‍රොල, චේලා විතරක් නෙවේ වික්ටර් හාරා වගෙ සැබෑ "සම්බොඩි" වරුන් නැත්තෙ.

    -ප. ගෝ.

    ReplyDelete
  3. නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා ද 13 වැනි සංශෝධනයට එරරෙහි වී තිබේ. (දිවයින)

    ReplyDelete
  4. ඔය විස්ස විජ්ජාලේ ගිහින් ඉගෙන ගන්නේ නැතිව, විප්ලව කරන්න යන උන්ටත්. තම ජීවීතය, දරු පවුල්, දෙමාපිය සහොදර සහෝදරාදීන්ගේ ජීවීතත් බිලිදීලා විප්ලව කරන්න යන උන්ටත්, ජීවමාන පාඩම් මෙව්වා.

    පැරා, වාසු ඇඳුම් ඇඳලද පාර්ලිමේන්තු එන්නේ, සුපර් මාර්කට් එහෙම යන්නේ.

    ReplyDelete
  5. හොඳ වෙලාවට කොල්ලෝ පිරබාහරන් මැරුවේ.

    නැත්නම් අද අපේ අගමැති. විමල්ලා එහෙම මචෝ කියලා කතා කරයි. නානසාරලා පිරිත් නූල් බඳියි. ඉත්තෑපානේ ධතුත් වඩම්මයි ප්‍රභාට කියලා..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා