අතුරුදහන් වූවන් වෙනුවෙන් මැදිහත් වන්නැයි කියා ආණ්ඩුව කොළඹ උද්ඝෝෂණ කරවීම

ඡායාරූප දිවයිනෙනි
ලංකාවේ ආණ්ඩුව ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ සැසිවාරය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් අතහැර දමා ඇති බව ඇතැම් විශ්ලේෂකයන්ගේ මතයයි. 

ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් පිළිබඳ කිසිදු අවබෝධයක් නැති මේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් සභාවේ ක්‍රියාවලිය පිළිබඳවද අධ්‍යයනය කරනැති බව ඔප්පු වුණේ සැසිවාරයට ආණ්ඩුවේ නියෝජිතයකු සහභාගි නොකිරීමට ගෙන තිබූ තීරණයෙනි. නිලධාරීන් පිරිසක් පමණක් යවන්නට මුලින් අදහස් කරගෙන සිටිමුත්, එසේ කළහොත් සැසිය අමතන්නට ලැබෙන කාලය අඩු බව දැනගැනීමෙන් පසු ඇමති මහින්ද සමරසිංහව ලහිලහියේ එහි පිටත් කර හැරියේය. ඔහු විසින් පවත්වන ලද කතාවද දේශීය සිංහල ජාතිකයන් සතුටු කරන්නට කළ එකක් මිස ජාත්‍යන්තර වශයෙන් රාජ්‍ය තාන්ත්‍රිකව සාර්ථක එකක් නොවේ. 

කලින් මානව හිමිකම් සැසිවාරයේදී ඉටු කරන බව කී දේද කරන්නට ලංකාවේ ආණ්ඩුව අසමත් වී ඇති බව ආණ්ඩුවම දනී. දෙමළුන්ට කිසි දෙයක් දෙන්නේ නැත යන අප්‍රසිද්ධියේ ප්‍රකාශිත ස්ථාවරයේ සිටින ආණ්ඩුව යුද්ධයෙන් පසු මුළු ලංකාවේම ප්‍රජාතන්ත්‍රවාදය තව තවත් සීමා කිරීමට කටයුතු කළේය. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා අවශ්‍ය මූලික කොන්දේසියක් වන වගවීමේ ක්‍රියා පටිපටිපාටියකට යාම පැත්තක තිබියදී අඩු තරමේ මූලික ප්‍රජාතන්ත්‍රවාදය හෝ දෙමළ සමාජය තුළ තහවුරු කරන්නට ආණ්ඩුව අසමත් විය. 

එපමණකින් නොනැවතී, දෙමළ ජාතික ව්‍යාපාර දඩයම් කිරීමෙන් තෘප්ත නොවූ  සිංහල ජාතිවාදීන් මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව උසිගැන්වීමටද ආණ්ඩුවේ අනුග්‍රහය ලැබෙමින් තිබේ. මුස්ලිම් විරෝධී ව්‍යාපාරයේ නායකත්වයේ චම්පික රණවක වැනි ආණ්ඩුවේ ඇමතිවරු පවා සිටිති. 

ඊයේ වවුනියාවේ සිට කොළඹට පැමිණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට පෙත්සමක් භාර දීමට උත්සාහ කළ අතුරුදහන් වූවන්ගේ ඥාති පිරිසකගේ ගමන පොලිසිය විසින් වවුනියාවේදීම වළක්වන ලදී. එම සිද්ධියට ලැබුණු ජාත්‍යන්තර ප්‍රචාරය හා එක්සත් ජනපදයේ කොළඹ තානාපති කාර්යාලය ඒ පිළිබඳ විරෝධය දක්වමින් නිකුත් කරන ලද නිවේදනය අනුව පෙනෙන්නේ ආණ්ඩුව ක්‍රීඩා කර ඇත්තේ උගුල ඇතුළටම බවයි. 

මේ අතර, කොළඹ පැවති තවත් උද්ඝෝෂණයකට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු බව පෙනේ. එය කොටි සංවිධානය විසින් අතුරුදහන් කළ බව කියන පිරිස් සොයා දීමට මැදිහත් වන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට පෙත්සමක් භාර දීමේ විරෝධතාවකි. දිවයින පුවත්පත "කොටින්ටත් මානව හිමිකම් චෝදනා එල්ල කරන්න - අතුරුදන් වූ හමුදා සහ සිවිල් වැසියන්ගේ ඥතීන්ගෙන් එ.ජා. සංවිධානයට සංදේශයක්‌"යන මැයෙන් මේ පුවත වාර්තා කර තිබෙන්නේ එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව අප්සෙට් යවන වැඩක් සේ සිතාගෙනයි. 

එහෙත්, ඇත්තෙන්ම එය එක්සත් ජාතීන්ගේ වැඩසටහනට හා ලංකාවේ ආණ්ඩුවට විරුද්ධ යයි කියන බලවේගවලට කියලාවත් කරගන්නට බැරි අන්දමේ වාසිදායක පියවරකි. 

ජාතිවාදයෙන් අන්ධ වූවන් කෙතරම් අඳබාලයන් බවට පත්වෙනවාද යන්නට කදිම නිදසුනකි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම යුද අපරාධ පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ රජයට පමණක් නොව කොටි සංවිධානයටත් එරෙහිව බව ලංකාවේ ආණ්ඩුව හා දිවයින වැනි ජාතිවාදී මාධ්‍ය එක්කෝ දන්නේ නැත. නැතිනම් ආණ්ඩුවට හිතවත් වගේ සිටිමින් ඇතැමුන් අඟේ ඉඳන් කණ කන නියම ගේමක් දෙති.

ආණ්ඩු විරෝධී මාධ්‍ය වැඩි අවධානයක් යොමු කර තිබුණේ වවුනියාවේ සිද්ධියට එරෙහිව වුවත්, වැදගත් සිද්ධිය වූයේ කොළඹයි. අතුරුදහන් කිරීම් පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා කොළඹදී දහස් ගණනක පිරිසක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පෙත්සමක් භාර දී තිබේ. 

කොටි සංවිධානයට එරෙහිව කුමන පරීක්ෂණ සිදු වුණත් නහයට ඉහළින් වතුර ගලාගොස් තිබෙන එයට තව වන්නට දෙයක් නැත. යමක් වනවානම් වන්නේ දැන් ආණ්ඩුවේ සිටින කොටි නායකයන් වන කේපී හා කරුණා අම්මාන් වැනි අයටයි.

යුද අපරාධ චෝදනා විභාග කරමින් ආණ්ඩුව අමාරුවේ දමන්නට බටහිර බලවේග යයි කියන ඒවාට ඇත්ත උවමනාවක් නැත. ඔවුන් කියන්නේ සිදු වූ දේ සම්බන්ධයෙන් වගවියයුතුබව හා වගකීමෙන් යුතුව සංහිඳියාව හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා පියවර ගතයුතු බව පමණි. එහෙත්, එසේ නොකළා කියාද ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් නැත. ලංකාවේ ආණ්ඩුවට එරෙහිව පීඩනයක් මිස ක්‍රියාමාර්ග වෙත යොමුවීමක් නැත්තේ එහෙයිනි. ඔවුන් කරන්නේ මේ පීඩනය භාවිතා කරමින් තමන්ට අවශ්‍ය දේ කරගැනීමට ආණ්ඩුව තල්ලු කරගැනීමයි. රනිල් වික්‍රමසිංහට වඩා හොඳින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නව ලිබරල් ආර්ථික වැඩසටහන ඉදිරියට ගෙන යන බව බටහිර බලවත්තු දනිති.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. ඔක්කෝම කරන්නෙ බොරුව. එකසත් ජාතින්ගේ සංවිධානය කියන්නෙම බොරුවක්..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. එක්සත් ජාතීන්ගේ කතාම පරස්පර විරෝධීයි. දැන් දවස් කීපයකට කලින් බෑන් කී මූන් කියල තිබුනා යුද්දෙන් පස්සේ ලංකාවේ හොඳ ප්‍රතිසංස්කරණ සිදුවෙලා කියලා. ඉන්දියාවත් රැවුලයි කැඳයි දෙකම ශේප් කරගන්න හදනවා, ගියපාර වගේ. ඇමෙරිකාව ගේන ලංකා විරෝධී යෝජනාවේ වචන හොඳනම් විතරලු ඒගොල්ලෝ ඒකට සහයෝගය දෙන්නේ. මේ කොමඩි එකත් ඔහොම ඇදී ඇදී යයි.

      Delete
  2. ///ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් පිළිබඳ කිසිදු අවබෝධයක් නැති.....///

    මට තේරෙන්නේ නැත්තේ පට්ට සමාජ්වාදීන් ප්‍රජාත්‍රන්තවාදය ගැන කියවන එකයි......

    ReplyDelete
    Replies
    1. සමාජවාදය කියන්නේ ප්‍රාතන්ත්‍රවාදය කැටි කරගත් දෙයක් මිස ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සමාජවාදයට විරුද්ධ දෙයක් නොවෙයි. ඔබට සමාජවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිදු අදහසක් නැති බව පෙනේ.

      Delete
    2. හෆොයි! නෑවා නේද ඇනෝ???

      Delete
    3. සමාජවාදයට විරුද්ද වීම දැන් විලාසිතාවකි! එසේ විරුද්ද වන්නේ සමාජවාදය හෝ ධනවාදය පිළිබද අංශුමාත්‍රයක් හෝ දැනගෙන නොවේ. තමා අනෙකුන්ගෙන් වෙනස් මාරම "ප්‍රයෝගික", "බිලියන පතියෙක් වීමේ ශක්‍යතාව ඇති" අමුතුම ජාති සත්වයකු බව තවකෙකුට කියපැමටය. ස්ත්‍රී ශරීරයක් දුටු විට මෙමෙ පිස්සුව තවත් වැඩිවේ. ඉහත ඇනෝ මෙයට උදාහරණයක් පමණි.

      Delete
    4. අනේ ඔව් සමාජවාදේ තියෙන ප්‍රජාත්‍රන්ත්‍ර වාදය හිනදා වෙන්න ඇති සියලු සම්පත් ආන්ඩුවට අරං හැමෝටම සමාන ලෙස බෙදලා දෙන්නේ...සෝවියට් දේශය තිව්ව කාලේ කසි කබල් පොත් ටිකක තිබබ වචන ටිකක් පාඩම කරගෙන පැරකුම් ලා වගේ පොරවල් පට්ට සමාජවාදීන් කියා ගන්නවා..පොඩි මානසික විනදනයකට එළුවෙක්ගේ වගේ ‍රැවුල් කුත් දා ගන්නවා.....ඒත් ජීවත් වෙන්න කීයක් හරි හියා ගන්න කියලා බ්ලෝග එකෙත් ඇඩ් දා ගන්නවා....අපි නොදනන් සමාජවාදීන්...කුහකකම දෝරේ ගලනවා....

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා