බීබීසී සංදේශය හා තවත් එවැනි මාධ්‍යවල තිබෙන ගැටලුව කුමක්ද?

පසුගිය දිනෙක බීබීසී සිංහල සේවයේ අධිපති ප්‍රියත් ලියනගේ සමග ඉතා කෙටි කතාබහක් කරන්නට ලැබිණි. ඔහු බ්ලොග්කරුවකු ලෙස හෝ මාධ්‍යකරුවකු ලෙස හෝ මෙම රචකයා පිළිබඳ කිසිවක් දැන සිටි බවක් නොපෙනිණි. බීබීසී සංදේශය ගැන  කළ අදහස් විමසීමකදී මා පැවසූ කරුණක් වන්නේ එය සිංහල හැඟීම් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බවයි. එය සිදුවිය යුත්තේ කෙසේදැයි ඔහු ඇසූ ප්‍රශ්නයට මා ඒ අවස්ථාවේ වාචිකව ගොනු කළ පිළිතුර ව්‍යක්ත එකක් නොවීය. එය සංකීර්ණ ප්‍රශ්නයකි. කොහොමත්, ලියන තරම් 'හොඳින්' වාචිකව අදහස් පළ කරන්නට මට බැරිය. ඒ නිසා මේ කරුණ යමෙකුට පැහැදිලි කරන්නේ කෙසේදැයි මම සිතුවෙමි.

සංදේශය වාර්තාකරණයේදී සිංහල හැඟීම් ගැන සංවේදී බව ප්‍රියත් අදහස් කළේය. බීබීසී වාර්තාවලදී ඔවුහු ඇත්තෙන්ම දෙපැත්තම වාර්තා කරති. එහෙත්, සමස්ථ ප්‍රකාශනය පොදු සිංහල සමාජයට ගම්‍ය වන්නේ සිංහල විරෝධී එකක් ලෙසයි. එය සිංහල සමාජයේ වරදක්ද? 

රචකයා කී කරුණ සංදේශය වැඩසටහනට පමණක් නොව, රචකයා කලක් සේවය කළ හිරු, රාවය වැනි පුවත්පත්වලටත් අදාළය. ‍මෙම මාධ්‍යවලට එරෙහිව ඇති ඒවා දෙමළ ජාතිවාදය කෙරෙහි හිතවාදීය යන ලේබල්කරණය තනිකරම සිංහල ජාතිවාදීන්ගේ ප්‍රචාරයක්ද? නැතිනම් මෙම සන්නිවේදන කාර්යයේ යම් ගැටලුවක් තිබේද?

අපි මෙම බ්ලොගය ආරම්භයේ සිට පමණක් නොව ඊට බොහෝ කලකට පෙර සිටම පාහේ  සාකච්ඡාමය දේශපාලන විසඳුමක් හරහා ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡා කර ඇත. බලය බෙදාගැනීමේ ඉල්ලීම බටහිර හෝ රාජ්‍ය නොවන සංවිධාන හෝ ව්‍යාපෘතියක් නොව දේශපාලන අරගලයක් විය යුතු බව අපි පුන පුනා කියන්නේ මේ රටේ එවැනි පැහැදිලි දේශපාලනයක් නැති නිසාවෙනි. විශේෂයෙන්ම වාමාංශික පක්ෂ මෙහිදී අනුගමනය කරන්නේ කුහකවතකි.

ජනතා විමුක්ති පෙරමුණ හා එයින් වෙන් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෑත යුගයේදී ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි වාමාංශය දෙසට තල්ලු වීමක් සිදු වී තිබේ. වසර කීපයකට ඉහතදී දැඩි ලෙස සිංහල ජාතිවාදය සමග බැඳී සිටි මෙම දේශපාලන ධාරාව එසේ චලනය වීම සමාජ ජයග්‍රහණයකි. එහෙත්, තවමත්, ඔවුහු බලය බෙදාගැනීම නම් සංයුක්ත කාරණය පිළිබඳ පැහැදිලි ස්ථාවර ප්‍රකාශ නොකරති.

'ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම සමාජවාදයයි' යන මාක්ස්වාදී යයි ඔවුන් සිතන න්‍යායක් තුළ සිටිමින් ඔවුහු ප්‍රශ්නය මගහරිති. අප මේ සමාජවාදය ගැන මූලිකවම එල්ල කරන විවේචනය වන්නේ ඔවුන් සමාජවාදය යයි කියන නොපැහැදිලි දෙය මනෝරාජික අදහසක් හෝ පරිකල්පනයක් හෝ ෆැන්ටසියක්ය යන්නයි.

වාමාංශික අනෙක් අන්තය වන්නේ දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ හිමිකම යනු වෙනම ජාතික රාජ්‍යයක් බිහි කර ගැනීමට දෙමළ ජනයාට තිබෙන අයිතියයි යන න්‍යායික තර්කනය මත පිහිටා සිටින බලවේගයයි. මේ මතය යම් ප්‍රබුද්ධ වාම අදහසක් ලෙස පිළිගැනීමට ලක් වී තිබේ. එළිපිට ප්‍රකාශ නොකළත්, මේ අදහස න්‍යායිකව පිළිගන්නා හෝ එම මතයේ බලපෑමට ලක් වූ වාමාංශිකයෝ කොටසක් ඒ අනුව මාධ්‍ය හැසිරවීම කරති. අප මෙහිදී නිදසුන් කර ගන්නා මාධ්‍ය බොහොමයක මෙම ලක්ෂණය තිබේ.

ජනමාධ්‍ය සිංහල හැඟීම් ගැන සැලකිලිමත් විය යුතු බව අප කියන්නේ මෙම ආස්ථානයේ පිහිටා සිටින ජනමාධ්‍යකරුවන් බොහෝදෙනෙක් අතින් එය සිදු නොවන නිසාය. පුවත් තෝරාගැනීම, රචනා කිරීම හා විශ්ලේෂණය කිරීම ඔස්සේ ඔවුන්ගෙන් සිදුවන සමස්ත ප්‍රකාශනය ඊලාම් රාජ්‍යයකට පක්ෂපාතී එකක් ලෙස සිංහල සමාජයට පෙනී යාම ඔවුන් හමුවේ තිබෙන ප්‍රධාන සන්නිවේදන බාධකයකි.

එක් පැත්තකින් ඔවුන් වෙතින් ප්‍රකාශ වන්නේ ඔවුන් සිටින ස්ථාවරය මිස අන් යමක් නොවේ. ඒ අනුව මෙය දෘෂ්ටිවාදීමය ප්‍රශ්නයක් බවට පත් වේ. අප සමග එකී අධිපති මාධ්‍යකරුවා කළ කෙටි කතාබහේදී ඔහු ඇසුවේ මා කියන දෙය දෘෂ්ටිවාදීමය තලයකින් නොව එදිනෙදා කටයුතුවලට අදාළව විග්‍රහ කරන්නේ කෙසේද යන්නයි. දෘෂ්ටිවාදීමය ගැටලුවක් මත පදනම් වන දෙයක් එහි මතුපිට ප්‍රකාශනය වන එදිනෙදා පුවත් විකාශනය ඔස්සේ පමණක් විග්‍රහ කළ නොහැකිය.

මෙම දෘෂ්ටිවාදී ගැටලුවෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම මාධ්‍ය ධාරා‍වේ සිටින සහෝදරවරු සිය මතය පිළිගන්නා සීමිත පාඨක ප්‍රජාවක් සමග පමණක් කටයුතු කරන තත්වයට පත් වී සිටිති. පොදු පාඨක සමාජයෙන් බැහැර වෙති. තමන්ගේ මතය පිළිගන්නා පිරිස සමග පමණක් කටයුතු කිරීම ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවන්ට බණ කියා දීම වැනි දෙයකි. මෙම රාමුව තුළ අනන්‍යතා ගොඩනඟාගනිමින්, හිතමිතුරු කව තුළ ජනප්‍රිය වෙමින්, වීරත්වයට පත්වීම එතරම් අමාරු නැත. එහෙත්, සියලු සුබවාදිත්වයන් අකාමකා දමමින් පොදු සමා‍ජයේ ගොඩනැඟෙමින් තිබෙන අගතියේ මහා ප්‍රවාහයට එරෙහිව මැදිහත්වීම් කරන්නට නම් මේ රාමුවෙන් පිටතට ආ යුතුය. ජාතිවාදයෙන් අන්ධ වූ සමාජයකට ඇස් තැබීම සඳහා නව ක්‍රම සොයා යා යුතුය. තනි පුද්ගල චූල මාධ්‍යකරුවකු ලෙස මෙම රචකයා කරන්නට උත්සාහ කරන්නේ එයයි. අපි මෙම බ්ලොගය හරහා එදිනෙදා සිදුවීම් විග්‍රහ කරන්නේ ඉතා පැහැදිලිවම මෙම ස්ථාවරයේ සිටයි.

සිංහල හැඟීම් තුළ ‍ඊලාම් සංකල්පය පිළිබඳ සුබවාදී හැඟීමක් ඇතිකිරීම කිසි කලෙක කළ නොහැක්කකි. මන්ද, නූතන දෙමළ ඊලාම්වාදය ගොඩනැඟෙන්නේම සිංහල විරෝධී ආස්ථානයකින් වීමයි. මෙහි කිසියම් සාධාරණ ප්‍රතිචාරාත්මක ලක්ෂණයක් තිබේ. මන්ද සිංහල ජාතිකවාදයද දෙමළ විරෝධී ලක්ෂණ කැටි කරගත් එකක් බැවිනි. එහෙත්, ඊලාම්වාදයේ පදනම දෙමළ ජාතිවාදයයි. ස්වෝත්තමවාදයයි. සම්මුති විරහිත කොටි සංවිධානය ‍ස්වයං විනාශකාරී ලෙස මෙම ස්ථාවරය ප්‍රකාශයට පත් කළ නිදසුනකි. 

එක් ජාතිවාදයකට එරෙහිව තවත් ජාතිවාදයකට පක්ෂ වීම ඉතිහාසය පුරාම වාමාංශිකයන් ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි කළ වැරැද්දකි. සිංහල මහ ජාතිවාදයට එරෙහි නිසා දෙමළ ජාතිවාදයට අප පක්ෂ විය යුතු නැත. ඇමරිකානු හෝ බටහිර ජාතිවාදයට එරෙහි වන පළියට අප මුස්ලිම් අන්තවාදයට පක්ෂ විය යුතු නැත. බටහිර විද්‍යාව විවේචනය කළ පළියට ජ්‍යෝතිෂඥයන්ට, හොර වෙදුන්ට හා වෙනත් හණමිටිකාරයන්ට පක්ෂ විය යුතු නැත.

න්‍යායික තලයේදීද ස්වයං නිර්ණය හිමිකම යනු වෙන්වීමේ අයිතියය යන තර්කය අපි අභියෝගයට ලක් කරමු. ස්වයං නිර්ණය හිමිකම යනු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන පරිදි රාජ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරගලයක් මිස අලුත් ජාතික රාජ්‍ය බිහිකිරීම සඳහා වූ අරගලයක් නොවේ. ලෙනින් ජීවත් වූ සමයේ රාජ්‍ය ව්‍යූහයන් හා අද පවත්නා ලෝක දේශපාලන ව්‍යූහය අතර වෙනස්කම් තිබේ. ජාතික රාජ්‍ය කියා අද කියන්නේ ගෝලීය ආර්ථිකය තුළ ස්ථානගත වූ ආර්ථිකයන් පාලනය කරන දෘෂ්ටිමය වශයෙන් ජාතිවාදී වූ ආණ්ඩු හා දේශපාලන සමාජයි. ලංකාවේ සිංහල ජාතිවාදී රාජපක්ෂ ආණ්ඩුව මේ සඳහා හොඳම නිදසුනකි. ලංකාවේ උතුරේ එවැනි ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා අප උපකාර කළ යුත්තේ කුමටද? අප කළ යුත්තේ දකුණේ පිහිටුවා ඇති එවැනි වූ රාජ්‍යය බිඳ දැමීමයි. ලංකාව හෝ හැකිනම් දකුණු ආසියාවම හෝ විෂයෙහි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් අරගල කිරීමයි.

අප සාකච්ඡාවට භාජනය කළ මාධ්‍ය භාවිතාව තුළ තිබෙන ගැටලුව යළි සංයුක්ත කර ගතහොත් මෙසේය. සිද්ධි පුවත් බවට පත් කිරීමේදී, ඒ පුවත් රචනයේදී, ඉදිරිපත් කිරීමේදී හා විශ්ලේෂණයේදී මාධ්‍යකරුවන්ගේ දෘෂ්ටිමය ආස්ථානයන් ප්‍රකාශයට පත් වීම නොවැළැක්විය හැකිය. දෙපැත්තම ආවරණය කරනවාය යන වෘත්තික ගුණය හේතුවෙන් එය වැළැක්වෙන්නේ නැත.

ජාතීන්ගේ ප්‍රශ්නය වැනි සංකීර්ණ ප්‍රශ්නයකදී තීරණාත්මක වූ ජනමාධ්‍ය මැදිහත්වීම්වලට අදාළව දෘෂ්ටිවාදීමය සාධක ඉතා වැදගත් බව මෙහිදී අපට පැමිණිය හැකි නිගමනයයි. එමගින් නැවතත් අවධාරණය වන්නේ දෘෂ්ටිවාදීමය සංවාදය ඉදිරියට ගෙන යාමේ වැදගත්කමයි. සිංහල දේශපාලන සමාජය ජාතිවාදයේ මහා ප්‍රවාහයකට යට වනු සීමිත ප්‍රජාවක් ඇසුරේ සිටිමින් නරඹමින් තීරණාත්මක මැදිහත්වීමක් නොකර සිටින එක නොවේ. මැදිහත්වීමේ ඵලදායිතාව ඉහළ නංවාගැනීම සඳහා නව මං සෙවීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. සිංහල මිනිහා ගැන කතා කරන්නත් මිනිස්සු ඉන්න එපාය. සිංහල මිනිහා තමන්ගේ ජාතිය ගැන කතා කිරීම, ජාතිවාදය. දෙමළ මනුස්සයා දෙමළ මනුස්සයා වෙනුවෙන් කතා කිරීම, අයිතිවාසිකම, විමුක්තිවාදය. මුස්ලිම් මිනිහා බලෙන් හලාල් දෙන එක. මුස්ලිම් මිනිසාගේ ආගමික අයිතිවාසිකම. ඊට විරුද්ධව අදහස් දක්වන සිංහලයා ෆැසිස්ට්වාදියා. මාරම නිර්වචණ නේ....

    ReplyDelete
    Replies
    1. Muslim Miniha balan deepu Halalak nhe mathana,Ulamaala Halal certificate ekkak karagattu paliyata Muslim minnussu pali nhe,Ulamala ubalata asaadaranayak karala thiyenwananum nadu dapalla,dala wandi illa palla nikan aagam wala deviyanta apahasa karanna gini gede dennay natuwa,may ratay neethiyak thiyenwanum a anuwa kriyakarapalla

      Delete
    2. @මාතලන්,

      මාතලන් "නිර්වචනය" කියන එක ඔයාගේ "මාහාචාර්ය" මොළ ගෙඩියට කොහොමද තේරුම් යන්නේ. මොකද කියනවනම් ඔයාගේ නිර්වචන ඔයාගෙම මොළ කුහරේ අතිවිච්ච විලම්බ්භිථ අදහස් මිස පොදු සම්මතය නොවන නිසා.

      Delete
    3. මගේ මතය තමයි ලිව්වේ. ඔයා ඒක පොදු අදහසක් කරන්න යන්න එපා. මගේ නම මාතලන් මිස මහජන නොවේ.

      Delete
    4. ඔයාගේ විකාර අදහස් පොදු අදහස් කරන්න කොහෙත්ම ඕනනැ. ඒවගේම වාසනාවකට ඔයාට වගේ අනිත් අයට භයංකර හීන පෙන්නෙත් නැනේ. ඔයාට කියන්න ඕන උනේ බයවෙලා ඇහැරුණාම මිනිස්සු කුලප්පු නොකර අනිත්පැත්ත හැරිලා නිදාගන්න කියන එක.

      (ඔයාගේ අර්ත්මාර්ථකාමී කුටුම්භ ජීවිතය නිසා අහිමි උන සමාජ සම්බන්දතා "මතලන්"ගේ (ඇත්ත එකා) ගේ කිර්ති නාමය භාවිතා කර රෙපයාර් කිරීම ටිකක් කැතයි නේද)

      Delete
  2. මම සිංහලයාගේ ,බෞද්ධයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් හැමවිටම පෙනී සිටිනවා. ඒ කාලේ දෙමළ මිනිස්සු අපිත් එක්ක එකට කොළඹ වැඩ කරනවා එත් අපිට යාපනේ යන්න බැහැ.එහෙම නොවෙයිද තිබුනේ?එහෙම බැහැ කියල දෙමල ජාතිවාදීන් තේරුම් ගත්තේ අවුරුදු 30ක් සහ ජිවිත දාස් ගණනක් බිලි දීලා මේකට සිංහලයට බැනල වැඩක් නැහැ සිංහලය අවුරුදු 30ක් ඉවසුවා.ලංකාවේ අයිතිවාසිකම් අහිමි දෙමළට විතරක් නොවෙයි අපිටත් අහිමියි,, මේවා එකතුවෙලා දිනා ගන්නේ නැතිව දෙමළට විතරයි අහිමි කියල බොරු කියන කොට සිංහලයාගෙන් එන ප්‍රතිචාරය ඔහොම තමයි.මුස්ලිම් අය උන්ගේ හලාල් අපිට කවන්න එනවා,ගෝනි බිල්ලෝ ඇඳගෙන ගෝල්ෆේස් එනවා මේවා හරිද? දෙමළ ජාතිකයෙක් මුස්ලිම් ජාතිකයෙක්ට වෙන අසාධාරණයකදී මම ඒ වෙනුවෙන් ජාති බේදයකින් තොරව පෙනී සිටිනවා, ඒ නිසා මම අසාධාරණයේදී සිංහලයා වෙනුවෙන් පෙනී සිටින්න බය නෑ.හැබැයි බොදුබල සේනා උනත් අන්තවාදී වෙලා මෝඩ වැඩ කලොත් එකටත් විරුද්ධ වෙන්න බය නෑ.

    ReplyDelete
    Replies
    1. උදිතගෙ කතාව ඇත්ත .මමත් හම මාදිලියකම ගෝත්‍රවාදයට විරුද්ධයි.මේ ගෝත්‍රවාදය පාසල්,ප්‍රදේශ වශයෙනුත් පුලුල් පරාසයක විහිදෙනවා.මම සාම්ප්‍රදායික ස්ත්‍රී පීඩනයට විරුද්ධවන තරමටම ස්ත්‍රීවාදයටත් විරුද්ධයි.බ්ලොග් ලෝකයේ ඇති කල්ලිවාදයටත් විරුද්ධයි

      Delete
  3. Galle face akay Gone Billanata Uba baya wunada???

    ReplyDelete
  4. Replies
    1. බීබීසිය, හිරු හෝ වෙනත් දේශපාලන පුවත් පතක් සමග සමකරන්න බෑ.

      බීබීසි යනු මහජන මාධ්‍ය ආයතනයකි. එහි ආචාර ධර්ම පද්ධතියට අනුව ඔවුන්ක කල හැක්කේ පුවතක හැම පැත්තම ආවරණය වෙන පරිදි තොරතුරු ඉදිරිපත් කිරීම පමණි. බීබීසියට දේශපාලන මතයක් නැත.

      http://www.bbc.co.uk/editorialguidelines/

      හිරු, සීනුව, නියමුවා, සියරට , ඇත්ත වැනි පුවත්පත් වලට දේශපාලනයක් ඇත. නිවරදි ක්‍රමයක් තිබේ නම් ඔන නිතිපතා කියවන දිනමිණටද, රූපවාහිනී සංස්ථාව, අයිටීඑන් වැනි මාධ්‍ය ආයතනවලට දේශපාලන මතයක් තිබියෙ නොහැක. ඒ ඒවා මහජනයාට අයිති නිසාය. නමුත් ඒවා ප්‍රායෝගිකව පවතින රජය කරවන දේශපාලන පක්‍ෂයට සැමදා අයිතිවේ.

      Delete
    2. "බීබීසියට දේශපාලන මතයක් නැත"- මේකට වසරේ විහිළුව කියන්නද, සභාවේ සිනා කියන්නද? අනේ ඔයාගේ දේශපාලන දැනුම කියල පහන් සංවේගයට පත්වෙන්නද?

      ( ලින්ක් එකත් උඩ ප්‍රකාශයටම දෙවැනි නැ, අඩුමගානේ විකිපීඩියා වටවත් ලින්ක් එකක් දාන්න මතක් උන් නැද්ද?)

      Delete
  5. හොදයි මේ ලිපියෙ විදියට මම කැමතියි.ස්ත්‍රීවාදය ගොඩනැගෙන්නේම පුරුෂ විරෝධී ආස්ථානයකින් යැයි කියලා ඒක පවුල් සංස්ථාවට ස්ත්‍රී පුරුෂ ස්වාභාවික සබඳතා වලට පොදුවේ මානව පැවත්මට හානිකරයි කිව්වාම ඒක පිලිගන්න තරම් සමහරු මතවාදීව මෝරලා නෑ

    ReplyDelete
  6. උතුරින් නැගෙනහිරෙන් හමුදා ඉවත් කරනු. ඒක අදටත් වලංගුයි. මහත්තයෝ ජාතිවාදෙ ඇතුලෙ පුංචි පුංචි වෙට්ටු දාන්න ගියොත් ඒ පක්ෂෙත් තල්ලු වෙන්නෙ මඩ ගොහොරුවටමයි. ජවිපෙ - පෙරටුගාමීන් ජාතිවාදෙන් ඉවත් වෙලා වගේ පෙන්නන්නෙ දෙමළ මිනිස්සු අන්තිමට කුඩු කරල ඉවර කරාට පස්සෙද? ඒක තරම් හිරිකිත වැඩක් තවත් තියෙනවද?

    ReplyDelete
  7. ඇනෝනිමස් ඔබ කියන්නෙ සුලු ජාතික ජාතිවාදය විස්න් මිනී මරද්දි දෙපළ විනාශ කරද්දි රජයක් ඇහැකන පියාගෙන ඉන්න කියලද?

    ReplyDelete
  8. ශ්රී ලාංකිකයා යනු බුද්ධියට වඩා හැඟීම් වලට වහල්වන තවමත් වහල් මානසිකත්වයකින් පසුවන්නෙකි. නිකං කට වැටෙනවනම් ඕනම ජරා වැඩක් කරන ලයිට් කණු යටයි, බෝක්කු උඩයි, තැබෑරැම්වලටයි වෙලා පච හල හල කල්මරණ, ඕනෑ කුණු හරැපයක් එහෙයි කියලා ඉස් මුදුනින් පිළිගන්න දූපත් මානසිකත්වයෙන් පෙළෙන ජාතියක්. (හැමෝම නොවුනත් වැඩි දෙනෙක් මේ එක් කණ්ඩායමකට හෝ අයිතියි )

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා