හොර පොල් චක්‍රලේඛය

අප බලාපොරරොත්තු වූ පරිදිම ජනාධිපතිතුමා හොර පොල් කැඩූ ළමයාගේ ප්‍රශ්නයට මැදිහත් වී ජනප්‍රිය පියවරක් ගත්තේය. 

අද සිළුමිණ ඒ පිළිබඳ වාර්තා කරන්නේ මෙසේය:

කුමන හේතුවක් මත හෝ දරුවන්ට බලපෑම් කරමින් පාසල්වල නීති විරෝධී ලෙස මුදල් එකතු කිරීම් සම්පූර්ණයෙන් නැවැත්වීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් මත ඉදිරි සති දෙක තුළ නව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
එවැනි සිද්ධියක් සැලවූ වහාම පරීක්ෂණයක් පවත්වා චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර එයට අදාළ සියලු පුද්ගලයන්ගේ සේවය අත්හිටුවීමට අවශ්‍ය විධිවිධාන එමඟින් ක්‍රියාවට නංවන බව ද ඇමැතිවරයා කීය.

දැන් මෙතැන ප්‍රශ්න දෙකක් තිබේ. 'දරුවන්ට බලපෑම් කරමින්' යන්න අර්ථකථනය කරන්නේ කෙසේද? 

'නීති විරෝධී නොවන මුදල් එකතු කිරීම්' මොනවාද? 

ඍජු අල්ලස් නොවන, වෙනත් ආකාරවල මුදල් එකතු කිරීම් සිදුවන එක් ආකාරයක් මෙසේය. පාසල්වල විශේෂයෙන් එක, හය, 12 වැනි පංතිවලට සිසුන් ඇතුළත් කරගනිද්දී දෙමාපිය රැස්වීම් පවත්වා විදුහල්පතීන්ට හිතවත් පුද්ගලයන් ලවා එකතු කරන මුදල් ප්‍රමාණයයෝජනා කරනු ලැබේ. එයට විරුද්ධ නොවන වාතාවරණයක් හා විරුද්ධ වන්නන් මෙල්ල කරන වාතාවරණයක් රැස්වීම ඇතුළෙන්ම නිර්මානය කරනු ලැබේ. මෙහිදී බොහෝ මව්පියන් සිතන්නේ තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අමාරුවෙන් හෝ එය දරාගත යුතු බවයි. දරුවන් වෙනුවෙන් ඇත්තෙන්ම මව්පියෝ මීට වඩා මුදල් ටියුෂන් වෙනුවෙන් වැය කරති. අනෙක් පැත්තෙන් සාමාන්‍ය පාසලක් වෙනුවට ජනප්‍රිය පාසලකට තම දරුවා ඇතුළත් කර ගැනීම වෙනුවෙන් මුදල් වැයකිරීම මව්පියන් සලකන්නේ දරුවාගේ අනාගතය වෙනුවෙන් කරන දෙයක් ලෙසයි. එසේම දරුවන් පාසල තුළදී අසාධාරණයට ලක් වනු ඇතැයි බිය නිසාද මව්පියෝ අවශ්‍ය මුදල් දෙති. 

ඒ නිසා මේ මුදල් එකතුකිරීම් බොහෝවිට සිදුවන්නේ මව්පියන් විසින් ස්වේච්ඡාවෙන් පාසලට කරන සේවාවන් වෙනුවෙන් කරන ඒවා ලෙසයි. එබැවින් ඒවා නීති විරෝධී වන්නේ නැත. ඇත්ත සොයා බැලුවොත් ජනප්‍රිය පාසල්වල තිබෙන බොහෝ පහසුකම් මෙවැනි සම්මාදම් ඔස්සේ ගොඩනඟන ලද ඒවායි. පාසල ජනප්‍රිය නොවුණත්, තමන්ගේ දරුවා සිටින පංති කාමරය තෙමෙනවානම්, වාඩිවෙන්නට පුටුවක් නැතිනම් දෙමව්පියෝ අමාරුවෙන් හෝ ඒවා සපයා දෙති. මන්ද, අද දෙමව්පියෝ දරුවන්ට ඉගැන්වීම ආණ්ඩුවට භාර දී පැත්තකට වී බලා සිටින්නට අකැමැති බැවිනි.

පාසල්වල එදිනෙදා වියදම් අධිකය. ඩෙස් පුටු, කොන්ත්‍රාත් මත හැදූ බාල ගෙබිම, බිත්ති, වහල ආදිය නිතර අබලන් වේ. ඒවා අලුත්වැඩියා කළ යුතුය. ඉඩකඩ මදි වේ. ක්‍රීඩා ආදී උත්සව පැවැත්විය යුතුය. ආණ්ඩුවෙන් දෙන මුදල් ලැබෙන්නේ විවිධ දේශපාලකයන්ගේ විමධ්‍යගත අයවැය හරහායි. ඒ සඳහා ඒ දේශපාලුවන්ගේ සිත් සතුටුවන පරිදි නැටුම්, ගැයුම්, වැයුම් ආදිය සමන්විත මහා උත්සව පාසල්වල පැවැත්විය යුතුය.

මුදල් එකතුකිරීමේ නිමිති මේවාය. ඇතැම් විදුහල්පතිවරුද මී කඩන්නේ අත ලෙව කන්නට බලාගෙන නොවේ.

මුදල් එකතු කිරීමේදී බලහත්කාරය පාවිච්චි කෙරෙන්නේ අමු අමුවේ නොවේය. බලහත්කාරය ව්‍යූහගත වී තිබේ.

ජනාධිපතිතුමාත්, අධ්‍යාපන ඇමතිතුමාත් නිරතුරුවම පාසල්වල පැවැත්වෙන උත්සවවලට සහභාගි වෙති. එම උත්සව සංවිධානය කිරීමේදී අරමුදල් සපයාගන්නේ කෙසේද යන්න එතුමන්ලා විමසිය යුතුය. ඔවුන් ඉදිරිපිට,බොහෝවිට ඔවුන් නොබලන රැඟුම් පාන, ගී ගයන දරුවන් ඒ වෙනුවෙන් වූ ඇඳුම් මසා ගන්නේ කෙසේදැයි එතුමන්ලාට කෙළින්ම දරුවන්ගෙන් විමසිය හැකිය. ඒ මුදල් දෙමව්පියන්ගෙන් එකතු කළ ඒවාය. වෙන කරන්නට දෙයක් නැති නිසා ඒ මුදල් දුන් බව මව්පියෝ කියනු ඇත. 

පාසල්වල මුදල් සම්මාදම මෙතරම් ඉහළ යන්නට පෙර පවා ළමයි සොරකම්වල යෙදුණහ. ඒවා අඩු වූයේ සමාජය වඩා නීතිගරුක හා ශිෂ්ට වීමත් සමගයි. පොල් ප්‍රශ්නය තුළ වනාහි සමස්ත පද්ධතියක අර්බුදයේ ප්‍රකාශනයකි. මේ ජනප්‍රිය විසඳුම් වනාහි රෝගය තිබියදී රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීම වැනි නිෂ්ඵල දේය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. කොහොම උනත් අද වෙද්දි දරුව වැරදි බන්දුල ගරු[ඉස්සරනම් මෙහම කිව්වෙ මුදල්/පඩි නොගෙන "රටට"සේවයක් කරන ඇත්තලට]ඇමතිගේ හෙන්ච හරි.

    ReplyDelete
  2. It is important to point out that all the children do not go for private lessons mainly as their parents do not have means to pay for it.My belief is that less than 20% students attend these tuition classes.

    ReplyDelete
  3. ක්‍රිෂ්ණාFebruary 10, 2013 at 7:52 PM

    අද ළමයින්ගේ වඩ කරන්න අම්මලා තාත්තලා හොරකං කරන්නේ පොල්.....මෙහෙම යනවිට.....හෙට හොරකං කරන්න වෙන්නේ ලැම්බොගිනි.

    ReplyDelete
  4. මෙතන ජනප්‍රියත්වය බලාගෙන වැඩ කරන්නෙ ජනාධිපතිතුමා විතරක් නෙමේ, w3lanka කරන්නෙත් ඒකමයි. බැරිවෙලාවත් ජනාධිපති තුමා මේ ප්‍රශ්ණයට මැදිහත් වුනේ නැත්තම් w3lanka කියයි "පාසල් ගාස්තු ගෙවා ගතු ගෙවා ගත නොහැකිව හොරෙන් පොල් ඇහිඳූ ශිෂ්‍යාව සම්බන්ධව ජාතියේ ආඩම්බර පියා නිහඬයි" කියල.

    ReplyDelete
    Replies
    1. ජනාධිපතිතුමා මැදිහත් විය යුතුයි. ඒත්, ඔතැනින් නොවෙයි. ප්‍රශ්නයේ මුලින්. මේ මැදිහත්වීම අග්ගිස්සෙන්.

      පාසල්වල සම්මාදම් වළක්වන්න අලුත් චක්‍රලේඛ ඕන නැහැ. තිබෙන චක්‍රලේඛ හොඳටම ඇති. ඒත්, සම්මාදම් වෙන්නේ පරිත්‍යාග ස්වරූපයෙන්. කාටද පුළුවන් පරිත්‍යාග වළක්වන්න. සම්මාදම් පරිත්‍යාග බවට පත් කරන බලහත්කාරය ගැඹුරු එකක්. එහි හේතුව ජනප්‍රිය පාසල් තරගය.

      ජනප්‍රිය පාසල් තරගය ඇති වන්නේ අධ්‍යාපන විෂමතා හා වැරදි සමාජ ආකල්ප නිසායි. මැදිහත්වීම් අවශ්‍ය එතනටයි.

      Delete
    2. පාසල්වල සම්මාදම් වළක්වන්න අලුත් චක්‍රලේඛ ඕන නැහැ. ඒක ඇත්ත..ලංකා ගුරු සංගමයේ මේ ප්‍රකාශනයේ තියෙන්නෙ ඔවුන් මේ ගැන මීට කලින් බස්නාහිර පලාත් අධ්‍යපන ඇමතිට පැමිනිලි පවා කර ඇති බවයි.

      - Dimithri

      http://yukthiya.org/2013/02/08/
      ලංකා ගුරු සංගමය විසින් නිවේදනයක් නිකුත් කරන ලද නිවේදනය මෙසේ ය
      බස්නාහිර පළාතට අයත් කලාප අධ්‍යාපන කාර්යාල 11 තුළ පිහිටි පාසල්වල ගොඩනැගිලි වර්ණාලේප කිරීම සඳහා සිසුන් 500 කට අඩු පාසල්වලට රු.50,000 ක් ද, සිසුන් 500-750 අතර පාසල්වලට රු.75,000 ක් ද, සිසුන් 750-1000 අතර පාසල්වලට රු.100,000 ක් ද, සිසුන් 1000 කට වැඩි පාසල්වලට රු.150,000 ක් ද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මුදල් ලබාදී ඇත. මෙසේ තිබියදී පාසල් බහුතරයක ගොඩනැගිලි වර්ණාලේප කිරීම සඳහා මුදල් එකතු කිරීමේ ජාවාරමක් කි‍්‍රයාත්මක වන බවට ලංකා ගුරු සංගමය 2013.01.08 දිනැතිව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය හා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වන ප‍්‍රසන්න රණතුංග මහතාට ලිඛිතව පැමිණිලි කරන ලදී.

      එසේම 2013.01.22 දින ප‍්‍රසන්න රණතුංග අමත්‍යවරයා සමඟ පැවති සාකච්ඡුාවේදීද ලංකා ගුරු සංගමය මේ සම්බන්ධයෙන් වාචිකව කරුණු ඉදිරිපත් කරන ලදී. මෙම පැමිණිලි සම්බන්ධයෙන් කිසිදු විධිමත් පියවරක් බලධාරීන් විසින් අනුගමනය නොකළ අතර අධ්‍යාපන අමාත්‍යාංශ චක‍්‍රලේඛ උල්ලංඝණය කරමින් පාසල්වල විවිධ කටයුතු සඳහා මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය දිගින් දිගටම විරෝධය පළ කළ අතර අධ්‍යාපන ලේකම්වරයාට ද මේ පිළිබඳව පැමිණිලි කරන ලදී.

      මේ තත්වය මත පාසලට අවශ්‍ය මුදල් ගෙන යාමට නොහැකි නිසා පොල් සොරකම් කිරීමට සිසුවියකට සිදුවීම පිළිබඳව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාත්, අධ්‍යාපන ලේකම්වරයාත් ඍජුවම වගකිව යුතු බව අපි ප‍්‍රකාශ කර සිටිමු. පාසල්වල මුදල් එකතු කිරීම පිළිබඳව ලංකා ගුරු සංගමය පැමිණිලි කළ අවස්ථාවේ එම කි‍්‍රයාව අනුමත නොකර ප‍්‍රධාන අමාත්‍යවරයා සහ අධ්‍යාපන ලේකම්වරයා අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගත්තේ නම් මෙම සිසුවියට මෙම අභාග්‍ය සම්පන්න තත්වයට මුහුණු දීමට සිදු නොවේ.

      අධ්‍යාපනය සඳහා අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරන ලෙස මුලූ මහත් සමාජයම හඬ නඟද්දී එය නොසලකා හැර, නිදහස් අධ්‍යාපන පිළිබඳ පාරම්බාන ඇමතිවරු රොත්තක් සිටින අප රටේ පාසලට අවශ්‍ය මුදල් ගෙනයාමට සිසුවියක් පොල් සොරකම් කිරීම අතිශයින්ම කනගාටුදායක තත්වයකි. එසේම ශී‍්‍ර ලංකාව ආසියාවේ ආශ්චර්ය බව ප‍්‍රකාශ කරමින් සිටින පාලකයන්, වැඩිහිටියන් ජීවත්වීමට නොහැකිව සොරකම් කිරීමට යොමුවීමෙන් නොනැවතී දරුවන්ද පාසල්යාමට මුදල් සොරකම් කරන තත්වයක් උද්ගතව තිබීම පිළිබඳව ලැජ්ජා විය යුතුය.

      මෙම අභාග්‍යසම්පන්න තත්වයට ගොදුරුවූ සිසුවිය තවදුරටත් සමාජ අපවාදයට ලක් නොවන ආකාරයෙන් ඇය සම්බන්ධයෙන් උපදේශන කි‍්‍රයාවලියක් ආරම්භ කරන ලෙස ලංකා ගුරු සංගමය අදාළ සියලූ බලධාරීන්ට අවධාරණය කොට සිටී.

      එසේම මේ වන විට බස්නාහිර පළාත ඇතුළු දිවයින පුරා පාසල් බොහෝමයක මේ ආකාරයෙන් චක‍්‍රලේඛවලට පටහැනිව මුදල් එකතු කර තිබීම පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා එම මුදල් ආපසු ගෙවීමට කටයුතු කරන ලෙසද, ඉදිරියටත් මෙවන් නීති විරෝධී මුදල් එකතු කිරීම් පාසල් පද්ධතිය තුළ සිදු නොවන ආකාරයෙන් කටයුතු කිරීමට වග බලා ගන්නා ලෙස ද සියලූම අධ්‍යාපන බලධාරීන්ට බලකර සිටිමු.

      ජෝසප් ස්ටාලින්
      ලේකම්

      Delete
    3. ක්‍රිෂ්ණාFebruary 11, 2013 at 9:46 PM

      ලංකාවේ ජනධිපතියා ඔනෑ බොගකට සෙට්නේ.

      Delete
  5. පහල මධ්‍යම පන්තියට අයත් සමහර ගුරුවරු තරම් පිලිකුල් සත්ව කොට්ඨාශයක් මා නම් දැක නැත...විශේශයෙන්ම ප්‍රාතමික පන්තිවල තරම් ජරාව කන මෙවුන් ගුරුවරුදැයි විටෙක පුදුම සිතේ...මා කියන්නේ කුමක්දැයි විමසා බලන්න...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා