ධනවාදය යනු කුමක්ද? - බ්ලොග් අවකාශයේ ධනවාදී පකීර්ලාගේ දැනගැනීම පිණිසයි

සිංහල බ්ලොග් අවකාශයේ අලුත් ධනවාදීන් පිරිසක් රංගනය ආරම්භ කර තිබේ. ධනවාදය ගැන අපි මීට ඉහතදී ලාංකීය බ්ලොග් අවකාශයේ මහෞෂධ වන්නට උත්සාහ කරමින් සිට හිටිහැටියේ සිය බ්ලොග් අඩවියත් මකාගෙන අතුරුදහන් වූ ටැබූ සබ්ජෙක්ට්ස් සමග දීර්ඝ ලෙස සංවාද කළෙමු. සිංහල බ්ලොග්කරණයේ නවකයන් වූ අලුත් ධනවාදී පකීර්ලාගේ (fakir) දැනගැනීම පිණිස පැරණි සටහන් කීපයකින් උපුටාගත් කොටස් කීපයක් මෙසේ පළකරමු. අපි සංවාද කරමු.

ධනවාදය යනු ක්‍රියාවලියක් මිස දෘෂ්ටිවාදීමය සුරුවමක් නොවන බව W3Lankaහි අප විසින් නැවත පළ කරනලද රාමචන්ද්‍රගේ අදහස් පළකිරීමක දැක්විණි. එහි මෙසේ සටහන් විය. "ධනවාදීන් අමෙරිකාවේ තියෙන්නෙ ධනවාදයක් කියල බොහොම සන්තෝසෙන් කියනවා.නමුත් ලංකාවේ තියෙන්නෙ මොකක්ද කියල ඇහුවම ලංකාවේ ධනවාදීහු කොරවෙලා වැල්වටාරම් කියනවා.

"ලංකාවෙ තියෙන්නෙ අමෙරිකානු පන්නයේ ධනවාදයක් නෙමෙයි තමයි. ඒ ගැන විවාදයක් නැහැ. ලංකාව වගේ රටවල තියෙන්නෙ පසුගාමී පන්නයේ ධනවාදයක්.මේකත් ධනවාදයේ තවත් 'වර්ෂන්' එකක් මිස රාජ්‍යවාදයක්වත් වැඩවසම් ආර්ථිකයක්වත් වෙන මුකුත් කෙහෙල්මලක්වත් නෙමෙයි.

"(ලංකාවෙ තියෙන්නෙ වැඩවසම් ආර්ථිකයක් කියල කියන කෙනෙක් එක්ක වාද කිරීමත් තෙරුමක් නැති දෙයක්.ඒ ප්‍රකාශයෙන්ම ඔහුට විෂය ගැන තියන දැනුම පේන හින්ද)

"අමෙරිකාවේ නිෂ්පාදනය මූලික කරගත්ත දියුනු ධනවාදයකුත් අපේ රටවල නොදියුණ ධනවාදයකුත් තියෙන්නේ ඇයි? කමෙන්ට්ස් දාන "ධනවාදීන්" ඇනගන්න අනිත් තැන ඔතන. ඒ අය "අධිරාජ්‍යවාදය" කියන ක්‍රියාවලිය ගැන දන්නෙ නැහැ නැත්තං අහල නැහැ.අද තියෙන්නෙ ඇඩම් ස්මිත් කතාකරපු පූර්ණ තරග ධනවාදය නෙමෙයි. අද තියෙන්නෙ අධිරාජ්‍යවාදය දක්වා වර්ධනය වුන ධනවාදයක්.මේක ලෝක සිස්ටම් එකක්.කේන්ද්‍රයේ රටවල් පරිධියේ රටවල අමුද්‍රව්‍ය භාවිතා කරගෙන සමෘද්ධිමත් ජීවිත ගතකරනවා.පරිධියේ රටවල ජොබ් එක තමයි කේන්ද්‍රයට අමුද්‍රව්‍ය සපයමින් වානිජ ගනුදෙනු දෙක තුනක් කරගෙන ඉන්න එක.මේ තමයි අධිරාජ්‍යවාදී පද්ධතියක ස්වභාවය.අමෙරිකාවේ ධනවාදය "දියුනු" වෙන්නෙත් අපෙ ධනවාදය "කබල්" වෙන්නෙත් මේ අධිපතිවාදී සම්බන්ධතාවය නිසා.
..........

"ලෝක ධනවාදය ඇතුලේ ලෝකයේ සම්පත් බෙදිල ගිහින් තියන විදිහ කතා කරමු.ලෝක ධනවාදය තුල අප්‍රිකානු රටවල සම්පත් සූරගෙන කමින් අප්‍රිකානු ජනතාව දිළින්දන් බවටත් අමෙරිකානු සමාගම් ඉසුරුමතුන් බවට පත් වුන ආකාරයත් ගැන කතා කරමු. මහා සමාගම් අතර සම්පත් බෙදාගන්න යුද්ධ,ආණඩු පෙරලීම්, කුමන්ත්‍රන අටවපු හැටි ගැන, චිලිවල ඉන්දුනිසියාවල යුගොස්ලොවියාවල උදාහරණ එක්ක කතාකරමු. පරිධියේ රටවල ශ්‍රමිකයන්ගේ ශ්‍රමය මහා සමාගම් විසින් තුට්ටු දෙකට සූරාකමින් සමෘද්ධිය ස්වකීය රටවල ගොඩ ගසාගන්නා හැටි ගැන කතාකරමු.ලෝක ධනවාදය ගැන ධනවාදයේම ඇඩ්වොකේට්ස්ලා වුන ජෝන් පර්කින්ස්ලා අද කරන "පාපොච්චාරණ" ගැන කතාකරමු.ධනවාදය විසින් ලෝකයේ සම්පත් වලින් සියයට පනහකට ආසන්න ප්‍රතිශථයක් ලෝක ජනගණනයෙන් සියයට විස්සක් අත රඳවමින් දිලිඳු ම සියයට දහයට සියයට එකක් පමණක් ඉතිරි කරල තියෙන හැටි ගැන කතා කරමු.මේ "ජයග්‍රහණ" ගැනත් සදහන් කළොත් ධනවාදය ගැන ඔබේ විස්තරය සම්පූර්ණ වේවි.

පහත පළවන්නේ ටැබූ සබ්ජෙක්ට්ස් හා අප අතර සංවාදයක කොටසකි.

taboosubjects: ලේඛකයා වැරදි ලෙස වටහා ගෙන ඇති අන්දමට මේ කිසිවක් ධනවාදය නිසා ඇති වූ දේවල් නොවේ. දියුණු ධනවාදී සමාජ වල මෙහෙම විකාර සිදුවන්නේ නැත. මේ සියල්ල සිදුව ඇත්තේ අපට තවමත් වැඩවසම් සමාජයෙන් මිදී ධනවාදය කරා ගමන් කරන්නට බැරිවූ නිසාය. ඒ නිසා ධනවාදයට විකල්ප සෙවීමේ කිසිම අවශ්‍යතාවයක් නැත.

අප: ටැබූ සබ්ජක්ට්ස් වෙත,
බටහිර රටවල ධනවාදයේ ප්‍රජාතාන්ත්‍රික පදනම හා යහපාලනය පවත්වාගත හැකි ආර්ථික පදනම ගොඩනැඟෙන්නේ ලංකාව වැනි රටවල් නව යටත් විජිත ස්වරූපයකින් සූරාකෑම හරහාය. එවැනි අවස්ථා අහිමි පරිවාරයේ රටවල ධනවාදය සියලු පසුගාමී ලක්ෂණ කැටි කර ගනිමින් සිය අර්බුදය කළමනාකරණය කර ගනියි. ඒ රටවල ධනවාදය යනු සොරකමක් නම් මේ රටවල ධනවාදය යනු මහ දවල් මංකොල්ලයකි. මේ රටවල පාලකයන්ට ඇතැම් විට කොමිස් ගෙවන්නේ දියුණු ධනවාදී රටවල ව්‍යාපාරිකයන් විසිනි. අපේ හොරුන්ගේ ගිනුම් ඇත්තේ දියුණු ධනවාදී ස්විට්සර්ලන්තයේ බැංකුවලයි. ඔවුන්ගේ දෙව්ලොවෙහි පාදම අපේ අපායයි.

අවසාන වශයෙන් අප අලුතින් මේ කෙටි සටහන තබනවා.

ධනවාදය කියන්නේ නිෂ්පාදන සම්බන්ධතා රටාවක් මත පදනම් වූ ආර්ථික ක්‍රියාවලියක්. එහි මූලික පදනම තමයි ලාභය. ලාභ ලැබීම තමයි  ධනවාදයේ අරමුණ. නිදසුනක් ලෙස රාජපක්ෂ පවුල බලය තුළින් අපේක්ෂා කරන්නේ කුමක්ද? ජනතාවගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් අය කරන බදු මුදල් හා පොදු සම්පත් ව්‍යාපාරවල ආයෝජනයෙන්, ඒවා ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් ලෙස යෙදවීම හරහා කොමිස් ලැබීමෙන්, ඒවා පාලනය කරන වෘත්තිකයන් ලෙස ලබන වේතනවලින් ලාභ ලැබීම තමයි බලයට ඇති මේ කෑදරකමේ හේතුව. රාජපක්ෂ පාලනයේ ලාභ චේතනා තුළ තමයි ලංකාවේ ආයෝජන අවකාශය දිගහැරෙන්නේ. ඒ කියන්නේ සෙසු ලාභ උපයන්නන් සිය අරමුණු ඉටු කරගත යුත්තේ රාජපක්ෂ පාලනයේ ලාභය තහවුරු වන අවකාශයක් ඇතුළෙයි. මේක තමයි, ධනවාදයේ ලාංකීය පිටපත. මේක වැඩවසම්වාදය කියා හඳුනාගන්න අය වැඩවසම්වාදය කියන්නේ කුමක්ද යන්න මොන්ටිසෝරි ගිහින් ඉගෙන ගන්න.

මේ ලාභ අරමුණ ආර්ථික අවකාශයෙන් ඔබ්බට මුළු සමාජ දේහය තුළමත් පිළිකාවක් වගේ පැතිරිලා ඉවරයි. මිනිස් සම්බන්ධතා මෙසේ පිරිහී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. මෑත සාපරාධී සිද්ධි විග්‍රහ කරලා බලන්න. ඒවා පිටුපස තිබෙන්නේ ධන තෘෂ්ණාව, අධික කාමාශාව හා පරිභෝජනවාදය. බුදුදහම අනුව නම් තෘෂ්ණාව. මේ ලාභ පසුපස හඹායාම ධනවාදය නොවේනම් වෙන කුමක්ද?

"වනචාරී ම්ලේච්ඡත්වයයි පරපීඩා කාමුකත්වයයි මේ මිනි මරණ එකයි ඒවායේ වීඩියෝ බලන එකයි ධනවාදයේ වෙළඳ පොලේ අප්සට් එකක් නොවෙයි අපේ ධනවාදය හරියට ආපු නැති වැඩවසම් ගෝත්‍රික මනස නිසා. ධනවාදය ගෝත්‍රික සබඳතා විනාශ කරනවා."යි සිතා සිටින උදිත ගැන කණගාටුවීම හැර අපට වෙන දෙයක් කරන්න නැහැ.

ධනවාදය මැක්කාගේ කතාව වගේ නොවෙයි. එය මේ වනවිට මිනිස් සමාජය තුළ ශීඝ්‍රයෙන් පැතිරී යන පිළිකාවක්. මේ විනාශය හඳුනාගන්න බැරිවීමත් මේ රෝගයේම ලක්ෂණයක්. අපි ධනවාදය ගැන කතා කරන්ඒ නිසායි.

අප වගේ පරිවාරයේ රටවලට මේ වගේ ඛෙදවාචකයක් හිමි කරදීමෙන් ඉසුරුමත් වී තිබෙන කේන්්‍රයේ ධනේශ්වර රටවල ධනවාදය තුළ මිනිස් අර්බුදය ප්‍රකාශ වන්නේ වෙනස් ආකාරවලට. නිදසුනක් ලෙස, ලෝකයේ ජීවත්වීමට හොඳම රට ලෙස සැලකෙන ස්විට්සර්ලන්තයේ සියදිවිනසාගැනීමේ අනුපාතිකය හා මානසික රෝගවලින් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව ඉතා ඉහළයි.

අප යෝජනා කරන සමාජවාදය කියන්නේ ඒ පිළිකාවට එරෙහිව කරන අරගලයක්. මේක ජවිපෙ විසින් තොරොම්බල් කරනු ලබන සමාජවාදය එක්ක පටලවාගන්න එපා. අපි කරන්නේ බලය ලබාගන්න කුමන්ත්‍රණයක් නොවෙයි.

අපි කියන්නේ සමාජවාදය සඳහා අරගලය සමාජ, සංස්කෘතික, ආර්ථික, දේශපාලන තල සියල්ල හරහා විහිදෙන නොනිමි අරගලයක්ය කියලායි. එය නව මිනිසත්භාවයක් සඳහා අරගලයක්. ඔබත් එයට එක්වන්න. ධනවාදය හඳුනාගන්න. නව සමාජවාදියෙක් වන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. //ධනවාදය මැක්කාගේ කතාව වගේ නොවෙයි. එය මේ වනවිට මිනිස් සමාජය තුළ ශීඝ්‍රයෙන් පැතිරී යන පිළිකාවක්. මේ විනාශය හඳුනාගන්න බැරිවීමත් මේ රෝගයේම ලක්ෂණයක්. අපි ධනවාදය ගැන කතා කරන්නේ ඒ නිසායි.//
    මේ විදියට බැලුවම පැරකුම් පිළිකාවේ රෝග ලක්ෂණයක් තමයි බ්ලොග් තාක්‍ෂණය ,ගුගල් බ්ලොගර් වගේ දේවලුත් ඔබ මේ බ්ලොග් සටහන් ලියන්නේ ධනවාදයේ පිළිකා සෛල උඩම නේද?
    අජිත් පැරකුම් ජයසිංහ ඔබගේ මේ පුපුරා යෑම මා බලාපොරොත්තු වූවා හැබැයි මම හිතුවා ඔබ මිට වඩා සංවිධිත පිළිතුරක් දෙයි කියා. ඇයි මේ තරම් කලබලේට ඉක්මන් වුයේ. ඉක්මනින් පීලිතුරු දෙන්නම් ලිපියකින්ම. දැනට කියන්නට ඇත්තේ යෝකර් පන්දුවක් දැමීමට ගොස් කලබලේට ඔබ එවා ඇත්තේ ෆුල් ටොස් පන්දුවක් බවයි.
    මෙතන ඔබ ටැබූ සබ්ජෙක්ට කියපු දේවල් පලකරලා කෝ ටැබූ ඔබට දුන් පිළිතුරු ????
    //මේකත් ධනවාදයේ තවත් 'වර්ෂන්' එකක් මිස රාජ්‍යවාදයක්වත් වැඩවසම් ආර්ථිකයක්වත් වෙන මුකුත් කෙහෙල්මලක්වත් නෙමෙයි."(ලංකාවෙ තියෙන්නෙ වැඩවසම් ආර්ථිකයක් කියල කියන කෙනෙක් එක්ක වාද කිරීමත් තෙරුමක් නැති දෙයක්.ඒ ප්‍රකාශයෙන්ම ඔහුට විෂය ගැන තියන දැනුම පේන හින්ද)//

    වැඩවසම් ආර්ථිකයක් ලංකාවේ පවතිනවා කියා මා නම් කිසි විටක කිසිතැනක කියා නැත. මෙය ඔබ අතේ පැල කර කියන කෙප්පයකි
    ධනවාදී ආර්ථික ක්‍රමය හා ධනවාදී සංස්කෘතිය වෙන් කර ගත නොහැකිව ගඟේ යන්නේ ඔබයි. ලංකාවේ 77 ජේ ආර් ධනවාදී ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකිරීමෙන් පසුව උවද ලංකාවේ ධනවාදී ආර්ථික පදනම මත ධනවාදී ශිෂ්ඨ සංස්කෘතිය බිහි වූයේ නැත. ඒ වෙනුවට තවමත් ඉන්නේ අතීත ගෝත්‍රික වැඩවසම් මනසක් සහිත BMW ලම්බෝගිනි එකේ යන ඔලුව සිංහ භාහු කඳ ලෑම්බෝගිනි මිනිසෙකි. මේ සිංහභාහු පිස්සු කෙලින විට ඔබ මැක්කාගේ කතාව මෙන් ධනවාදයට දෙස් දෙවොල් තියයි. ඇමරිකාව තුල ඇත්තේ ධනවාදී නිෂ්පාදන මාදිලියක් පමණි එහි මාක්සියානු අර්ථයෙන් උපරි වහුහයක් නැත. ලංකාවේ කිසිවක් නිෂ්පාදනය නොකරයි ධනවාදී වෙළඳ සේවා ආර්ථික පදනමක් මත වැඩවසම් ශේෂ පමණක් නොව වික්ටෝරියානු බහුබූත ශේෂද අඩංගු පවුල් ගෝත්‍රවාදී උපරි ව්‍යුහයක් ද අවශේෂව පවතී. මිනිස් ශරීරය මත තිබෙන අතීත වැඩවසම් හිස (මනස) සුන්නත් කොට මිනිස් හිසක් බද්ධ කිරීම මිස මනෝරාජික සමාජවාදය කරා යෑම ලංකාවේ ගැටලුවට විසඳුමක් නොවේ.
    ඔබ පිළිකාවක් කියා පිළිකෙව් කරන ධනවාදයේ විස්මිත නිෂ්පාදන නිසා අද බිලියන ගණන් මිනිසුන් කුසගින්නේ මිය නොයා ජිවත් වන බව ඔබ පිළිගන්නේ නැති බව දනිමි. නමුත් මතක තියාගන්න පැරකුම් ලෝකයම සමාජවාදය කරා ගියා නම් අද මුළු ලෝකයේම ඇත්තේ ලෝක සාගතයක් මිස අයි ෆෝන්, පරිගණක, අන්තර්ජාලය බිහිවූ ලෝකය නොවන බව.

    ReplyDelete
    Replies
    1. "මේ විදියට බැලුවම පැරකුම් පිළිකාවේ රෝග ලක්ෂණයක් තමයි බ්ලොග් තාක්‍ෂණය ,ගුගල් බ්ලොගර් වගේ දේවලුත් ඔබ මේ බ්ලොග් සටහන් ලියන්නේ ධනවාදයේ පිළිකා සෛල උඩම නේද?"

      මිනිස් සමාජයේ සියලු ජයග්‍රහණ ධනවාදය නිසා සිදු වූ දේ නොවෙයි. ගණනය සඳහා රෝමන් ඇබකසය භාවිතාකිරීම සිදු වී තිබෙන්නේ ක්‍රි.පූ. 2400දී පමණ, ධනේශ්වර ක්‍රමයට බොහෝ පෙර. අනෙක ධනවාදයත් එක්ක අපට තිබෙන ගැටලුව මේ සමහර මිනිසුන්ට අල්ලපු ගෙදරත් එක්ක තිබෙන තරහ වගේ එකක් නොවෙයි. අපට තිබෙන ගැටලුව ධනවාදය දැන් මානව සමාජයේ සංවර්ධනයට අඩයක් ලෙස හැසිරීමයි. නිදසුනක් ලෙස, ඔබ කියන ඔය ගූගල්, බ්ලොගර් ගැන ලංකාවේ සමාජයෙන් අතිබහුතරය ‍කිසිවක් නොදන්නේ ඇයි? මේ සොයාගැනීම් මානව සංවර්ධනයට යොදාගන්න බැරිවෙලා තිබෙන්නේ ධනේශ්වර ක්‍රමය විසින් ඇති කර තිබෙන සම්පත් බෙදීයාමේ විෂමතාව නිසා. මෙය දිනෙන් දින වැඩිවන දෙයක්. ධනවතුන් තව තවත් ධනවත් වෙද්දී දිළින්දෝ තව තවත් දිළිඳු වෙනවා.

      "ඇමරිකාව තුල ඇත්තේ ධනවාදී නිෂ්පාදන මාදිලියක් පමණි එහි මාක්සියානු අර්ථයෙන් උපරි වහුහයක් නැත. ලංකාවේ කිසිවක් නිෂ්පාදනය නොකරයි ධනවාදී වෙළඳ සේවා ආර්ථික පදනමක් මත වැඩවසම් ශේෂ පමණක් නොව වික්ටෝරියානු බහුබූත ශේෂද අඩංගු පවුල් ගෝත්‍රවාදී උපරි ව්‍යුහයක් ද අවශේෂව පවතී. මිනිස් ශරීරය මත තිබෙන අතීත වැඩවසම් හිස (මනස) සුන්නත් කොට මිනිස් හිසක් බද්ධ කිරීම මිස මනෝරාජික සමාජවාදය කරා යෑම ලංකාවේ ගැටලුවට විසඳුමක් නොවේ."

      ඔබ කියන දේ පැහැදිලි නැත. ඔබ කියන ධනවාදය ඇමරිකාවේත් නැති දෙයක්ද?

      ඔබට යමක් පැහැදිලිව ලියන්න බැරි හේතුව තිබෙන්නේ ප්‍රාථමික අධ්‍යාපනයේ. එයට හේතුව තමයි, ඔබට යමක් කියවා තේරුම් ගැනීමේ මූලික අවබෝධය නැතිකම. අපේ සටහනේ අන්තිම ඡේද දෙක නැවත කියවා තේරුම්ගන්න උත්සාහ කරන්න.

      "මතක තියාගන්න පැරකුම් ලෝකයම සමාජවාදය කරා ගියා නම් අද මුළු ලෝකයේම ඇත්තේ ලෝක සාගතයක් මිස අයි ෆෝන්, පරිගණක, අන්තර්ජාලය බිහිවූ ලෝකය නොවන බව."

      මේ ඉතා දිළිඳු දාර්ශනික අදහසක්. එහෙම වුණානම්, මෙහෙම වෙනවා. ඒ නිසා මෙහෙම වුණ එක හොඳයි කියන එකනේ මෙහි තේරුම. උදිත ගමනක් යනකොට තුන්මංහන්දියක් හමුවෙනවා. පාරවල් දෙකම යන්නේ කොහේටද කියා ඔහු දන්නේ නැහැ. ඔහු අහඹු ලෙස පාරවල් දෙකෙන් එකක් තෝරාගන්නවා. ටිකක් දුර යනකොට ඒ පාරේ කොටි ඉන්නවා. එතකොට උදිත කියනවා, මේ පාරේ ආ එක හොඳයි, අර පාරේ ගියානම් අපට හමුවන්නේ අලින්ය කියලා. ඔබගේ චින්තන විධිය ගැන ඇතිවන්නේ දුකක්. මේකත් ධනේශ්වර අධ්‍යාපනයේ ගැටලුවක්. මන්ද, එය නදහස් චින්තනයට දිරිදෙන එකක් නොවෙයි. මෙවැනි මිථ්‍යාවන් ප්‍රවර්ධනය කරන එකක්.

      මේ තර්කනය ඔස්සේම ගොස් ඔබ කියනවා "ධනවාදයේ විස්මිත නිෂ්පාදන නිසා අද බිලියන ගණන් මිනිසුන් කුසගින්නේ මිය නොයා ජිවත් වන බව ඔබ පිළිගන්නේ නැති බව දනිමි." කියලාත්. ඒ කියන්නේ ඔබ එහෙම විශ්වාස කරනවා.

      ඔබ ජීවත් වන්නේ පෘථිවියේද? නැතිනම් වෙනත් ග්‍රහලෝකයකද?


      Delete
    2. //මේ ඉතා දිළිඳු දාර්ශනික අදහසක්. එහෙම වුණානම්, මෙහෙම වෙනවා.//
      මම කියන්නේ දාර්ශනික දෙයක් නොව ලෝක අත්දැකීමකි. ඔය පාරේ ගිය අය එකෙක්වත් ආපසු ආවේ නැත. පසුගිය සියවස පුරා මිනී බිලියන ගණන් වලින් මරා ජයගෙන සමාජවාදය කරන්නට රටවල් කීයක් උත්සාහ ගත්තාද? කෝ ඒ රටවල් වලට මොකද උනේ. අන්තිමේදී ජිවිතත් නැතිවෙලා මිනිස්සුන්ට කන්නත් නෑ සමහර රටවල් තාම විඳවනවා. තෙල් සල්ලි නැත්නම් වෙනිසියුලාවත් හොම්බෙන් තමයි යන්නේ පැරකුම්. ඔයාල අතීතයෙන් පාඩම් ඉගෙන නොගන්නා එක උසස් අධ්‍යාපනයේ වරදක් වෙන්න ඇති.

      //"ඇමරිකාව තුල ඇත්තේ ධනවාදී නිෂ්පාදන මාදිලියක් පමණි එහි මාක්සියානු අර්ථයෙන් උපරි වහුහයක් නැත. ලංකාවේ ...."//

      මේ මා කියූ කොටස ඔබට නොතේරෙන ඒක මගේ ප්‍රාථමික අධ්‍යාපනයේ වරදක් යැයි සිතීම සාධාරණය. මොකද ඉතා විශාල අදහසක් කොමෙන්ටුවක් තුල ඉතා සංක්ෂිප්ත ලෙසයි මා කියා ඇත්තේ මෙය ඔබට දීර්ඝව තේරුම් කර දීමට මෙහි නොහැක මේ කියන්නේ මොකක්ද යන්න ඔබගේ කොළඹ වාමාංශික මිතුරකු වන මැක් පෙරේරාගෙන් අසාගන්න ඔහුට නම් මෙය හොඳින් තේරෙන බව දනිමි.
      //මේ සොයාගැනීම් මානව සංවර්ධනයට යොදාගන්න බැරිවෙලා තිබෙන්නේ ධනේශ්වර ක්‍රමය විසින් ඇති කර තිබෙන සම්පත් බෙදීයාමේ විෂමතාව නිසා.//
      මෙහි සම්පත් බෙදී යාම කියන්නේ කුමක්ද? ඔබ මේ කියන්නේ නිෂ්පාදනයට පෙර තියන ස්වභාවික සම්පත් ද එහෙම නැත්නම් යම්කිසි කෙනෙක් දෙයක් නිෂ්පාදනය කිරීමෙන් පසු එම නිෂ්පාදිතය ගැනද මේ සම්පත් මොනවාද දෙවියන් නිකම් මවල දෙන දෙයක්ද? හැමෝම සමසේ බෙදා ගන්න? වම්මුන්ට අනුව කවුරුහරි මහන්සිවෙලා දෙයක් හැදුවම ඒක පුද්ගලික දේපලක් නොවෙයි හැමෝටම අයිති සමව බෙදා ගත යුතු සම්පතක්. දෙයක් ඉතින් හැම කම්මැලි තක්කඩියෙක් එක්කම මේක බෙදා ගත යුතුයි. ඕක තමයි පැරකුම් සමාජවාදයට කෙල වෙලා සාගත ඇතිවන සරල වැරැද්ද. තමාගේ නිෂ්පාදන ආණ්ඩුව හරි පක්ෂය හරි පොදු සම්පතක් කියල බලෙන් අරගෙන බෙදන්න ගන්නවා ටික දවසකින් එකෙක්වත් නිෂ්පාදනය කරන්නේ නෑ. සමව බෙදන්න බලන් ඉන්න උඹල වගේ පක්ෂ නායකයෝ හිතනවා සම්පත් කියන දේ ඉබේ පහල වෙනවා අපි වගේ හිත හොඳ වමේ නායකයෝ මේවා සමානව බෙදල දෙන එකයි කරන්න ඕන කියල. අන්තිමට ඒ රටවල ඉතුරුවෙන්නේ බෙදන අය විතරයි.හදන අය නැතිවෙලා යනවා.

      Delete
    3. //සමාජවාදය කරා ගියා නම් අද මුළු ලෝකයේම ඇත්තේ ලෝක සාගතයක් මිස අයි ෆෝන්, පරිගණක, අන්තර්ජාලය බිහිවූ ලෝකය නොවන බව.//

      අයි ෆෝන් සොයා ගත්තා යනු ධනවාදය නොව. ධනවාදයේ ප්‍රතිඵලයක් ද නොව. ආමරිකාවෙන් හඳට රෝකට් යවන විට සොවියට් දේශයෙන් ද තරගෙට වාගේ රෝකට් යැව්වේද සෝවියට් දේශයේ ධනවාදය බිහිවී නොව. සමාජවාදී පරිසරයක් තුළය. සෝවියට් දේශය එම කාල වකවානුවේදී අනෙක් රටවලට ද අත දීමට මැදිහත් වූයේ එකී රටවලට සමාජවාදය කියා දීමට මිසක, ධනේශ්වරයේ ගොදුරක් කර සූරා කෑමට ද නොව.

      අයි ෆෝන් එකේ තනි අයිතිය අදාළ නිෂ්පාදකයාට ලැබෙනුයේ කෙසේද කියා සොයා බැලුවොත් නරක ද? ඔහු ධනේශ්වරයේ හාස්කමකින් එකවර අයි ෆෝන් එකක් සෝයා ගත්තා ද? නැතිනම් අදාළ නිෂ්පාදන සඳහා මංපෙත් වැටී තිබුණේ කෙසේද. හොඳින් සොයා බැලුවිට වැටහේවි. එය සමාජයේම දායකත්වයෙන් ලැබුණ ප්‍රතිඵලයක් බව.

      කිතුනුවෝ මිනිසා බිහි කළේ දෙවියන් බව කියයි. (දනේස්වරයන් අයි ෆෝන් එක තනි පුද්ගලයෙකුගේ නිර්මාණයක් යැයි කියයි. මේ අනුව දෙවියන්ද ධනේශ්වර උල්පතකි.) අවසානයේදී පරිණාමවාදය පිළිගැනීමට කිතුනුවන්ට සිදුවේ. එවිට තම ප්‍රකාශයෙන් ගැලවීම උදෙසා පාප් වහන්සේ කියනුයේ අන්න ඒ මුල්ම ජීවියා බිහි කළේ දෙවියන් ය කියා. අවම වශයෙන් මුල්ම ජීවියා බිහිවූ ආකාරය ගැන විමසන්න පාප් වහන්සේ මෙන්ම, නිෂ්පාදනයක් බිහි වූ අයුරු විමසන්න ධනේශ්වරය ද මැලි වේ. (උපමාවක් පමණි, පාප් වහන්සේ හැල්ලු කිරීමක් නොව)

      සමාජවාදය තුළ බුද්ධියට, නිෂ්පාදනයට, ... විරාමයක් තබනවා කියා සිතීම සහ පැවසීම ධනේශ්වර ක්‍රමයේ විහිළුවකි/පුරුද්දකි.

      Delete
    4. දැන් රුසියාවට මොකෝ වෙලා තියෙන්නේ ? සාර්ථක වුනාද ? . සමාජවාදී කියාගත්ත චීනේ ජපනගෙයි සුද්දගෙයි බඩු කොපි කලේ මොකෝ ? දැනුත් කරන්නේ ධනවාදින්ගේ බඩු ලාබෙට හදන්න තමන්ගේ රටේ උන්ගෙන් වහලුන් විදිහට ශ්‍රමය ගන්න එක නේද ? ස්මාර්ට් ෆෝන් එපා ෆීචර් ෆෝන් එකක් වත් හදාගත්ත සමාජ වාදි රටක් තියේද ?

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. ඇමරිකාවේ ධනවාදී අර්ථිකය දැන් ආර්ථික අවපාතයේ, ධනවාදී දුප්පත් රටවල් කොච්චර තිබෙනවාද තවම ගොඩ එන්න බැරිව. ශ්‍රී ලංකාවේත් සමාජවාදයක් තිබෙනුයේ කියා දැන් ඇඟ බේරා ගන්න හදන අයත් සිටිනවා නේද. (සුළු සමාජවාදී වැඩ කිහිපයකුත් තිබෙනවා).

      සොවියට් වැටුනා නොව වැට්ටවීමට කටයුතු කළ බව නොදන්නේ ද. අද ඇමරිකාවට සමාජවාදයට වඩා මුස්ලිම් ව්‍යෘප්තවාදය ගැටලුවක් ඒ නිසා මුස්ලිම්වරුන්ගේ රටවලට පහර දෙන අයුරු මතක නැති ද?


      //ස්මාර්ට් ෆෝන් එපා ෆීචර් ෆෝන් එකක් වත් හදාගත්ත සමාජ වාදි රටක් තියේද ?// සොවියට් සමයේ ඇමරිකාව සමඟ තරගෙට අභ්‍යවකාශ ගමන් කළ හැටි අසා නැති ද. කොරියා, චීන, නිශ්පාදන ගැන අසා නැති ද? (උ. කොරියා, චීන නියම සමාජවාදී රටවල් කියා මා පිළිගන්නේ නැත) චීනය ආර්ථීක බලවතෙකු වෙමින් සිටින බව අසා නැති ද. කෙටිනේම කියනවානම් තවම පරිපූර්ණ සමාජවාදී හෝ ධනේශ්වර හෝ රටක් නිර්මාණය වී නැහැ.

      Delete
    7. ඇමරිකන් ජපන් කොම්පැනි වලට තමන්ගේ රටේ ශ්‍රමය තුට්ටු දෙකට හූරගන්න දෙන එකද චීනේ සමාජ වාදේ ? චීනය මුලින් කලේ අනුන්ගේ බඩු කොපි කරන එක , දැන් කරන්නේ ලාබෙට බඩු හදන එක . එහෙම නැතුව චීනේ අලුතින් හොයා ගත්ත කෙමනක් නෑ . ධනවාදි දකුණු කොරියාව නම් සැම්සුන්ග් , එල්ජී තමන්ගේම නිෂ්පාදන සමාගම් වලින් ලෝකෙට දැනෙන දෙයක් කලා . ධනවාදි රටවල උන්ගේ ඩිසයින්ග් වලට , ලමා ශ්‍රමිකයොත් දාගෙන වැඩ ගන්න චීන සමාජ වාදය නම් අපිට එපා . ඊලඟට මොන ආර්ථික බලවතා උනත් මිනිසුන්ගේ භාෂණයේ නිදහසත් අහිමි කරගෙන ඒකාධිපති පාලනයක් ගෙනියන් රටක ජනතාවට ධනවාදි රටක ජනතාවගේ ජීවන තත්වය ලඟ කරගන්න පුලුවන්ද
      ධනවාදයට වට්ටන්න පුලුවන් වුනා නම් සමාජවාදි සොවියට් දේශයේ ශක්තිමත් කම ඒකෙන්ම පේනවා නේ

      Delete
    8. //ඇමරිකන් ජපන් කොම්පැනි වලට තමන්ගේ රටේ ශ්‍රමය තුට්ටු දෙකට හූරගන්න දෙන එකද චීනේ සමාජ වාදේ ?//
      ඇමරිකන් ජපන් කොම්පැනි අන් රටවල ශ්‍රමිකයන් සූරන් කන එකද ධනවාදය?
      //චීනය මුලින් කලේ අනුන්ගේ බඩු කොපි කරන එක//
      ඇමරිකාව වැනි රටවල් එසේ බඩු කොපි කිරීම පුරුද්දක් කර ගන්නේ නැතිව අනිත් රටවල බුද්ධිමත් ජනතාව කොල්ල කනවා.
      //දැන් කරන්නේ ලාබෙට බඩු හදන එක//
      එය ඔහුන් ගේ ආර්ථිකය සකසා ගන්න ක්‍රමයක්. (ඇමරිකාව තිරිගු වවනාව කියා අපි තිරිගු වැවිය යුතු නැහැ) අඩු මිල සංස්කරණ පමණක් නොව වැඩි මිල සංස්කරණ ද තිබෙනවා. අපේ රටේ බොහෝ යාන්ත්‍රික උපකරණ චීන නිෂ්පාදන. හේතුව මිල අඩුයි. අපිට වැඩි මිලට උපකරණ ගැනීමට ශක්තියක් නැහැ. ඔබ කියන්නේ කෙසේ හො ඇමරිකාව වැනි ධනවාදී (මෙතනදී අමතක නොකළ යුතුයි දුප්පත් ධනවාදී රටවල්) රටවල උපකරණ ගත යුතු කියාද. ඇමරිකාවට අවශ්‍ය එය විය හැකියි. අපේ රටේත් ආර්ථීකය 100% ක් විවෘත කළ පසු ඊට අවශ්‍ය අත පෙවීමට ධනවත් ධනවාදී රටවලට පහසුය.
      //ධනවාදි දකුණු කොරියාව නම් සැම්....// දකුණු කොරියාව ණය මත ඉදිකළ ධනවාදී ආදර්ශයක් පමණයි. ඔබ පෙර කී පරිදි කොපි උදාහරණයක් සැම්සුන් සමාගමට ළඟක දී අත් වූවා. ඔවුන්ට ඇපල් සමාගමේ කොපියක් කිරීම හේතුවෙන් ඇපල් විසින් නඩු පැවරීමක් සිදුවී ඇ. ඩො. බිලියනයක වන්දියක් ඉල්ලීම.
      //ධනවාදි රටවල උන්ගේ ඩිසයින්ග් වලට , ලමා ශ්‍රමිකයොත්// ඔබ එසේ කියනවානම්, එයයි ධනවාදයේ වෙස් මුහුණ. නැගී සිටින සහ දුප්පත් රටවල් පමණක් නොව ජනතාව සූරන් කෑම ය. ඒ සඳහා එවැනි රටවල් අන්දා, ඔවුන්ට සරිලන පසුබිම සූරාකෑමේ පසුබිම සදා ගැනීමට දර්ශනය ගොඩනඟිවී.
      //ධනවාදයට වට්ටන්න පුලුවන් වුනා නම් සමාජවාදි සොවියට්....// සොවියට් සමාජවාදය වට්ටන්න ඇමරිකාවට තිබූ උවමනාව (දැන් නම් ඇමරිකාවට මුස්ලිම් ව්‍යාප්තවාදයත් ගැටලුවක්) ඔබ අමතක කරන පාටයි. එමෙන්ම අනෙකුත් රටවල් ද ඇමරිකාවට අවනත නොවේ නම් ඒ රටවලට අදත් යොදන පීඩනය ඔබ අමතක කරනවා ද?

      Delete
    9. තරහා ගන්න එපා. යථාර්තය පිණිස මතවාදී අරගලයක් පමණී. පුද්ගලික තරහක් නොව.
      ස්තුතියි ෴

      Delete
    10. කම්කරුවන්ට අයිතිවාසිකම් නොදෙන , වෘත්තීය අරගලයක් කලොත් මැරුම් කන්න වෙන චීනේදි හැර අනික් රටවලදි ශ්‍රමය කොල්ල කන්න අමාරුයි , මහ ලොකු සමාජවාදී චීනේ එහෙම ඉඩ තියන නිසයි කරන්නේ . චිනේදි එහම කරන සමාගම් වලම ඇමරිකානු මුල් ආයතනයේදී සේවකයින්ට චීනෙ ගාණට සැලකුවොත් කොම්පැණිය වහන්නයි වෙන්නේ . තාම ප්‍රශ්නය ඉතුරුයි චීනය සමාජ වාදීද නැද්ද

      බුද්ධිමත් ජනතාව කොල්ල කනවා නෙවෙයි ඒ මිනිස්සුන්ට නිසි වටිනාකම ලබාදෙනවා ,

      මම ලංකාවට බඩු ගැනීමක් ගැන කිව්වද ? මම කථා කලේ චීනය සමාජ වාදය ඇතුලේ(චීනය සමාජවාදී නම් ) කිසිම නව්‍යතාවයක් නැති , හුදෙක ලාබ ශ්‍රමය මත පදනම් වෙච්ච ආර්ථිකයක් පමනයි කියන එක

      ඇපල් සැම්සුන්ග් නඩුව ඩිසයින්ග් පේටන්ට් එකක් මත සිද්ධ වෙච්ච දෙයක් , ඇපල් - සැම්සුන්ග් ලෝකේ ගොඩක් රටවල නඩු කියා ගන්නවා .පොඩි පොඩිතාක්ෂණික අංගයන් වල පේටන්ට් ප්‍රශ්න මිසක් මහ ලොකු කොපි කිරීමක් එතන නෑ , ඇපල් සමාගම බ්‍රිතාන්‍යයේදී සැම්සුන්ලට පැරදුනා ඔය නඩුවකින් ඒ නිසා චීන ගණයේ බාල කොපි කීරිමක් එතන නෑ . ඔය සමාගම් අතර තරඟය නිසා පාරිභෝගිකයින්ට නම් සිදුවුනේ වාසියක් . දකුණු කොරියාවට ඔය ආදර්ශන් රටක් ය කියන කථාව බ්ලොග් අවකාශය ඇතුලේ වාමාශිකයො නිතරම කියන කථාවක් . , දකුණු කොරියාව ආර්ථික , වගේම මානව සංවර්ධනයෙන් අත්කරගත්ත දේවල් වලින් භාගයක් සමාජවාදි කියන උතුරු කොරියාවට අත්කරගන්න බැරි වෙත්දි ඒ කථාවට හිනා වෙනවා ඇර කරන්න දෙයක් නෑ

      ඇමරිකාවට වුවමනාව තිබුනු පලියට වට්ට ගන්න පුලුවන් නම් ඉතින් ඒ සමාජවාදය ශක්තිමත් නැනේ සහෝදරී , මුස්ලිම් ව්‍යාප්තවාදය නම් ලෝකයටම ප්‍රශ්නයක් , ම්ලේච්ඡ ගෝත්‍රික දහමක් ලොව තීරණාත්මක බලයක් අතට ගැනීම වලක්වන්න ඇමරිකාවෙන් මොනම හෝ දායකත්වයක් ලැබෙනවා නම් මම අත්දෙකම උස්සල ඒකට එකඟයි . ඇමරිකාව තමන්ට අනුගත නොවෙන රටවලට පීඩනය යොදන බව හැබැව ,ඒක තමන්ගේ රටේ වාසියට ඔවුන් යොදාගන්න දෙයක් , ඒ වගේ හැකියාවක් අනික් රටවලට තිබුනා නම් උනුත් කරන්නෙ ඒකම තමයි (චීනය ,රුසියාව, ඉන්දියාව තම තමන්ගේ කලාපය ඇතුලේ ඔය වැඩේම කරනවා ) , යථාර්ථය තේරුම් අරන් ඇමරිකානු අවශ්යතාවන් තමන්ගේ වාසියට හරව ගන්නත් , එලිපිට ඇමරිකාවෙන් ගේම ඉල්ලලා ගඩාෆි අන්කල් ගිය දිහාවේ යන්නත් දෙකටම හැකියාව තියනවා !

      කිසිම තරහක් නැ මේ මම ලියන විදිහ

      Delete
    11. නැවත වෙනත් පොස්ට් එකකදී හහුවෙමු....

      Delete
  2. ලෝකේ කොහෙවත් නැති , කරන්න ගිහින් ඇනගත්ත . ලංකාවේදි කරන්න ට්‍රයි කරලා අන්තෙටම කුජීත වෙලා ගිය මනෝරාජික සමාජවාදීයො ගැනත් අනුකම්පා කරනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ . පහුගිය සියවස් භාගේ ඇතුලත පරිධියේ හිටපු (ඔබේ අර්ථ දැක්වීමට අනුව ) රටවල් කෙන්ද්‍රයට ගිය විදිහ අධ්‍යනය කලා නම් , ප්‍රශ්නය තියෙන්නේ ධනවාදයේද අපේද කියල තේරුම් යනවා . ඔබතුමාලාගේ විෂය දැනුම , තියරි ඔක්කොම තියෙයි . හැබැයි ඒවා කරන්න බෑ . වචන වලින් ලස්සන ලෝක මවාගෙන ඉන්න පුලුවන් . ප්‍රැක්ටිකලි ෆේල් සමාජවාදයේ ගැඹුරට හදාරන්න ගත කරපු වෙලාවේ ගංජා සුරුට්ටුවක් ඇද්දා නම් ඔයිට වඩා ලස්සන හීන බල බල ඉන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. සිරීපාදෙ යනව කියල කියමින් අංජිමලේ නගින්න ගිහිල්ලා ඇනගත්ත එවුන් දිහා බලාගෙන සිරීපාදෙ යන්න බෑ ඒක ෆේල් කියන්නෙ කොහොමද බුවා?

      Delete
    2. පසුගිය සියවස් භාගය තුළ පරිධියේ සිට ඇත්තටම කේන්ද්‍රයට ගියේ රටවල් කීයද කියාත් අධ්‍යයනය කරලා බලන්න. එකී අඩ සියවස තුළ ලෝක‍යේ දිළිඳුකම පිළිබඳ ප්‍රවණතාත් අධ්‍යයනය කර බලන්න. එතකොට ඔබට තේරේවි මේක අපේ පමණක් ප්‍රශ්නයක් නොවෙයි, මේ ක්‍රමයේ ප්‍රශ්නයක්ය කියලා.

      Delete
    3. @Mobileman- ඒ කියන්නේ තාම කවුරුත් ට්‍රයි කරලවත් නැද්ද හරියට . කරපු කෙනෙක් නැත්නම් ඕක සිරිපාදේ යනවා වගේ නෙවෙයි අනෝතත්ත විල හොයන්න යනව වගේ වැඩක් . තියරිය තිබුනට කරන්න පුලුවන්ද බැරිද කියලවත් තාම හොයාගෙන නෑ

      @Ajith - ඔබතුමා මනින නිර්ණායක මොනවාද කියන්න නම් මම දන්නේ නෑ . නමුත් සම්මතයේ රටක සංවර්ධන මනින ඒක පුද්ගල ආදායම , මානව සංවර්ධන දර්ශකය වගේ නිර්නායක අනුව මට නම් එහෙම ගිය රටවල් නිරීක්ෂණය කරන්න පුලුවන් . වැදගත්ම කාරණය මේ රටවල් ධනවාදය සාර්ථකව ක්‍රියාත්මක කරපු රටවල් වීම . සමහර රටවල් සාර්ථක වෙත්දි අනෙක් රටවල් පසුබසින්න හේතුව ඒ ඒ රටවල් අභ්‍යන්තරිකව ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති , ගැටුම් ආදිය මිසක් ක්‍රමයේ අසාර්ථක කමක් නෙවෙයි .දරිද්‍රතාවය ලෝක මට්ටමෙන් අඩු වීමක් තමයි පහල වගුව අනුව දකින්න තියෙන්නේ 2001-2012 අතර කාලයට දත්ත හොයා ගන්න පුලුවන් නම් ඔයිටත් පහට ගමන් කරල තියන බව දකින්න ලැබෙයි .(උදා ඉන්දියාවේ දරිද්‍රතාවයේ සීඝ්‍ර අඩුවීමක් පහුගිය අවුරුදු 10 ඇතුලත දකින්න පුලුවන් ). දරිද්‍රතාව අවම කරගනිමින් ඉන්න රටවල් බැලුවත් ඔවුන් අඩු වැඩි වශයෙන් ධනවාදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන බව නීරීක්ෂණය කරන්න පුලුවන් . ඔබතුමාලගේ සමාජවාදය ක්‍රියාත්මක කරපු රටක් තියනවාද උදාහරණයකට අරන් පෙන්වන්න ධනවාදයට වඩා සමාජවාදය සාර්ථකයි කියල ඔප්පු කරන්න .
      http://en.wikipedia.org/wiki/File:Percentage_living_on_less_than_$1_per_day_1981-2001.png

      Delete
    4. ශ්‍රී ලංකාවේ දිළිඳකම මනින නිර්ණායකයක් ලෙස ‘එක් පුද්ගලයෙකුගේ මාසික ආදායම රු 3612 කට වැඩි වීම සලකනවා‘ ඒ අනුව වර්තමානයේ ශ්‍රී ලංකාවේ දිළිඳකම 8% ක ප්‍රමාණයකට ගෙනවිත් තිබෙනවාලු. දැන් ඔය මහතුන් සිතා බලන්න 3612/- ක් කියනුයේ කුමන නිර්ණායකයක් ද කියා.
      එය නොතේරෙන අපේ ධනවාදී පාලන ගිජු ලිහිණියෝ දැන් රට සංවර්ධනයි කියනවා. එත් තාම මේ රට 3 වෙනි ලෝකේ රටක්. පාලන පංති කීයක් රට කළා ද?
      මෙහෙම කියනකොට තව කෙනෙක් කියාවී මැතිනිගේ සමාජවාදයටත් බැරි වූවා කියා. නමුත්, මැතිනීගේ තිබුණේ ඊනියා සමාජවාදයක් බව අමුතුවෙන් කිව නොයුතුයි කියා සිතනවා.

      අනිත් කාරණය තමා තවම පූර්ණ සමාජවාදී හෝ පූර්ණ ධනවාදී රටක් බිහිවී නැති බව. එබැවින් පූර්ණ ධනවාදී රටක් ද පෙන්විය නොහැකියි. අවම වශයෙන් වැඩවසම් ක්‍රමය හෝ තවම තුරන් වී නැත.

      Delete
  3. මට පොඩි ප්‍රශ්නයක් තියනවා අජිත් ගේ අලුත් කෙටි සටහනෙ පලවෙනි පරිච්ඡේ දය ගැන, ඒකෙ කියන හැටියට සමාජවාදය කියල දෙයක් තියෙන්න විදියක් නෑනෙ, මොකද ඒකත් ධනවාදයේම වර්ශන් එකක්නෙ.

    /"ජනතාවගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් අය කරන බදු මුදල් හා පොදු සම්පත් ව්‍යාපාරවල ආයෝජනයෙන් ....... ඒ කියන්නේ සෙසු ලාභ උපයන්නන් සිය අරමුණු ඉටු කරගත යුත්තේ රාජපක්ෂ පාලනයේ ලාභය තහවුරු වන අවකාශයක් ඇතුළෙයි"/

    ඉතින් සමාජවාදයෙදිත් ඔයාල කරන්න හදන්නෙ පුලු පුලුවන් උන්ගෙන් අරගෙන පුලුවන් උන්ටයි, බැරි උන්ටයි, පාලනය කරන උන්ටයි "සමානව" බෙදා ගැනීම නේද. එතකොටත් ලැබෙන කොටස "කුඩා" උනත් (ශුවර් නෑ ඇත්තටම ) කිසිම නිශ්පාදනයක් නොකරන පාලනය කරන උන් උන් කරනවා කියන පාලනය වෙනුවෙන් ලාභයක් නෙවෙයිද ගන්නෙ?

    ප්‍රශ්නෙ අහන මම මෙලෝ යකෙක් එන්නෙ නැති පොඩි ආතල් බ්ලොගක් ලියන එකෙක්, මම දන්න සමාජවාදයි දනවාදයි නැත, නමුත් හිතට නැගුන ප්‍රශ්නයකි. බ්ලොග් අයිතිකරුට අවශ්ය නම් මගේ ප්‍රොෆයිල් එක එවන්නම් ඔහුට පමනක්.

    ReplyDelete
    Replies
    1. සමාජවාදය කියන්නෙ //පුලු පුලුවන් උන්ගෙන් අරගෙන පුලුවන් උන්ටයි, බැරි උන්ටයි, පාලනය කරන උන්ටයි "සමානව" බෙදා ගැනීම// නෙවෙයි ඇනෝ ඊට වඩා ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. සරදියෙල්ලා ස්පාටකස්ලා එහෙම ඔයාගෙ තියරියට කිට්ටුවෙන් ගියා.

      Delete
    2. ඒකනම් ඇත්ත සමාජවාදය කියන්නේ මාර සංකීර්ණ දෙයකි කිසි කෙනෙක්ට මේ දක්වා හරියට කර ගැනීමට බැරි වුයේ එබැවිනි.
      ධනවාදය නම් ඉතා සරල දෙයකි එහි සංකීර්ණ තියරි නැත. ධනවාදයේදී ඔබ ඔබේ මනස හා ශ්‍රමය යොදවා දෙයක් නිපදවන්නේද එම භාණ්ඩය ඔබේ පුද්ගලික දේපළකි. එය පරකුම්ලා කියන පරිදි ඔබ කැමති වුවද නැති වුවද සමව බෙදාගත යුතු දෙයක් නොවේ. ධනවාදය එම භාණ්ඩයට ඔබේ අයිතිය තහවුරු කරන අතර එය ඔබට පරිබෝජනය කල හැක අවශ්‍ය නම් නිදහසේ ඔබ කැමති කෙනෙක්ට ඔබට විකිණිය හැකි මිලකට නිදහසේ වෙළඳපොලේ විකිනීමට ඇති අයිතියද තහවුරු කරයි. ඔබට ඕනනම් ස්වේච්චාවෙන් මෙය බෙදා ගැනීමටද පුළුවන. රජයේ හෝ පක්ෂයේ බලහත්කාර කම මෙහි නොමැත.

      Delete
    3. අප සමාජවාදය යයි කියන්නේ ඔබ සමාජවාදය යයි සිතාගෙන සිටින දෙයට නොවේ. කෙසේ වෙතත්, නැගෙනහිර යුරෝපයේ මූලිකත්වයෙන් ලෝකයේ ක්‍රියාත්මක වූ 'සමාජවාදය' ගැන අපට විවේචනයක් තිබෙනවා. ඒ වගේම එය සමාජවාදය සඳහා අරගලයේ සාධනීය උත්සාහයක් ලෙසත් සලකනවා. අපි සමාජවාදය යයි කියන්නේ සදා නිම කළ උත්තරයකට නොවෙයි. විකල්පයක් සඳහා අරගලයකට. මේක අපි ඉතා පැහැදිලිව ඉහත ලියා තිබෙනවා.

      මේ පිළිබඳව අප මීට පෙරද ලියා ඇත. පසුව නැවත පැහැදිලි කරන්නම්.

      Delete
    4. උදිත, ඔබ ධනවාදය සරල තියරියක් ලෙස බොහොම පහසුවෙන් කියන්නේ දැන් නේ. අවුරුදු සියගානකට කලින් ඔබ වැන්නන් ධනවාදය ගැන කතාකරන්න ඇත්තෙත් ඔය ආකාරයෙන්ම වන්නට ඇති. පවතින ක්‍රමය සෙලවිය නොහැකියි කියන අදහස ශක්තිමත්ව සහ ව්‍යාප්තව පැවතීම ක්‍රමයට අවශ්‍යමයි. ඔබ සහ බුවා වැන්නන් දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම ක්‍රමය වෙනුවෙන් පෙනී සිටීම තේරුම් ගත හැක්කේ ඒ අනුවයි. ධනවාදය සරලයි; සමාජවාදය සංකීර්නයි; කොහේවත් ප්‍රැක්ටිස් කරලා නැහැ; ආදී ලෙස ඔබ තුලින් ප්‍රකාශ වන්නේ පවතින ක්‍රමය ඔබ සහ මා තුල කොතරම් කා වැදී ඇද්ද සහ පවතීන ක්‍රමය වෙනස් කිරීම කල නොහැකියි යන අසාර දර්ශනයයි.

      ඇත්ත. සමාජවාදය සංකීර්නයි තමයි. ඒකෙ විවාදයක් නැහැ. ලේකෙ පවතින යතාර්ථයන් හැමදේම සරල දේවල් නෙවෙයිනෙ. උදාහරන ලෙස විද්‍යාව තුල හමුවන දේවල් කොතරම් සංකීර්නද? සාපේක්ශතාවාදය හෝ තාරකා භෞතිකවාදය කොතරම් සංකීර්නද? ඇයි අපි එවැනි විශයන් ගැන පර්යේශන කරමින් යතාර්ථය සොයන්නට උත්සාහා කරන්නේ? සමාන සහ අසමානකම් (විශේශයෙන්ම ස්වභාවික සහ සමාජ විද්‍යාවන් අතර ඇති ) පිලිගන්නා අතර සමාජවාදයත් / මාක්ස්වාදයත් එවැන්නක් නොවේද? ඩාවින්වාදය අද අපි අතැඹුලක් සේ දනිතත්, එය මුලින්ම ප්‍රකාශ වන කාලයේ පොදුජන සමාජය එය කොතරම් සංකීර්න ලෙස ගත්තා වන්නට ඇද්ද?

      - Dimithri

      Delete
    5. උදිත
      //ධනවාදයේදී ඔබ ඔබේ මනස හා ශ්‍රමය යොදවා දෙයක් නිපදවන්නේද එම භාණ්ඩය ඔබේ පුද්ගලික දේපළකි.//
      ඔබේ මනස හා ශ්‍රමය යොදවා දෙයක් නිපදවන්නට හැකිවූයේ ඔබ මහා ආශ්චර්්‍යයමත් පුද්ගලයකු නිසාද? බිල් ගේට්ස් ඔපරේටින් සිස්ටම් එක හැදුවෙ ඔහු විසින් පමනක් සොයාගත් මහවිශාල දැනුමකින්ද? රයිට් සහෝදරයන්ගෙ සාර්ථකත්වයට අසාර්ථකවූ කීදෙනෙක් දායක වෙලා තියෙනවද?
      ලොක ශිෂඨාචාරය අද ඉන්න තැනට ඇවිත් තියෙන්නෙ අවුරැදු දහස් ගනනක පුද්ගලයන් ප්‍රකෝටි ගනනක දැනුම හා අත්දැකීම් එකතුවෙලා. සාර්ථකත්වය කියන්නෙ එක් පුද්ගලයෙකුගේ හො කීප දෙනෙකුගේ අයිතියක් නෙමේ. පුදගලික දේපල, පේටන්ට් අයිතිය සාධාරන නොවෙන්නෙ මේ නිසා. නිෂ්පාදනයට පොදු අයිතියත් ඇත්තෙ මේ නිසා.
      උදිත කැලේ නීතිය හරිම සරලයි. පුළුවන් එකා බැරි එකා අල්ලාගෙන කෑම තමයි කැලේ එකම නීතිය. කැලෙන් එලියට ඇවිත් පොඩි පොඩි වෙනස්කම් කර ගත්තට අපි තාමත් ඒ කැලෑ සත්තුම තමයි. ධනවාදය කියන්නෙ ලාභය කියන සතා අල්ලගන්න කරන සටනක්. ධනවාදය ඇතුලෙ මනුෂයය කියන්නෙ ශ්‍රමිකයෙක් සහ පාරිභෝගිකයෙක් විතරයි. අපි සමාජවාදය ගැන කථා කරන්නෙ මනුෂ්‍යය කියන්නෙ බුද්ධිමත් සහ මානුෂික ,දියුනු සත්වයෙක් කියන විස්වාසයකින්. ඒක ටිකක් සංකීර්න තමයි. හැබැයි සමාජවාදය අසාර්ථකනම් ඒකෙන් පේන්නෙ අපේ අසාර්ථක බව නෙමෙයි. අපි ඇතිකරගෙන තිබුනු ‘මනුෂ්‍යය කියන්නෙ බුද්ධිමත් සහ මානුෂික ,දියුනු සත්වයෙක්’ කියන උපකල්පනයයි.

      Delete
    6. @පැරකුම්
      මෙහෙම ගියොත් ඔබ සමාජවාදය කියන්නේ දැන් බලනකොට මම ධනවාදය කියන එකට වෙන්නත් පුළුවන්.

      @දිමිත්රි
      පවතින ක්‍රමය වෙනුවෙන් මම පෙනී සිටින්නේ නෑ.සර්ව පරිපූර්ණ වූ සමාජ ක්‍රම ඇත්තෙත් නෑ හදන්නත් බෑ හැම මොහොතේම මිනිස් සමාජයේ අඩුවක් වැරද්දක් පවතිනවා ඒ වැරැද්ද නිවැරිදි කරමින් යන අනවතර ගමනකයි මානවයා ඉන්නේ. සමාජවාදී ක්‍රමය මේ ප්‍රගමනය වලක්වලා කෘතිමව හදන මොඩල් එකකට දාන්න හදනවා. මම විරුද්ද මේ මොඩල් හදන එකටයි. අපි මිනිස් බුද්ධියට ඉඩ දිය යුතුයි.
      සමාජවාදයත් / මාක්ස්වාදය සාපේක්ශතාවාදය හෝ තාරකා භෞතිකවාදය වගේ දෙයක් නොවෙන්නේ ඒක මේ පරීක්ෂණය කරන්නේ මිනිස් ජිවිත එක්ක වීමයි. මිනිස්සු පරීක්ෂණාගාර මියන් නොවෙයි.

      @සයිබර් ලංකා
      ඔබ කියූ පලමු කාරණයට කෙටි පිළිතුරු නෑ. මෙතන ලියන්න බෑ.ඔබේ මතය හා එකඟ නෑ.
      ධනවාදය ඇතුලෙ මනුෂයය කියන්නෙ ශ්‍රමිකයෙක් සහ පාරිභෝගිකයෙක් විතරයි කියන්නේ ඔබයි. මා කියන්නේ ධනවාදය ඇතුලෙ විතරයි මිනිසාට නිදහස ලබන්න පුළුවන් කියල. මාත් ධනවාදය ගැන කථා කරන්නෙ මනුෂ්‍යය කියන්නෙ බුද්ධිමත් සහ මානුෂික ,දියුනු සත්වයෙක් කියන විස්වාසයකින්. එක නිසා අනුන් හදල දෙන සමාජවාදී මොඩල් එකක් ඇතුලේ දාල බලහත්කාරයෙන් දියුනු හැමෝටම බෙදන උත්තර මිනිසා හදන්න ඕන නෑ. මාක්ස් ලෙනින් පැරකුම් කියන විදියට ධනවාදය කියන්නේ බුදුදහම අනුව ධන තෘෂ්ණාව, අධික කාමාශාව හා පරිභෝජනවාදය, මේ ලාභ පසුපස හඹායාම කියන එකම නම් ,එහෙමනම් බුදුන්ට තිබුන මිනිස්සුන්ට බන කිය කියා ගම් දනව් ගානේ ජිවිත කාලය පුරා ඇවිදින්නේ නැතිව මාක්ස්වාදය වගේ බුද්ධවාදී සමාජ ක්‍රමයක් හදල රජතුමා ට දීල මෙන්න මේ විදියට කරනම් ඔක්කොම හරි කියල රජවරු සෙට් එකට විතරක් බන කියන්න.

      Delete
    7. බෞද්ධ ධර්ශනය කියන්නේ රට පාලනය කරන දෙයක් නොවේ උදිත. දේශපාලනය සහ ආගම බොහෝදුරට එකිනෙකට පරස්පරයි.
      මා ආගමක දැඩිව එළ්බ ගෙන නැහැ. නමුත්, ඔබ බුදු දහමේ කියැවෙන ලිච්ඡවි රජ දරුවන් ගැන අසා ඇති. බුදුන්වහන්සේ ඔවුන්ගේ පාලන ක්‍රමය සඳහා මූලික වූ ධර්මතාවයන් (දසරාජ ධර්මයන්) යහපත් සහ යෝග්‍ය බව අනුමත කළා.

      Delete
  4. දියුනු ධනවාදී සමාජයක ජීවත් වූ ජෝන්‍ ලෙනන් ඒ සමාජවල කම්කරුවා ගැන වරෙක ගීතයක් ලිවුවා A Working class hero කියලා.අපි ලෙනන්ට සවන් දෙමු.

    "As soon as you're born they make you feel small
    By giving you no time instead of it all
    Till the pain is so big you feel nothing at all
    A working class hero is something to be

    They hurt you at home and they hit you at school
    They hate you if you're clever and they despise a fool
    Till you're so ****ing crazy you can't follow their rules
    A working class hero is something to be

    When they've tortured and scared you for twenty-odd years
    Then they expect you to pick a career
    When you can't really function you're so full of fear
    A working class hero is something to be

    Keep you doped with religion and sex and TV
    And you think you're so clever and classless and free
    But you're still ****ing peasants as far as I can see
    A working class hero is something to be

    There's room at the top they're telling you still
    But first you must learn how to smile as you kill
    If you want to be like the folks on the hill

    A working class hero is something to be
    If you want to be a hero well just follow me"

    මෙහි,

    //Keep you doped with religion and sex and TV
    And you think you're so clever and classless and free
    But you're still ****ing peasants as far as I can see//

    සහ

    //There's room at the top they're telling you still
    But first you must learn how to smile as you kill
    If you want to be like the folks on the hill//

    කොටස් දෙක විශේෂ අවධානයට යොමු කරන්න කැමතියි.මේ ලියන්නෙ "මාක්ස්වාදියෙක්" නෙමෙයි.ධනවාදී සමාජයක ජීවත් වූ පොප් ගායකයෙක්.ලෙනන්.

    ReplyDelete
  5. උතුරු කොරියාව බටහිර යුරෝපයට වඩා හොදයි කියා හෝ මාඕ සේතුං යුගයේ චීනය එක්සත් ජනපදයට වඩා හොදයි හෝ කියා කවුරුත් කියනවා ඇතැයි මා සිතන්නේ නැහැ.මුලින්ම මේ දේ බේරගත යුතුයි.20 වන සියවසේ රාජ්‍ය පද්ධතියක් තිබුනා නැගෙනහිර යුරෝපය කේන්ද්‍ර කරගෙන "සමාජවාදී" නාමකරනය සහිත.සමාජවාදය ෆේල් යැයි කියන සියලු දෙනා තම තර්කය ගොඩනැගීමට පාවිච්චි කරන්නෙ මා රාජ්‍ය පද්ධතිය අවසන මුහුන දුන්න ඛේදජනක අත්දැකීම.එහිදී ඔවුන් සමාජවාදය සහ නැගෙනහිර යුරෝපා රටවල් පද්ධතිය එකිනෙක අනන්‍ය කොට තිබෙනවා.

    මම මගේ ප්‍රශ්න කිරීම එතැනින් අරඹන්න කැමතියි.එහෙම අනන්‍ය කිරීමක් සිදුකරන්නේ මන්ද?නැගෙනහිර යුරෝපා මොඩලයට වෙනස් වෙනත් මොඩලයක් සමාජවාදය සම්බන්ධයෙන් තිබිය නොහැකිද?ඒ මොඩලය අසාර්ථක වු පමනින් සමාජවාදය ගැන අදහස අසාර්ථක යැයි කියන්නේ කෙසේද?නැගෙනහිර යු‍රෝපීය මොඩලයේ ප්‍රධාන අභ්‍යන්තර දුර්වලතා දෙකක් මා දකිනවා.1.ඒ මොඩලය පදනම්ව තිබුනේ තනි රටක සමාජවාදය ගොඩනගන්න පුලුවනි කියන ඉදිරි දැක්ම මත.මේ ඉදිරි දැක්ම ෆේල්.ධනවාදය කියන්නෙ ජාත්‍යන්තර පරිමාන ක්‍රියාවලියක් නම් ඊට ගොඩනැගෙන විකල්පයත් එහි ස්වභාවයෙන්ම ජාතිකවාදය ඉක්මවූ එකක් විය යුතුයි 2. ඒ මොඩලය දේශපාලන ජීවිතයේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂන අහිමි කරගත්ත එකක්.ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර සමාජවාදයක් තිබිය නොහැකියි.එහෙම ගොඩනගන්නට යාමත් කෘතිමයි.අභව්‍යයයි.

    ( ඒ වගේම ඒ අඩුපාඩු හා විකෘතීන් මැද උනත් ඒ රටවල් වල සාපේක්ෂ ප්‍රගති සහගත තත්වයක් ඇති වූ බවත් මෙතැනදී අමතක නොකල යුතුයි.උදාහරනයක් විදිහට සෝවියට් රුසියාවේ සමාජ තත්වය සැසදිය යුත්තේ පූර්ව සෝවියට් යුගයේ ‍රුසියාවේ සමාජ තත්වයත් සමග.පැරනි රුසියාවේ අධ්‍යාපනය,සෞඛ්‍යය,නිවාස හා වැදගත්ම දේ - මිනිසාගේ සංස්කෘතික ජීවිතය වැනි දේවල් පැවතියේ කවර තත්වයක් යටතේද?සෝවියට් පාලනය තුල මේ දේවල් පැවතියේ කවර තත්වයක් යටතේද?උදිතගේ සුපිරි ධනවාදී එක්සත් ජනපදයේ ආශිර්වාදය ලත් බැටිස්ටාගේ පාලන සමය තුල කියුබාවේ ඒ දේවල් පැවතියේ කවර තත්වයක් යටතේද?පශ්චාත් විප්ලවීය කියුබාවේ ඒ දේවල් වල ස්වභාවය කවරක් වීද?සෞඛ්‍ය වැනි ඇතැම් ක්ෂේත්‍රයක ඇතැම් දර්ශක වලින් සුපිරි ධනවාදී අමෙරිකාවත් අබිබවා යන සංවර්ධිත මට්ටමක් හුදෙකලා දූපතක් වන කියුබාව අත්පත් කරගෙන තිබෙන්නේ කෙසේද?)

    මෙතැනින් එහාට සමාජවාදය ගැන කවුරු හරි කථා කරනවා නම් ඔහු නැගෙනහිර යු‍රෝපීය මොඩලයේ සාධනීයතා හා නිශේධනීයතා ගැන අවබෝධයක් සහිත විය යුතුයි.ඒ මොඩලය නැවත එලෙස ප්‍රතිස්ථාපනය කරන්න සිහි බුද්ධිය තියෙන කිසි කෙනෙක් කථා කරනු ඇතැයි මා සිතන්නේ නැහැ.වර්තමාන ධනවාදයේ අර්බුදය ශිෂ්ටාචාරයේ අර්බුදයක්.ජීවිතය යනු පාරිභෝගික භාන්ඩ කිහිපයක් පරිභෝජනය කරමින් සිටීම යැයි කල්පනා කරන විචාර බුද්ධිය අහිමි මනුශ්‍යයෙක් තමයි ධනවාදී සංවර්ධනයේ අවසන් නිමැවුම.උදාහරනයක් විදිහට උදිත ධනවාදී සංවර්ධනයේ නිර්නායකය විදිහට දක්වන්නේ බීඑම්ඩබ්ලිවු කාර් එකක්,අයි ෆෝන් එකක්.සමකාලීන සමාජයේ අපිට මුනගැහෙන්නෙත් උමතුවෙන් වාගේ අයිෆොන් හා එවැනි වෙනත් පාරිභෝගික භාන්ඩ පසුපස හඹායන,ඒ වෙනුවෙන් ඕනෑම කැත වැඩක් කිරීමට සැදී පැහැදී සිටින,අනෙකා හෝ සමාජය ගැන තැකීමක් නැති පරිභෝජනවාදී යන්ත්‍ර මිස මිනිස්සු නෙමෙයි.ධනවාදයේ මේ අවසන් නිමැවුම - විචාර බුද්ධියක් රහිත පාරිභෝජනවාදී කෑදර සත්වයා - ශිෂ්ටාචාරමය අර්බුදයක් මිස ජයග්‍රහනයක් නෙමෙයි.මනුශ්‍යත්වය ගැන වෙනස් කියැවීමක් තිබෙන ඕනෑම කෙනෙක්ට ධනවාදය ප්‍රශ්න කිරීමට සිදුව තිබෙන්නේ මෙන්න මේ ශිෂ්ටාචාරමය අර්බුදය නිසා.

    ReplyDelete
    Replies
    1. නුතන පාරිභෝගික භාණ්ඩ කැත වැඩ කිරීමට පමණක් සහ නුතන සමාජය විචාර බුද්ධියක් රහිත පාරිභෝජනවාදී කෑදර සත්වයා වෙත යනවා යැයි ඔබ සිතන්නේ ලංකාවේ එහෙම වෙන නිසා සහ ඔබ එදිනෙදා ජීවිතයේ දකින්නේ මේ දෙය පමණක් වන නිසාය.
      කණගාටුයි රාමා ඔබේ බලාපොරොත්තු හරි යන්නේ නෑ මිනිසා ඊට වඩා සුන්දර මොලයක් ඇති සත්ත්වයෙක්. ලෝකයේ වෙන්නේ මෙහි විරුද්ධ පැත්තයි. වඩාත් දියුණු පාරිබෝගික භාණ්ඩ භාවිතා කරමින් මිනිසා ගල් යුගයේ ම්ලේච්ඡත්වයේ සිට ඉදිරියටයි යන්නේ. දෙනෙත් හැර බලන්න ඔබේ ළමයින් ඔබට වඩා ශිෂ්ඨාචාරගත නැද්ද?

      Delete
    2. //නුතන පාරිභෝගික භාණ්ඩ කැත වැඩ කිරීමට පමණක් සහ නුතන සමාජය විචාර බුද්ධියක් රහිත පාරිභෝජනවාදී කෑදර සත්වයා වෙත යනවා යැයි ඔබ සිතන්නේ ලංකාවේ එහෙම වෙන නිසා //

      ලංකාවේ නොවන වෙනත් ධනවාදී සමාජවල ජිවත් වන්නේ පරිභෝජනවාදයෙන් මිදුනු වෙනස් මිනිස් වර්ගයක්ද?උදිත සිතන්නේ බටහිර ලෝකයේ රටවල් ගැන ජීවන අත්දැකීම් තිබෙන්නේ උදිතට පමනක් කියාද?ලංකාවේ මිනිස් සමාජය දිනෙන් දින පරිභෝජනවාදය සහ හුවමාරු භාන්ඩ අධිවන්දනාව තුල ගිලෙමින් මිනිස් වටිනාකම් අහිමිකරගනිමින් සිටින්නේ ඇයි?ඒ ධනවාදය නොවේ නම් වෙනත් හේතුවක් නිසාද?

      Delete
  6. පැරකුම් ( හෝ සමාජවාදී මහත්වරුන්ටයි ),

    ආරම්භයේදී ( කාර්මික විප්ලවයට පෙර )සරළ රේඛාවක සිටි යුරෝපීය සහ ආසියානු රටවල් අද වනවිට බටහිර කේන්ද්‍රීය වෘත්තයකට ගොනුවීමේ රහසත් ( විකෘතිවූ ) සමාජවාදය හෝ ( පූර්ණ ) ධනවාදය යන සංකල්ප දෙකම ආසියානු අප්‍රිකාණු රටවල අසාර්ථකව ( රටවල් තුන හතරක් හැර ) ඇත්තේත් මන්ද යන්න ගැනත් ඔබේ විග්‍රහය කුමක්ද? එමෙන්ම පිටුවහල් කල සිරකරුවන් පිරවූ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය වසර දෙසීයකින් ඔබ කියූ කේන්ද්‍රයට ලඟා වීමේ රහසත් පැහැදිලි කල හැකිද?

    ReplyDelete
    Replies
    1. උබට බ්ලොග් වල ගොන් පාට් දැමීමටයි, මිතුරෙකුට ණයක් දී උගේ චරිතය කෙලසමින් කාලය කෑමටයි ඇර පොතක් පතක් බලන්න වෙලාවක් ඇත්තෙම නැද්ද??

      Delete
    2. අභිත මොකද කේන්ති ගිහිං. ඉන්දිකගේ සල්ලි දෙන්නේ නැතිව ඇනෝ කමෙන්ට් දාන්නේ?

      Delete
    3. සමාජවාදය යනු මුදල් ණයට ගෙන නොදී සිටිමේ අයිතියයි! ධනවාදය යනු ඒ මුදල් ආපසු අයකරගත නොහැකි වූ විට තැන තැන බැන අඩගසමින් යාමට ඇති අයිතියයි.

      Delete
    4. කාර්මික විප්ලවයට පෙර රටවල් සම මට්ටමක තිබූ බව මිථ්‍යාවකි. එබැවින් ඒ ගැන කතා නොකරමි.

      බටහිර ලෝක ආර්ථිකයේ කේන්ද්‍රය බවට පත් වූයේ යටත් විජිත හා නව යටත් විජිත සූරාකෑම හරහා සෙසු රටවල දරිද්‍රතාව තම සමෘද්ධිය බවට පත් කර ගැනීමෙනි. ඒ කියන්නේ පරිවාරයේ රටවල ස්වභාවික හා මිනිස් සම්පත් සූරාගෙන එහි සාරය සිය රටවලට ඇදගැනීමෙනි.

      ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය පිටුවහල් කල සිරකරුවන් පිරවූ රටවල්ය යන්නද මිථ්‍යාවකි. වසර 200ක ඉතිහාසය තුළ මේ රටවල ශීඝ්‍ර සංවර්ධනයේ රහස වන්නේ ඒවා මුලදී මහා බ්‍රිතාන්‍යයේ සුදු ජනපද වීම හා ස්වදේශිකයන් නිර්දය ලෙස සංහාරය කිරීමෙන් දැවැන්ත ස්වාභාවික සම්පත් සම්භාරයකට උරුම කීමේ හිමිකම ලබාගැනීමයි. සුදු ජනපද ලෙස ඔවුන්ට කේන්ද්‍රයට ඍජු ප්‍රවේශය තිබිණි. ඒ ඔස්සේ නව යටත්විජිතවාදය තුළ ඔවුන්ට පුළුල් අවකාශයක් විවෘත විය.

      මේ රටවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ තිරසාරබවද මේ සංවර්ධනයට දායක වූ බව ඇත්තකි.

      Delete
    5. @AnonymousJanuary 13, 2013 3:05 PM,

      "මිතුරෙකුට ණයක් දී උගේ චරිතය කෙලසමින් කාලය කෑමටයි ඇර පොතක් පතක් බලන්න වෙලාවක් ඇත්තෙම නැද්ද"

      අනේ බොල භූතයො, දැං එතකොට ණය ගත්තු එකා ඒක ආපහු නොදීපු එක කියල උගෙ හෙළුව එලි කරපු එකයි, තවත් උන්ට පොලු වදින එක නතර කරපු එකයි තමා වැරැද්ද! උඹලගෙ සමාජවාදී උත්තරීතර අදහස් වෙන්නැති ඔය.

      උඹල වගේ හොරු තක්කඩි ඉන්නකල් සමාජවාදයවත් ධනවාදයවත් යථාර්තයක් වෙන්නෙ නෑ. ඇඟ වෙහෙසල වැඩ කරන්න, නිර්මාණාත්මකව හිතන්න බැරි, තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් කෙළින් කතා කරන්න, පෙනී සිටින්න බැරි භූතයො පිරිච්චි රටවල් වලට හැමදාම ඉන්න වෙන්නෙ මහ උන්ගෙ පතුල් ලෙවකන ගන්ධබ්බ වාදයෙ විතරයි.

      Delete
    6. //බටහිර ලෝක ආර්ථිකයේ කේන්ද්‍රය බවට පත් වූයේ යටත් විජිත හා නව යටත් විජිත සූරාකෑම හරහා සෙසු රටවල දරිද්‍රතාව තම සමෘද්ධිය බවට පත් කර ගැනීමෙනි.//
      ජපානය ,දකුණු කොරියාව සහ සිංගප්පූරුව ගැන කියන්නේ මොකක්ද ? උන් කාවද සුරා කෑවේ? දරිද්‍රතාවයේ ඉන්න රටවල සුරකන්න මොනවද තියෙන්නේ? මේක ඇවිල්ල නියම වමාෂික කුහක කම හදවතින් හොඳටම දන්නවා හරියට කරොත් ධනවාදය සාර්ථකයි කියල ඒ වෙනුවට වෙන වැල් වටාරම් බයිලයක් ගහනවා.

      Delete
    7. //ජපානය ,දකුණු කොරියාව සහ සිංගප්පූරුව ගැන කියන්නේ මොකක්ද ? උන් කාවද සුරා කෑවේ?//

      ජපානය - දකුණු කොරියාව - සිංගප්පූරුව ගැන පස්සෙ කථාකරමුකො.ඉස්සෙල්ලා අමෙරිකාව එංගලන්තය ප්‍රංශය ගැන කථා කරල ඉමුකො.උන් හූරගෙන කාල නෙමෙයිද කියල ඉමුකො ඔය කියන සමෘද්ධිය ගොඩනගා ගත්තෙ?

      Delete
    8. ඇයි පස්සේ?..ජපානය කෙටි කලකින් දියුණු උනේ කොහොමද?. අපිව හූරගෙන කාල නොවෙයි කියල තමයි මම කියන්නේ.ඒවා දියුණු වුනේ ධනවාදී අර්ථ ක්‍රමය නිසා කියලයි මම කියන්නේ. තායිලන්තේ පවා අපිට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්නේ ඇයි. ජේ වී පී එකයි වම්මුයි තමයි අපේ රට ජේ ආර් රනිල් මහින්ද බැසිල්ලාට වඩා කාල වනසල දැම්මේ. මහින්ද පාරක් හරි හදනවා උන් කලේ හදපු දේවල් කුඩු සංසාර කරල මිනී මරල ප්‍රචණ්ඩ සස්කෘතිය ආරම්භ කරලා රට අවුරුදු 50 ක් ආපස්සට ගෙනියපු එක විතරයි විකාර සමාජවාදය හදන්න කියන මායාවෙන් මත් වෙලා. පරකුම්ට ධනවාදීන් ඇවිල්ල එයාලගේ සහෝදරවරු මරපු තරහකාරයෝ. එතකොට එයාලගේ සහෝදරවරු කටට වෙඩි තියල මරපු අහිංසක මිනිස්සු ගැන මොකද්ද කියන්නේ?

      Delete
    9. ඔයා ප්‍රශ්නයෙන් මොකද මේ පැනල යන්නෙ කහඹිලියා ගැවිලා වගේ.ජපානය ගැන නෙමෙයි මම ඇහුවෙ.ධනවාදී අමෙරිකාව ප්‍රංශය බ්‍රිතාන්‍යය රටවල් හූරගෙන කෑවද නැද්ද කියලයි අහන්නෙ.ඔවු ද නැද්ද කියල කියන්න බය ඇයි?

      Delete
    10. ඇස් කන්නාඩි දෙකක් ගනින් ඇනෝ නැහැ නැහැ නැහැ කියල කි පාරක් කියල තියනවද? බලපන් උඩ කොමෙන්ට් එක //අපිව හූරගෙන කාල නොවෙයි කියල තමයි මම කියන්නේ.ඒවා දියුණු වුනේ ධනවාදී අර්ථ ක්‍රමය නිසා කියලයි මම කියන්නේ.//

      Delete
    11. එතකොට සුද්දො අපේ රටේ අවුරුදු 150 ක් පොල් ගාපු එකද බං කළේ?අනේ යකේ ඇස් පනා පිට පේන ඇත්ත නැහැ කියන හැටි විතරක්!!

      Delete
    12. ඇත්ත නේන්නම් ඔයා කියනකම් මම හිතුවේ පොල් ගාල කියල නේ හූරගෙන කාල මං හිතන්නේ ඒ හුරගෙන ගිය ඒවායින් කොටසක් ඇමරිකාවටත් දීල ඒකනේ ඇමරිකාව එංගලන්ත සුද්දටත් වඩා දියුණු. අනේ ඔය ඇනෝ මහත්තයට බොහොම පිං මැරෙන්න ඉස්සෙල්ල මට සත්‍ය පෙන්වා දුන්නට. තැන්කියූ හොඳේ...

      Delete
  7. උදිතට පිළිතුරු දියයුතුද?

    උදිත නැමත්තගේම වචනවලින් කියනවනම් උගේ ආතල් එකට කාලේ කන්න කරන දේවල් ලෙස, නොයෙකුත් විලම්බීත හා බහුබූත තැන් තැන් වල කොටමින් පළකරමින් අමුතුම ස්වයං වින්දනයක යෙදමින් සිටි. වසර ගණනක් පැරණි සංවාද හා අතිශයින් යල්පැනගිය කරුණු කාරණා දත්ත නැවත වටයකින් වමාරා කමින් තප්පුලමින්, රතු පැහැ ලේන්සුව දුටු ගොන්පොර පිටියේ ගොනාසේ "අනිමි" 'සුන්නද්දුලි කරමි"යි සිතමින් නමුත් වසුරු පමණක් පිටිය පුරා හලයි හලයි. සකල දේශ වාසී ශ්‍රී ලාංකිකයන්ට ඇති හැට හුටමාරක් වූ වියදිවලට මුල ඔවුන්ගේ සමාජවාදී සිතුවිලියයි කල්පිතයක් ගොඩ නගාගනිමින් එවන්වූ වියාදියකින් ශ්‍රී ලාංකීය ජනතාව බේරා ගැනුමට තමන්ම ස්වේච්චාවෙන් පත්වී, පුර්ණ ධනවාදී අදහස් වලින් සකල දේශවාසී ශ්‍රී ලාංකිකයා සන්නද්ධ කිරීමේ මහා තැටවුමක (ඇමෙරිකාවේ සිට කොමෙන්ට් කොටමින්!) සිටි.

    නිර්මල්ගේ සාලයේ කට ඇරන් බලන් සිටි සන්දියේ සිට දේශපාලනය කිරීමට හා සමාජ ජීවිතයක්ගත කිරුමට තුබූ ආශාව ඉවතදමා ඇමරිකාවේ කුඩා කාමර කැබැල්ලකට කොටුවූ මිනිසා සිංහල බ්ලොග් හරහා කොමෙන්ට් කොටමින් දේශපාලනය කිරීමට පැමිණ ඇත. කොමෙන්ටුවක් දැමීමෙන් දාතු පිටකලා වැනි පට්ටම අතලයක් ලබන උදිත බ්ලොග් පිටු සිසාරා තම ආශාව මෝචනය කරයි.ඇත රටක තනිවූ මිනිසෙකුට සායනික උපකාරයක් වශයෙන් යම් පිළිතුරක් කොටා දැමීමක් අනුමත කල හැකි වුවත් ( උදා “Well said Uditha”, ++++++++++++), උදිත සමග "සීරියස්" සංවාද වලට කාලය මිඩංගු කිරීම මෙගා ටෙලිනාට්‍ය බලන්නසේ අපරාදයකි. ඒ මන්ද යත් උදිතට පිස්සු නොව මේ උගේ හැටි බැවිනි. එනිසා බ්ලොග් වලින් එපිට සමාජ ජිවිතයක් ඇති පැරකුම්, රාමචන්ද්‍ර වැන්නවුන් උදිතට පිලිතුරුදීම පසකතබා තමන්ගේ සමාජීය මෙහෙවරට තම වටිනා කාලය මිඩංගු කරන්නේනම් යෙහෙකි බව යෝජනා කරන්නෙමු.

    අවසාන වශයෙන් උදිත, උබේ රෝග ලක්ෂණයට ඇත්ත හේතුව උබ ආස කරන ජීවිතය උබට නොලැබී යාම. ඒ වෙන මුකුත් නිසාම නෙවෙයි ධනවාදය නිසා! උබේ filthy rich ධනපති හිනයි කොමෙන් කෙටිල්ලයි එකට යන්නේනෑවගේ එනිසා සිහියෙන් ඉන්න මිනිහෙක් වියන්!! එළකිරි ධනවාදියා™, එළකිරි ධනවාදියා® ට ලංකාවේ නිර්ධනයින්ගෙන් නැවත සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. උදිතට පිළිතුරු දියයුතුද? කියල උඩින්ම ලියල ඇයි මචං උබ ඊට යටින් මහා හෑල්ලක් ලිව්වේ. උත්තරය පිළිතුරු දියයුතු නැත කියල නේ කියන්නේ ඉතින් ඔබ මේ අනුන්ට දෙන උපදේසේ තමන්ටත් අරගෙන මුකුත් ලියන්නේ නැතිව හිටියනම් ඉවරයි නේ.

      Delete
  8. මට නම් එක දෙයක් සහතිකයි.. මේ වගේ තියරි දාලා රටේ හැම දේටම lipton රව්මේ සෙට් වෙන කට්ටිය වැඩි වෙන්න වැඩි වෙන්න හිලරි ක්ලින්ටන් නෝනා නම් කැමැතියි.

    ReplyDelete
  9. මම නම් හිතන්නේ පැරා අනිත් හැම දේම වගේ ලංකාවේ තියෙනේ අච්චාරූවාදයක්.. මම හිතන්නේ නෑ ළෝකේ කිසිම අරටක පිරිසිඳු සමාජවාදයවත්, කොමියුනිස්ට්වාදයවත්, ධනවාදයවත්, ප්‍රජාතන්ත්‍රවාදයවත් තියෙනවයි කියලා. හැම තැනම තියෙන්නේ සුලු පිරිසක් සියළු වරප්‍රසාද සහිතව (දේශපාලන හෝ වෙළඳාම්) මාෆියාවක් පවත්වාගෙන යාමයි. බහුතරය සැපවත් ජීවීතයක ගතකරනවාද නැතිද යන්න තීරණය වන්නේ ඒ ඒ පුද්ගලයාගේ පෞද්ගලික චින්තනය මතයි. නමුත් සමාජවදි රටවල ඒ අයිතිය අවුරා තිබීම අසාධාරණයක්.

    ReplyDelete
  10. කිරියෙන්පැණියෙන් උතුරා යන කල ලොව ඔබ පාමුල හඬා වැටේ අතමිට හිඟ වී බෙල සුන් වන කල ලොව ඔබ හිස මත කඩා වැටේ

    ReplyDelete
  11. කිරියෙන්පැණියෙන් උතුරා යන කල ලොව ඔබ පාමුල හඬා වැටේ අතමිට හිඟ වී බෙල සුන් වන කල ලොව ඔබ හිස මත කඩා වැටේ

    ReplyDelete
  12. කිරියෙන්පැණියෙන් උතුරා යන කල ලොව ඔබ පාමුල හඬා වැටේ අතමිට හිඟ වී බෙල සුන් වන කල ලොව ඔබ හිස මත කඩා වැටේ

    ReplyDelete
  13. kawdha yako wadipura dekkak dhala thiyenne .... samaja wadayada DHana wadhayadha

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා