ආණ්ඩුව හා ඩයස්(පෝරා) අතර සාකච්ඡා මෙන්න මෙහෙමයි

ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කරන්නට යයි. 

ඒ අතර ආණ්ඩුව නම් අද්භූත සත්වයාගේ වලිග වන විමල් වීරවංශ පක්ෂයට සම්බන්ධ කොටස් හා ජාතික හෙළ උරුමයට සම්බන්ධ පිරිස්ද, තවත් විවිධ බහුබූතයෝද ඉල්ලමින් සිටින්නේ පළාත් සභාවලට බලය විමධ්‍යගත කළ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන ලෙසයි. 

අඩසියවසකට වැඩි කාලයක් දෙමළ ජාතිකවාදී ව්‍යාපාර අරගල කළේද, කොටි සංවිධානය දශක තුනක යුද්ධයක් දියත් කළේද, දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික තලයේ අරගලයක් කරන්නේද බලය වෙනුවෙනි. දෙමළ ජාතියට ජාතියක් ලෙස රාජ්‍ය බලය ලබාගැනීම වෙනුවෙනි. 

ශ්‍රී ලංකාවේ පවත්නා සංදර්භය තුළ ජාතික පදනමින් බලය වෙනුවෙන් අරගල කිරීම ප්‍රමාණාත්මකව සුළුතර ජාතීන්ගේ පැත්තෙන් සාධාරණය. 

එතකොට මේ සාකච්ඡා සිදුවිය යුත්තේ බලය බෙදාගැනීම සම්බන්ධයෙන් මිස අන් කරුණක් පිණිස නොවේ. 

එහෙම නොවෙයි නම් සාකච්ඡා සිදු වනු ඇත්තේ මෙසේය:

"හායි, ඩයස්(පෝරා) කොහොමද?" යි ආණ්ඩුව අසනු ඇත. 

"ඔහෙ ඉන්නවා මෙයා,"යි ඩයස් කියනු ඇත. 

"ඉතින් ඩයස්, මේ දවස්වල එහෙට වහිනවද?"

"දැන් මෙහෙ ඕටම්. ට්කක් හීතලයි."

"මේ පැත්තට නම් වහිනවා."

මෙවැනි නරිබෑණා පන්නයේ සාකච්ඡාවක් අවශ්‍ය නම් දැන් අර කිලිනොච්චියේ සිට සංහිඳියාව කොරන බව කියන කේ.පී.ගේ යාළුවන් කට්ටියක් ගෙන්වාගෙන කරන්නට පුළුවන.

එහෙත්, එවැනි ෂෝවලින් කිසිවක් සිදුවන්නේ නැත. 

සිංහල ජාතිවාදීන්ට දැන් ලේ කෝප කරන ඉෂූ එකක් නැතුව උගුර කට වේලී ගොසිනි. මෙහෙම ගියොත් තමන් නන්නත්තාර වන බව දන්නා නිසා ඔවුන් පසුගිය දිනවල 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සද්දයක් දැම්මෝය. ආණ්ඩුවේ මේ පියවර ඔවුන්ට හුස්මක් පිඹින්නට හේතු වනු ඇත. 

ආණ්ඩුවට තියෙන්නේ වෙන ගායකි. බල්ලො මරලා හම්බ කළත් සල්ලි බුරන්නේ නැතිය යන ආගම අදහන ආණ්ඩුවේ ලොක්කන් මේ බලන්නේ දෙමළ ඩයස්පෝරා‍වේ සල්ලිකාරයන් රවටා ඔවුන්ගේ සල්ලි මෙහි අද්දාගන්නටය.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා