වවුනියා බන්ධනාගාරයෙන් ඇසුණු සිංහ ගර්ජනය

විරෝධතා පැවැත්වූ වවුනියාව බන්ධනාගාරයේ රැඳවියන්ට රජයේ ආරක්ෂක අංශ විසින් හා බන්ධනාගාර පාලකයන් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සිංහල සමාජයේ අමන්දානන්දයට හේතු වී ඇති බවට සැකයක් නැත. 


සාමාන්‍ය සිංහල සමාජය මේ පිළිබඳ සිතන ආකාරය ලංකාදීප වැනි වෙබ් අඩවිවල පළ වන පාඨක අදහස්වලින් ලෙහෙසියෙන් වටහා ගත හැකි ය. 


කොටි සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු ප්‍රාණ ඇපයට ගත් කතාව ඇත්තක් නම්, ඒ වනාහි ඇත්තෙන් ම ඔවුන් විසින් කර ගන්නා ලද සිය දිවි නසා ගැනීමක් වැනි දෙයකි. 


මරණයෙන් බේරී සිටින කොටි සාමාජිකයන් දෙස කුකුළු කොටුවක් දෙස බලන නරියකු ලෙස බලන සිංහල ජාතිවාදීන්ට කුකුළු කොටුවට පිවිසීම සඳහා කදිම අවසරයක් ඔවුන් විසින් ලබා දෙන ලදී. 


කොටි සැකකරුවන්ට පහර දුන් ම්ලේච්ඡ ආකාරය පිළිබඳ දැන් දෙමළ වෙබ් අඩවිවල පළ වන පුවත් කියවන සිංහල ජාතිවාදියෝ අධෝ මාර්ගයෙන් සිනාසෙමින් මුවින් නො බැන සිටිති. ඒ සියල්ල බොරු බව හෙට වන විට පුවත්පත්වල පළ වනු ඇති අතර, එය ඇත්ත බව පිළි ගැනීමට සිංහල සමාජය සැදී පැහැදී සිටියි. 


කොටි සැකකරුවන් සිංහල සමාජයෙන් හෘදය සාක්ෂියක් බලාපොරොත්තු වීම ගලකින් පට්ටා පැතීමට නො දෙවෙනි අනුවණ ක්‍රියාවකි. 


ඔවුන් අනියමින් මෙහෙයවූ බව සිතිය හැකි දෙමළ ඩයස්පෝරා දේශපාලනය නම් දිවි බේරා ගත් කොටි සැකකරුවන් යළි මරාගෙන මැරෙන මෙහෙයුමකට යොමු කර සිය අරමුණු සාක්ෂාත් කර ගත් බව පෙනේ. 


එය වැරදි යයි කියන්නට දැන් අපට විශේෂ අවශ්‍යතාවක් නැත. ලංකාව සාමයේ හා සංහිඳියාවේ පල දරණ දෙරණකැයි අපි නො සිතමු. 


සම්මුති විරහිතව කලක් සටන් කර පැරදුණු දෙමළ මිනිස්සු සිංහලයන්ගෙන් යුක්තිය, සාධාරණත්වය, නඩු, පරීක්ෂණ, සවන් දීම්, අනුකම්පාව ආදිය ඉල්ල සිටින්නේ මන්දැයි අපට නො වැටහේ. සමහර විට ඒ පරාජිතභාවයේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නට ඇත. එහෙත්, සිංහල සමාජය දෙමළ මිනිසුන්ට දෙන එක ම දෙය යටපත් කිරීම හා යටත් කර ගැනීම පමණි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔබ කියන පරිදි සිංහල සමාජයේ කදිම කැටපතක් තමා ලංකාදීපේ පාඨක ප්‍රතිචාර. මාත් මේකට ටෙස්ට් කරන්න ලියල තියනවා. ඔබ අහගනිල්ලා, කරපල්ලා කියල ලියුවත් ඔබගේ අදහස් අරූ (සංස්කාරක) වෙනස් කරනවා; මත ගැටුමක් ඇති නොකරන එකක් උනත්, පොර හිතන්නේ ඒවා හරි නැති වචන කියලා.. හැබැයි කුණු හරුප, දෙපිට කැපෙන ඒවා, ජාතිවාදය, මරමු වගේ ඒවා යවන්න. කිසිම කැපීමක් නැහැ. මේවට කොමෙන්ට් දාන කට්ටිය සමාජ අදහස් වල කැටපතක්. මේවගේ නොදියුණු සමාජයක ඔබ වගේ මිනිසුන් නැතුවා නොවේ. නමුත් ඉතා සුළු පිරිසක්. මේ පන්සල්, පල්ලි යන සේරම එක වගේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා