ඉංගිරිසි ගැරඬියාට භූමිතෙල් ගැසීම

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි කථන හැකියාවන්ට ලකුණු දීමේ ක්‍රමයක් හඳුන්වා දෙන්නට අධ්‍යාපන අමාත්‍යංශයට සිදු වී තිබේ.. එය කරන්නට යන්නේ එක්තරා ඉංග්‍රීසි කේවට්ටයකුගේ උවමනාව මත ය.


ඉංග්‍රීසිය දකින විට භූමිතෙල් ගැසූ ගැරඬියාගේ භූමිකාව රඟපෑම භාර ගන්නා ජවිපෙට ද පෙර දැන් ආණ්ඩුවේ ම අය විරුද්ධ පක්ෂ භූමිකාව භාර ගෙන ඇති බව අද දිවයිනේ මුල් පුවත කියැවූ විට පෙනේ.


බස්නාහිර පළාතේ පවා ඉංග්‍රීසි ගුරුවරු නොමැති පාසල් 332ක් ඇති බව ද, රට පුරා පාසල් 691ක ඉංග්‍රීසි ගුරුවරු නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ ම නිලධාරීන් පිරිසක් විසින් පුවත්පතට ලබා දී ඇති ජනාධිපති කාර්යාලයේ මහජන සමීක්‍ෂණ හා පර්යේෂණ ඒකකය විසින් සිදුකරන ලද සමීක්‍ෂණයක ප්‍රතිඵල විසින් පෙන්නුම් කෙරේ. 


ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ලංකාවේ ආණ්ඩුව සියවසක සිට එක ම භූමිකාවක් රඟපාමින් සිටියි. ඒ වනාහි ඉංගිරිසියට වඳිමින්, පුදමින්, බැන අඬගැසීමයි. නව සහස්‍රකය උදා වන තෙක් මේ රට පාලනය කළේ ඉංගිරිසිය මව් බස ලෙස සැලකූ පංතියක් විසිනි. දැන් පාලකයෝ චතුර ලෙස ඉංග්‍රීසියෙන් අදහස් ප්‍රකාශ කිරීමේ සමත්තු නොවෙති. රටේ ජනතාවට ඇති ඉංගිරිසි අහේනිය දැන් පාලකයන්ට ද පොදු වූ එකකි. ඉංගිරිසිය සම්බන්ධයෙන් පොදු ස්ථාවරයකට ඒමට මේ තත්වය හොඳ ය. 


ලංකාවේ මිනිස්සු ඉංග්‍රීසිය හිස් මුදුනින් සලකන තරමට ම ඔවුහු ඉංග්‍රීසි ඉගෙනීමට උනන්දුවක් නො දක්වන බව අ‍පගේ නිරීක්ෂණයයි. ඔවුන්ට ඉංගිරිසිය ගුප්ත චමත්කාරයක් වන්නේ අඩුවෙන් ඉංග්‍රීසි දන්නා තරමට ය. එසේම, ඉංග්‍රීසි ටිකක් කට ගා ගත් අය එය වැඩිපුර භාවිතා කරන්නේ අනෙකා පෙළන්නට මිස ඉංග්‍රීසි නොදත් අයගේ ජීවිතය පහසු වන ආකාරයෙන් කොවේ. 


අධ්‍යාපන අමාත්‍යංශය ඉංග්‍රීසි කථනයට ලකුණු දෙන්නට යන්නේ ඉංග්‍රීසි කථනයෙන් කිසිදු ඵලක්, ප්‍රයෝජනයක් සොයා ගත නො හැකි ගම් බහුතරයකින් සමන්විත රටක ය. රටේ ජනගහණයෙන් අති බහුතරයකට ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍යතාවක් හෝ අවස්ථාවක් හෝ නැත. ගුරුවරුන්ගෙන් අති බහුතරයක් මෙන් ම, ඉංග්‍රීසි ගුරුවරුන්ගෙන් බහුතරයක් ද ඉංග්‍රීසි කතා කරන්නට නො දනිති. 


මෙහෙම තත්වයක් තුළ, රටේ මිනිසුන් කෙසේ හෝ ඉංග්‍රීසි කතා කරන්නන් බවට පත් කරන්නට උත්සාහ කිරීමේ අරුතක් තිබේ ද?  ලංකාවට ඉංග්‍රීසි අවශ්‍ය කතා කරන්නට ද? 


අපේ අදහස නම්, ලංකාවේ මිනිසුන්ට ඉංග්‍රීසි අත්‍යවශ්‍ය වන්නේ කතා කරන්නට නොව කියවන්නට ය කියා ය. ඉංග්‍රීසි කියවීම අත්‍යවශ්‍ය වන්නේ නව දැනුම ලබා ගැනීම සඳහා එය අත්‍යවශ්‍ය බැවිනි. ලංකාවේ මිනිසුන්ට ඉංග්‍රීසි කියවා තේරුම් ගන්නට හැකියාව ගොඩනඟනවා නම් හා ඉංග්‍රීසි කියවීම් මාධ්‍ය සුලබ කරනවා නම් කතා කිරීම ද ඉබේ ම වැඩි වනු ඇත. ඒ සඳහා වෙනම නටන්නට උවමනා නැත. 


ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශය පාසල්වලට බෙදා දෙන ‍ඉංග්‍රීසි පෙළ පොත් පද්ධතිය ලංකාවේ දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය මොට කරන ප්‍රධාන ම මෙවළමයි. විශේෂයෙන් 5 ශ්‍රේණියට, 10 ශ්‍රේණියට හා උසස් පෙළට හඳුන්වා දී ඇති ඉංග්‍රීසි භාෂා පෙළ පොත් ඉංග්‍රීසි අධ්‍යාපනය නැංවීමට වඩා අඩාල කිරීමට ඉවහල් වන ඒවා බව අපි යෝජනා කරමු. 


පොතක නිමාව අතිශය වැදගත් කාරණයක් බව පොත් ගැන හා කියවීම ගැන දන්නා අය පිළි ගනිති. උසස් පෙළ සිසුන්ට බෙදා දෙන තොරණක් වැනි General English පොත ලංකාවේ පෙළ පොත් සම්පාදකයන්ගේ පොතක නිමාව පිළිබඳ ආකල්ප ප්‍රදර්ශනය කරන කැඩපතකි. සංස්කරණය නො කර දිගින් දිගට පළ වන මෙම පොත්වල මතභේදාත්මක හා වැරදි කරුණු ද එමට ය. 


ලංකාවේ දරුවන්ට කියවන්නට ආසා හිතෙන, මනා නිමැවුමකින් යුත්, සරළ බස් වහරක් සහිත ඉංග්‍රීසි පෙළ පොත් කට්ටලයක් අවශ්‍ය ය. පෙළ පොත් ඒවා සම්පාදනය කරන අයගේ පණ්ඩිතමානී හීනමානයේ ප්‍රදර්ශන මෙවලම් වීම අද ඇති ප්‍රධාන ම ගැටලුවකි. 


අනෙක් කරුණ වන්නේ ලංකාවේ දරුවන්ට ඉංග්‍රීසි බසේ ව්‍යාකරණමය පදනම නිසි අන්දමින් උගන්වන්නට වැඩපිළිවෙලක් නැති වීමයි. මේ පෙළ පොත්වල ව්‍යාකරණ උගන්වන ආකාරය ගැන නිදසුනක් නම්, අටේ පංතියේදී පොල්ලෙන් ගැහුවා සේ එක පාරට Present Perfect Continuous උගන්වා 9 පංතියේදී Simple Present Tense ඉගැන්වීමයි. මේ පෙළ පොත්වල ඇති දුර්වල, දුරවබෝධ සාහිත්‍ය නිදර්ශන වෙනුවට සරළ, රසවත් ඉංග්‍රීසි සාහිත්‍ය කොටස් ඕනෑ තරම් සොයා ගන්නට තිබිණි. 


දැන්, දැන් ලාංකික ඉංග්‍රීසියක් පිළිබඳ ද කතා කෙරෙනු අසන්නට ලැබේ. මේ ලාංකික ඉංගිරිසි කතා ද ලංකාවේ අනෙක් කතා සේ ම හිස් ප්‍රලාප ය. ලංකාවේ පණ්ඩිතයන් ලාංකික ඉංගිරිසිය යයි සිතාගෙන සිටින්නේ කුමක් ද යන්න පිළිබඳ නිදසුන් උසස් පෙළ General English පොතේ ඇත. එහි එක් තැනක, ඉස්කූල්, ඉස්ටොප් වැනි උච්චාරණ ලාංකික උච්චාරණ ලෙස හඳුනා ගන්නට උත්සාහ කර ඇත. 


එහෙත් මෙහි ඇත්තේ ඉංග්‍රීසි උච්චාරණයේදී වචන තුළ ඇති බර තැබීම වන stress කිරීම වැරදි ලෙස භාවිතා කිරීමක් බව අපේ අදහසයි. එය  ඉගෙන ගෙන නිවැරදි කර ගත යුතු දෙයක් මිස අපේ උරුමයක් ලෙස සැලකිය යුතු දෙයක් නො වේ. 


ලංකාවේ ඉංග්‍රීසිය ගැන කියන්නට ඇති මූලිකම දෙය වන්නේ මේ රටේ කිසිවකුට මේ ගැන හරි හමන් දැක්මක් නැති බවයි. දැක්මක් බිහි වන්නට සංවාදයක් ඇති විය යුතු ය. ලංකාවේ එහෙම එකක් ද නැත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා