නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අරමුදල් වංචාව; අප ඔවුන් ආරක්ෂා කළ යුතු ද?

ලෝකයේ ඔබට වන්නට අවශ්‍ය වෙනස ඔබ ම විය යුතු බව මහත්මා ගාන්ධි පැවසී ය. 


You must be the change you want to see in the world.
- Mahatma Gandhi 


මෙය සමාජ වෙනස්කම් වෙනුවෙන් සටන් කරන මිනිසුන්ගේ මූලික ම ප්‍රතිපත්තියක් විය යුතු ය. 


මේ දිනවල නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කුප්‍රකට අරමුදල් වංචාව යළි කරළියට පැමිණ තිබේ. 


ලංකාවේ දූෂණයට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හා වෙනත් සාධනීය සමාජ පරමාර්ථ වෙනුවෙන් සටන් කරන බව කියන රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලන කණ්ඩායම්වල (මේවා ද අඩු වැඩි වශයෙන් රාජ්‍ය නොවන සංවිධාන ය) මූලික ම ලක්ෂණයක් වන්නේ තමන් පෙනී සිටින බව කියන පරමාදර්ශ කිසි සේත් ම තම සංවිධාන ක්‍රියාකාරිත්වය තුළ දක්නට නො ලැබීමයි. 


ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව කියන සංවිධානවල නායකයෝ දරුණු ඒකාධිපතියෝ ය. .


ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සි‍ටින බව කියන සංවිධානවල නායකයෝ සිය බල අවකාශය තුළදී තමන් අකැමැති අදහස් දරුණු අන්දමින් වාරණය කරන්නෝ වූහ. 


දූෂණයට එරෙහිව පෙනී සිටින බව කියන සංවිධානවල නායකයෝ මහජන අරමුදල් ගසා කන්නෝ ය. 


ලංකාවේ සමාජ පඑිහාණියේ ප්‍රධාන වගඋත්තරකාර පාර්ශ්වයක් වන්නේ රාජ්‍ය නොවන සංවිධානයි. රාජ්‍ය නොවන සංවිධාන විසින් කරන කාර්යය වන්නේ මහජන අවකාශය තුළ සිය මුල්‍ය ශක්තිය යොදවා බලය පිහිටුවා ගැනීමයි. 


මහජන සටන් පැන නගින අවකාශයන් තුළට සිය වෙළඳ නියෝජිතයන් මැදිහත් කරන රාජ්‍ය නොවන සංවිධාන ඒ ඔස්සේ සටන්කරුවන් මිළ දී ගෙන මහජන අරගල ව්‍යාපෘති වාර්තා බවට පත් කර බටහිර රටවල මුදල් 'පරිත්‍යාග' කරන සංවිධානවලට අලෙවි කර ලාභ ලබයි.


මාධ්‍ය සංවිධාන කෙරුමන් පිරිසක් තමන්ට තර්ජන ඇති බව කියා විදේශගත වන්නට පෙර කළ ක්‍රියාවක් මෙහි සටහන් කරන්නේ දැන ගැනීම පිණිස ය. එක්තරා සිංහල පුවත්පතකට ජාතීන්ගේ ප්‍රශ්නය පිළිබඳ ලියූ දෙමළ ලේඛකයකුට 2009දී ජීවිත ආරක්ෂාව පිණිස රටින් බැහැර වන්නට සිදු වන තත්වයක් පැන නැඟිණි. මෙහිදී කිව යුතු තවත් කරුණක් වන්නේ මෙකී මාධ්‍ය සංවිධාන ලොක්කන්ගෙන් බහුතරයක් ඒ වන විට කරමින් සිටියේ සංවිධාන අරමුදලින් අරක්කු බීම පමණක් බවයි. ඔවුන් බොහෝ දෙනෙකු පෑන් අත්නිවත් ඇල්ලුවේ නැති තරම් ය.


ඒ හා අදාළ කටයුතු පිළිබඳව මේ මාධ්‍ය ව්‍යාපාර ලොක්කන් සමග සාකච්ඡා කළ අවස්ථාවේදී ඔවුහු ඒ පිළිබඳ සියලු කටයුතු පිළියෙල කර ඇති බව පවසා අසවල් දවසේ අසවලාගෙන් විමසන්නැයි ද කියා එක්තරා අති වාම දේශපාලන කණ්ඩායමක නියෝජිතයකු නම් කළේ ය. මේ අති වාම දේශපාලන කණ්ඩායමේ කෙරුමෝ ද මේ මුදල් වංචාවලට සම්බන්ධ ය. අදාළ පුද්ගලයා එම දවසේ එකී පුද්ගලයාගෙන් විමසූ විට දැනගන්නට ලැබුණේ එකී මාධ්‍ය කෙරුමෝ එවැනි කිසිවක් එකී වාම කණ්ඩායම් නියෝජිතයාට පවසා නැති බවයි. ආපසු මේ පිළිබඳව එකී මාධ්‍ය සංවිධාන කෙරුමන්ගෙන් විමසන්නට උත්සාහ කළ විට දැනගන්නට ලැබුණේ ඔවුන් සියලු දෙනා පැදුරටත් හොරා රටින් පැනගෙන ඇති බවයි. මේ මාධ්‍ය කෙරුමන්ගේ ක්‍රියාකලාපයත්, සාමාන්‍ය විදේශ රැකියා හොර ඒජන්සිකාරයන්ගේ හැසිරීමත් අතර වෙනස කුමක්ද? 


වෙනස මෙයයි. හොර ඒජන්සිකාරයන්ට කවි ලියන්නට බැරි ය. 


සමාජ වෙනසක් වෙනුවෙන් සටන් කරන ක්‍රියාකාරිකයන්ට අද දවසේ මර්දනකාරී ආණ්ඩුවට එරෙහිව මෙන් ම, මහජන  අරගල විකුණාගෙන කන රාජ්‍ය නොවන සංවිධාන පණුවන්ට ද එරෙහිව සටන් කිරීමට සිදු වී තිබේ. 


මේ රාජ්‍ය නොවන සංවිධාන හොරු පළිහ ලෙස පාවිච්චි කරන්නේ මේ තර්කයයි. "අපි මර්දනකාරී පාලකයන්ට එරෙහිව සටන් කරනවා. අපේ අඩුපාඩු තිබුණත්, ඒ නිසා අපව ආරක්ෂා කරන්න. මන්ද, අප විනාශ වුණොත් එහි වාසියත් පාලකයන්ටයි." 


නැත. අප කිසි සේත් මොවුන් ආරක්ෂා කළ යුතු නැත. තුවාලය සාදන පාලකයන් මෙන් ම, එකී තුවාලය කා යැපෙන මේ පණුවන් ද එක සේ අහිතකර ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ධනවාදයේ තුන්වන කාර්තුව තුළ ශුද්ධ වූ සියළුදේ කෙළෙසෙයි.

    මේ පොස්ටුවට 100% ක් එකගයි.

    ReplyDelete
  2. අද ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය විමුක්තිය ගේන්න දඟලන (බවක් පෙන්වන) ගොඩක් අයියලා එක්කෝ පිටරටත් එක්ක නැත්නම් මේ ආණ්ඩුවත් එක්කම ඩීල් එකකය.මේක NGO කාරයන්ට මෙන්ම විපක්ෂයේ උන්දැලටත් පොදුය.

    ReplyDelete
  3. රාජ්‍යය සහ රාජ්‍ය නොවන යන හැම තැනකම හොරු ඉන්නවා...කබ්බොත් ඉන්නවා...එත් මේ තැන්වල සිටින හැම දෙනාම හොරු නොවේ...මේ හැම එකකටම සාධනීය දෙයක් කරන්න පුළුවන්...ඒ නිසා මේ මාධ්‍ය හොරුන්ව නමින් හෙළි කරන්න...එය යහපත් චේතනාවකින් වැඩ කරන මිනිස්සුන්ට මේ හොරුන් හඳුනා ගන්න අවස්ථාව ලබා දෙනවා...නම කියල ලියන්න බැරි නම් මේවා ලියන්න එපා...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා