වමේ මාර නවෝදයට අපේ සුබපැතුම්!

බැලූ බැල්මට වමේ මාර නවෝදයක් ඇති වී තිබේ. 


වාමාංශිකයෝ යළි එක්සත් වෙමින් සිටිති. පසුගිය කාලයේ බිංදුවට බැස තිබුණු වාමාංශිකයන්ගේ සන්ධ්‍යා කාලීන ගැඹුරු දේශපාලන සාකච්ඡා යළි පණ ගැන්වෙමින් තිබේ. මේ වන විට විදේශ රටවල දේශපාලන රැකවරණ ලැබ සිටින රැඩිකල් ම වාමාංශික දෙවිවරු ද උඩ සිට මේවාට පිරිත් පැන් හෙළනවා ඇත. 


බාහු සමග ප්‍රධාන ප්‍රතිවිරෝධය ඇති සිරිතුංග ද, සිරිතුංග සමග ප්‍රධාන ප්‍රතිවිරෝධය ඇති මහින්ද දේවගේ ද ආදී වශයෙන් ලොකු ලොකු සංවිධාන නම්වලින් පෙනී සිටින විවිධ තනි තනි වැනි පුද්ගලයෝ ඒකරාශීව පුවත්පත් සාකච්ඡා පවත්වමින්, මැයි දිනයට සූදානම් වෙමින් සිටිති. 


මෙයට ප්‍රධාන හේතුව, ජවිපෙන් කැඩුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂය දක්වන වාම නැඹුරුවයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ සෙබළු නැති සෙන්පතියන්ට සෙබළ මුළක් පිටුපසින් බලමුළු ගන්වා දීමට සමත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. එසේ ම, සිය ඊනියා ප්‍රතිපත්ති රැක ගනිමින් වාම පක්ෂ නායකයන් ලෙස රතු තොප්පි දමාගෙන මහජන නියෝජිත සභා නියෝජනය කිරීමට ඇතැමුන්ට ඇති නො තිත් ආශාව සපුරා ගන්නටත් මොකක් හෝ පොටක් පෑදේවා යි අපි පතමු. 


විශේෂයෙන් ම ජවිපෙ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර තරගයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට වාම සාහිත්‍යයේ ද නවෝදයක් ඇති වෙමින් තිබේ. මේ සතියේ ලංකා පුවත්පත ද නැවත කරළියට එයි. එහෙත්, ජනතාව අතර වාම දේශපාලනය කෙරෙහි ඇති උනන්දුව වැඩි වී ඇති බවක් නම් නො පෙනේ. 


සමාජයේ ගොඩනැ‍ඟෙමින් ඇති ආණ්ඩු විරෝධය තුළ වමට වෙළඳපොළක් නිර්මානය කර ගැනීමට බැරිකමක් නැත. විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ෂයේ දුර්වලතා හඳුනා ගනිමින් උපායිකව කටයුතු කළහොත්, වමට ප්‍රධාන ධාරාවේ දේශපාලනය තුළ තිරසාර පදනමක් ගොඩනඟා ගැනීමට හැකි වනු ඇත. කුමන අඩුපාඩු තිබුණත්, පැරණි වමේ පක්ෂ කෙසේ හෝ ප්‍රධාන ධාරාවේ දේශපාලනය තුළ පය ගසාගෙන සිටින්නට සමත් වී ඇත.


ප්‍රධාන ධාරාවේ දේශපානය තුළ වම අනිවාර්යයෙන් ම තිරසර අන්දමින් පය ගසා ගත යුතු බව අපේ අදහසයි. එය හුදු න්‍යාය දේශනා කිරීමෙන් පමණක් කළ නො හැක්කකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ උපායිකභාවය, විවෘතකම හා අව්‍යාජත්වයයි. 


කොළඹ සාකච්ඡා හා සම්මන්ත්‍රණ යළි ඇරඹෙමින් තිබේ. මේ සාකච්ඡාවලදී පැරණි කථිකයන්ට සිය අහිමි වූ වේදිකා යළි සැකසෙනු දක්නට ලැබේ. තමන්ගේ තෘප්තිය වෙනුවෙන් මෙතෙක් පැවැත්වූ කතා වෙනුවට අදට ගැලපෙන දේශපාලනයක් වෙනුවෙන් කතා කිරීමට ඔවුහු අදිටන් කර ගන්නවා නම් හොඳ ය. 


පසුගිය දශක කීපයකදී අප ද කොළඹ වාමාංශික කව සමග මේ සී.එස්.ආර්. සාකච්ඡා රැසකට සහභාගි වී හෙම්බත් වුණෙමු. මේවාට සී.එස්.ආර්. සාකච්ඡා යයි කියන්නේ ඒවා පැවැත්වෙන්නේ අඩු මුදලට කුලියට ගත හැකි අඩු පහසුකම් සහිත ශාලාවක් ඇති සමාජ හා සාමයික කේන්ද්‍රයේ නිසා ය. (Center for Society and Religion)  මේ සී.එස්.ආර්. සාකච්ඡා වනාහි මෙවැනි දේ ය. 


අද එක පිරිසක් කැඳවුම්කරුවන් වී එක ප්‍රශ්නයක් ගැන පොදු වැඩපිළිවෙලක් ඔවුන්ගේ නායකත්වයෙන් ආරම්භ කිරීම ගැන සාකචඡාවක් පවත්වන අතර හෙට එම සාකච්ඡාවට සහභාගි වූ තවත් පිරිසක් එම වැඩ පිළිවෙල ගැන ම ඔවුන්ගේ නායකත්වයෙන් පොදු වැඩ පිළිවෙලක් සැකසීම ගැන සාකච්ඡා කරති. මේ සාකච්ඡාවලදී එක ම පිරිස කමිටුවලට පත් වෙති. ඉන්පසු ඒ කමිටුවලින් එකී වැඩ පිළිවෙල අතුරුදහන් වෙයි. 


එසේ ම, මේ පිරිස් මේ සාකච්ඡාවලට යන්නේ තම තමන්ගේ මට්ටමින් ඒවායේ බලය අල්ලා ගැනීමට පූර්ව සූදානම් ඇතිව ය. තමන්ට බලය නැතත්, තමන්ගේ ප්‍රධාන සතුරන් වන තමන් කලින් සිටි කණ්ඩායමේ අයට ද බලය නො ලැබේ නම් ඔවුහු සතුටු වෙති. 


හැමෝ ම එන්නේ අනෙක් අයව කඩේ යවා ගැනීමේ චේතනාව පෙරදැරි කරගෙන ය. කවුරුවත් කඩේ යන්නට සූදානම් නැති වීම වම ඉදිරියට නො යන්නට ප්‍රධාන හේතුවයි. 


ඒ කොයි හැටි‍ වෙතත්, මේවායේ වාඩි වෙන ඇතැම් වාමාංශිකයෝ සද්ද නැතිව මේ සාකච්ඡා සිය රාජ්‍ය නො වන සංවිධාන ප්‍රගති වාර්තාවල ලියා පිටරටට විකුණා ගනිති. ඒවායින් ඔවුහු රටේ මාර ක්‍රියාකාරිකයෝ පිරිසක් ලෙස පිටරටට අනන්‍යතා ද ගොඩනඟා ගනිති. ඔවුන් මුදල් අරගන්නා මූලික කාර්යයන් වන ජාල ගොඩ නැඟීම වැනි කටයුතු ඔවුන්ට කර ගන්නට බැරි නිසා ඔවුන් යැපෙන්නේ මෙවැනි අනුන් විසින් සංවිධානය කරනු ලබන කටයුතු මත ය. ඒ නිසා මෙම සාකච්ඡා සංවිධානය කරන්නන් ඒවායේ වාඩි වන එන්.ජී.ඕ, වෘත්තීය සමිති, පූජකයන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයන් හා වෙනත් එවැනි චෞරයන් ගැන අවධානයෙන් සිටිය යුතු ය. 


තල වේලෙන්නේ තෙලට ය. මීබෙටි වේලුණේ කුමටදැයි මී‍ බෙටි දන්නේ නැත. ඒ නිසා මේ වටයේ මී බෙටි නො වී පිටින් සිට ඒ දෙස දැඩි පරීක්ෂාවෙන් බලා සිටින්නට අපි තීරණය කර ඇත්තෙමු. 


සහෝදරවරුනි, අපි ඔබට ජය පතමු. හැබැයි පරණ සෙල්ලම් නැවත කරන්නට හදනවාදැයි අපි පරීක්ෂාවෙන් සිටිමු. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා