ප්‍රේමකුමාර් ගුනරත්නම්, ඩී.බී.එස්. ජෙයරාජ් හා මහරාජා

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරික ප්‍රේමකුමාර් ගුනරත්නම් ගැන නිව්ස් ෆස්ට් වෙබ් අඩවිය සඳහා ඩී.බී.එස්. ජෙයරාජ් විසින් ලිපියක් ලියන ලදී. (කියවන්න)


එම ලිපිය ප්‍රේමකුමාර් ගැන කරුණු රැසකින් සමන්විත ය. විශේෂයෙන් ම ඔහු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේදී ජවිපෙ සන්නද්ධ ක්‍රියාකාරිකයතු ලෙස ඉන්දියන් හමුදාවට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාර ගැන එහි විස්තර කර තිබේ.


කටින් පමණක් ඉන්දියාවට එරෙහිව සටන් කරමින් සිටි ජවිපෙ ඇත්තෙන් ම ඉන්දියන් හමුදාව සමග අභිමුඛ කරවන පුද්ගලයා ලෙස ප්‍රේමකුමාර් ගුනරත්නම් හඳුන්වන ජෙයරාජ් ඔහු වීරත්වයට නගන බව පෙනේ. ප්‍රේමකුමාර්ගේ ක්‍රියාකාරකම් ත්‍රස්තවාදයට වඩා ගරිල්ලා සටන් බව ජෙයරාජ් කියයි.


එසේ ම, මෙසමයේදී ම ජවිපෙ නායකයන් ඉන්දියාව සමග රහස් සම්බන්ධකම් ඇති කර ගනිමින් ප්‍රේමකුමාර්ගේ ක්‍රියාකාරකම් නතර කිරීමට අණ කරන බව ද එහි සඳහන් වේ.


පසු කලෙක සෝමවංශ අමරසිංහ ඉන්දියාව හරහා රටින් පළා ගියේ රෝ සංවිධානයේ උදව්වෙන් බව ප්‍රකට කරුණකි. අමරසිංහ කිසි දිනෙක මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කර නැත.


ප්‍රේමකුමාර්ගේ එදා ක්‍රියාකාරකම් ගැන අද පරීක්ෂණ කරනවා නම්, එදා ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ සෝමවංශ අමරසිංහගේ වගකීම් ගැන ද ප්‍රශ්න මතු වනු ඇත.


අනෙක් පැත්තෙන්, ප්‍රේමකුමාර් එදා සටන් කළේ අද ලංකාවේ ආණ්ඩුව පවා වරදක් ලෙස දකින ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව ය. ඒ අනුව ගත් කල ආණ්ඩුවට පවා ඔහු දේශප්‍රේමියකු ලෙස සැලකීමට සිදු වනු ඇත.


අතීත සන්නද්ධ ක්‍රියාකාරකම් ගැන වත්මන් සංදර්භය තුළ කටයුතු නො කිරීම ඩග්ලස් දේවානන්දා, විනයාගමූර්ති මුරලිදරන්, සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හා කේ.පී. වැනි අයට අදාල වන පරිද්දෙන් ම ප්‍රේමකුමාර්ට ද අදාළ වේ.


මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ මහරාජා ආයතනය මුදල් ගෙවා උපායික දේශපාලන ලියුම්කරුවකු වන ඩී.බී.එස්. ජෙයරාජ් ලවා මෙවැනි ලිපියක් ලියවාගෙන පළ කළේ ඇයි ද යන්නයි.


අප සිතන පරිදි නම්, මේ වනාහි ප්‍රේමකුමාර් ගුනරත්නම් පැහැර ගෙන ගොස් නිදහස් කිරීමේ සිද්ධිය හුදු මානව හිමිකම් ප්‍රශ්නයක සීමාවෙන් පිටතට ගෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා ප්‍රේමකුමාර් ගුනරත්නම් ද ප්‍රධාන ධාරාවේ දේශපාලනයට ඇද ගැනීමේ ප්‍රයත්නයකි. එය ඇතැම් විට පැහැරගෙන යාම හෙවත් වැරදුණු කුරුමානම නාටකයේ ඊළඟ ජවනිකාව විය හැකි ය.


ප්‍රධාන ධාරාවේ දේශපාලනය යනු න්‍යාය හා ප්‍රතිපත්ති පමණක් මත පදනම් වූ දේශපාලනයක් නො වේ. එය උපායික ක්‍රීඩාවකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සෙසු අය කෙසේ වෙතත් ප්‍රේමකුමාර් ගුනරත්නම් වනාහි එය හොඳින් දැන සිටිය යුතු කෙනෙකි.


මේ වනාහි පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තියුණු අභියෝගයකි. ලස්සන රතු පාට පක්ෂයක් හදාගෙන, කැලැන්ඩරයේ දින ටික අභිචාරාත්මකව සමරමින් දැහැමෙන් සෙමෙන් ධනවාදයට එරෙහි සටන් පාඨ යුද්ධයක් කරගෙන, එන්ජීඕ පාරක් ද දාගෙන වික්‍රමබාහු පක්ෂය හෝ සිරිතුංග ජයසූරිය පක්ෂය සේ ඉන්නවා ද නැතිනම් ජවිපෙට ම යළි ඉඩ දී සැබැවින් ම දේශපාලන ක්‍රීඩාවට පිවිසෙනවා ද යන්න දැන්ම ම තීරණය කිරීමට ඔවුන්ට සිදු වන බව පෙනේ.


අපට ඔබට කීමට ඇත්තේ වතුරට බැස්සා නම් පීනන්න ය කියා ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලිට්මස් පරීක්ෂාව වනු ඇත්තේ ඔවුන්ගේ සුන්දර ප්‍රකාශන නොව, මෙම සැබෑ පිහිනීමයි.


ප්‍රේමකුමාර් ගුනරත්නම් ඔස්ට්‍රේලියානු පුවත්පතකට කළ ප්‍රකාශ

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. කුමාර ගුණරත්නලා දෙන්නා ගෙ පෙරටුගාමි පක්ශ දෙකෙන් කොයි එක වඩා මාක්ස්වාදීද කියල හොයලා බලන්න කාට හරි පරික්ෂණයක් යෝජනා කල හැකිද? (පරීක්ෂණය විස්තර කිරීමේදී, කෙටි යෙදුම් වශයෙන්, දීප්ති කුමාර ගුණරත්න ගෙ පෙරටුගාමි පක්ශය (Vanguardists) කුරුටුගාමි පක්ශය ලෙසත්, ප්‍රේම කුමර ගුණරත්න ගෙ පෙරටුගාමි පක්ශය (Frontliners) කෙකරගාමි පක්ශය ලෙසත් හඳින්විය හැකියැයි සිතමි.)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා