ප්‍රෙමකුමාර් ගුනරත්නම්, මුදලිගේ නොවෙල් වීම අතුරුදහන් කිරීමට තරම් දෙයක් ද?

ප්‍රේමකුමාර් ගුනරත්නම් ලංකාවට පැමිණ ඇත්තේ මුදලිගේ නොවෙල් නමින් ගමන් බලපත්‍රයකින් බව ඔස්ට්‍රේලියානු රජය ලංකාවේ රජයට දැනුම් දී ඇතැයි විමල් වීරවංශට අයත් ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ වාර්තා වී තිබේ. 


ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට ලංකාවේ දේශපාලනය කළ නො හැකි බව ආරක්ෂක ලේකම්වරයා පවසයි. එසේ පවසන ඔහු ද ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය තිබුණු අයෙකි. ලංකාවේ දේශපාලනයට සම්බන්ධ චරිතයක් වන පාලිත කොහොන ද ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුව සිටියේ ය. 


ප්‍රෙමකුමාර් ගුනරත්නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සාධාරණ ය. මන්ද, ඔහු ලංකාවේ මෙන් ම ඕස්ට්‍රේලියාවේ ද ආගමන, විගමන නීති උල්ලංඝනය කර තිබේ. ඒ වෙනුවෙන් ඔහුට සිර දඬුවම් විඳින්නට සිදු වනු ඇත. 


නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන් ද ආගමන, විගමන නීති උල්ලංඝනය කිරීම නිසා බ්‍රිතාන්‍යෙය්දී අත්අඩංගුවට පත්ව දඬුවම් ලැබුවේ ය.  මන්ත්‍රී තිලංග සුමතිපාල ද සමාන චෝදනාවකට ලංකාවේ අධිකරණයෙන් දඬුවම් ලැබ පසුව නිදහස ලැබුවේ ය.


ප්‍රේමකුමාර් ගුනරත්නම් අතුරුදහන් කරන්නට තරම් හේතුවක් මේ ආගමන, විගමන නීති උල්ලංඝනය කිරීම තුළ නැත. අනෙක් පැත්තෙන් මේ කිසිවක් දිමුතු ආටිගලට අදාළ නැත. 


ගුනරත්නම් සිය බිරිඳ හා විවාහ වී ඇත්තේ ද වෙනත් නමකින් බව ලංකා සී නිව්ස් වෙබ් අඩවිය පවසයි. 


ජාත්‍යන්තර ත්‍රස්තවාදියකු වූ කේ.පී.ට මෙන් විවිධ අනන්‍යතා ලේඛන භාවිතා කරන්නට පැහැදිලි හේතුවක් ගුනරත්නම්ට නැත. ඔහු මෑත කාලයේදී කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සම්බන්ධව චෝදනා ලැබ නැත. ඔහු සම්බන්ධ දේශපාලන ව්‍යාපාරවල නායකයන් බොහෝ දෙනෙකු සේ ම ඔහු ද ගත කළේ සාමාන්‍ය මධ්‍යම පංතික ජීවිතයකි. 


සිංහල ජාතිවාදී දේශපාලනයට සම්බන්ධව සිටි දෙමළ කතා කිරීමට නො දත් ඔහුට ඇතැම් විට තම දෙමළ නම පිළිබඳ පිළිකුලක් තිබුණා වන්නට ඇත. 


රහසිගත ජීවිතයක් ගත කරන බව ප්‍රදර්ශනය කිරීම ලංකාවේ ඊනියා විප්ලවවාදී දේශපාලනයේ ප්‍රධාන රෝග ලක්ෂණයකි. අප දන්නා මෙවැනි විප්ලවකාමීන් බොහෝ දෙනෙකුට මේ රෝගය තිබේ. ඔවුන්ගේ රහසිගත දේශපාලනික ජීවිතයේ ප්‍රධාන හෝ බොහෝ විට එක ම රහස විවිධ නම් භාවිතා කිරීම ය. විමල් වීරවංශ පවා ජවිපෙ සිටින කාලයේ විභූති වීදිය බංඩාර, විමලසිරි ගම්ලත්, උදය කීර්ති පෙරේරා වැනි නම් ගණනාවක් භාවිතා කළේ ය. 


මේ අය විවිධ නම්වලින් පෙනී සිටිමින් විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙමින් කරන තවත් දෙයක් වන්නේ ඒ නමින් පෙනී සිටින්නේ තමන් බව ප්‍රසිද්ධ කිරීමයි. ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් වගකීම් භාර නො ගැනීමට ඔවුහු එසේ කරති. අප දන්නා එක් විප්ලවකාමියෙක් පෙම් කවි ලියන්නේ වෙනත් නමකිනි. මන්ද, ප්‍රේමය වැනි බාල දේවලට ඔහුගේ නම ගාවා ගැනීමට ඔහු කැමති නැත. එහෙත් කිසියම් ‘සම්භාව්‍ය‘ කටයුත්තක් කළහොත් ඒ සමග හැම විට ම යන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පතේ ඇති නමයි. 


අන්වර්ථ නම් අධ්‍යයනය කිරීම මේ පුද්ගලයන්ගේ මනෝභාවයන් හැදෑරීමට ද උපකාර වේ. උදාහරණයකට විභූති වීදිය බංඩාර වැනි බරසාර නමක් ගෙන බලන්න. නමින් හෝ දෙමළ ජාතිකයකු වූ ප්‍රේමකුමාර් ගුනරත්නම් වර්තමානයේදී දැඩි සිංහල ජාතිවාදී අදහස් ගම්‍ය කරන ගැමුණු වැනි නමක් භාවිතා කිරීම ද අපූරු සංසිද්ධියකි. 


කිසියම් පුද්ගලයකුට තමන්ගේ නම තමන්ට ම තෝරා ගන්නට අවස්ථාව ලැබුණු විට ඔවුන් නම් දමා ගන්නා ආකාරය අපූරු ය. උපැවිදි වන බොහෝ පුද්ගලයන් නම් දමා ගන්නා විට ඒ යුගයේ ඇති නවීන ම නම් දමා ගනිති.  එසේ ම, ඔවුන් දමා ගන්නා නම් සමහර විට පෙනුමට කිසි සේත් නො ගැලපෙන තේජස් විහිදෙන ඒවා ය. කලක් ගත වන විට පුද්ගලයාගේ රූපය හා නම අතර විශාල නො ගැලපීමක් ප්‍රදර්ශනය වේ. 


සුනේත්‍රා රාජකරුණානායකගේ බත් තරංග නවකතාවේ අඟුටුමිටි පුද්ගලයාගේ නම අද කාලේ නම් කියන්න පවා බය හිතෙන එකකි. සිය ප්‍රබන්ධ කතාවල චිරිතවලට නම් දැමීමේදී මාටින් වික්‍රමසිංහ අපූරු කුසලතාවක් පෙන්වූයේ ය. ඔහු මීට අඩ සියවසකට ඉහත භාවිතා කළ නම් තවමත් නවීන පෙනුමෙන් යුක්ත වේ. 


අරිසෙන් අහුබුදු ශූරීන් ඕනෑම අකුරු මාට්ටුවකට අරුත් දීමේ ශූරයකු වූ හෙයින් මෑත කාලයේදී සිංහල නම් විකට ස්වරූපයක් ගෙන තිබේ. 


දේශපාලන ව්‍යාපාරවල සිටින අය ද නම් දමා ගන්නා විට මෙවැනි බොළඳ ආකාරයෙන් කටයුතු කරන ආකාරය සුලබ ය. 


මේ වනාහි විප්ලවකාමය නම් රෝගයේ ලක්ෂණ මිස  අන් යමක් නො වේ. 


ලංකාවේ සමාජය ම දැඩි භින්නෝන්මාදයකින් පෙළෙන බව අපි මීට කලින් ද කීවෙමු. ශාස්තෘ නවකතාවෙන් ද ලේඛකයා උත්සාහ කළේ මේ සමාජ භින්නෝන්මාදය ස්පර්ශ කිරීමටයි. විප්ලවකාමියෝ මෙන් ම, ඔවුන් පසුපස හඹා යන බියපත් දඩයක්කාරයෝ ද, මේ ලියන ලේඛකයා ද, කියවන ඔබ ද මේ සමූහ උම්මත්තකභාවයේ ගොදුරු ය. 


අප බෙහෙත් පානය කළ යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මම නම් හවසට හවසට පානය කරනවා..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා