බුද්ධිමය කරාටේකාරයන්ගේ පටි හා පටිසෝතගාමී රාවය

රාවය පටිසෝතගාමී නම් වචනයක් කලක සිට පාවිච්චි කරයි. දැන් වාමාංශිකයෙකු නො වන, කවදාවත් බුද්ධිමතකු නො වූ මෙම ලේඛකයා ඉඳහිට රාවයේ මාතෘකා හා විමලෙගෙ කොලම වැනි බරසාර ලිපි කියවන අතර මේ වචනය දුටු මුත් එහි තේරුම ඔහුට මතක නො තිබිණි. රාවයේ භාවිතාවෙන් නම් මෙහි තේරුම සොයා ගැනීම දුෂ්තර ය.


පටිසෝතගාමී යන වචනය අන්තර්ජාලයෙන් සොයන්නට ගිය විට හමු වන තරමක් හමු වන්නේ රාවයේ විකටර් අයිවන් හා ගාමිනී වියන්ගොඩ හා තවත් අය දෙපිල බෙදී සංවත්සර උළෙලට ජනාධිපති ගෙන්වීම හා ජනාධිපති ආරක්ෂකයන් වාමාංශික ජාතික වස්තුවල ඉහ ඉහ සෝදිසි කිරීම පිළිබඳ සංවාදයේ ලට්ට ලොට්ට ය.


අවසානයේදී මේ වචනයේ තේරුම වෙබ් පිටුවක තිබුණු කුඹුකේ විසුද්ධි චිත්ත හිමියන්ගේ දහම් ලිපියකින්  සොයා ගත්තෙමි. එහි එය අප වැනි හුදී ජනයින්ට තේරෙන අන්දමින් මෙසේ විස්තර කර තිබිණි.


බුදුරදුන් අප උනන්දු කරවා ඇත්තේ ‘පටිසෝතගාමී’ ප්‍රතිපදාව අනුව දිවි පැවැත්වීමටය. ජීවත්වන්නන් වාලේ ජීවත්වීම, එනම්, ඇස, කන, නාසය, දිව සහ ශරීරය යන පසිඳුරන් පිනවමින්, කම්සුව පසුපස ලුහු බඳිමින් රැල්ලට හසුව සිටීම අනුසෝතගාමී පිළිවෙතය. ඉන් මිදී විමුක්තිය සලසා ගන්නෝ පෙර කී පරිදි පටිසෝතගාමී ප්‍රතිපදාව අනුගමනය කරන්නෝය. මෙය උපමාවකින් දක්වතොත් ගඟ ගලන දිශාවට ප්‍රතිවිරුද්ධව ගමන් කිරීමක් වැන්නය. එනම් පංචේන්ද්‍රියන්හි තත්ත්වාකාරය මැනවින් අවබෝධ කරගනිමින් අනලසව දිවි ගෙවීමය. මේ ආකාරයට කුසලයට නැඹුරු වීමටත්, අකුසලයෙන් වැළකී සිටීමටත් අවශ්‍ය වන්නේ උත්සාහයයි. මෙම මාහැගි ගුණාංගය ඇති කර ගත හැකි ආකාර හතරක් දහමෙහි දක්වා ඇත. නූපන් අකුසල් එලෙසම මතු නූපදවීම, උපන් අකුසල යළි නූපදවීම, නූපන් කුසල් උපදවා ගැනීම හෙවත් මතු කර ගැනීම සහ උපන් කුසල් වඩා වර්ධනය කරගැනීම යනාදිය ඒ සතරයි. වෙනත් වචනවලින් කිවහොත් තම ජීවිතයේ සිත, කය සහ වචනය මුල් කරගෙන සිදුකොට නොමැති යම් පාපි ක්‍රියාවක් ඇත්නම් එය එපරිද්දෙන්ම අනාගතයේ සිදු නොකර සිටීමටත්, කිසියම් පාපි ක්‍රියාවක් සිදුකොට ඇත්නම් එය නැවත වරක් කිරීමෙන් වැළකී සිටීමටත්, කිසිදා අත්හදා බලා නොමැති යම් පුණ්‍යවන්ත ක්‍රියාවක් කවදා හෝ සැලසුම් සහගතව ක්‍රියාවට නැංවීමටත් වරක් හෝ ඊට වැඩි වාර ගණනක් ක්‍රියාවට නංවන ලද යහපත් ක්‍රියාවන් නැවත වරක් සිදුකොට ප්‍රගුණ කරගැනීමටත් උත්සාහවන්ත විය යුතුය.


මෙම බණ ඩිංග කියවූ විට රාවය කිසි සේත් ම පටිසෝතගාමී පුවත්පතක් නො වන බව ලේඛකයාට හොඳින් වැටහිණි.


රාවය 25 වසරක් පැවතුනේ ලංකාවේ වාමාංශිකයන්ට පිං සිදු වන්නට ය. මන්ද, රාවය මිළ දී ගත් හා කියවූ ගැහැනුන් හා පිරිමින් බොහෝ දුරට මෙවැනි අය නිසා ය. මොවුන් සිව්දෙනෙකුට එකට එකතු වී දේශපාලනයක් කරන්නට කෙසේ වෙතත් ඕමි අතක් බලන්නට හෝ බැරි ය. ඔවුන් එකට බැඳ තබා ගත් දේශපාලන බේරුවල් බොක්ක රාවයයි.


වියන්ගොඩලා, සුනිල් විජේසිරිවර්ධනලා කළ යුතුව තිබුණේ එක්කෝ වවුලාගේ මඟුල පැවති ගහ පැත්ත පළාතේ නො යාම හෝ ගියා නම් එල්ලී සිටීමයි. එක අතකින් මහින්ද රාජපක්ෂ රාවයේ මිතුරකු වන්නේ මේ අය රාවයේ මිතුරන් වූ කාලයේ පටන් ය. අනෙක් පැත්තෙන් රාවයට රජයේ හා රජයේ සමාගම්වල දැන්වීම් දෙමින් දැන් එය පවත්වාගෙන යන්නේ ආණ්ඩුව මිස රාවය මිළ දී ගන්නා පාඨකයෝ නො වේ.  


රාවය පාඨකයන් වන තමන් පටිසෝතගාමීන් යයි සිතා සිටින වාමාංශිකයන් කරන්නේ සිය ඊනියා පටිසෝතගාමිත්වය රාවයේ පිටු මත මෝචනය කරගෙන රාජපක්ෂ ක්‍රමයට තුරුළු වී නිදා ගැනීම මිස අන් යමක් නො වේ. මේ සරළ සත්‍යය තේරුම් ගන්නට බැරිව පැනෙන් කරන සටන් විහිළු ය.  


ලංකාවේ වම පටන් ගන්නේ දකුණේ අන්තිම කෙළවරෙන් බව ලේඛකයාට වැටහුණේ වසර 30ක් දේශපාලනය කර, සිව් වතාවක් හිරේ විලංගුවේ වැටී, එයින් අවුරුද්දයි, මාසයයි, දවසක් වධකාගාරයක සිට, එක් වතාවක් පිටුවහලේ සිට, තරුණ කැරලි තුනක් මර්දනය වනු දැක, වසර විසි හතරක් රාවය ද කියවූ පසුවයි.


වික්ටර් අයිවන්ට අනුව, රාවයේ 25 වසරක පැවැත්ම පටිසෝතගාමී අභිචාරිකාවකි. මේ බර වචන කියවන විට ලේඛකයාට සිහි වන්නේ අභිසාරිකාව යන වදනයි.


ලංකාවේ වාමාංශිකභාවය නම් දක්ෂිණාංශික අන්තවාදයේ කැඩපත රාවය වන අතර, එම දේශපාලන ප්‍රවාහයේ පරමාදර්ශී චරිතය වික්ටර් අයිවන් ය.


මහින්ද රාජපක්ෂගේ අතින් කන වික්ටර් අයිවන් රාවයෙන් කරන්නේ අන් කිසිවක් නොව, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, යුක්තිය, සාධාරණත්වය, රසාස්වාදය වැනි උසස් මානුෂික සාරධර්ම පද්ධතියක් හා සම්බන්ධ අදහස් අවකාශයක් ප්‍රතිගාමිත්වය වෙනුවෙන් කඩේ යැවීමයි.


වික්ටර් අයිවන්ගේ දෘෂ්ටිවාදයට එරෙහි වූවන් ලෙස පෙනී සිටින මේ සංවාදශීලී පුවත්පතේ ජනරංජනගේ සිට විමලනාත් වීරරත්න දක්වා සෙසු කාර්ය මණ්ඩලය ද දැනුවත්ව හෝ නො දැනුවත්ව කරන්නේ වික්ටර්ගෙන් මග හැරෙන අවකාශය තවත් වටයකින් වික්ටර්ගේ අරමුණට ම යළි සම්බන්ධ කිරීමයි. රාවය වටා රොක් වන සෙසු පිරිස ද එසේ ම ය.


මෙම ස්වභාවය ලංකාවේ වාමාංශිකයන්ගේ පොදු ලක්ෂණයකි. ඔවුන්ගේ මූලික ගැටලුව වන්නේ තමන් පටිසෝතගාමී පුද්ගලයන් නො වන බව තේරුම් ගැනීමට ඇති නො කැමැත්තයි.


මේ අය වනාහි බුද්ධිමය කරාටේ ක්‍රීඩාවේ කළු, දුඹුරු ආදී පටිකාරයෝ මිස පටිසෝතගාමියෝ නො වෙති. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. "තමන් පටිසෝතගාමීන් යයි සිතා සිටින වාමාංශිකයන් කරන්නේ සිය ඊනියා පටිසෝතගාමිත්වය රාවයේ පිටු මත මෝචනය කරගෙන රාජපක්ෂ ක්‍රමයට තුරුළු වී නිදා ගැනීම මිස අන් යමක් නො වේ. මේ සරළ සත්‍යය තේරුම් ගන්නට බැරිව පැනෙන් කරන සටන් විහිළු ය. වීරරත්න දක්වා සෙසු කාර්ය මණ්ඩලය ද දැනුවත්ව හෝ නො දැනුවත්ව කරන්නේ වික්ටර්ගෙන් මග හැරෙන අවකාශය තවත් වටයකින් වික්ටර්ගේ අරමුණට ම යළි සම්බන්ධ කිරීමයි. රාවය වටා රොක් වන සෙසු පිරිස ද එසේ ම ය."

    සහතික ඇත්ත...වියන්ගොඩ සහ සුනිල්ට පිළිතුරු දෙමින් අයිවන් ලියපු රාවය පිළිතුර කියවපුවම...මට බඩ විරේකය නිකම්ම සිදු උනා..."එම ලිපිය අනුව මහින්ද යුද්දය දිනන බව වියන්ගොඩ හෝ සුනිල් විස්වාස කලේ නෑ...එයල රනිල්ට සහය දුන්න අය...රනිල්ගේ සාම වැඩ සටහන ගැන ඔවුන් විශ්වාස කළා...ඒ නිසා ප්‍රභා පැරදුනාම එයාල පැරදුන වගේ දැනුන...එතන ඉඳල ආණ්ඩු විරෝදී විදිහට ලියනවා..." මේකට අඩු උනේ "මේ දේශ ද්‍රෝහීන්ට දැන් ඉතින් සුදු වෑන් එකක් අරින්ඩ තමා තියෙන්නේ" කියල නොලීව එක විතරයි...මම රාවය සල්ලි දීල බැලීම අත් හැරලා ටික කලක් වෙනවා...ඒ පුවත් පත් කලාව ගණිකා වුර්තියේ යොදන බවට මට තේරුණා දවසේ ඉඳල...ඒත් මේක කියවූවා ඔය වීරරත්නල ජන රන්ජනල කියවන්න...දැන් මම රාවය බලන එකත් අත් හැරියා...මොකද සති පතා බඩ විරේකය කරන්න තරම් මගේ බඩේ ලෙඩක් නැති නිසා...

    ReplyDelete
  2. / ඉන් මිදී විමුක්තිය සලසා ගන්නෝ පෙර කී පරිදි පටිසෝතගාමී ප්‍රතිපදාව අනුගමනය කරන්නෝය /

    ඉතිං බොලේ අයිවං උන්නැහැ කොරන්නෙත් ඔය ටික නේද?....විමුක්තිය සලසා ගැනීම...ඉතිං රාවෙ පටිසෝතගාමී නෙවෙයි නං වෙන අහවල් එකක්ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා