රිසානා බේරා ගන්නට ගිය වීරයෝ දැන් කොහි ද? ආණ්ඩුව අත සෝදා ගත්තා ද?

සවුදි අධිකරණයක් විසින් නියම කරන ලද මරණීය දණ්ඩනය කොයි මොහොතක හෝ ක්‍රියාත්මක වීමේ අනතුරක සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක් බාල වයස්කාර දැරියකව සිටියදී විදේශගත කිරීමට කටයුතු කළ ඒජන්සිකරුට හා තැරැව්කරුට වසර දෙක බැගින් බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් සහ රුපියල් හැට දහස බැගින් දඩ නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ඊයේ (16) නියෝග කළේය.


වගඋත්තර කරුවන්ට නියම කළ රුපියල් හැටදහස බැගින් වූ දඩය රිසානා දැරියගේ මවුපියන්ට වන්දියක් ලෙස ගෙවීමට නියෝග කෙරිණි. 2005 අපි‍්‍රයල් මස 5 වැනි දින හා මැයි මස 5 වැනි දින අතර කාලය තුළ මුත්තූර් හි රිසානා දැරිය රැවටීමට ලක්කර වංචා සහගතව විදේශගත කිරීම, මුදලට විකිණීම, වහල් වෙළඳාමේ නිරතවීමට හා ඊට ආධාර අනුබල දීම යන චෝදනා හතරකට මෙසේ වරදකරුවන්කර සිර දඬුවම් නියම කරන ලදී.


නඩුවේ තුන්වැනි විත්තිකරු වූ තම්බිලෙබ්බේ අබ්දුල් සලාම් වරද පිළි නොගන්නා බවට අධිකරණය ඉදිරියේ පැවැසීය. වරද පිළිනොගන්නා චුදිතට විරුද්ධව, වරද පිළිගත් පුද්ගලයන් සාක්කි ලෙස කැඳවන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා පැවැසීය.නඩු විභාගයකට ගොස් අධිකරණයේ වටිනා කාලය කා දමා අවසානයේ වරද පිළිගැනීමට තැත් කළහොත් ඊට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට ද පියවර ගන්නා බව නීතිඥවරයා පැවැසීය.


එය පැහැදිලිව ම අධිකරණ භූමියේදී කරන ලද තර්ජනයකි. නඩුවක තීන්දු දෙන්නේ පැමිණිල්ලේ නීතිඥයා නො ව විනිසුරු ය.


ආණ්ඩුවට උවමනා වී තිබෙන්නේ බාල වයස්කාර රිසානා වහල් ‍සේවයට යැවීමේ හා එහිදී මරණීය දණ්ඩනයට ලක් වූ ඇය බේරා ගැනීමට අසමත් වීමේ සිය අසමත්කම වසා ගන්නට කාගේ හෝ පිට වරද පටවා අත සෝදා ගන්නට ය.


රිසානා තවමත් මරණීය දණ්ඩනය අභිමුව ය. ඇය නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කළ ඉල්ලීම හෝ ‍සවුදි බලධාරීන් හා රිසානාගේ හාම්පුත්තු ගණන් ගත්තේ නැත.


එයින් පසුවත්, ඇය බේරා ගැනීම සඳහා කලින් කලට විවිධ වීරවරයෝ, වීරවරියෝ ඉදිරිපත් වූ හ. ඔවුන් සවුදියට ගොස් කළ දේ පැහැදිලි නැති මුත් ලංකාවේ ජනමාධ්‍ය හරහා නම් සෑහෙන්න පාරම් බෑ හ.


ඇතැම් දේශපාලකයෝ හා නිලධාරීහු සවුදි ගියේ රිසානා රැගෙන එන බවට පාරම් බාමිනි.


රිසානාගේ දුක්බර ඉරණම තවත් දේශපාලකයන්, නිලධාරීන් පිරිසකට රට සවාරි ගසන්නට පල්ලමක් විය.


ඇය තවමත් හිරේ ය. තොණ්ඩුව ඇගේ ගෙලට ඉහළින් ය.


ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගය රිසානාලා හෙවත් මැද පෙරදිග වහල්ලු ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා