බලු කරුණාවට වන්නේ ද මතට තිතට වුණ දේ ම ය

Add caption
කොළඹ බල්ලෝ වැඩේ වණ කර ගත් බව අප අනාවැකි කීවේ බල්ලන් නාමල් බේබිගේ කොළඹ වීදි කාර් රේස්වලට අභියෝග කළ අවස්ථාවේ ය. 


මෑත කාලේ රෙජිමට අභියෝග කළ එක ම පිරිස වන බල්ලන්ට වැඩේ දීමේ වැඩේ භාර දී ඇත්තේ ඇමති මෛත්‍රීපාල සිරිසේනට බව පෙනේ. ඒ නිසා දැන් ඇමතිතුමාට ගිය ගිය තැන බල්ලෝ පනිති. රෝහල්වල බල්ලෝ පිරිලා ය. බල්ලන් වඳ කරන්නට රුපියල් බිලියනයක් ද, බල්ලන් විසින් කන ලද මිනිසුන්ට බෙහෙත් විදින්නට බිලියන භාගයක් ද වසරකට වැය කරන බව ඇමතිතුමා මාධ්‍යවලට කියා තිබිණි.


බලු වැඩේට හවුල්කාර වරාය නියෝජ්‍ය ඇමති රෝහිත අබේගුණවර්ධන ද වරායේ බල්ලන් (කකුල් හතරේ) 4000ක් ඇති බව කියා තිබිණි. 


බලු වැඩේට අදාළ මාධ්‍ය කොන්ත්‍රාත්තුව භාර ගෙන ඇත්තේ ලංකාදීපයයි. එහි ඕපාදූප තීරයක පසුගියදා පළ වුණ පරිදි තානාපති නෝනා කෙනෙකු කියා ඇත්තේ ලංකාවේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට බල්ලන් බාධාවක් බවයි. එහෙනම් ඉතින් බල්ලන්ට අබ ම අබ සරණ ය. මන්ද, සංචාරක කර්මාන්තය නැති වුණොත් ආණ්ඩුවට අබ සරණ නිසා ය. 


බල්ලන් වන්ධ්‍යාකරණය සඳහා කොන්ත්‍රාත්තුව භාර ගත් කොළඹ ඉහළ පෙළේ රාජ්‍ය නො වන සංවිධාන කළේ අමු බොරුවක් බව දැන් පැහැදිලි ය. 


ගණන් කළේ කොයි බල්ලාදැයි නො දන්නා මුත්, පසුගිය දිනවල මාධ්‍යවලින් කී පරිදි විසි ලක්ෂයක් වූ ලංකාවේ බලු ගහණය දැන් මාධ්‍ය වාර්තාවලට තිස් ලක්ෂය වී තිබේ. 


දිනකට මිනිස්සු දෙදාහක් බල්ලන් විසින් සපා කනු ලබන බව වාර්තා වේ. බල්ලන් නිසා යතුරු පැදිකරුවෝ ද අනතුරට ලක් වෙති. වතාවක් බල්ලකු පැනීම නිසා ලේඛකයා ද මෝටර් බයිසිකලයෙන් වැටී පණ බේරා ගත්තේ හෙල්මටයට සහ හෙල්මට් නැති අය අල්ලන පොලිසියට පිං සිදු වන්නට ය. 


බැංගලෝරයේ නම්, වසර කීපයකට පෙර බල්ලන් ළමයකු කා මරා දැමූ පසු බලධාරීන්ගේ ඇස් ඇරිණි. 


අද වන විට ලංකාවේ පාසල්, පන්සල් ආදිය බලු අනාථාගාර වී තිබේ. ළමයින් ගෙදර ගිය පසු බල්ලෝ ඩෙස් බංකු මත ලගිති. පසු දින පාසල් එන ළමයි ඒ මත තබාගෙන කෑම පවා කති. ඇතැම් පන්සල්වල හාමුදුරුවන්ට වඳින විට එහිමියන්ගේ දෙපා ළඟ දැවටෙන වල් බල්ලන්ට ද නිකම් ම වැඳුම් පිදුම් ලැබේ. 


කොහොම වුණත්, දැන් නම් ඉතින් බල්ලෝ ඉවර ය. හරි හමන් බලු හබරකු වැඩේ භාර ගත්තොත්, බලු කරුණාවට වන්නේ ද මතට තිතට වුණ දේ ම ය. 


ඒ දවස්වල අනුරාධපුරේ හදන්න ගිය බලු අතුරු සෙවණ ගැන ද දැන් බල්ලෙක්වත් කතාවක් නැත. 


ප.ලි.: එහෙත්, මානවයන්ට වඩා බල්ලෝ වාසනාවන්ත ය. මන්ද, බලු අයිතිවාසිකම් ගැන කතා කරන්නට ධනවත්, ඉහළ පංතික පුද්ගලයෝ සිටිති. ඔවුහු මිනිසුන්ගේ, විශේෂයෙන් දිළින්දන්ගේ අයිතිවාසිකම් ගැන නම් කිසි දිනෙක කතා නො කරති.


මේ දිනවල ජන අරගල ව්‍යාපාරය සිය අතුරුදහන් වූ සගයන් දෙදෙනෙකු ඉල්ලා වීදි දෙවනත් කරති. එහෙත් කිසිවෙක් ඒ ගැන උනන්දු වන බවක් නො පෙනේ. 


අතුරුදහන් වූ දෙදෙනා දෙමළ අය වෙති. ඒ තවත් දෙමළ තරුණයන් දෙදෙනෙක් පමණි.


Read in English:
Culling times ahead of Sri Lanka's stray dogs

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. බලු වන්ධ්‍යකරනය නොකෙරෙනවාම නොවේය. අපි ඉන්නා හෝමගම පැත්තේ පාරේ බැල්ලියන් වන්ධ්‍යකරනය කරනු දැක්කෙමි. ඒක නම් කලේ එන් ජී ඕ එකකින්දැයි නොදනිමි. පලාතේ පශු තමයි වැඩේ කලේ, එයාට එන් ජී ඕ සල්ලි දුන්නාදැයි දන්නේ නැත.
    පාරේ ඉන්න බල්ලන් වඳ කල පමනට ම වැඩේ හරියන්නේ නැත. මධ්‍යම පාන්තිකයන් ඉන්නා අපේ පලාත් වල ගෙවල් ඇතුලේ ඉන්නා බැල්ලියන් මෙන් ම බල්ලන්ද ඇත. මේ බැල්ලියන් ට සල්ලි ගෙවා වඳ කරන්නට කට්ටිය මැලිය. එහෙම කරමු කීවාම මාර සදාචාර "ටෝක්ස්' දෙනවාය. බැල්ලියකට ගැබිණියක් වීමේ අයිතිය උල්ලංඝනය කිරීම වගේ ටෝක්ස් දානවාය.
    ඉතින් හදිසියේ ගමේ ග්‍රාමසේවක කාර්යාලය ලඟ බැල්ලියන් වඳ කරන්නට සූදානම් වෙනකොට, ඒ ගොල්ලන්ට තම්න්ගෙ ඩොගියා ව එක්ක එන්න නිකම් චකිතයි චකිතයි වගේ ය. පාරේ ඉන්නා බල්ලන් කඹ වලින් බැඳගන බල්ලන්ව වඳකිරීමේ කටයුතු වල ට උර දෙන්නේ ලෝකල් කොරියාවේ කට්ටිය සහ ඒගොල්ලන් අශ්‍රිත නිර්ව්‍යාජ මහත්තුරුන් ටික විතරය.
    බැල්ලි ඉන්නේ බුරන්න මිසක්, වත්තේ කැත කරන්න නොවෙන නිසා, වත්තෙන් එලියට යන්නට බැල්ලිට අවසර ලැබේ, ඉතින් බැල්ලී එහෙම යනකොට පාරේ ඉන්න බල්ලන් සම්ග පෙම් සබඳතා ඇතිවෙනවාය. පාරේ බැල්ලියන් වන්ධ්ය නිසා ඒගොලන්ට ඩිමාන්ඩ් එකක්ද නැත.
    ඉතින් කොහොමහරි බැල්ලී ගැබ් ගන්නවාය. පෙඩිග්‍රි තියන බැල්ලියන් නොවෙන නිසා ඒ ගොල්ලන්ගෙ පැටවුන්ට ඩිමාන්ඩ් එකක් නැත.
    ඉතින් පැටව් දාපු ගමන් ගෙවල් වලට ටිකක් ඈතින් තියන ටෙම්පල් එක ලඟට පැටව් ටික ට්‍රාන්ස්පෝර්ට් කෙරේ. අනිත් අතට දැන් ගොඩක් අයට 'වාහන' තියන නිසා සමහරවිට හුඟාක් ඈත තැනක දමා එන්නද පුලුවන.
    සමහරු ඊටත් වඩා මානුෂික දෙයක් කරති. බලු අම්මා නැතුව පැටව් කොහොම රැකෙයිද? එහෙම හිතන පින්වතුන් බැල්ලිය පැටව් ගසන්න පෙර ම ලොකූ ට්‍රිප් එකක් එක්ක යති , 25 ක්ම්ස් වගේ දුරක කන්වීනියන්ට් තැනක බැල්ලිය ට ආයුබෝවන් කියන හාම්පුතුන් සහ හාම්දූවරු , ඉන්පසු සතුටින් නිවස බලා එනවාය. ඔය කිව්වාට හැම බැල්ලම ඉව පාර දිගේ ගෙදර හොයාගන එන්නේ නැත. විශේශයෙන්ම පැටව් ලැබුනාම උන් රැකබලා ගන්න මහන්සි වෙන්න ඕනා හින්දා ඒගොල්ලො පවුල පිටින් පාරේ සුඛෝපභෝගී ජීවිත ගත කරති.
    ඉතින් වන්ද්‍ය කේස් එක කොහොම කලත් , පාරට අනවරත බලු සැපයුමක් ලබා දීමට රටේ ගෙවල් වල ඉන්නා අය වග බලා ගනිති. නොමිලේ ඉන්ජක්ශන් එකක් ගස්සවා ගැනීමට , ඇස් කනාඩි ගැනීමට හෝ බැල්ලක් වඳ කරන්න ට මේ කස්ටිය හයි ෆයි වැඩිය. මානව දයාවෙන් නෑවුන, කරුනා වෙන් බරිත වුන, සියලු දේශපාලන දොස් වලට විසඳුම් දන්නා, අල්ලසට විරුද්ධව නිවසේ ආලින්දයේ පුටුවක වාඩි වී අභීත සටනක් ගෙනයන, ක්‍රීඩා ව ගැන සියල්ල මෙන්ම, සියල්ල ගැන සියල්ල ද දත්, හරකා ට අනුකම්පාකරමින් චිකන් කන, කව්දාවත් බොන්නැතුව ඩ්‍රින්ක්ස් ගන්නා, මේ රෙපෙක්ටබල්, ඩීසන්ට්, ඔනස්ට් ජෙන්ටල්මන් ලාත් කුටුම්භයනුත්, දිගින් දිගටම මේ බලු කැල ගැන දක්වන අනුකම්පාව නිසා, නාමල් බේබිගේ වීදි රේස් ඒක්ට ඇති තරම් සුනඛයන් සැපයීම අපි ලබන වසරේත් කරනවා කරනවාමයි කියන එක , මේ අවස්ථාවේදී සතුටුන් ප්‍රකාශ කරනවා නෝනා වරුනි මහත් වරුනි! ( අත්පොලසන් )

    ReplyDelete
  2. @ priya,
    Exellent comment

    ReplyDelete
  3. මේකට එකම විසඳුමයි තියෙන්නෙ..... ඉස්සර වගේ බලුවෑන් දාල පාරේ යන සියලුම බල්ලන් විනාස කරන්න ඔනෙ...... ඒවගේම පාරෙ ඉබාගාතෙ කරග්ගහන්න ඉඩදෙන සියලුම බලු හිමියන්ට දඩ ගහන්න ඔනේ.....මමත් බල්ලන්ට සෑහෙන්න ආදරේ කරන පුද්ගලයෙක්.. මගේ දුකට සැපට ඉන්න එකම මිතුරා සහ ඤාතියා බල්ලෙක් තමයි... නමුත් දඩාවතේ යන බල්ලන්ගෙන් වෙන ව්‍යවසනය ඉතාම දරුනු එකක්... ඒකෙ භයානක කම බොරුසීලයක් මවාගත්ත අපේ සමාජයට තාම තේරිලා නෑ.... මේ බලු ප්‍රශ්නෙ මහ උන්ගෙ වීදි කාර් රේස් එකෙන් එලියට ආවත් මේක කාලයක් තිස්සෙ පවතින විශාල ප්‍රශ්නයක්....මහ උන්ගෙ ආතල් නැතිවීමේ හේතුවෙන් හරි මේ ප්‍රශ්නෙ ඉවර වෙනවනං ලොකු දෙයක්... ප්‍රශ්නෙ අපෙ සුනඛාත්මටික මේකත් වවං කයිද කියල..

    X-Porter

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා