එළවළු ප්‍රශ්නය දිග්ගැසේ; එළවළු නැත්නම් පලතුරු කාපල්ලා

නීති සම්පාදනය යනු බලය තිබුණු පලියට කළ හැකි දෙයක් නො වේ. නීති සම්පාදනයේදී වැදගත් ම සාධකය වන්නේ බලය නො ව මොළයයි. 


ලංකාව උෂ්ණාධික රටක් නිසා ලංකාවට වඩාත් සුදුසු කපු යට ඇඳුම් ය. කෘත්‍රිම රෙදිවලින් මසන ලද යට ඇඳුම් ඇන්දොත් සමේ රෝග ඇති වන බව කියා ඕනෑ නම් ඒ පිළිබඳ සමීක්ෂණයක් කර ඒ බව ඔප්පු කරන්නට ද පුළුවන. 


එහෙත්, අඳින යට ඇඳුම තෝරා ගැනීම කෙනෙකුගේ පෞද්ගලික කාර්යයකි. ආණ්ඩුව අණ පනත් ගෙනැවිත් කපු යට ඇඳුම් ඇඳීම අනිවාර්ය කර, කොළඹට ඇතුළු වන මිනිසුන්ගේ යට ඇඳුම් පෑලියගොඩ පාලම ළඟදී පරීක්ෂා කර කෘතිම රෙද්දෙන් මැසූ යට ඇඳුම් ඇඳ සිටින මිනිසුන්ට දඩ ගසන තත්වයක් ලංකාවේ ඇති වුණොත් කොහොම ද? 


‍ලංකාවේ මිනිසුන් කපු යට ඇඳුම් ඇඳීම හොඳ දෙයකි. එහෙත්, එය පුරුදු කරවිය යුත්තේ නීති දමා නො වේ. දැනුවත් කිරීමෙනි. එසේ ම, දුප්පත් මිනිසුන්ට කපු යට ඇඳුම් මිළ දී ගැනීමට හැකි ආර්ථික තත්වයක් ද ඇති කළ යුතු ය. 


අපේ මේ පූර්විකාව දැන් රටේ නිර්මානය වී තිබෙන එළවළු අර්බුදය පිළිබඳ ය. 


ලංකාවේ එළවළු ගොවිතැනෙහි ඇති ලොකුම ගැටලුව වන්නේ ප්‍රමිතියකින් තොරව පලිබෝධ නාශක භාවිතා කිරීමයි. එහි පාලනයක් ඇති කරන්නට ආණ්ඩුවට හැකියාවක් හෝ උවමනාවක් හෝ නැත. 


ආණ්ඩුව අත ගසා ඇත්තේ පසු අස්වනු නාස්තිය වැළැක්වීමේ ක්‍රියාමාර්ගයකට ය. ප්ලාස්ටික් පෙට්ටි භාවිතා නො කිරීම නිසා එළවළු පලතුරුවලින් 30%ක් අපතේ යන බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට කවුරුදෝ සමීක්ෂණ මගින් පෙන්වා දී ඇත. එ අනුව, සාමාන්‍යයෙන් ඔබේ ගමේ පොළට ගෙනෙන එළවළවලින් අඩු තරමේ හතරෙන් පංගුවක්වත් කුනු වී වීසි කරනවා විය යුතු ය. එහෙම එකක් වෙනවා ද කියා පොළට ගොස් බලන්න. එහෙම දෙයක් ඔබට නො පෙනේ නම් ඇමති ජොන්ස්ටන්ගේ සමීක්ෂණ වාර්තා ඉල්ලාගෙන බලන්න. 


එසේ ම, ප්ලාස්ටික් පෙට්ටි භාවිතා කළොත් පසු අස්වනු නාස්තිය 0% වෙනවාදැයි කියා ද පැහැදිලි නැත. පසු අස්වනු නාස්තියට එක ම හේතුව ගෝනිය නො වේ. 


අනෙක් පැත්තෙන් වෙළෙන්දා ලාභය උපරිම කර ගැනීම ඇමති ජොන්ස්ටන්ගෙන් උගත යුතු නැත. ප්ලාස්ටික් පෙට්ටියේ ගෙනැවිත් විකුණන අධි මිළ එළවළු මිළ දී ගැනීමේ හැකියාව මේ රටේ සාමාන්‍ය පාරිභෝගිකයාට නැත. දැනටත් සාමාන්‍යයෙන් එළවළු කිලෝවක සිල්ලර මිළ රු. 200ක් පමණ වේ. එළවළු විකුණන සියලු දෙනා ධන කුවේර‍යෝ  නො වෙති. ඔවුහු ද සාමාන්‍ය මිනිස්සු ය. මේ රටේ පාරිභෝගිකයන් සාමාන්‍ය වෙළඳුන් සතුරන් ලෙස සලකන්නට තරම් මන්ද මානසිකයන් නො වන බව වෙළෙඳුන්ට එරෙහි ප්‍රචාර ගෙන යද්දී ආණ්ඩුව දැන ගත යුතු ය. 


ප්ලාස්ටික් පෙට්ටි කොම්පැනිවලින් ගැසූ කොමිස් ආණ්ඩුවේ මේ දැඩි පියවර පිටුපස තිබෙනවා විය යුතු ය. 


අනෙක් ප්‍රශ්නය වැඩි වන ප්ලාස්ටික් භාවිතයට ගැ‍ලපෙන අපද්‍රව්‍ය කළමනාකරණයක් නැතිකමයි. 


ගේම වල් වී යන විට ඇමති ජොන්ස්ටන් දැන් සූදානම් වන්නේ ආණ්ඩුවේ වාසියට තවත් වල් ආසියකු ගහන්නට ය. ඒ වනාහි මැනිං වෙළඳපොළ වසා දමා ඉඩම් අත් පත් කර ගැනීමේ ආණ්ඩුවේ උවමනාව සමග එකතු වන්නට ය. මැනිං වෙළඳපොළ වසා නාරාහේන්පිට එළවළු තොග වෙළඳපොළ බවට පත් කරන බවට ඇමති ජොන්ස්ටන් දැන් තර්ජන නිකුත් කරයි. 


මේකෙන් වෙන්නේ යුද්ධයෙන් පසු අසරණ වී සිටින අපේ හමුදාවට ආයෙත් 'ලාබයි පතෝල, ලාබයි වම්බටු' කියන්නට වෙන එක ය.  

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ප්‍රවාහනයෙදී එළවළු පළතුරු නාස්ති වෙන එක අද හැමෝම දන්න කාරණයක්..ගොවියාත් දන්නවා...ප්‍රවාහකයාත් දන්නවා, වෙලෙන්දාත් දන්නවා. එළව්ළු අතරමැදියා ගොවියාට ගෙවන්නේ නාස්තියටත් ගානක් තියලා...ඒ නිසා ගොවියාට නියම මිලක් ලැබෙන්නෑ. ලංකාවේ මිනිස්සු හොඳ දේටයි නරක දේටයි හැම දේටම විරුද්ධ වෙන එකේ මේකත් අරුමයක් නෙවේ.

    ReplyDelete
  2. plastic pettiwalin comis gahala nathnam mokada me hati adare

    ReplyDelete
  3. පහසුවෙන්ම කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ වරද..එක ඇත්ත..ලංකාවේ සමහර අයට හොද වෙන දේ තව කෙනෙකුට නරකයි..එ ඇයි...? පහසුව දකින්නේ කියන අය...අපහසුව දකින්නේ කරන අය...? විදවන්නේ අනෙක් අය...මිනිස්සු මිනිස්සු විදියට හිතනවනම් ප්‍රශ්ණය විසදගන්න එක අමාරු නැහැ...එත් කාටද කියනනේ...විසදුම ගත හැකි එක්කෙනයි ඉන්නේ...බලමු එයා මොකද කරන්නේ කියල...

    ReplyDelete
  4. කරනම්වාහේ: රාත්‍රි​​යේ වෙළදාම් කරන ඹය ආර්ථීක මධ්‍යස්ථනයක අළුයම හෝ උදෑසනම ගේට්ටුව ලග පොරකන මිනිසුන්/ගැහැනු හා දරුවන් මූ දැකලාම නැද්ද? ඒ ඉවත ලන එළවළුත්;පළතුරු අහුලා විකිණීමට හෝ පරිභෝජනයට වේ. ජෝනිගේ 30%නුත් තව20%වත් නැවත අහුලාගේන කන රටක් බව ආශ්චර්යේ රජුටත්;දිරච්චමුලට ද සේම තුච්ච,නීච මේ ඈමතියන් දනීද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා