කරන්දෙනියෙන් හෙළි වන අපරාධ සංස්කෘතියේ ගැඹුර / The depth of the crime culture in Sri Lanka

සැප්තැම්බර් 29දා කරන්දෙනියේ වෛද්‍යවරයා ඝාතනය කිරීෆම් සිද්ධිය ලංකාව ගිලගෙන තිබෙන අපරාධ සංස්කෘතියේ ගැඹුර වෙත අවධානය යොමු කරන්නකි. 


වෛද්‍යවරයා මරා දමා ඇත්තේ තවත් වෛද්‍ය මධ්‍යස්ථාන හිමියකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව ය. හේතුව වී ඇත්තේ චැනලින් ව්‍යාපාරය නිසා මේ දෙදෙනා අතර ඇති වූ තරගයයි. මරා දමන ලද වෛද්‍යවරයාගේ දිගාසී නම් අලුත් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය හේතුවෙන් සැකකරුගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ චැනලින් බිස්නස් වැටී ඇත. 


මිනීමරුවා ද වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයකු වන මවකගේ පුතෙකු බව කියැවේ. ‍ඒ අනුව බලන විට මේ වනාහි සමාජයේ වැදගත් යයි කියන පවුලකින් පැවත එන කෙනෙකි. 


වෛද්‍යවරුන් හා වෙනත් වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ඉන්නේ මිනිසුන් මරන්නට නො ව, ජීවත් කරන්නට ය. ධනවාදය තුළ සිදු වන්නේ ප්‍රාග්ධනය සංකේන්ද්‍රණය කර ගැනීම පිණිස අනෙකා විනාශ කිරීමයි. ඝාතනයට ලක් වූ වෛද්‍යවරයා ද කර ඇත්තේ එයයි. 


වෛද්‍යවරුන් වැඩි වන විට, හරි නම්, රෝගීන් අඩු විය යුතු ය. එවිට දොස්රලාට බිස්නස් අඩු වේ. වෛද්‍යවරුන් සුලබ වීම වැළැක්වීම පිණිස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දත කන්නේ සමහර විට දොස්තරලා ලෙඩුන් බෙදා ගන්නට මෙසේ මිනී මරා ගන්නා සංස්කෘතියක් ඇති වීම වළක්වන්නට වන්නට පුළුවන. 


අද කාලයේ සියලු දුෂ්ටකම් වසා ගන්නේ ආගම, ජාතිය, භාෂාව ආදිය පෙරට දමාගෙන ය. ඝාතනයට ලක් වූ වෛද්‍යවරයාගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ නම දිගාසී ය. ඇහුවොත් නම දැම්මේ අරිසෙන් අහුබුදු ය කියනු ඇත. කෙසේ වෙතත්, දිගාසී නිසා කිහිපදෙනෙකුගේ ජීවිත කෙටි වෙමින් ඇත. 


‍ඔහු කොන්ත්‍රාත්තුව දී ඇත්තේ ඔහුගේ ළඟ ම මිතුරකු වන හමුදා කපිතාන්වරයකුට ය. කපිතාන් මේ වැඩේ කර ඇත්තේ යාළුකමට ය.මිතුරකුට සතුරා මරා දීමේ උදව් මෙවැනි හමුදාකාරයන් තව කොතරම් නම් කර ඇද්ද? 


හමුදා කපිතාන් මේසඳහා යොදාගෙන ඇත්තේ ඔහු යටතේ සේවය කළ සෙබළු දෙදෙනෙකි. ඇතැම් විට ඉහළ නියෝගයක් නිසා මෙය කළ යුතුව ඇතැයි ඔහු ඔවුන්ට පවසන්නට ඇත. ඝාතනය සඳහා යොදාගෙන ඇත්තේ මහජන මුදලින් මිළ දී ගත් රජයේ ගිනි අවියකි. 


මෙහි ඇති තවත් සුවිශේෂ කාරණයක් වන්නේ ඝාතක තුවක්කුකරුවන් දෙදෙනා එක ම පවුලේ සහෝදරයින් වීමයි. 



සිය අණ දෙන නිලධාරියා, අනුග්‍රාහකයා, ආරක්ෂකයා කියන ඕනෑම දෙයක් කරන මෙවැනි මිනිස් සතුන් සතුව තිබීම අද කාලයේ සැලකෙන්නේ වාසනාවක් ලෙස ය. හැමෝ ම උත්සාහ කරන්නේ මෙවැනි ගෝලබාලයන් පිරිසක් බිහි කර ගන්නට ය. එවැනි ගෝලබාලයන් සිටින අය අද සමාජයේ නායකයන් ලෙස සැලකේ. 'අපේ සර් කියනවා නම් අපි ඕනැ දෙයක් කරනවා' ය කියා මේ ගෝලයෝ කියති. මේ සර්ලා මෙවැනි අය හඳුන්වන්නේ 'මගේ කොල්ලෙක්' ය කියා ය. 

ජවිපෙ පාර්ශ්ව දෙකක් අතර සිදු වන ගැටුමේදී පවා නායකයන් සිය සාමාජිකයන් තුළ අගය කරන ලක්ෂණයක් වන්නේ මෙයයි. ඊයේ වනතෙක් සහෝදරයකු වූ මිනිසකු අද මූලස්ථානයට ආවොත් ගහලා පන්නපල්ලා යි නායකයෝ සාමාජිකයන්ට උපදෙස් දෙති. 

ඝාතක දොස්තර හා කපිතාන් වැනි 'වැදගත්' මිනීමරුවන්ට දැන් ගැලවීමේ මාර්ගයක් ද ඇත. ඒ වනාහි නඩුවෙන් නිදහස් වෙන්නට බැරි වුණොත් ජනාධිපති සමාවක් ඉල්ලා සිටීමයි. මහජන මුදල් වංචා කර, රට සවාරි ගොස් අසු වී අධිකරණයෙන් දඬුවම් ලද, අභියාචනයෙන් ද පරාජය වූ මහනුවර හිටපු පුරපති කේසර සේනානායක විශේෂ ජනාධිපති ‍සමාවක් යටතේ නොබෝදා සියලු දඬුවම්වලින් නිදහස ලැබූ ආකාරය මෙවැනි මිනීමරුවන්ට ද අනුගමනය කිරීමට ආදර්ශයක් සපයා තිබේ. 

තමන් ගැන සිතා වෙනත් අපරාධකරුවන්ට අනුකම්පා කරන පාලකයකු ලැබීම මෙවන් සමාජයක් වාසනාවක් ලෙස සලකයි. 

'අත්තා නං උපමං කත්වා...' සෑම අවස්ථාවක දී ම තමා උපමාවට ගෙන ජීවත්විය යුතු ය.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. "ධනවාදය තුළ සිදු වන්නේ ප්‍රාග්ධනය සංකේන්ද්‍රණය කර ගැනීම පිණිස අනෙකා විනාශ කිරීමයි."
    සමාජවාදයෙ සමස්ථ සමාජයම ඉන්ජිෙන්රු කරණය කරන්නට යාමෙන් මිලියන ගනන් මිය යයි. ධනවාදය තුල පමණක් නොව ඔ්නෑම වාදයක් තුල මෙය දැකිය හැකියි.

    ReplyDelete
  2. වෛද්‍යවරයා කියන්නේ තවත් වෘත්තියයක් කිව්වම මාත් එක්ක මරා ගන්න එනවා. ඔය ඉතින් තව මොනවද සාක්කි. ඒත් මගේ අලුත් පොස්ට් එකෙත් දේවත්වය ආරූඩ කළා. මක්කටෙයි මිනිස්සු තරහ කොර ගන්නේ. කොහොම හරි අපරාදේ වටිනා ජීවිත....

    ReplyDelete
  3. තමන් ගැන සිතා වෙනත් අපරාධකරුවන්ට අනුකම්පා කරන පාලකයකු ලැබීම මෙවන් සමාජයක් වාසනාවක් ලෙස සලකයි .

    ReplyDelete
  4. ඔබ මේ වෛද්‍යවරයාටත් බිස්නස්කරුවෙකු යැයි චෝදනා කලත් තවත් තැන් කීපයක තිබුනේ මේ වෛද්‍යවරයා ප්‍රදේශයේ දුප්පත් මිනිස්සුන්ට නොමිලේ හෝ ඉතා අඩු මිලට ප්‍රතිකාර කල බවත්, මිනීමරුවාට අයත් රසායනාගාරයේ පරීක්ෂණ තත්වයෙන් බාල නිසා එය නිර්දේශ නොකල බවත් මේ නිසා ඇතිවූ තරහ නිසා මිනීමැරුම සිදුවූ බවත්. මේ දෙකෙන් කුමක් නිවැරදිදැයි මා දන්නේ නැහැ. නමුත් මේ දෙවැන්න නිවැරදි නම් ඔබේ ප්‍රකාශයෙන් ඒ වෛද්‍යවරයාට සිදුවන්නේ මහා අසාධාරණයක්. මේ ගැන ටිකක් සොයාබලන්න.

    ReplyDelete
  5. මේ සිද්දිය ගැන සමහර පත්තරවල තිබුනේ වෙන කතාවක් තමා...මේවා ඇත්ත විදියට අරගෙන ලොකු කතන්දර හදන්නේ බලාගෙන...නඩු ඉවර නෑ...පත්තරවලින් නඩු අහන දඩුවම් දෙන රටක අපි ඉන්න බව මතක තබා ගත්තොත් තමා හොඳ...මේව ගොතන කතාද දන්නේ නෑ...ඇත්ත අපරාදකරු හංගල වෙන අය හිරේ යන කාලයක් මේක...මේකට ධනවාදයයයි...දොස්තරලා ගේ සංගමයයි ඇදල ගන්නේ මොකටද...ම්ලෙච්චයන්ට ගිය රටක නේ අපි ඉන්නේ...සමාජවාදය තිබ්බත් මේක තමා වෙන්නේ...මොකද ධනවාදය වගේම සමාජවාදයත් පහලින් එන දෙයක් නොවන නිසා...බලය ගන්න මිනිස්සුනට ඕව තේරුනාට...අන්තීමට ජරා ජීරණ වෙලා තියන ප්‍රජාතන්ත්‍ර වාදය නිකමටවත් තමන්ගේ සමාජ භාවිතාවට ගාවා ගෙන නැති සමාජයකට ඕක තේරෙන්නේ නෑ...තේරෙන දේ තමා ඔය කරන්නේ...ධනවාදය හැමතැනම මිනි මරන්නේ නෑ...

    ReplyDelete
  6. මෙහි සදහන් කරන දොස්තර මහතාගේ කිසිදු මුදල් සෙවීමේ පරමාර්ථයක් නොතිබූ බව අවදාරණයෙන් ප්‍රකාශ කරමි. මාගේ උපන් ගමද කරන්දෙණිය වන බෙවින් මොහු කල සේවය මා ඉතා හොදින් දනිමි. මොහු වටා රැස් වූ ජනයා දෙස බලනවිට තවමත් අපගේ යම් කිසි එකමුතු කමක් ඇති බව සිතට දැනේ. මෙවන් දොස්තර වරු ඉතා කලාතුරකින් බිහිවන බවත් අපගේ අවාසනාවට මොහුට පරලොව යාමට සිදුවූ බවත් කීමට කැමැත්තෙමි. ඔබට හැකියාවක් තිබේනම් ඔහුගේ සබැ තොරතුරු මෙහි පල කරන්න. මාද්‍ය තුල පොදුවේ දක්නට ලැබෙන අඩු පාඩුවක් නම් නරක දේට දෙන ප්‍රචාරණය හොද දේට නොදීමය. මා මෙම වෙබ් අඩවිය සැමදා කියවන්නේ මෙහි අනෙක් ඒවාට වඩා වෙනසක් ඇති බැවිනි. හැකිනම් හොද සදහාද ප්‍රචාරණයක් දෙන්න

    ReplyDelete
  7. කොහොමටත් W3lanka සත්‍ය සිද්ධියක් වටා සුරංගනා කතා ලියන්න බොහොම කැමතියි.
    -Kumar-

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා