දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී පුතා ජනාධිපති, ආරක්ෂක ලේකම් හා සරත් ෆොන්සේකා මරන්න හැදුවා ය කියා නඩු

කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් අදියරේදී එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයේ රැඳී සිට කොටින්ගේ පරාජයත් සමග අවතැන් වූ ජනයා සමග රජයේ පාලන ප්‍රදේශයට පැමිණීමෙන් පසුව අත්අඩංගුවට ගෙන පුරා මාස අටක පමණ කාලයක් කොළඹ අත්අඩංගුවේ තබාගෙන සිටි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් රජය 2010 ජනවාරි මස විසින් නිදහස් කර තිබේ.


ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් නඟා නො තිබිණි.


කනගරත්නම් මන්ත්‍රීවරයා යුද්ධයේ අවසන් අදියරේදී යුද මුක්ත කලාපයේ සිදු වූ සිදුවීම් පිළිබඳ ප්‍රබල සාක්ෂියකරුවකු වීම ඔහු මෙසේ රඳවා තබා ගැනීමට හේතු විය.


සතාසිවම් කනගරත්නම් නිදහස් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දීමේ කොන්දේසියක් පිට බව දෙමළ ජාතික සන්ධානය පැවසී ය.


මෙම මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ද කොටි සංවිධානය විසින් කොළඹට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලට උදව් කළේ ය යන චෝදනාව මත රඳවා තබාගෙන සිටින අතර ඔහු නිදහස් කර ගැනීම සඳහා උදව් කරන බවට ද ආණ්ඩුව එහුට පොරොන්දු වී තිබුණු බව ඒ දිනවල වාර්තා විය.


එසේම යුද්ධයේ අවසන් දිනවලදී ඔහු දුටු කිසිවක් ප්‍රකාශ නො කරන ලෙස ද ඔහුට උපදෙස් දී ඇති බව දැනගන්නට තිබිණි.


කනගරත්නම් මන්ත්‍රීවරයාට වවුනියාවේ මන්නාරම් පාරේ අලුතින් ඉදි කරන ලද රජයේ සංචාරක බංගලාවක් ද, රජයේ වාහනයක් සහ පොලිස් ආරක්ෂාව ද සපයා තිබිණි.


සතාසිවම් කනගරත්නම් 2000 වසරේ පැවති මහ මැතිවරණයේදී පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු ලෙස වන්නි දිස්ත්‍රික්කයට තරග කර පරාජය විය.


සතාසිවම් කනගරත්නම් පිළිබඳ ඉන් පසු අසන්නට නො ලැබිණි.


මෙන්න ඔහුගේ පුත්‍රයා පිළිබඳ අලුත් ම පුවත: (උපුටා ගැනීම දිනමිණෙනි)


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු උසස් හමුදා නිලධාරියකු වෙත මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කැර ඔවුන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කරන ලදැයි හිටපු ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකුට හා තවත් පුද්ගලයකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (28) නඩු පවරන ලදී.

මෙසේ නඩු පවරනු ලැබුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ සතාසිවම් කනගරත්නම් මහතාගේ පුත්‍රයා වන කනගරත්නම් ආදිත්‍යන් හෙවත් ගිරිදරන් හෙවත් රහ්වින් හෙවත් කන්නන් (32) සහ කන්දවම් නේගුල්හාන් හෙවත් ඉම්බන් හෙවත් යෝගලරත්න දයාබරන් හෙවත් සෙල්ලා නමැත්තන්ටයි.
2009 ජනවාරි පළමුවැනිදාත්, නොවැම්බර් මස පළමුවැනිදාත් අතර කාලයේ කොළඹ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කරන ලදැයි විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ නඩුව පවරා ඇති අතර විත්තිකරුවනට එරෙහිව ලේඛන තුනක් ද සාක්කිකරුවන් 13 ක් ද, ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දන්වා ඇත.

මෙහි විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව සාක්කිකරුවන් අතර ගේගුල්හාන් නමැති විත්තිකරු විසින් කළ ප්‍රකාශය සටහන් කළ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත, අධිකරණ භාෂා පරිවර්තක කිංස්ලි යන මහත්වරු ද වෙති.
කියවන්න  Heroes Day assault on Tamil political prisoners and reconciliation

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. දිනමිණ මේවා පල "කැර කැර" කැ. . වැඩ කරන්නේ කා වෙනුවෙන්ද කියා අපි හොඳින්ම දනිමු. දෙමල ජාතික සන්ධානය හිස එසවීම වැලැක්වීම. ආනන්ද සන්ගරීලාට, සම්පන්දන්ලාට පොඩි තර්ජනයක් (සමහර විට ලොකු තර්ජනයක්) දී ඔවුන්ගේ කට වසා උතුරේ ජනමතය යටපත් කිරීම හැර වෙනත් දෙයක් මෙහි නැත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා