අන්‍යාගම්වලට හැරවීම වැළැක්වීමේ පනත හා වලිගය මත සිට ගැනීමේ කලාව

ජුසේ වාස් පියතුමා
ජාතික හෙළ උරුමයට නැවතත් අන්‍යාගම්වලට හැරවීම වැළැක්වීමේ පනත හදිසි පනතක් ලෙස සම්මත කර ගැනීමට අවශ්‍යව ඇත. (මේ ඇතැම් විට දේපල පවරා ගැනීමේ පනත ඉදිරියේ සිදු වූ අලකලංචිය වසා ගැනීමේ ජිමික් එකක් විය හැකි ය.) එම පක්ෂය මෙසේ කියයි:

'ඇමෙරිකානු ඊනියා ක්‍රිස්‌තියානි සංවිධාන මෙරට තහනම් කරන ලෙස කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමා රජයෙන් ඉල්ලීමක්‌ කර ඇති බව දැන ගැනීමෙන් අප විශ්මයටත් බලවත් සතුටටත් පත් වීමු. මක්‌ නිසාද යත් ජාතික හෙළ උරුමය දීර්ඝ කාලයක සිට බලහත්කාරයෙන් ආගම්වලට හැරවීම තහනම් කිරීමේ අන්‍යාගමීකරණ පනත ශ්‍රේෂ්ඨාධිකරණයටත් පාර්ලිමේන්තුවටත් ගෙන ඒමට කටයුතු කළ අවස්‌ථාවේදී ශ්‍රී ලංකා රාජගුරු මණ්‌ඩලය, ක්‍රිස්‌තියානි හා කතෝලික සභාවන් එම පනත රටට අනවශ්‍ය බවත් එම පනත මගින් ආගමික සහජීවනයට හා ආගමික නිදහසට බාධා සිදුවන බවත් කියා සිටිමින් දැඩි විරෝධය පළ කරන ලදී. එදා රදගුරු මණ්‌ඩලය විසින් රැකගත් ඊනියා ක්‍රිස්‌තියානි මූලධර්මවාදී සංවිධානයන් අද තහනම් කරන ලෙස ඔවුන් විසින්ම රජයෙන් ඉල්ලා සිටීම විශ්මය දනවන්නකි. දුප්පත්කම දඩමීමා කරගෙන අයථා ක්‍රම මගින් ආගම්වලට හරවා ගැනීමේ මිෂනාරී සංවිධානයන්ට එරෙහිව දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ජාතික හෙළ උරුමය, බෞද්ධ සංවිධාන ඇතුළු හින්දු සංවිධාන එකාබද්ධව නැගූ හඬ අද ක්‍රිස්‌තියානි හා කතෝලික සභාවන්ගේ හඬ වීම සතුට දනවන්නකි.'

උපතින් බෞද්ධයකු වන මෙම ලේඛකයා බුදුන්ගේ දේශනාව පිළිබඳ සාපේක්ෂ වශයෙන් වැඩි අවබෝධයක් ද, ගෞරවයක් ද සහිත අයෙකි. ඔහු සිතන ආකාරයට මාක්ස්වාදය ද ඇතැමුන්ට ආගමකි. ඔහු මාක්ස්වාදය ද ඇතුළුව අද ලංකාවේ පවතින කිසිදු ආගමක් අදහන්නෙකු නොවේ.

හෙළ උරුමය විසින් යෝජිත පනතේ මූලික ගැටලු කීපයක් ඇත. ඔවුහු අන්‍යාගම් යන වදන පාවිච්චි කරති. අන්‍ය ආගම් යනු අනුන්ගේ ආගම් ය. අනුන්ගේ ආගම්වලට හරවා ගැනීම තහනම් ක්‍රියාවක් නම්, මෙම පනත ක්‍රියාත්මකව තිබුණා නම් දේවානම්පියතිස්ස රජු බුදු දහමට හරවා ගත් මිහිඳු හිමියෝ ද වැරදිකරුවකු වනු ඇත.

100%ක් බලහත්කාරයෙන් ආගම්වලට හරවා ගැනීමක් ලෝකයේ කොහේවත් සිදු වන්නේ නැත. සිදු වන්නේ බලපෑම් කරමින්, විවිධ වරප්‍රසාද දී එම හරවා ගැනීම කිරීමයි. දේවානම්පියතිස්ස රජු බුදු දහමට හරවා ගැනීම පිටුපස ද අශෝක අධිරාජයාගේ බල දේශපාලනික උවමනාවන් මත පදනම් වූ බලපෑම් හා වරදාන තිබූ බව ඉතිහාසය අධ්‍යයනය කළොත් වටහා ගන්නට පුළුවන. .

අද කාලයේ ඉවැන්ජලික ආගම් පිළිබඳ මෙම ලේඛකයාගේ අත්දැකීම් කීපයක් ගෙන හැර දක්වන්නට කැමැත්තෙමි. ලේඛකයාට එක් කලකදී හමු වූ ජවිපෙ ක්‍රියාකාරික මිතුරන් දෙදෙනෙක් අද වන විට මෙවැනි ආගම් සමග ක්‍රියාකාරීව සම්බන්ධව ඇත. එයින් එක් අයෙකු ඔහුගේ සමීප මිතුරකු වන අතර තවමත් ජවිපෙට ඉතා හිතවත් අයෙකි.

වෘත්තියෙන් වානිජ චිත්‍ර ශිල්පියකු වූ ඔහුට පසුගිය සමයේ සිදු වූ ඩිජිටල්කරණය තුළ සිය ජීවනෝපාය අහිමි විය. කලක් තිස්සේ දැඩි අගහිඟකම් මධ්‍යයේ ජීවත් වන ඔහු නමට පමණක් අදහමින් සිටි බුදු දහම අතහැර ඉවැන්ජලික ක්‍රිස්තියානි සභාවකට සම්බන්ධ විය. ඒ හෙපටයිටිස් බී වැළඳී සිටි ඥාතියකුට සුව පතා කළ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස ය.  ඒ කාලයේ ඔහුගේ මවට ලොතරැයි දිනුමක් ඇදිණි. ඒ සමග ම එම බෞද්ධ පවුල තුළ මෙම ආගම පිළිබඳ විශ්වාසය වැඩි වූ අතර වරක් මෙම ලේඛකයා ඔහුගේ නිවසට යන කල එහි යම් ආගමික මෙහෙයක් පැවැත්වෙමින් තිබිණි. සිය බිරියට ස්වර්ගයේ භාෂාවෙන් කතා කිරීමට පවා හැකියාව ඇති බව මිතුරා පැවසී ය.

ජවිපෙ ආසන 40ක් දිනා ගනිමින් ජයග්‍රාහී මට්ටමක සිටි සමයේ ඔහු හමු වූ විටෙක ලේඛකයා එකී ආගම ගැන මිතුරාගෙන් විමසුවේ ය. ඔහු කීවේ තමන් දැන් ඒ හා සම්බන්ධ නැති බව හා පක්ෂය තමන්ට ඒවායේ හරය කියා දුන් බව ය. ජවිපෙ දේශපාලනිකව පසුබසින විට නැවත මෙම අදහස් වෙනස් වූ බව ලේඛකයාට පෙනිණි.

පසුගිය කාලයේ ඔහුගේ ආර්ථිකය දැඩි ලෙස පිරිහිණි. බීමත්කමට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවක් ද තිබිණි. පවුල් අවුල් ද ඇති විය. දැන් එම නිවසට යන විට මට ඔවුන් නැවතත් දැඩි ලෙස එකී ආගමට බැ‍ඳෙමින් ඇති බව පෙනෙන්නට ඇත.

ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගම් ද ජවිපෙ මෙන් ම ව්‍යාප්ත වීමේදී වැඩි අවධානය යොමු කරන්නේ මෙවැනි කොණ් කරන ලද සමාජ තීරයන් වෙත ය. මුදල් හදල් නැති ඔවුන් කෙරෙහි සම්ප්‍රදායික ආගම්වල අවධානය යොමු වන්නේ නැත. සම්ප්‍රදායික ආගම් අද වැඩි අවධානය යොමු කරන්නේ අරමුදල් රැස් කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් ඇති හැකි පිරිස් කෙරෙහි පමණක් බව නො රහසකි.

පසුගිය දිනෙක ලේඛකයාගේ නිවසට පැරණි මිතුරකු පැමිණියේ ය. ඔහු ද කලක් ජවිපෙ පහළ මට්ටමේ ක්‍රියාකාරිකයකු විය. කුසලතා සහිත කම්කරුවකු හා සුළු කර්මාන්තකරුවකු වූ ඔහුගේ ආර්ථිකය එකල සාමාන්‍ය මට්ටමක තිබිණි. උපතින් බෞද්ධයකු වූ හේ පසු කලෙක සියල්ල අතහැර දමා එක් ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගමක් සමග සම්බන්ධ වී අද වන විට එහි පාස්ටර්වරයකු බවට පත් වී සිටියි. දැනට පනස් හැවිරිදි වියේ පසු වන හේ සිය බිරිඳ ද සමග වතු ආශ්‍රිත ප්‍රදේශයක ජීවත් වෙමින් ආගමික මධ්‍යස්ථානයක් පිහිටුවාගෙන, ඒ වටා ඇති බෞද්ධ සමාජයෙන් මුහුණ දෙන්නට සිදු වන ප්‍රශ්නවලට දෙවියන් වහන්සේ කෙරෙහි ඇති භක්තිය මුල් කරගෙන නො බියව මුහුණ දෙමින් 'සේවය' කරමින් සිටියි. 

ඔහුගේ මෝටර් සයිකලය සෑහෙන්න දුවන එකක් බව පෙනිණි. අප හමු වූ වැසි දිනයේ ඔහු පැමිණියේ කලිසමට උඩින් කොළ පාට ඉටි රෙද්දක් ඇඳගෙන ය. ඔහුගේ ඇඳුම් ද බාල වර්ගයේ පරණ ඒවා ය. පෙනුම දඅළිඳු වුව ද ඔහු සිටියේ සතුටිනි. 

ලේඛකයා ඔහුගෙන් එකී ආගමික සභාව පිළිබඳ කරුණු විමසුවේ ය. ඔහු කී දේ අතරින් එක් කරුණක් වන්නේ ඔහුට ගෙවන්නේ සුළු වැටුපක් හා මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට කුලිය පමණක් බවයි. ඔහු වතු ආශ්‍රිත. අන්ත දිළිඳු පවුල් සංඛ්‍යාවක් සමග ඔවුන්ගේ එදිනෙදා ජීවන ගැටළු බෙදා හදා ගනිමින්, දෙවියන් වහන්සේ වෙත ඔවුන් සම්බන්ධීකරණය කරමින්, ඔවුන්ගෙන් ලැබෙන බත් පතින් තෘප්තිමත්ව, භක්තිමත් ජීවිතයක් ගත කරයි.

ඔහුගේ ආගමික සභාව ඉහළ සමාජ කොටස් අතර ක්‍රියාත්මක වන්නේ වෙනස් ආකාරවලට බව ඔහු ම පිළි ගත්තේ ය.

ඔහු කී තවත් වැදගත් කරුණක් වන්නේ මිනිසුන් ආගමකට බැඳ තබා ගැනීමට නම්, එය නො කළහොත් මෙවැනි දඬුවම් ලැබෙන බවට බියපත් කිරීමක් අවශ්‍ය බවයි.

අප හඳුනන රෝමානු කතෝලික හා වෙනත් සම්ප්‍රදායික ක්‍රිස්තියානි  පූජකවරුන් හා මෙම පාස්ටර්වරයා අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබිණි. ඔහු ද කිසියම් දේවධර්ම ශාස්ත්‍රාලයක වසර කීපයක් උගත් බව කී මුත්, ඔහු වෙතින් එතරම් උගත්කමක් හෝ සම්භාවනීයත්වයක් විෂධ වූයේ නැත. කලෙක මෙම ලේඛකයා ඔහු සමග එක සිගරැට්ටුව බෙදාගෙන බී ඇත. දැන් ඔහු දුම් නො බොන මුත්, ඔහු තවමත් ඒ තරම් ම සුහද ය.

'රාජ්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධාන හරහා ලැබෙන මුදල් දුප්පත් ජනතාවට ලබා දෙමින් බොදුනුවනගේ මනස විකෘති කරමින් බුදු පිළිම පොළවේ ගසමින් ආගමික වෛරය ඇති කරන මෙම ඇමෙරිකානු ක්‍රිස්‌තියානි ආගමික මිෂනාරි සංවිධාන රෝග සුව කරන මුවාවෙන් අසරණ රෝගීන් බිලිගත් අවස්‌ථා එමටය.' යි ජාතික හෙළ උරුමයේ නිවේදනයේ සඳහන්‍ වේ.

මෙවැනි සිද්ධි සිදු වනමුත්, ඉවැන්ජලික නිකායන් ආගමික ප්‍රචාරයේ යෙදෙන්නේ හුදෙක් ම මුදල් බලයෙන් හා වෙනත් බලහත්කාරයන් පාවිච්චි කරමින් ය යි සිතීම හා පැතිරවීම එම ආගමික නිකායන් කරන දේ ම අනෙක් පැත්තට කිරීමකි.

ඉවැන්ජලික ආගම් බොහෝ දෙනෙකු සිතන තරම් සල්ලි වීසි කරන්නේ නැත. ඔවුන් සල්ලි වීසි කර, ආගමික ප්‍රචාරයේ යෙදී, සමාජයේ යහපත් මිනිස්සු දිනා ගනිති. ඉන් පසු, එකී යහපත් මිනිස්සු භක්තිය පදනම් කරගෙන ආගම ප්‍රචාරය කිරීම සඳහා සිය දිවිය ම කැප කරති. ඉවැන්ජලික ආගමික නිකායන්ගේ සාර්ථකත්වය පිටුපස ඇති ප්‍රබල ම ශක්තිය වන්නේ මුදල් නො ව ඒවායේ ක්‍රියාකාරිකයන්ගේ ස්වේච්ඡා ශ්‍රමය හා අවංක කැපකිරීම් ය.  

පසුගිය දිනෙක ගාලු වරායට පැමිණි 'ලෝගෝස් හෝප්' නම් පොත් නැව ද මෙවැනි ඉවැන්ජලික ආගමික නිකායක ව්‍යාපෘතියකි. කපිතාන්ගේ සිට පහළට එහි සේවය කළ ජාත්‍යන්තර කාර්ය මණ්ඩලය ද මෙවැනි ස්වේච්ඡා සේවකයෝ ය. ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් මෙම නැව හම්බන්තොට වරායට ද ගෙන යන ලද අතර එහිදී ද රාජ්‍ය අනුග්‍රහයෙන් ආගමික ප්‍රචාරයේ යෙදිණි. විස්තරය මෙන්න.
ආණ්ඩුව හම්බන්තොට ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගමික ප්‍රචාරයේ යෙදෙන හැටි / Sri Lanka government entangled in evangelical Christianism spread

ඉවැන්ජලික ආගම් පැතිරෙන්නේ සම්ප්‍රදායික ආගම්වල අර්බුද නිසා ය. එනම් සම්ප්‍රදායික ආගම් දිළින්දන්ගෙන් හා පීඩිතයන්ගෙන් ඈත්ව පීඩක රජයන් හා ධනවතුන්, බලවතුන් සමග සම්බන්ධ වී ම නිසා ය. ප්‍රධාන වශයෙන් ම ධනවාදය තුළ ආර්ථික දිළිඳුකම හා සමාජමය හේතු මත කොණ් වන පුද්ගලයන් ඉලක්ක කරගෙන ආගමික ප්‍රචාරයේ යෙදෙන මෙම ආගම් ඔවුන් තුළ යම් බලාපොරොත්තුවත් ඇති කරයි.

කලක් මාක්ස්වාදය මෙවැනි ආන්තික සමාජ කණ්ඩායම්වලට බලාපොරොත්තුවේ හුස්මක් දීමට සමත් වූ අතර ලෝක මට්ටමෙන් ම සිදු වූ සමාජවාදී ව්‍යාපාරයේ පරිහාණිය මෙවැනි ආගමික කණ්ඩායමිවල උන්නතියට ඉවහල් විය. අනෙක් පැත්තෙන් ඇමරිකා එක්සත් ජනපදය මෙම සංවිධානවලට මුදල් ලබා දුන්නේ ද ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරය මැඩ පවත්වන්නට අවියක් ලෙස භාවිතා කිරීමට ය.

හෙළ උරුමය හා කතෝලික පල්ලිය රාජ්‍ය බලය යොදවා, නීති සම්මත කරගෙන මෙම ඉවැන්ජලික ආගම් මැඬලිය හැකි යයි සිතති. රාජ්‍ය බලය යොදා ආගම් මර්දනය කළ ලන්දේසි සමයේ ජුසේ වාස් ශාන්තුවරයාගේ කාර්යභාරය ගැන ඉතිහාසය මතක් කර ගන්නවා නම් කතෝලික නායකයන්ට ද හොඳ ය. 

තමන්ගේ අතීතයේ තමන් චූල සම්ප්‍රදායන්ව සිටියදී කළේ ද අන්‍යාගමිකයන් සිය ආගමට බඳවා ගැනීම බව අමතක කර මිනිසුනට ආගම් මාරු කිරීමට හෝ ආගම් නො අදහා ඉන්නට ඇති ප්‍රජාතාන්ත්‍රික නිදහසට බාධා කරන පියවර යෝජනා කරමින් සිටින ආගමික නායකයිනි, අපට කීමට ඇත්තේ ඔබ සියල්ලෝ ම සිටගෙන සිටින්නේ තමන්ගේ වලගා මත බව ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. 100% ලේඛකයා සමඟ එකඟ වෙමි.

    ReplyDelete
  2. දැන් ඔහු දුම් නො බොන මුත්, ඔහු තවමත් ඒ තරම් ම සුහද ය......
    දුම්බීමේ හා සුහදත්වයේ සම්බන්ධය දැනගන්න කැමතියි.

    ReplyDelete
  3. සම්පූර්ණ වාක්‍යය මෙසේ ය: කලෙක මෙම ලේඛකයා ඔහු සමග එක සිගරැට්ටුව බෙදාගෙන බී ඇත. දැන් ඔහු දුම් නො බොන මුත්, ඔහු තවමත් ඒ තරම් ම සුහද ය.

    දුම්බීම හා සුහදකම යන දෙක අතර කිසිදු සම්බන්ධයක් නැත. එහෙත් දුම් බොන්නන් එක දුම්වැටිය බෙදාගෙන බොන්නේ කිසියම් සුහදකමක් නිසා ය.

    එහි විශේෂ හොඳක් හෝ විශේෂ නරකක් නැත.

    ReplyDelete
  4. දුම්බීම ලොකු දෙයක් කියල පෙන්වන එක ලැජ්ජ නැති කමන්.

    ReplyDelete
  5. ම්නිස්සුන්ගෙ අවම ජීවන කොන්දේසි පවා විනාශ කරමින් සමාජ අර්බුධය වර්ධනය වන්න වන්න ජනතාවට පැහදිලි වැඩපිලිවෙලක් හා ඉදිරිදර්ශනයක් සහිත දේශපාලන නායකත්වයක් නැති තැන මිනිසු විවිධ ආගම් හා විවිධ මිත්යා දෘශ්ටීන් මැජික් කාරයින් පැත්තට තල්ලු වෙනව.... ඒ හරහාවත් තම ප්‍රශ්න විසඳා ගන්න... එතකොට බොරදියේ මාලු බාගන්න මේ සියලුම පඩත්තර අගම් එකිනෙකාමරාගන්නව.... ධනේශ්වර පාලනය මේ ආගමික මිත්යාවට උල්පන්දම් දෙනව මොකද මිනිස්සුන්ව ස්ත්යයෙන් ඉවත්කරල තියා ගන්න....

    X-Porter

    ReplyDelete
  6. my little idea : I have a three mangoes so how can I find good and test one from this mangoes... I have to test one by one if not I'm.....*****

    ReplyDelete
  7. දේවානම්පියතිස්ස රජු බුදු දහම වැළද ගත්තේ මිහිඳු හිමියෝ දෙසු දහම අසා පැහැදීමෙන්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා