ජවිපෙ අර්බුදය ගැන අපක්ෂපාතී නිරීක්ෂණයක් / An unbiased observation on JVP crisis

ජවිපෙ අර්බුදය ගැන අප මීට පෙර තබන ලද සටහන ජවිපෙන් බිඳුණු වාම කණ්ඩායමට පක්ෂපාතී එකකි. එවැනි සටහනකින් පසු අපක්ෂපාතී සටහනක් ලිවීම සිදු වන්නේ ඇයි ද යන්න පැහැදිලි කළ යුතු ය. 


ජවිපෙ අර්බුදය මේ වන විට ඇත්තේ බිඳුණු කණ්ඩායම් ප්‍රතිසංවිධානය වෙමින් තිබෙන අවධියකයි. එහිදී කණ්ඩායම් දෙක ම තමන්ට අනවශ්‍ය පුද්ගලයන් අනෙක් පැත්තට තල්ලු කරමින්, දිනා ගැනීම සඳහා අවශ්‍ය පුද්ගලයන්ට අර්බුදයේ තමන්ගේ විග්‍රහය පැහැදිලි කරමින් සිටියි. 


මෙම අවධියේ යම් දුරකට පසු ඔවුන් සිය සංවිධාන ප්‍රසිද්ධ කරනු ඇත. පක්ෂ දේපල සඳහා ඇති සටන හුදු දේපල අයිතියෙන් ඈතට විහිදෙන්නකි. විශේෂයෙන් ම පක්ෂයේ නමේ අයිතිය, මූලස්ථානයේ අයිතිය වැනි කරුණු ඉදිරියට යාමේදී වැදගත් බැවින් දෙපක්ෂය සෑහෙන්න එයට ගැටෙනු ඇත. එය වැළැක්විය නො හැකි ය. 


අපට පෙනෙන අන්දමින් නම්, පක්ෂ අභ්‍යන්තර තත්වය කුමක් වුවත්, මතුපිට තලයේ නම් තවමත් ප්‍රබල වන්නේ පක්ෂයේ නිල නායකත්වය වන සෝමවංශ අමරසිංහ ඇතුළු පිරිසයි. සාමාන්‍යයෙන් මෙවැනි ගැටුම්වලදී ප්‍රබල පිරිස මතුපිටින් හැසිරෙන්නේ ඉතා මානුෂික ස්වරූපයක් පෙන්වමිනි. එහෙත් යටි තලය අතිශය කෲර ය. කුමන්ත්‍රණකාරී ය. ප්‍රචණ්ඩ ය. 


දුබල කණ්ඩායම සාමාන්‍යයෙන් ම සදාචාරාත්මක වන්නට උත්සාහ කරන මුත් ප්‍රබලයන්ගේ දුෂ්ට ක්‍රියාවන්ට ප්‍රතිචාර නො දක්වා සිටීම ඔවුන්ට පහසු නැත. එහෙයින් කවුරු මොනවා කීවත් මෙවැනි ගැටුම්වලදී සදාචාරවත් දේශපාලනයක් නැත. 


ප්‍රබලයෝ විශාල අවලාද මාලාවක් දුබලයන් මත මුදා හරිති. මේ අවලාද සාමාන්‍යයෙන් නම් 'මුන් ආණ්ඩුව සමග සම්බන්ධයි', 'මේක ඇමරිකන් කුමන්ත්‍රණයක්', 'පක්ෂයෙන් කැඩුණු අහවලුන් මේ පිටුපස ඉන්නවා', 'මේක දීර්ඝ කාලීන කුමන්ත්‍රණයක්' හා සිංහල ජාතිවාදීන් අතර නම් 'මේක කොටින්ගේ වැඩක්' යයි කීම ආදිය ඒ අතර වේ. 


නිදසුනක් ලෙස ජවිපෙ එක් පිලකට නායකත්වය දෙන බව කියන කුමාර මහත්තයා හමුදාව විසින් ජවිපෙ තුළ පැළ කරන ලද අයෙකු ය කියා ද දැන් අවලාද නඟනු අසන්නට ලැබේ. පසුගිය විසි වසරක් තිස්සේ ඔහු සමග එකට වැඩ කරද්දී මේ ප්‍රශ්නය මතු නො වීම හාස්‍යජනක ය. 


එහෙත්, ජවිපෙ පමණක් නො ව සමස්ත වාමාංශික ව්‍යාපාරයේ ම සිටින්නේ බුද්ධියට වඩා හදවතට මුල් තැන දෙන මිනිසුන් නිසා කන්න ඔනෑ නම් ඔනෑ කබරගොයකු තලගොයකු කර දීමට පුළුවන. 


කුමාර මහත්තයාගේ කණ්ඩායම තම නායකයාට මරණීය තර්ජන ඇති බව කීම ද මෙවැනි ම කරුණකි. කුමාර මහත්තයා වැනි ඉතිහාසයක් ඇති තව බොහෝ අය ජවිපෙ මෙන් ම වෙනත් වාමාංශික කණ්ඩායම්වල ද සිටිති. ඔහුගේ පැටිගිරිය ආරක්ෂක අංශ ඕනෑවටත් වඩා දන්නා අතර ඔහු‍ට මෙතෙක් නො තිබුණු තර්ජනයක් දැන් ඇතැයි අපි නම් නො සිතමු. 


ධනේශ්වර ක්‍රමය සමග නො ගැලවිය හැකි අන්දමින් ගැඹුරින් ම බැඳී සිටින ජවිපෙ තම නායකයන් පිරිසක් අප්‍රකටව තබා ගත්තේ ඇයි ද යන්න වෙන ම සලකා බැලිය යුතු ය. ඒ වනාහි ක්‍රම විරෝධී වාමාංශික විප්ලවවාදී අදහස් නිසා පක්ෂය‍ වෙනුවෙන් ජීවිතය දී සිටින, පක්ෂයේ ශක්තිය වන සාමාජිකයා රැවටීම පිණිස නායකත්වය පාවිච්චි කළ උපායක් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. එසේ ම, ඇතැම් පුද්ගලයෝ ගුප්ත ජීවිත ගත කිරීමෙන් මානසික වින්දනයක් ලබති. අන්තර්ජාලයේ විවිධ නම්වලින් සැරිසරන ටැබූ සබ්ජෙක්ට් වැනි අය තුළ ද ඇත්තේ මේ හා සමාන මනෝභාවයකි. 


කිසිදු උන්නතිකාමයක් නැති පුද්ගලයන්‍ ලෙස පෙනී සිටිය ද මොවුහු අධික බල තෘෂ්ණාවකින් පෙළෙන්නෝ ය. 


දේශපාලන ව්‍යාපාර වනාහි මෙවැනි විවිධ මිනිස් විභවයන් යම් අරමුණක් වෙනුවෙන් නාභිගත කිරීමේ විභවයකි. 


වාමාංශිකයන් යනු මනුෂ්‍යත්වයට වඩා පක්ෂය උසස් කර සලකන පිරිසකි. එක පවුලේ සැමියා - බිරිඳ, පෙම්වතා ‍-පෙම්වතිය, සහෝදර ‍සහෝදරියන් හා කලණ මිතුරන් පක්ෂ අර්බුද තුළ සිදු වන පිල් බෙදීම් හමුවේ මනුෂ්‍යත්වයට නිගා දෙන අන්දමින් හැසිරීම සාමාන්‍ය දෙයකි. ඊයේ රෑ එක බත් පත බෙදා හදාගෙන කෑ මිනිසා මරාජ දැමීමේ චේතනාවක් අද උදේ ඇති කර ගැනීමට වාමාංශිකයාට පුළුවන. ආයුධ අත නැති වීම දකුණේ වාමාංශිකයන් උතුරේ 'වාමාංශිකයන්'ගෙන් වෙනස් වන එක ම සාධකයයි. 


වාමාංශිකයාට වීරයා හා ද්‍රෝහියා අතර ඇත්තේ කෙස් ගසක ඝනකම වැනි දුරකි. ඒ කෙස් ගස පැන්න ගමන් වීරයෝ ක්ෂණිකව ද්‍රෝහියෝ වෙති. ලේඛකයා අරාජිකවාදියකු බවට පත් වුණේ මෙවැනි බිඳී යාම් සමග ලැබූ අත්දැකීම් නිසා ය. පසු අවස්ථාවක ඔහුගේ අත්දැකීම් සටහන් කිරීමට ලේඛකයා කැමති ය. 


සෝමවංශ අමරසිංහගේ නායකත්වයට පක්ෂපාතී පිරිස් විසින් අප වෙත කරන ලද පැහැදිලි කිරීම් අතර ඇති එකඟ විය හැකි කරුණු ඇත. එනම්, අප ප්‍රභූන් ලෙස අර්ථ දක්වන ලද කොටස් හා කුමාර මහත්තයා වැනි අය අතර ජීවන විලාසිතාව සම්බන්ධයෙන් පැහැදිලි වෙනසක් නැත. ඇතැම් විට ඔහු තරම් ධනේශ්වර ජීවන විලාසිතාවන්හි ගොදුරු බවට පත් නො වූ අය අප ප්‍රභූන් ලෙස හඳුන්වන ලද අය අතර වෙති. 


අනෙක් පැත්තෙන්, ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙම කැඩී ගිය පිරිසට ඇතැයි කියන කැක්කුම ද අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම වැන්නකි. අද නරක හැඟීම් දැල්ලකැයි ඔවුන් හඳුන්වන ජාතිවාදයට ලංකා පුවත්පත සෑහෙන කාලයක් පවන් ගැසූ බව අපට ඔවුන්ට අමතක වුණත් අපට අමතක නැත. 


එහෙත්, වාමාංශික හෘදය සාක්ෂිය ප්‍රශ්න කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම පිපිරීම ඇති වූ බව කැඩුණු අයන කිය කීම පිළි ගැනීමට අපි කැමැත්තෙමු. එහෙත්, අපි ඔය හෘදය සාක්ෂිය වැනි වචන ඇසූ පමණින් ඕනෑවට වඩා සංවේදී නො වන්නට තරමට තෙම්පරාදු ද වී සිටිමු. 


'සත්‍යයන් දෙකක් තිබෙන්නට නො හැකිය. ඇත්තේ එක ම සත්‍යයකි,' යි ලංකා පුවත්පතේ මුල පිටුවේ ඇති විශේෂ සටහනක තිබේ. අප සිතන අන්දමින් නම් සත්‍යය ද සංදර්භය හා සාපේක්ෂ ය. එහෙත්, එය ගැඹුරු දාර්ශනික සංවාදයකි. 


එකක් කිව යුතු ය. ජවිපෙ විසින් ගොඩනඟා ගන්නා ලද ගතානුගතිකත්වය තුළ එයට තව දුරටත් සජීවී පැවැත්මක් නැත. සමසමාජ, කොමියුනිස්ට් මළකුණු ලෙස සන්ධාන දේශපාලනයේ යෙදීම හැර අන් යමක් ඔවුන්ට ගතානුගතිකත්වය තුළ කරන්නට බැරි ය. 


සැබැවින් ම අලුත් හුස්මක් ගන්නට කැමති මිනිසුන් සිටී නම්, අතීතයේ පාඩම් මත පිහිටා අපගේ ශක්ති ප්‍රමාණයෙන් ඔවුන්ට සහාය වන්නට අපි කැමති ය. 


ජවිපෙ යනු කාගේවත් පෞද්ගලික බූදලයක් නො වේ. එය ලංකාවේ පීඩිතයන්ගේ ලෙයින්, කඳුළින් දහදියෙන් නිර්මිත සමාජ උරුමයකි. අපේ කැක්කුම ඒ නිසා ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සෑම දෙයක්ම සාපේක්ෂය. පාර්ලිමට් මෙම්බර්ලාගේ පෙන්ශන් ගැන කතා නොකරන. පලා බාබා වෙනුවෙන් කොල්ලන් බිලිදී අද ඒවයෙහි පිනුම් ගහන ඒවුන් විප්ලවවාදීන්නම්. නන්දා මාලනිත් එසේමය.

    ReplyDelete
  2. ජවිපෙ යනු කාගේවත් පෞද්ගලික බූදලයක් නො වේ. එය ලංකාවේ පීඩිතයන්ගේ ලෙයින්, කඳුළින් දහදියෙන් නිර්මිත සමාජ උරුමයකි.
    100% agreed

    ReplyDelete
  3. විමල් විරවංශSeptember 25, 2011 at 10:05 PM

    උරුමය කරුමක් වෙලා.ජ.වි.පෙ ලංකාවේ ජාතික ප්‍රශ්ණයත් එක්ක නටපු කුපාඩි සෙල්ලම තමයි ලංකාවේ දේශපාලන පක්ෂයක් විසින් කරපු ලොකුම ගොන් කම.

    ReplyDelete
  4. [[එහෙත්, ජවිපෙ පමණක් නො ව සමස්ත වාමාංශික ව්‍යාපාරයේ ම සිටින්නේ බුද්ධියට වඩා හදවතට මුල් තැන දෙන මිනිසුන් නිසා කන්න ඔනෑ නම් ඔනෑ කබරගොයකු තලගොයකු කර දීමට පුළුවන. ]]

    +බර ගානක්.

    ReplyDelete
  5. දයාබර අජිත් පැරකුම් ජයසිංහ,
    ඔබගෙන් "ජවිපෙ අර්බුදය ගැන අපක්ෂපාතී නිරීක්ෂණයක්" කියවනවාට වඩා රාජ්‍ය මාධ්‍ය බලා රට ගැන තීරණෞඅක් ලබා ගැනීම වටී.......පාඨකයා මෝඩයැයි ඔබ තවමත් සිතන්නේද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා