අම්මප මේ ඇමරිකන් කුමන්ත්‍රණ තමයි කුමන්ත්‍රණ

අද The Island පුවත්පතට ජවිපෙ හිටපු පාර්ලිමේන්කු මන්ත්‍රී ලාල් කාන්ත පවසා ඇති පරිදි පක්ෂ කැරළිකරුවන් ලෙස ඔවුන් හඳුන්වන, එහෙත් පක්ෂයේ බහුතරයකගේ සහාය ලැබෙන බව අපගේ නිරීක්ෂන අනුව පෙනෙන කණ්ඩායම පිටුපස විදේශ බලවේග රැසක් තිබේ.


ලාල් කාන්ත කියන පරිදි ඒවා රෝ හා සී.අයි.ඒ. ය. ආණ්ඩුව ද මේ පිටුපස සිටින්නට පුළුවන් බව ඔහු කියයි. 


දැන් ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බව ලාල් කාන්ත පවසයි. 


ලේඛකයා ජවිපෙ පූර්ණකාලීනව වැඩ කළ ඈත සමයක දිනක් ඔහු සිය බයිසිකලයෙන් පක්ෂ සාමාජිකයකු හමු වන්නට ගියේ ය. ඔහු කාමරයේ නිදියන බව ඔහුගේ මව ලේඛකයාට පැවසී ය. ඔහු කාමරයට ගියේ ය. කාමරයට ඇතුළු වන විට ම පක්ෂ සහෝදරයා 'ෂ්!' කියා ඔහු නිහඬ කළේ ය. සාමාජිකයා සිටියේ බියපත්ව ය. 


එවකට ජවිපෙ තහනම් පක්ෂයක් වූ බැවින් කිසියම් අනතුරක් ඇද්දැයි ලේඛකයාට ද බියක් ඇති විය. 


පක්ෂ සාමාජිකයා අසල නිවෙසක සවි කර තිබූ රූපවාහිනී ඇන්ටෙනාවක් පෙන්වමින් කීවේ එය සවි කර ඇත්තේ ඔහු පිළිබඳ ඔත්තු බැලීමට බවයි. මේ පිළිබඳ කුහුලක් ඇති වූ ලේඛකයා ඔත්තු බලන්නේ කවුරුන්දැයි විමසී ය. 


පක්ෂ සාමාජිකයාගේ පිළිතුර වූයේ පක්ෂය ඔහු ගැන ඔත්තු බලන බවයි. ඒ දිනවල එම ප්‍රදේශයේ පක්ෂ සංවිධායකයා වූයේ ලේඛකයායි. ඒ කා‍ලයේ සන්නද්ධ අංශයක් ද නො තිබූ අතර පක්ෂය තිබුණේ අන්තිම දුර්වල අඩියක ය. එය සාමාජිකයන් ගැන ඔත්තු බැලීම කෙසේ වෙතත් කෑම වේලක් සොයා ගැනීම ද දුෂ්කර වූ සමයක් විය. මේ හුටපටය නිසා ලේඛකයාට ද එදා වෙනදා මේ සහෝදරයාගේ නිවසින් ලැබෙන බත් පත අහිමි විය. 


මානසිකව ගිලන් වී සිටි පක්ෂ සාමාජිකයා කීවේ ඔහු සී.අයි.ඒ.කාරයකු යයි පක්ෂය සිතන බවත් ඇත්තෙන් ම ඔහු සී.අයි.ඒ.කාරයකු නොව ජර්මන්කාරයකු බවයි. 


මේ හතර බීරි කතාවේ තේරුම එදා ලේඛකයාට තේරුම් ගන්නට හැකි වූයේ පක්ෂ සහෝදරයාගේ මව 'මූ පක්ෂෙ අධ්‍යාපන කඳවුරක්ද මොකක්ද එකකට ගිහින් එහෙදී පෙති බීල නැහැ, මහත්තයා' යි කී පසු ය. 


මේ පක්ෂ සහෝදරයා ලාල් කාන්ත නො වේ. එහෙත්, ජවිපෙ, හෙළ උරුමය වැනි පක්ෂවල ඉන්න සෑහෙන  පිරිසකට ඉහත පක්ෂ සහෝදරයාට ඇති අසනීපය අඩු වැඩි වශයෙන් තිබේ. 


මෑතදී මළ ගෙදරකදී ලේඛකයාට හමු වූ ඔහුගේ පැරණි මිතුරකු ද හැම දෙයක් පිටුපස ම ඇමරිකන් තුමන්ත්‍රණයක් දකින්නෙකි. තද සිංහල ජාතිකවාදියෙකි. ඔහුගේ තර්ක ද විධිමත් ය. 


ඇමරිකාව කුමන්ත්‍රණ නො කරන බවට සහතිකයක් දෙන්නට කාටවත් බැරි ය. ලේඛකයාට නම් එහෙම උවමනාවක් ද නැත. එහෙයින් ඇමරිකන් කුමන්ත්‍රණ ගැන කරන තර්කවලට ප්‍රති තර්ක කරන්නට ලේඛකයා කිසි විටෙක නො පෙළඹේ. 


එහෙත්, හැම රෙද්දක් පල්ලේ ම ඇමරිකන් කුමන්ත්‍රණ දැකීම ලේඛකයාට නම් අමුතු මනෝභාවයකි. 


ලේඛකයා කලක් එක් විකල්ප පුවත්පතක කතුකමක් කරන බව සිතා සිටියේ ය. ඇත්තෙන් ම නම් වූයේ ලේඛකයාට නමට එම තනතුර දී එම පුවත්පත පළ කළ වාමාංශික කණ්ඩායමේ 'ලොක්කා' ඔහුව අල්ලේ නටවන්නට උත්සාහ කිරීමයි. ඒවා ඉතින් පස්සේ කතා කළ යුතු වෙන කතා ය. 


සුනාමිය ආ සමයේ මේ කණ්ඩායමේ ලොක්කා කරුණු සහිතව මැනැවින් ඉදිරිපත් කළ තර්කයක් වූයේ ඇමරිකාව මෙම ස්වාභාවික ව්‍යසනයෙන් ලංකාවට සිදු වන විපත කල් තබා දැනගෙන ඒ පිළිබඳව ලංකාවට නො දැන්වූ බවයි. ඒ කාලයේ ම ඇමරිකන් හමුදාව ලංකාවට පැමිණි අතර ඔවුන් සුනාමිය දඩ මීමා කරගෙන සිය මිලිටරි න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යන බව පුවත්පතේ තර්කය විය. ඒ දවස්වල අප සිතා සිටියේ ඇමරිකන් හමුදාව ආපසු නො යනු ඇතැයි කියා ය. 


ඇත්තෙන් ම ඇමරිකාව යනු තිබෙන දෙයට වඩා ප්‍රබන්ධයකැයි ලේඛකයාට දැන් සිතේ. මේ ප්‍රබන්ධ ඇමරිකාව නොමැතිව ලෝකයේ ම වාමාංශිකයන්ට හා ජාතිවාදීන්ට පැවැත්මක් නැතැයි ලේඛකයාට සිතේ. 


ඇමරිකාව මෙන් ම ඇමරිකාව ප්‍රබන්ධ කිරීම ද කුමන්ත්‍රණයකි. නිතර යෙදෙන කුමන්ත්‍රණය යන දේශපාලන සංකල්පය ද ප්‍රබන්ධයකි. 


අපි ප්‍රබන්ධ ලෝකයක ජීවත් වන මිනිස්සු වෙමු. අපට එම ප්‍රබන්ධය නඩත්තු කර ගැනීමට කුමන්ත්‍රණ අවශ්‍ය ය. ලෝකය තේරුම් ගත හැකි තරම් සරළ වුණොත් මාර ප්‍රශ්නයකි. මන්ද, අපේ ප්‍රබන්ධ ලෝකය එයින් කඩා වැටේ. 


ලේඛකයා ශාස්තෲ නමින් නවකතා පොතක් ලියා උත්සාහ කළේ මේ මනෝභාවය පිළිබඳ සංවාදයක් ඇති කරන්නට ය. එහෙත්, එය අන්තිම අසාර්ථක ප්‍රයත්නයක් විය. වාමාංශිකයන්ට එය තේරුම් ගන්නට බැරි විය. 


එහෙත්, මේ විකෘතිවලට පිටින් මිනිස් සාරයක් ඇතැයි ද එය අප විසින් සොයා යා යුතුව ඇති වම යයි ද ලේඛකයා සිතයි. 


දැන් ඇතැම් විට පිස්සු ඔහුට ම ද කියා සැකයක් ද ලේඛකයාට විටෙක ඇති වේ. 


ඒකත් ඇමරිකන් කුමන්ත්‍රණයක් ද දන්නේ නැත. 
ඇඩ් එකකි
කියවන්න ශාස්තෲ ලියන්නට මා පෙළඹවූ ලස්සන මනස | A Beautiful Mind that compelled me to write Shasthru
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මෙහි කරුණු හා මා ද එකඟ වෙමි. මෙන්න මේ කෑල්ලට ඌනපූරණයක් අවැසිය.

    [[එහෙත්, මේ විකෘතිවලට පිටින් මිනිස් සාරයක් ඇතැයි ද එය අප විසින් සොයා යා යුතුව ඇති වම යයි ද ලේඛකයා සිතයි. ]]

    අජිත් පැරකුම් අයි ඔබ මෙයට වම කියන්නේ? අප මෙතෙක් නොදත් සත්‍යයකට නමක් දෙන්නේ කොහොමද?

    ReplyDelete
  2. ජවිපෙ/වම්මු ගැන මුහුනුපොතේ ගිය සංවාදයක. මා ලියු දෙයකින් උපුටා ගත් මේ කෑල්ලත් එකතු කරන්නම්.

    "ඔය කාලේ මං සීනුව පත්තරයක් අරන් බැලුවා. මේ ඒකෙ තිබ්බ පුංචි කතාවක්. ඉස්සරහ පිටේ තිබ්බා තාප බලාගාරයක් හදනවා ඒකෙන මාර පරිසර හානියක් වෙනවා කියලා. තව පිටක තිබ්බා විදුලි බල මණ්ඩලේ දූෂිතයි එතන පුද්ගලික බලාගාර හිමියන්ට සල්ලි ගෙවනවා මිස කිසි සැලසුමක් නැහැ කියලා. තවත් පිටක තිබ්බා රටේ විදුලිය කපනවා මිනිසුන්ට කරදරයි කියලා. මේ පුංචි කතාවේ හරය නම්, මේ ගොල්ලන් දකින්නේ සාධාරණ ප්‍රශ්න. මේ හැම දෙයක්ම විසඳන්න මේගොල්ලන්ට ඕනේ. එහෙත් මාක්ස්වාදය අත අරිය ගමන මැජික් යෂ්ටි පාරක් වගේ මේවා සුව වෙයි කියලා හිතීමෙන් එහා චින්තන හැකියාවක් මොවුන්ට නැහැ. ඉහත කරුණු තුනෙන් එකක් අනිකට ප්‍රතිවාදී ප්‍රශ්නයක් බවත් ප්‍රායෝගිකව එකක් අනික වෙනුවෙන් ඉවසන්න වෙන බවත් මේ ගොල්ලෝ දන්නේ නැහැ.

    මාක්ස්වාදයත් පහල වෙන්න ඕනේ මේ මහ පොලොවෙයි. රට මාක්ස්වාදී වුනා කියලා ඒක පාරටම රටේ සියල් සම්පත් පහල වන්නේ නැහැ. ප්‍රාග්ධනයට කොච්චර ආඩපාලි කිව්වත් මාක්ස්වාදය යටතේත් සංවර්ධනය කරන්න වෙන්නේත් ප්‍රාග්ධන ආයෝජනයෙන් පමණයි. මේ ගඟේ උඩුගන් පිහිනුව හැම රටක ම නොයෙකුත් ප්‍රශ්න ආවා. කියන තරම් ලේසි නැහැ කරන්න. රුසියාව, චීනය, කාම්බෝජය ඔය ඔක්කොම පටන් ගන්නේ සාධාරණ මාක්ස්වාදයෙන්. එහෙත් මාක්ස්වාදය පමණක් මදි මේ ප්‍රශ්න විසඳන්න. එතන ඉඳන් මතු වෙන්නේ සත්‍යය. මාක්ස්වාදී දර්ශනය යටතෙත් පරිසර හානි වුනා, මිනිසුන්ට මහත් අසාධාරණ වුනා, හුඟක් මාක්සවාදී රටවල් වැඩ වසම් තත්වෙන් දිව්වේ/දුවන්නේ. ජවිපෙ තුල මා දුටුවේත් ඕකයි. කියන කතා ඇත්ත. හැබැයි දෙන විසඳුම මොකද්ද? "ක්‍රම වෙනස" විසඳුමක් නොවේ. විසඳුමට යන ගේට්ටුවක්. එතනින් එහාට ජවිපෙටත් උත්තර නැහැ. මගේ පවුලට 10% තියාගෙන චීන බැංකුවලින් නයට අරගන්නවා කියන දූෂිත මජර තුච්ච හෝ වෙන ඕන නමකින් හැඳින්වෙන සරල උත්තරෙවත් ජවිපෙට නැහැ.

    ප්‍රශ්නෙට උත්තරේ ජවිපෙ කොයි පැත්ත හොඳද කියන එක නොවේ. ඔය හැම පැත්තම හිටිය යුතු තැනින් හැතැම්ම ගානක් පස්සේ ඉන්නේ. අනිකුත් මාක්ස්වාදී ව්‍යාපාරත් එහෙමයි. මේ ඔක්කොම කල යුතු යතා සංවාදය වනුයේ මැජික් යෂ්ටි විසඳුම් පසෙක ලා රට හදන සාධාරණ පිළිගත හැකි ක්‍රමයක් සපයන ඒක. මේක හරියට කලොත් මට හිතෙනවා ජවිපෙ නෙවෙයි ත්‍රී වීල් පක්ෂ වන සසපේ/විකොස, පෙරටුගාමී, නසසප [වාසු ගිහින් විකාරබාහු ආ නිසා දැන් නසසපයත් ත්‍රී වීල්] වලට උනත් චන්දෙන් එන්න පුළුවන්.

    ජනතාව කියන්නේ තනි තනිව ගත්තොත් මහා මෝඩ හතිකරයක්. එහෙත් ඔවුන්ගේ පොදු කුලකය බොහෝ විට බුද්ධිමත්. emergence කියන දේ ඔබ දන්නවා ඇති නේද? ජනතාවගේ පොදු තීරණ මෝඩ නම් මේ ලෝකේ අද මේ ඉන්න තැනට එන්නේ නැහැ. ජවිපෙ හෝ වෙනත් මාක්ස්වාදී කල්ලියකට ජනතාව චන්දෙ නොදීම හරියට හරි. එහෙම බලය ගත්තු තැන් දිහා බලන්න. ඒවායේ ජන ජීවිතය යහපත් වෙලා ද? මිනිසුන් ඉල්ලන්නේ මීට වඩා ප්‍රායෝගික උත්තරයක්‌. මේ පක්ෂ දෙන්නේ මැජික් යෂ්ටි පිළිතුරු.

    හැබැයි මාක්ස්වාදය කුණු කන්දලයක් නොවේ. මා දැක තියෙනවා අන්ත ධනවාදී රටවල ප්‍රායෝගිකව මාක්ස්වාදී/සමාජවාදී ක්‍රමවේදයන් යොදා ගන්නවා. එ රටවල සමාජවාදය ආගමක් කරගෙන නැහැ. එහෙත් පද්ධති වඩාත් මිනිසුන්ට හිතකර කරන ක්‍රමවේදයක් ලෙස යොදා ගන්නවා. වල් බූරු නිදහස යාමනය කරන සමාජ තත්වය වඩාත් යහපත් කරන විධියක් හැටියට ගන්නවා. මේවා කතා කල යුත්තේ අන්න එහෙම. නැතුව මාක්ස් තුමා බුදු වේවා උන්නනහෙගේ සර්වඥ බුද්ධියත් සකල සක්වලම පුරා පැතිරේ වගේ වන්දනීය ආගමික ස්වරයකින් නොවේ. කොටින්ම අපට මාක්ස් වැඩක් නැහැ. කියූ දර්ශනය අරගෙන අද දවසේ අපේ අවශ්‍යතා අනුව යොදා ගැනීමයි වැදගත්. ඔය කියමනම පොදුයි, මාක්ස් ගේ පසු චරිත වලටත්, බූන්දියටත්, නූතනවාදෙටත්, එක්ස්, පෙරට්ටෝ ඇතුළු ඔක්කොටම.

    මෑත කාලේ [අවුරුදු 30 ක් විතර] යුරෝපේ යන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මේ එකෙක් වත් නිකමට කතා කරනවද? එතන වෙන්නේ පද්ධති වඩාත් හිතකර කරන්න සමාජවාදී ප්‍රතිපත්ති යොදන එකයි. පැහැදිලිවම ධනවාදී රාමුව තුල, මිශ්‍රණයක් ලෙසින්. ආගමක් ලෙසින් නොවේ.

    මිනිසුන්ට බැන බැන පුද්ගල වන්දනීය ආගම් පතුරුවන්නේ නැතිව, මිනිස්සුන්ගේ ජීවිතේට මේ දර්ශන යොදා ගත හැකි ප්‍රායෝගික ක්‍රමයක් [සුරංගනා කතා නොවේ] දෙන්න. මිනිස්සු ඔබට චන්දෙ දේවි. පොර ටෝක් දීම නවත්තන්න. එහෙම නැතුව මේ කට්ටිය බෙදුනත් එකට හිටියත් ඒක කාටවත් දැනේන්නේ නැහැ. ඔය මරා ගන්නේ 5% ටත් අඩු ආගමික විදිහට ඔවුන්ව අදහන, බුද්ධිමය වහලුන්ගේ චන්ද කුට්ටියට විතරයි. "

    ReplyDelete
  3. මේ ලිපියත් හරියට මැක්කගේ කතාව වගේ. කතාව කියලා නැවතුනේ 'ශාස්තෘ' පොත ගැන. :-)
    -Kumara-

    ReplyDelete
  4. @Sujeewa,
    I saw in recent past විකාරබාහු was talking about "යුරෝපේ යන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය". Didnt you see his articles about it?

    ReplyDelete
  5. ජ වී පෙ අර්බුදය ගැන මෙච්චර දවස් ලියපු දේවල් වලට ගැලපෙන ම ප්‍රකාශය මට හමුවුනා ඔබේ මහා ඇමති සමුළුව ගැන ලියපු ලිපියෙන් not a significant event...why we should waste our time..

    ReplyDelete
  6. [[I saw in recent past විකාරබාහු was talking about "යුරෝපේ යන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය". Didnt you see his articles about it?]]

    Sure I did miss it. Interesting. Mind giving some link, if you have any.

    It is good that anyone is talking about it, differences apart.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා