දේශපාලන පක්ෂ විකිණීමට තිබේ / Political parties of Sri Lanka are sold in market

ලංකාවේ දේශපාලන පක්ෂ හිමියන් අතර උන්මත්තකයෝද සිටිති.


කුරුණෑගල නගර සභාවට චන්ද්‍රිකා කුමාරතුංගගේ දුවගේ හා පුතාගේ නම් සහිත නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ යයි සැලකෙන පුද්ගලයා ඔහුගේ දේශපාලන පක්ෂය යයි කියන ජනතා බලවේග පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙග ඉල්ලා සිටිමින් චන්ද්‍රිකාට නිතර ලියුම් ලියන බව ඇගේ පෞද්ගලිත ලේකම්වරිය ජනමාධ්‍යවලට පවසා ඇත.


ලංකාවේ දේශපාලන පක්ෂ 67ක් ඇත. එයින් බොහොමයක් බෝඩ් ලෑලි ය. ඒවායේ සාමාජිකත්වය, සංවිධාන, අරමුදල් ආදී සියල්ල ඇත්තේ ලිපි ගොනුවල පමණි. දේශපාලන පක්ෂ නායකයන්ට දේශපාලකයන් ලෙස නිල පිළි ගැනීමක් තිබේ. ඒ හරහා ඔවුහු යම් යම් වරප්‍රසාද භුක්ති විඳිති.


මේ බෝඩ් ලෑලි පක්ෂ අතරින් සමහරක් පිහිටුවාගෙන ඇත්තේ තනිකර ම පටු අරමුණු වෙනුවෙනි. සන්ධානවලට නම් එකතු කරන විට, වැඩිපුර ඡන්ද පොළ නියෝජිතයන් පත් කර ගැනීමට හා ප්‍රචාරක කටයුතුවලදී වාසි ලබා ගැනීමට බොරු ලැයිස්තු ඉදිරිපත් කරන විට,  ඇතැම් සල්ලිකාරයන්ට දේශපාලනයට පිවිසෙන්නට තමන්ගේ ම පක්ෂ ඕනෑ විට හා පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට ස්වාධීන පෙනුමක් ඇති ඡන්ද ලකුණු ඕනෑ වූ විට මෙකී පත්ෂ හිමිකාරයන්ට අවස්ථාව ලැබේ.


ආනන්ද සංගරී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ අයිති කර ගත්තේ එහි පොදු දෙමළ හිමිකාරිත්වයට එරෙහිව යමිනි. ඒ වන විට ඉතිහාසයට එක් වී තිබුණු චෙල්වනායගම්ගේ තමිල් අරසු කච්චි පක්ෂයේ 2004 වන විට හිමිකාරයන් වී සිටි අය දෙස ඒ නිසා බැල්ම වැටිණි.


2010දී සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට තරග කළ හංසයා ලකුණ හිමි පක්ෂය ද මෙවැනි බෝඩ් ලෑලි පක්ෂයක්ව තිබුණු එකකි. 


වත්මන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දේශපාලන පක්ෂ පිළිගැනීමට ලක් කර ගැනීම පහසු ය. ඒ නිසා ඇතැම් පක්ෂවල මන්ත්‍රීහු වෙනත් පක්ෂ ද හදාගෙන සිටිති. ඒවා දේශපාලනයේදී අවශ්‍ය වෙලාවට එළියට ගන්නා ආයුධ වේ.


වරක් එක් ජනාධිපතිවරණයකට තරග කිරීම සඳහා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් දේශපාලන පක්ෂයක් මිළ දී ගත් බව ප්‍රකට ය.


ජනතා විමුක්ති පෙරමුණට  අසූ නමයේ මර්දනයෙන් පසු 1994දී කලඑළි බසින්නට දොරටු විවර කර දුන්, නැසීගිය ආරිය බුලේගොඩ නායකත්වය දුන් ප්‍රගතිශීලී පෙරමුණේ වත්මන් හිමිකාරයෝ ද එයට වෙළඳපොළක් හදාගෙන ඇත. 


දේශපාලන පක්ෂ විකිණීමෙන් ධනවතුන් බවට පත් වූ පුද්ගලයෝ ගණනාවක් මේ රටේ සිටිති. 


ඇතැම් ‍දේශපාලන පක්ෂ ක්‍රියා කරන්නේ සම්ර්‍පූර්ණයෙන් ම පාහේ රාජ්‍ය නො වන සංවිධාන ස්වරූපයෙනි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඒ අංශයෙන් කප් ගසා ඇත. රුසියානු කොමියුනිස්ට් පක්ෂයට එරට බලය තිබුණු කාලයේ ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට රජ මඟුල් විය. රුසියාව ලංකාවේ සමාජවාදය ගොඩනගන්නට ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට සල්ලි දුන් අතර, ලංකාවේ කට්ටිය ඒ වැඩේ හැර අන් හැම දෙයක් ම කළ හ. 


දේශපාලන පක්ෂ කියන්නේ ඔන්න ඔහොම ව්‍යාපාර වර්ගයකි. දේශපාලන පක්ෂ ජාවාරම කෙරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වෙලා ය. 


තත්වය එසේ වුණ ද, කලක් තිස්සේ දේශපාලනය කළ X කණ්ඩායමේ දීප්ති කුමාර ගුණරත්න වැනි අයට පවා දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කර ගැනීමට සෑහෙන්න අමාරු වූ බව දැනගන්නට ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා