ලාංකීය කලාවේ අලුත් ම ප්‍රවණතාව: යකුන් ගොනාට ඇන්දවීම


(2011 ජුලි 07, W3Lanka) ලංකාවේ සිනමාවේ මාර නවෝදයකි. හේතුව එයට දී ඇති බදු සහන ය.


චිත්‍රපට කර්මාන්තය දැන් කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයකි.


එපමණක් නො ව මානසික හා පෞරුෂ ප්‍රශ්න ඇති අය සුවපත් කිරීම සඳහා ද එය යොදා ගැනේ. ලිංගික ව්‍යාපාර නම් කවදත් සිනමා කර්මාන්තයේ ප්‍රධාන කුළුනක විය. ලිංගික සේවා සපයන්නන් මේ සමාජයේ පීඩිත ජන කොටසක් නිසා අප එය විවේචනය කරන්නේ නැත.


අවර ගණයේ ධනවතුන් වන දේශපාලකයන්, ජාවාරම්කාරයන් වැනි අයට සිය ෆැන්ටසි සජීවීකරණය කර දීම අද කලාකරුවන්ගේ කාර්යය වී ඇත. ඒ සඳහා ධනවත්තු කලාකාරයන්ට මුදල් විසි කරති.


කලාකරුවන් මෙසේ පීචං වීමත් සමග ම කලාකරුවාත්, බිස්නස්කාරයාත් අතර සීමා ඉර මැකී යයි. දෙන්නා ම එක ම ආකාරයේ පීචං පොරවල් වේ. අවසානයේදී සිදු වන්නේ බිස්නස්කාරයාට කලාකරුවන්ට මුදල් විසි කිරීම තේරුමක් නැති වැඩක් ලෙස පෙනී යාමයි. 


නිදසුනක් ලෙස කලක් කලාකරුවන්ට මුදල් විසි කළ ඒ.එස්.පී. ලියනගේ දැන් තමන් ම ගායකයකු වී සිය පවුලේ අයත් සමග ගී ගයමින් මුදල් ගෙවා ටී.එන්.එල්. රූපවාහිනියෙන් පෙන්වමින් සිටියි. 


මෙම ගමන් මාර්ගය අනුව, මෙම ඡායාරූපයේ සිටින නළුවා තව වැඩි කලක් යන්නට පෙර චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විය යුතු ය. දැනටත් ඔහු කලා විනිශ්චයකරුවෙකි.


එසේ වන විට කලා ක්ෂේත්‍රයේ ජාතික වස්තුවලට දිවි ගැට ගසා ගන්නට වන්නේ කුමක් හෝ මාර්ගයකින් දේශපාලන සභාවක පුටුවකට පස්ස පැත්ත වඩම්මා ගැනීමෙනි. 


මේ සියල්ල කෙරෙන්නේ රටේ ජනතාව‍ මානසික වශයෙන් ආතුරයන් කරන අතර ය. ඉතිහාසය විකෘති කරන අතර ය. 


පසුගිය දිනෙක සිරසේ වැඩ කරන සිරස ඇති මිතුරෙක් මා සමග කී කාරණයක් මෙසේ ය. ඔහු‍ දන්නා හඳුනන කලා ව්‍යාපාරිකයෙක් අලුත් අවුරුද්දට සුබ පැතීමට ඔහුට කතා කරමින් අසා ඇත්තේ ඔවුන්ට එක්ව අලුත් අවුරුද්දේ අලුත් බිස්නස් එකක් කරන්න හැකි ද කියා ය. බිස්නස් එක නම්, ආණ්ඩුව සමග ගනුදෙනු කරන සල්ලිකාරයෙක් අල්ලාගෙන රජ පවුල උෂාර් කරන චිත්‍රපටයක් හැදීමයි. එසේ කරන්නේ කුමටදැයි අපේ මිතුරා ඇසූ කල ඔහුගේ මිතුරාගේ පිළිතුර "වෙන මොකටද බං පුළුවන් වෙලාවේ ගානක් හොයා ගන්න මිසක්" කියා ය.


ලංකාවේ පාලන බලය අල්ලා ගන්නා ඉහළ සුළු ධනේශ්වර කොටස්වල මූලික ලක්ෂණයක් වන්නේ කලා රස විහීනභාවයයි. පහත් රුචිකත්වයක් ඇති ඔවුහු එය පහත් රුචියක් බව නො දනිති.


ඉහළ ධනේශ්වර පංතියට ඇති සංස්කෘතික මුල් මොවුන්ට නැති වීම එයට හේතුවයි. නිදසුනක් ලෙස රනිල්ගේ මවගේ අභාවයෙන් පසු ඇය පිළිබඳ ලියැවුණු බොහොමයක් සටහන්වලින් කියැවුණේ ඇයගේ කලා ඇසුර පිළිබඳවයි. 


එහෙත්, ආර්. ප්‍රේමදාස අගමැති හා ජනාධිපති සමයේ ඔහුගේ නමින් නිර්මාන කරවා ගැනීමට ළං කර ගත් අවතාර ලේඛක (ghost writer) පිරිස අතින් ඇතැම් හොඳ නිර්මාන බිහි විය.


සිරිලාල් කොඩිකාර මාධ්‍යවේදියා ප්‍රේමදාස ජනාධිපති අසල ගැවසුණ ඩෝල්ටන් අල්විස් ගැන ලියූ කවියක් ඇත්ත පුවත්පතේ ඔහු විසින් රචනා කරන ලද 'රංචාගොඩ ළමයා' කවි කොළමේ පළ වුණා මතක ය. එය මතක හැටියට මෙසේ ය:
“දාගැබ් මහා වැව් බැන්දේ ඩෝල්ටන්
සීගිරි ගලේ කවි ලීවේ ඩෝල්ටන්
නඟුලෙන් එදා රජ කෙරුවේ ඩෝල්ටන්
පැදුරේ මෙදා නිදියන්නේ ඩෝල්ටන්”


මෙ වනාහි ආර් ප්‍රේමදාසගේ පද රචනයක් ලෙස ප්‍රචාරය වූ වික්ටර් රත්නායකයන් ගැයූ
“දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
සීගිරි ගලේ කවි ලීවේ නුඹයි පුතේ
නඟුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ
පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ....” ගීය ඩෝල්ටන් අල්විස් ලියූ එකක් බව අහම්බෙකින් දැන ගැනීමෙන් පසු සිරිලාල් කොඩිකාර එයට ප්‍රතිචාර දැක්වූ ආකාරයයි.


සිරිලාල් කොඩිකාර මෙය දැනගෙන ඇත්තේ දෙන්නා එකට අනුමත වී ගෙදර යන්නට පිටත් වෙද්දී ඩෝල්ටන් සිංදුවක් කියා එන්නට සිය අත වූ ෆයිල් කවරය සිරිලාල් අතට දී ගිය විට එය පෙරළා බැලීමෙන් බව අසා ඇත. එම ෆයිල් කවරය තුළ තිබී ඇත්තේ ඩොල්ටන් කටු අකුරෙන් ලියූ ඉහත කී ගීයේ පදවැලයි.


අපට සිතෙන හැටියට ප්‍රේමදාස නම් තරමක් හෝ හොඳ රුචිකත්වයක් තිබුණු අයෙකි. නැතිනම් ඔහු වටා සිටි අය අද පාලකයන් වටා සිටින කලාකාර හෙංචයියලාට වඩා අවංක ය.


නිදසුනක් ලෙස, කලක් විශිෂ්ට කලාකරුවෙකු වූ ජැක්සන් ඇන්තනි දැන් ඔහුගේ පළමු නාට්‍යය වූ 'මෙතනින් මාරු වෙනු' නාට්‍යයේ පැබ්ලෝගේ භූමිකාව රඟපාමින් සිටියි. එහෙත්, ඔහු මුදල් වෙනුවෙන් කරන්නේ රාජපක්ෂ පවුලට බුදුන් සමග නෑකම් හැදීම වැනි විහිළු ය. එයින් ඔහුත්, ඔහුගේ අනුග්‍රාහකයිනුත් යන දෙගොල්ලම ජෝක් වෙති.


අද කලාකරුවන් බොහෝ දෙනෙකුගේ පරමාදර්ශය ජැක්සන් ඇන්තනි ය. මොවුන් ලවා උෂාර් වන්නට යන ඔවුන්ගේ අනුග්‍රාහකයන්ට දෙයියන්ගේ ම පිහිට ය.


අපි නම් කලාකාරයෝ නො වෙමු. රෙදි ඇඳගෙන තමන් කලාකාරයකු යයි කියන්නට පුළුවන් වාතාවරණයක් කලාකාරයෝ ඉතිරි කර නැත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. රෙදි ඇඳගෙන තමන් කලාකාරයකු යයි කියන්නට පුළුවන් වාතාවරණයක් කලාකාරයෝ ඉතිරි කර නැත.

    වර්ථමාන කලාවේ ඛේදනීය ඉරණම තමයි

    ReplyDelete
  2. ඒකනම් ඇත්ත කලාවක්, සාහිත්‍යයක් රස විඳීම කියා එම රස වින්දනය කුමන දෙයක්ද කියලවත් හඳුනාගත නොහැකි පිසාචරයො ටිකක් තමයි දැන්නම් දේශපාලනයේ ඉන්නෙ අපේ රටේ.

    ReplyDelete
  3. ජැක්සන් ගේ මුල්ම වේදිකා නාට්‍යය 'මෙතනින් මාරු වෙනු' නෙමේ.
    නෙවිල් ඩයස් සුභසිංහ ගේ 'වාරුවෙන් යන මිනිස්සු' විය යුතුයි.

    මේක බලන්න නෙවිල් ඩයස් සුභසිංහ ගේ 'මානවයෝ' නාට්‍යය.
    http://youtu.be/qjSGAaCEwmw

    ReplyDelete
  4. ඔන්න එහෙනම් කතන්දර ගෙ ජැකා පෝස්ට් එකේ දාපු මෙන්න මේ කොමෙන්ටුවත් බලන්න.

    ----------------

    ජැකා ගේ රඟපෑමට අදත් එදත් කැමතියි. රඟපෑමට එළියෙන් කරපු ඉතිරි ටැලන්ට් වලින් මං ඕනනං කිහිපයකට කැමති ඇති. චිත්‍ර කතා ඇඳීම, සුසීමා එකේ සින්දුව, සලන්හන්තේ වගේ කිහිපයක්.

    ජැකා ගේ ඉන්න කට වාචාල වෙළෙන්දා එලියට ආවේ මහින්දගේ වේදිකාවට කලින්. ඔය ස්වර්ණවාහිනියෙන් තමයි මුලින්ම නළු කමට එළියෙන් හුන් ජැකා පෙනුනේ. දැක්ක දවසේ ඉඳං ම චාටර්. සලන්හන්තේ උනත් හොඳ වැඩ සටහනක් උනාට ප්‍රසන්ට් කලේ පොරගේ හොරිකඩ ස්ටයිල් ඒකෙන. ඒ මදිවට යන හැම තැනම ගෑනිවයි ලමයවයි රිංග ගෙන රාජපක්ෂටත් කලින්ම පවුල් සංස්ථාව හදලා පෙන්නුවා. උගේ පට්ටන්දරේ අහන ඉන්න කොට බඩ දඟලනවා.

    අනික මේකෙත් [කතන්දර ගෙ සාකච්චාව] කියන හැටියට බා&ස ටත් හරියට සින්දු කියන්න ඉගැන්නුවේ පොර ලු නේ. මට නම් පොරගේ චින්තනයයි, පොරගේ චක්‍ ගෝලයා වන මාද්‍ය දුකා ලියන අපේ කාර්තුවේ ගීතයි සෙට් එකම චොර.

    මහා සිංහලේ වංශ කතාව කියන්නේ මහා වංශය හොරකම් කරගෙන ඇවිත් කෑලි කපලා තායි සෝස් අජින මොටෝ එහෙම දාලා උයලා සැශේ පැකට් වල පැක් කල ඉතිහාස ඩේවල් එකක්.

    ඉතිහාසය කියන්නේ ගැඹුරින් සාකච්චා කල යුතු අවිනිශ්චිත ශාස්ත්‍රීය ක්ෂේත්‍රයක්. අකමැති අයට නිදි මතයි තමයි. නිදි මත නම් අකමැති නම් ඉතිහාසය අහන්න බලන්න ඕනේ නැහැ. ජැකා කලේ ඉතිහාසය ඌට ඕනේ විදිහට බලෙන් ඔබ්බන එක. ඉතිහාසයේ සුපර් ස්ටාර් වින්දනය තමයි එකේ තිබ්බේ. අනික එකට ගෙන්නුව බාගයක් උගතුන් නෙවෙයි බක පණ්ඩිතයන්. රෝහණධීර වගේ අය ඔය තැනක හිටියේ කොහොමද කියලත් සැකයි.

    මට නම් ඔය ජැකා අරහන්. පුද්ගලිකත්වය තුල තියෙන හොරිකඩ භාවයක් තමයි පෙන්නුම් කලේ.

    දැන් රෙදි නැතුව මහා මහින්ද වංශ කතාව ලියන හැටි දැක්කම ඒ අප්පිරියාව සිය ගුණයකින් වැඩි වෙනවා. නිකමටත් නොවේ පොර හොඳට හම්බ කරනවා නේ.

    මානව දේවත්වය පුද්ගල වන්දනා පරමාදර්ශි මිනිසුන් [සමාජවාදී රාමුවේ මුලිකාන්ග] වැනි ප්‍රායෝගික නැති ෆැන්ටසි ගැන සිහින මවන මිනිසුන්ට මේ වගේ දේවලින් පාඩම් උගත හැකියි.

    ReplyDelete
  5. අවසානයේදී සිදු වන්නේ බිස්නස්කාරයාට කලාකරුවන්ට මුදල් විසි කිරීම තේරුමක් නැති වැඩක් ලෙස පෙනී යාමයි.

    100% true

    ReplyDelete
  6. අවසානයේදී සිදු වන්නේ බිස්නස්කාරයාට කලාකරුවන්ට මුදල් විසි කිරීම තේරුමක් නැති වැඩක් ලෙස පෙනී යාමයි.

    100%

    ReplyDelete
  7. කලක් විශිෂ්ට කලාකරුවෙකු වූ ජැක්සන් ඇන්තනි...........???? Are you mad ???

    ReplyDelete
  8. කලාකරැවෙ බිස්නස් කාරයෝ වෙලා අද රටෙී ප්‍රශස්ති ගයන්නෙ නැතිව කිසි දේකට ඉඩ නැහැ ඒ කනේ බුරැතු පිටින් දෑත ශක්තිමත් කරන්න ඇවිත් දැන් තොග ක්‍රමයට ක‍ෙඩී යන්නෙ
    කලා කරැවෙ ක්‍රීඩකයෝ තමන්ගෙ රැකීමට කඩෙී යනවා
    ජැක්සන් සනත් ජයසූරිය ITN ගොන් මහින්ද වසන්ත ප්‍රිය රාමනායක මෙීවට හොද උදාහරණ
    ඊටත් වඩා දුක ප්‍රතිපත්ති ගරැක කියපු වාමාංශිකයොයි JVP අයයි රෙදි නැතිව කඩෙී යන එකටයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා