අද සිට තවත් අලුත් නීති; කෝ දැන් පරණ නීති?

(2011 ජුලි 01, W3Lanka) ලේඛකයා දිනක් සිය නිවස අසල කඩයකින් සුළු අවශ්‍යතාවක් සඳහා සිමෙන්ති කිලෝ පහක් මිළ දී ගත්තේ ය. ගම්වල සිල්ලර කඩවල සාමාන්‍යයෙන් අල්පෙනෙත්තේ සිට පරිභෝජනයට අවශ්‍ය බොහෝ දේ විකිණෙන අතර ගිනි පොලියට ණය දීම ද මේ මුදලාලිලා කරති. මෙම කඩවල ආහාර මෙන් ම කෘෂි රසායනික ද, පෙට්‍රල් ද විකිණීමට තිබෙන අවස්ථා ඇත.


සිමෙන්ති මිටිය ද හාල්, සීනි, පිටි ආදියට තරමක් කිට්ටු තැනක තබා තිබුණු අතර මුදලාලි සිමෙන්ති ගැනීමට දැම්මේ හාල් ගෝනියකින් ගත් කෝප්පයකි. එය ආපසු හාල් ගෝනියට ම යන්නට ඇත.


මේ මුදලාලිලා පෙට්‍රල්, ලාම්පුතෙල් අත ගෑ අතින් ම බනිස් ද විකුණති. ඒවා බොහෝ විට එතෙන්නේ ළමයින් ඉතා අපවිත්‍ර ලෙස පාවිච්චි කර පසුව ඉවත දමන කොපි පොත්වල කොළ පල්මානික්කම් යෙදූ පාන් පිටි පාප්පවලින් අලවා ගනු ලබන කවර තුළ බහා ය.


මෙවැනි නො දියුණු මට්ටමක ඇති ලංකාවේ සිල්ලර වෙළඳාමට බල පාන නව නීතියක් අද සිට ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව, ආහාර නොවන නිෂ්පාදිතයක් සඳහා භාවිත කර ඇති ලෙස අදහස් කරන යම් ඇසුරුම් ද්‍රව්‍ය, දවටන, බහාලුම් හෝ භාජන කිසිවක් ආහාර සකස් කිරීමට, ඇසිරීමට, ගබඩා කිරීමට, බෙදාහැරීමට හා අලෙවියට ඉදිරිපත් නොකළ යුතුය. එසේම වෙනත් යම් කාර්යක් සඳහා කලින් භාවිත කර ඇති ගෝනියක් හෝ බහාලුමක් සීනි, පිටි වැනි ද්‍රව්‍ය ඇසිරීමට, ගබඩා කිරීමට, අලෙවියට භාවිතා කිරීම තහනම්ය. වෙනත් යම් කාර්යයක් සඳහා කලින් භාවිත කරනු ලැබ ඇති ටැංකි සහ සයිලෝස් (විශාල ආහාර තොග ගබඩා කිරීම සඳහා භාවිතා කරන ඇසුරුම්) හැර යම් බෝතල් හෝ ලෝහ බහාලුම් කෑමට සුදුසු මේද හා තෙල් සකස් කිරීම, ඇසිරීම, ගබඩා කිරීම, බෙදාදීම හෝ අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම නොකළ යුතුය.


ආහාරයක් වෙනත් යම් ආහාර සඳහා නිර්දේශිත අමතර ආවරණයකින් අසුරා ඇත්නම් මිස වෙනත් කාර්යයක් සඳහා කළින් භාවිත කර ඇති යම් ප්ලාස්ටික් බහාලුමක් ඉහත කී කරුණු සඳහා යොදා නොගත යුතුය. වෙනත් යම් ආහාර සඳහා කලින් භාවිත කර ඇති ගෝනි උරයක් හෝ ;පාලිතීන් උරයක්, සහල් සකස් කිරීම, ඇසිරීම හෝ ගබඩා කිරීම, බෙදාහැරීම හෝ විකිණීම සඳහා යොදා නොගත යුතුය. එමෙන්ම පානීය ජලය සඳහා පමණක් කලින් භාවිත කර ඇති ප්‍රමාණයෙන් ලීටර් 18 කට අඩු නොවන පානීය ජලය ඇසිරීම සඳහා කලින් භාවිත කරන ලද බහාලුමක් හැර, ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික්වලින් සාදන ලද, ඇසුරුමක්, උපකරණයක්, බහාලුමක් යොදා ගැනීම නොකළ යුතුය.


මේ ආණ්ඩුව තරම් නීති ගෙන එන්නට හා ඒවා ක්‍රියාත්මක නො කර ඉන්නට සමත් තවත් රජයක් ලෝකයේ තිබේදැයි අපි නො දනිමු. මීට කලින් ආණ්ඩුව මයික්‍රෝන් 20ට අඩු ගනකමින් යුත් පොලිතින් භාවිතය සපුරා තහනම් කළේ ය. එහෙත්, දැන් ඕනෑ තරම් එවැනි පොලිතින් වෙළඳපොළේ තිබේ. නව නීති අනුව පොලිතින්, ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය තවත් වැඩි වනු ඇත.


වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා පරිසර ඇමති කාලේ ඇසුරුම් සඳහා ස්වාභාවිත ද්‍රව්‍ය භාවිතා කිරීමේ තාක්සණය දියුණු කරන බවට මහජන මුදලින් නඩත්තු වන ජනමාධ්‍ය හරහා පම්පෝරි ගැසුවේ ය. ඒ ස්වභාවික ඇසුරුම් ද්‍රව්‍ය දැන් කෝ?


අප කුඩා කාලයේ මාළු විකුණුවේ හබරල කොළයේ ඔතා ය. ඒ කාලයේ තිබුණේ ලංගම බස් පමණි. සෙනග තදබද පොළ දිනවලට බස් මගීන් අතර සණ්ඩු සරුවල් ඇති වන ප්‍රධාන හේතුවක් වන්නේ මාළු ගෙන යන අයෙකුගේ හබරල කොළ ඇසුරුමෙන් පිටතට ගලා ගිය ලේ තවෙකෙකුගේ ඇ‍ඟේ ගෑවීමයි.


ඒ කාලයේ ලොකු බඩු පොදියක් ගෙන යාම සඳහා භාවිතා කළ තවත් ඇසුරුමක් වන්නේ පොල් කොළ පිරිවැස්සයි. බඩු ඔතන්නට භාවිතා කළ පත්තර කඩදාසි ගොට්ට නම් තව ම අභාවයට ගොස් නැත. පසුගිය කාලයේ ලංකාවට පරණ පත්තර කඩදාසි පවා ආනයනය කරන ලදී. එහෙත්, ලංකාවේ පත්තර වැඩි හරියක් බඩු එතීමට තරම් කියවීමට හොඳ නැත.


දුම්කොළ මිටි ඇසුරුණේ ඒ වෙනුවෙන් ම වියූ පැදුරක ය. කරවල කූරින් එතීමට ද එවැනි පැදුරු භාවිතා කළ බව මතක ය.


ඉඳිආප්ප මුල එතුණේ කැන්ද කොළයක හෝ හල්මිල්ල කොළයක ය. හුණු මුල එතුණේ වියලුණ කෙසෙල් කොළවල ය. දියුණු ඇසුරුම් සඳහා වැඩිපුර භාවිතා කෙරුණේ කඩදාසි ය. පෙට්ටි පමණක් නොව යෝගට් කෝප්ප ආදිය පවා හැදුණේ කඩදාසිවලිනි. ප්ලාස්ටික් හැන්ද වෙනුවට තිබුණේ ලී පතුරු ය. බෝතල් නම් වීදුරු ම විය. බීම බටය පවා කඩදාසි ය.


සුරුට්ටු ඇසු‍රුණේ ලී පෙට්ටිවල ය. තේ කොළ ඇසුරුණේ ඊයම් කොළ කියා කියූ දවටන වර්ගයක ය. කෑම එතීමට තෙල් කඩදාසි ද භාවිතා විය. තෑගි ගෙනිච්චේ බ්‍රවුන් පේපර් කොළවල ඔතලා ය.


පුවක් ගසේ කොළපොතින් හදා ගත් පැණි මුල දක්ෂ නිර්මානයකි. කිරි හට්ටිය පවා දැන් අභාවයට යමින් තිබේ.


මේ බොහොමයක් අද ප්ලාස්ටික්වලින් ආදේශ වී ඇත. නීති ද භාවිතාවෙන් ආදේශ වී තිබේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා