අයිතිවාසිකම් නැති ලංකාවේ මගී ජනතාව සංකේතවත් කරන පුංචි දැරිය - ඈන් මෙතුලා නතාලි පීරිස්

(2011 ජුනි 26, W3Lanka) අප මෙම ඡායාරූපය මෙහි පළ කරන්නේ ජුලි 01දා සිට සිදු කෙරෙන බස් ගාස්තු වැඩි කිරීම හමුවේ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් වෙනුවෙන් සටන් කිරීමට මගීන්ට ඇති අයිතිය වෙනුවෙනි.


මෙම ඡායාරූපයේ සිටින උසස් පෙළ ඉගෙන ගනිමින් සිටියදී බස් රියදුරකුගේ හා කොන්දොස්තරෙකුගේ අමානුෂිකකම නිසා අවසන් ගමන් ගිය ඈන් මෙතුලා නතාලි පීරිස් නම් දැරියගේ කතාව දිනමිණේ පළ වී තිබුණේ මෙසේ ය:


ඈන් මෙතුලා නතාලි පීරිස් 18 වෙනි වියට එළඹීම සැමරීමට ජූනි 30 වෙනි දින යහළු යෙහෙළියන් හා නෑදෑ හිතවතුන් සමඟ සාදයක් පවත්වා දිව්‍ය පූජාවට සහභාගි වී දේව ආසිරි ලබාගැනීමේ චේතනාවෙන් පසුවූවාය. දහසකුත් බලාපොරොත්තු රැසක් තම හදවතේම නිදන් කර ගනිමින් ඇය සිය නෑ හිතමිතුරන් සහ කටාන කඳවල ග්‍රාමයම හඬවා අවසන් ගමන ගියේ මිනිසුන්ගේ කෲරත්වය පසක් කරමිනි. ඈන් මෙතුලා ජූනි 20 වෙනිදා සුපුරුදු පරිදි සිප් සතර හදාරන කුරණ සාන්ත ආනා මහ විදුහලට ගොස් පාසල නිම වී ප. ව. 1.40 ට පමණ කොළඹ – මීගමු මහමාර්ගය අසල බස් නැවතුමට පැමිණියේ සවස උපකාරක පංතියකට යාමටය.
ඈන් සමඟ පාසලේ උසස් පෙළ ඉගනුම ලබන මිතුරු මිතුරියෝ ද රැඳී සිටියහ.මාර්ග අංක 240 සටහන් වුණු මීගමු - කොළඹ බස් රථය පැමිණියෙන් ඇය ඇතුළු සිසු සිසුවියෝ හනික ඊට ගොඩවූහ. බස් රථය මීගමුව දෙසට ධාවනය වූයේ කෙටි දුරකි. බසයේ රියදුරු ක්ෂණිකව සිදුකළ තිරිංග තද කිරීම නිසා ඈන් බස් රථය තුළ ඇදවැටිණි. බසයේ බිම පතිත වී සිටි ඇය මට හොඳටම අමාරුයි රෝහලකට ඉක්මනට ගෙනියන්න කොඳුලාය. බසයේ සිටි කිහිපදෙනකුත් ඇගේ මිතුරු මිතුරියන් ද රියදුරුගෙන් ඉල්ලා සිටියේ හනික ඇයව මීගමුව රෝහලට රැගෙන යන ලෙසය.
එහෙත් මනුස්සකම යටවී මුදල් හා ලාභය පමණක් එකම අරමුණ බවට පත්වූ බස් රථයේ රියදුරුටත් සහයකටත් තමන්ට ද දූවරුන් හා මෙවැනි සොහොයුරියන් සිටින බව අමතක විය. ඒ වන විටත් සිහියක් පණක් නොමැතිව සිටි ඈන්ව කෙටි දුරක පිහිටා ඇති මීගමු රෝහලට ගෙන යාම වෙනුවට බස් රියදුරු සහ බස් සහයක කළේ සෑම බස් නැවතුමකම බසය නවතා මගීන් පටවා ගැනීමය. මේ බව දුටු මගීන් කිහිප දෙනකු ද සිසු සිසුවියන් ද ඇයව ඉක්මනින් රෝහල වෙත ගෙන යන ලෙස රියදුරුගෙන් නැවත නැවතත් ආයාචනා කළේය. එම ඉල්ලීමට සවන් දීමට තරම් ඒ රියදුරුගේ හදවත කාරුණික නොවීය. ඔහු කළේ මීගමු රෝහලට කෙටි දුරක් තිබියදී සිහිසුන්ව සිටි ඇය ද සමඟින් සිසුවියන්ව බස් රථයෙන් බැස්සවීමය.
සිහිසුන්ව සිටින තම පාසල් මිතුරිය සමඟින් කිසිත් කර කියා ගත නොහැකිව වික්ෂිප්ත දෑසින් බලා සිටි සිසු සිසුවියෝ ඇයව ත්‍රිවීලයක දමා මීගමුව රෝහලට ගෙන ගියාය. ඇය පරීක්‍ෂා කළ වෛද්‍යවරු ඇය මෙලොව හැර ගොස් ඇති බව නිගමනය කළහ. පෞද්ගලික වෙළඳසැලක සේවය කරන එම්. ඩබ්ලිව්. සුසිල් පීරිස් හා අනූෂ කුමුදු දිසානායක යුවළගේ වැඩිමල් දරුවා වූ ඇයට සිටියේ තවත් එක් බාල සහෝදරයෙක් පමණි. ඇයට හදවත් රෝගයක් තිබී වෛද්‍ය ප්‍රතිකාර මත සම්පූර්ණ සුවය ලැබී තිබුණ බව එම දෙමව්පියෝ පවසන ලදී.
මීගමු නාගරික හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා හදිසි මරණ පරීක්‍ෂණය පවත්වා පැවසුවේ රියදුරුගේ හා කොන්දොස්තරගේ නොසැලකිල්ල නිසා නිසි වේලාවට දැරියට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට නොහැකි වී ඇති බවයි. මෙවැනි අවස්ථාවක තමන් තුළ තිබිය යුතු මනුස්සකමේ ගුණාංග ඉවත දමා කටයුතු කර ඇතැයි මරණ පරීක්‍ෂක ඔවුනට අවවාද කරමින් පැවසීය. මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිගේ වාර්තාව සැලකිල්ලට ගෙන හෘදයේ නාලවල නිසි ලෙස රුධිර ගමනාගමනය සිදු නොවීමෙන් වූ හදිසි මරණයක් බව හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා නිගමනය කළේය.


මෙවැනි දේ සිදු වන්නේ තනිතර ම බස් සේවකයන්ගේ අමනුස්සකම නිසා ම ද? පොදු ප්‍රවාහන සේවය අමනුස්සයන්ට සින්න වුණේ කෙසේ ද? රටේ මනුස්සකමක්, නීතියක්, යුක්තියක් නැති තත්වයක් නිර්මානය කළේ කවුරු ද?


ඇමති ඩලස් අලහප්පෙරුම මහජනයා ලවා කෝච්චි තල්ලු කරවූ හෙවත් ප්‍රවාහන ඇමතිකම දැරූ සමයේ ජනමාධ්‍යවලින් කොච්චරවත් කතා බස් කළේ ගුණාත්මක බස් සේවයක් ගැනයි.


අපරාදේ කියන්නට බැරි ය. ප්‍රයිවෙට් බස් මුදලාලි කෙනෙකු වන වර්තමාන ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම ඔය බොරු පූච්චානම් කියන්නේ නැත. මුදලාලිලාට බස් කියන්නේ කාගේ ඇඟ උඩින් හෝ පාරේ දුවා කොන්දොස්තරත්, රියැදුරාත් මාටියා ගසන ගාන අඩු කර හැන්දෑවට මුදල් ටික අත මිට මොළවන ජාවාරමක් බව බස් හිමියෝ දනිති. ඕකට සේවාව ආදී වචන නාස්ති කරන්නට ඕනෑ නැත.


දේශපාලකයන් බස්වල යන්නේ නැත. ඒ නිසා උන්ට බස් කොලම්බස්ට ඉන්දියාව වැනි ය. කොලම්බස් ඉන්දියාව කියා කිව්වේ ඇමරිකාවට ය.


ඇමතිවරු මේවා කියවනවාද අපි නො දනිමු. හෙංචයියෙක් මෙය කියවනවා නම් කරුණාකර පිටපතක් දෙන්න. ලියපු එකාගේ පැටිකිරිය හොයන්න වෙහෙස නො වන්න.


ලංකාවේ සුඛෝපභෝගී යයි කියන, වැඩි ගාස්තු අය කරන බස් වැඩි හරියක් අවුරුදු දහයකට පහළොවකට වඩා පැරණි ලදරං ය. ඒවායේ ආසනවල වාඩි වී යාමට කොන්ද වෙන ම සකස් කර ගත යුතු ය. අල්ලන්න පොල්ලක් නැතත්, මේවායේ පොල් පැටෙව්වා සේ සෙනග පටවති. වීදුරු කළු කර, තිර දමා ඇති නිසා පොලිසියට පේන්නේ නැත. දැක්කත් ප්‍රශ්නෙකුත් නැත.


ලංකාවේ අර්ධ සුඛෝපභෝගී කියා ද බස් ජාතියක් ඇත. ඒවායේ ගාන වැඩි ය. ඒවා ද මුළුමනින් ම වෙනත් සාමාන්‍ය ගාස්තු බස් වගේ ම ය. සුඛෝපභෝගී වන්නේ ජනෙල්වලට කිළිටි තිර දමා ඇති නිසා ය.


පෞද්ගලික බස් කොන්දොස්තරලාට මිනිසුන් කකුල් දෙක ම බිම තබාගෙන බසයක යන එක පෙන්නන්නට බැරි ය. උන්ට මිනිසුන් වනාහි හයේ කෑලි, අටේ කෑලි ය.


පෞද්ගලික බස් රියදුරන් වාහන පදවන්නේ රේස්කාරයන් සේ ය. උන්ට මාර්ග නීති කියා දෙයක් නැත.


බස් සේවකයෝ ඕනෑ තරම් මගීන්ට හා වෙනත් මිනිසුන්ට අඩන්තේට්ටම් කරති. හැබැයි උන් එකෙකුගේ හෝ මයිලකට කවුරු හෝ අත ති‍බ්බොත් ආර්ථිකය බංකොලොත් වන පරිදි බස් ස්ට්‍රයික් කරති.


පසුගිය කාලයේ ආණ්ඩුව ටිකට් නො දෙන කොන්දොස්තරලා අල්ලන බව කියා බිය කර තමන්ගේ හිතවතුන්ගේ කොම්පැනි ලවා ටිකට් යන්ත්‍ර විකුණා ගත්තේ ය. දැන් ඒවා කැඩිලා ය. ටිකට් නැත. අල්ලන්න කෙනෙකුත් නැත.


බස් කොන්දොස්තරලාගේ වැඩේ ම ඉස්සරහින් නැග සෙනග අතර තදබද වෙමින් පස්සට යාමයි. උන් ඕනෑ කෙනෙකුගේ ඇඟට හේත්තු වන්නේ ඒ මගියා පොල්ලක් ලෙස සලකමිනි. උන් ළඟින් හමන දුර්ගන්ධය ඉවසා ගැනීම අමාරු ය. ඒ පීඩිතයන්ගේ ගතින් නැ‍ඟෙන ජීවන සුවඳ යයි වාමාංශික කවියෝ කියනු ඇත. එහෙත් ඇත්ත ප්‍රශ්නය ඔවුන් නාන්නේ නැතිකමයි.


බස් සේවකයන් කියන්නේ වාමාංශික භාෂාවෙන් කියන ආකාරයේ පීඩිත පංතියේ සහෝදරයන් පිරිසක් නො ව, පීඩිතයන් තවත් පීඩාවට පත් කරන ලුම්පන් ඉහඳ පණුවෝ ය.


ලංගම කියන එක දැන් පෞද්ගලික බස්වලින් වෙනස් වන්නේ බස්වල කිළිටිකම වැඩි නිසා පමණි. ඉහත කී කාරණා සියල්ල ම ලංගමට ද අදාළ ය.


වැඩේ කියන්නේ උ‍දේ හවා මේ බස්වල ජීවිතේ කාබාසිනියා කර ගන්නා මේ රටේ ජනතාව මෙවැනි බස් සේවාවක් පවත්වා ගෙන යාම සඳහා මේ ආණ්ඩුවට ඡන්දෙත් දෙති. මගීන්ට අයිතිවාසිකම් කියා දෙයක් ඇති බව මගීහු නො දනිති.


අයිතිවාසිකම් කතා කරන්නට ගියොත් සිදු වන්නේ කොන්දොස්තරගෙන් ගුටි කන්න ය. පාරක් ගැසුවොත්, ඊළඟ දවසේ පාරවල් සිය ගණනක බස් ස්ට්‍රයික් කරමින් අර පාර ගැසූ මිනිහා මරාගෙන කන්නැයි මේ පාදඩයෝ පොලිසියට බල කරති. ආණ්ඩුව ඇත්තේ මහජනයාගේ අයිතිවාසිකම් රැක දීමට යයි මේ රටේ ජනතාව නිකමටවත් සිතන්නේ නැත.


ආණ්ඩුව බස් ගාස්තුත් වැඩි කරයි. පඩි නම් වැඩි වන්නේ නැත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. දැන් ලංගම නම් කලින් තිබුනට වඩා ගොඩක් හොඳයි.. ඉස්සර නොදුන්න 6ටිකට් එක පවා ලියනවා. ඉස්සර ඒ මුදල කොන්දොස්තරගේ සාක්කුවට ගියේ.
    හදිසිය කියනවානම් දීලා තියෙන කාලසීමාව ඇතුලෙ දුවන්නෙ කොළඹ පැත්තෙ ප්‍රයිවට් බස් විතරයි. අනික් ගොඩක් ප්‍රදේශ වල
    time limit එක දන්වන, ඒ අනුව ධාවනය නොවන විට දන්වන අංකයයි දක්වපු දැන්වීම පවා සමහර බස් වල නෑ. අලවලා තිබුනත් කිසි ගාණක් නැතිව ඒ දක්වපු කාලයට වඩා අරන් ධාවනය කරනවා.
    ඒ අතරෙ ඊළඟ බස් එක දැක්කොත් බහින්ට ඉන්න අයව බස්සන්නෙත් බස් එක යද්දි. බහින්ට පරක්කුවුනොත් ඉතින් කියන්න දෙයක් නෑ. වයසක කෙනෙකුට බස් එකට නඟින්න/බහින්න උදව්වක් නෑ. ඉතිරි සල්ලි දෙන්න මාරු කාසි ඉල්ලනවා. කාසි නැත්නම් ඉතිරි සල්ලි නෑ. මුලින් දුන්න සල්ලි වල ඉතිරි ගන්න කාසි දුන්නම ඉතිරි සල්ලි පස්සෙ දෙන්නම් කියලා මාරු වෙනවා. බහින්න ලං වෙලා කොන්දොස්තරව හොයන්න ඕන.
    ගුණාත්මක බව වැඩි කරනවා කියන්නෙ පර්මිට් නැතිව දුවන බස් අල්ලන එක නොවන බව ඇමතිවත්, සංගම් වත් දන්නෙ නැතිව ඇති.
    දැනට ලංගම සේවකයන් කලින් හිටියට වඩා ගොඩක් හොඳ බව කියන්න ඕන. ඔවුන්ගෙ සේවාවත් යම් තරමකට හොඳයි අපි ඉස්සර අත්වින්ද විදියත් එක්ක බලද්දි.

    ReplyDelete
  2. yako Lankaway bus kaarayangay part ohoma num weapons gattu ranaviruwo demalunta kohoma part daala adda,C4 walata parikshana oona nhe maywainma prove wenawa !!!!

    ReplyDelete
  3. මේ රියදුරාගේ හා කොන්දොස්තරගේ බලපත්‍ර තහනම් කරනවලු
    http://www.lakbima.lk/archive/last_27_06_11/lakbima%20pages/page6.htm

    ReplyDelete
  4. අනේ ඕවා කොච්චර ලිව්වත් වැඩක් වෙනවද? අපි හැමදාම එකම තැනමයි.

    ReplyDelete
  5. me vage ballo 1k dennek bavvanam okkoma shape

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා